වැව් මාළු සම්පතින් නිසි ඵල නොලැබීමේ අභාග්‍යය


මුහුදු මාළු නෙළීම සහ ආහාරයට ගැනීම හා සම්බන්ධව මෙතරම් අර්බුද මතුවූ වකවානුවක් තවත් නැති තරම්ය. එහෙයින්ම මුහුදු මාළු සම්පතින් බත රසකොට ගත් පාරිභෝගිකයන්ට විකල්ප සෙවීමටද සිදුවිය. එහෙයින්ම මෙරට වැව්, අමුණු සරණ ගිය මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳ අවධානය යම් පමණකට මෙසමයෙහි වැඩි වී තිබේ. එහෙත් එම අවධානය වඩාත් ඵලදායක වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවැසිව තිබේ. මේ, මෙරට මිරිදිය මත්ස්‍ය සම්පත පිළිබඳව කෙරෙන විමසුමකි.

දහසින් වැව් බැඳ රජරට එකල්හි පටන් කෘෂිකර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයටද හොඳ තෝතැන්නක්ව පවතී. නෙලූ මත්ස්‍ය අස්වැන්නෙන් ඉපයූ ආදායම මගින් ගැමියන් ඔවුන්ගේ ෙනක අවශ්‍යතා පිරිමැසුවේය. සැබැවින්ම ඉපැරණි රජරට ගැමියා වැව කේන්ද්‍ර කොටගෙන සිය දිවිපෙවෙත සරිකොට ගත්තෝය. අදද වැවෙහි හැදෙන මත්ස්‍ය සම්පත මත්තෙහි හැපෙමින් හෙට දවස පිළිබඳව සිහින දකින්නවුන් එකෙකු දෙන්නෙකු නම් නොවේ. එහෙයින්ම මේ සංක්‍රාන්ති සමය නිවැරදිව කළමනාකරණය කිරීමට කවර හෝ වගකිවයුත්තෙකු සිතන්නේ නම් මෙරට විශේෂයෙන් රජරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය පිළිබඳවද නිසි අවධානය යොමු කළ යුතුව ඇත.

කලාවැව, නුවරවැව, රාජාංගණය, වාහල්කඩ, මහකනදරාව, මහවිලච්චිය, හුරුළුවැව, පදවිය, අංගමුව, මානක්කට්ටිය ආදී අනුරාධපුරයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව මෙන්ම ගමින් ගම බැදි දෙදහස් පන්සියය ඉක්මවූ  මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් අමුණු ආශ්‍රිතව රැකියාවේ නියැළෙන ධීවර ප්‍රජාවද දහස් ගණනකි. ඒ මතින් විවිධ සෘජු සහ වක්‍ර ආදායම් මාර්ග පාදා ගත්තවුන්ද බොහෝ වේ. මෙනයින් රජරට වැව් අමුණු ආශ්‍රිතව දෛනිකව නෙළන මත්ස්‍ය අස්වැන්නෙන් දිවි සරිකරන පිරිස දස දහස් ගණනකි.

මෙරට වැව්, අමුණු, ඇළ, දොළ, ගංගා, පොකුණු ආදී මිරිදිය ජලාශයන්හී ජීවත් වූ සහ අදටත් ස්වල්ප වශයෙන් හෝ ජීවත් වන මත්ස්‍යයන් කිහිපදෙනෙකි. මේ අතරින් රජරට ප්‍රදේශයට ආවේණික වූ මසුන් ලෙස කළු තෙප්පිලියා, ලූලා, ආරා, හිරිකනයා, කොකැස්සා, කොරලියා, කාවයියා, කණයා, වලයා, ආදා, තෙලියා, පෙතියා, හුංගා, අංගුට්ටා, වැලිගොව්වා ආදීන් ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය. දවසේ එක් වේලකට හෝ වැව් මාළු කෑල්ලක් සිය බත්පතට එකදුපහදු කර ගැනීමට ගැමියන් අමතක නොකළේය. ස්නානයට පමණක් නොව ඔවුහු වරෙක පානීය ජලය සපයා ගත්තේද වැවෙන්මය. මෙනිසාම ගැමියා වැව කරා ආ විපත් අභිමුව සිය පණ දෙවෙනිකොට පෙරට පැමිණියහ. එහෙත් අද වන විට වැව් ගම්මාන සංස්කෘතියට කණකොකා හැඬීමත් සමග ධීවර කර්මාන්තයේ අවගමනයටද එමගින් සිදුකොට ඇති බලපෑම සැඟවිය නොහැකිව පවතී.

1999 වර්ෂයේදී ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ස්ථාපිත වන්නේ මිරිදිය මත්ස්‍ය සම්පත නගාසිටුවීමේ ඒකායන අරමුණ පෙරදැරිවය. එම ආයතනය පවසන පරිදි මිරිදිය මත්ස්‍ය සම්පත ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සනාථ කරවන කරුණු ගණනාවකි. මිරිදිය මත්ස්‍ය වගාව කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළයුත්තේ ඇයි? ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්ථාවන් කවරේද? යනාදී ගැටලු සඳහා පහත කරුණු මගින් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිව පවතී. එනම්,

දේශීය ඒකපුද්ගල වාර්ෂික මත්ස්‍ය පාරිභෝජනය කිලෝග්‍රෑම් 15ක් පමණ වීම.

මන්දපෝෂණය අවම කිරීමට පහසුවෙන් පරිභෝජනයට ගත හැකි වීම.

මස්වලට වඩා නැවුම් මාළු ආහාරයට ගැනීමට ඇති ඇල්ම ඉහළ ප්‍රතිශතයක පැවතීම.

මුහුදු මාළු මිල අධික වීම සහ සාපේක්ෂව ගුණාත්මක බව අවම වීම.

රට අභ්‍යන්තරයේ ජලජ සම්පත් ඉතා බහුල වීම.

මිරිදිය ජලාශ, වැව්, අමුණු, පොකුණු ආදියෙහි මත්ස්‍ය වගාව පහසුවෙන් කළ හැකි වීම.

ගුණාත්මක බවින් වැඩි මිරිදිය මසුන් පහසු මිලට ලබාගත හැකි වීම.

මේද අම්ල මුහුදු මාළුවලට සාපේක්ෂව අවම වීම අදිය ඉන් කිහිපයකි.

මේ වන විට රජරට වැව් මාළු කිලෝවක තොග මිල රුපියල් 220ත් 250ත් දක්වා ඉහළ ගොස් ඇත. ඊට සාපේක්ෂව සිල්ලර මිල රුපියල් 360ක් දක්වා ඉහළ නැග තිබේ. සමහර තැනක මිල රුපියල් 380ත්, 400ත් අතර පවතී.

ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් වැව්, අමුණු හා මිරිදිය ජලාශ ආශ්‍රිතව මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීමේදී දේශීය මත්ස්‍ය විශේෂයන්ට සාපේක්ෂව විදේශීය මත්ස්‍ය විශේෂ කෙරෙහි ඉහළ අවධානයක් යොමුකොට ඇති බව පැහැදිලිය. ඔවුනගේ නිගමනයන්ට අනුව දේශීය මාළු විශේෂයන්ගේ වර්ධන වේගය අඩුය. මත්ස්‍යයන් මාංසභක්ෂකය. ලාභදායී බවද අඩුය. සාපේක්ෂව විදේශීය මාළු විශේෂයන්ගේ වර්ධනය ඉක්මනින් සිදුවේ. මේ මත්ස්‍යයන්ට විවිධ ආහාර පුරුදුද ඇත. නිදසුන් ලෙස ශාක හා මියගිය සත්ත්ව ප්‍රවාංග ආහාරයට ගැනීමේ ශක්තියෙන් යුක්තය. එමෙන්ම ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසන පරිදි විදේශීය මත්ස්‍ය වගාව ලාභදායී බවින්ද ඉහළය.

මෙම නිගමනයන්ගේ පිහිටා ඉන්දියාව, චීනය ආදී රටවලින් කාෆ් මාළු විශේෂයන්ද, තායිලන්තය, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව ආදී රාජ්‍යයන්ගේ ජන්ම දායාදය ලත් තිලාපි මත්ස්‍ය විශේෂයන්ද මෙරට ජලාශ වෙත හඳුන්වාදීම සිදුවිය. ඒ අනුව ඉන්දියානු කාෆ් මාළු විශේෂයන් ලෙස කැට්ලා, රෝහු, මිරිගාල් ආදීන්ද, චීන කාෆ් මාළු විශේෂයන් ලෙස තණකොළ කාපයා, රිදී කාපයා, හිස ලොකු කාපයා, සාමාන්‍ය කාපයා මෙරට වැව්, අමුණු හා මිරිදිය ජලාශ වෙත මුදාහැරීම සිදුවිය. නයිල් තිලාපියා, මොසැමිබික් තිලාපියා, රතු තිලාපියා, ගිෆ්ට් තිලාපියා ආදී විදේශීය තිලාපි මාළු විශේෂයන්ද මෙපරිද්දෙන් මෙරට  ජලාශ වෙත මුදාහැරීම සිදුවන්නේ දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත ප්‍රවර්ධනය කෙරෙහි වු අවධානය සහමුලින්ම ඒ වෙත යොමුකරමිනි.

දේශීය මාළු විශේෂයන්ට සාපේක්ෂව විදේශීය මාළු විශේෂයන්ගේ ඇති ප්‍රධානතම දුර්වලතාව ලෙස නැවත බෝ නොවීම සඳහන් කළ හැකිය. වැවට මුදාහරින මත්ස්‍ය පැටවුන් ටික ලොකු මහත් වූ පසු අස්වනු ලෙස නෙළාගත හැක. ඉන් ඔබ්බට ජනනය වීමක් නොඑසේ නම් බෝ වීමක් නැත. ඒ සඳහා ඇති එකම විකල්පය නම් නැවත නැවත මාළු පැටවුන් ජලාශ වෙත මුදාහැරීමය. එය නොවන කල්හී මාළු හිඟවීම නිරායාසයෙන් සිදුවන්නකි. පෙර දවස වැව් අමුණු වෙත මත්ස්‍ය පැටවුන් අභිජනනයකොට මුදාහැරිය වගක් අප අසා නැත.

මෙම නූතන ක්‍රියාවලිය හමුවේ සිදුව ඇත්තේ ධීවරයා සංවිධානාත්මක විෂම චක්‍රයකට මැදිවීමකි. එනම් අඛණ්ඩව අභිජනනය කළ මත්ස්‍ය පැටවුන් ජලාශ වෙත මුදාහැරීමේ ක්‍රියාවලියට නතුවීමට සිදුවීමය. එහෙත් නිරායාසයෙන්ම දේශීය මාළු සම්පත බෝ වීම හේතුවෙන් අඩුවකින් තොරවම මසුන් අල්ලා ගැනීමේ ඉඩකඩ ගැමියනට උදාවී තිබිණි. වර්තමානයේ විදේශීය මාළු පැටවුන් මෙරට වැව්, අමුණු තුළ බෝ කිරීම ඇරඹීමත් සමග එය අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යෑම අනිවාර්ය වී තිබේ. එය කඩතොළු වූ තැන්හී සිදුවන විපත දැන් හැමට නොරහසක්ව පවතී. එනම් වාර්ෂිකව සිදුකෙරෙන ජලාශ වෙත මත්ස්‍ය පැටවුන් මුදාහැරීමේ වැඩසටහනේ ඇතිවන අක්‍රමවත් බව කරන කොටගෙන මත්ස්‍ය අස්වනු හිඟවීම වැළකිය නොහැකිව තිබේ.

එකල ගැමියා මාළු සම්පත නෙළාගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයන් හා මෙවලම්ද එහි සුරක්ෂිත බව සඳහා මහත් රුකුලක් විය. කරක, කෙමන, නියමිත ප්‍රමාණයේ දැල් සහ වළවල් ඉසීම ඒ අතර ප්‍රධාන වී ඇත. නියමිත ප්‍රමාණයට නොවැඩුණු මසුන් අසුවූ විට නැවත ජලයට මුදාහැරීමට දූර්දර්ශී වූ ගැමියන් වරෙක එකාවන්ව එකතුව එකම දිනක මත්ස්‍ය සම්පත නෙළාගැනීමට යොමු වීමත් එවක සුලභ දසුනක් වී ඇත.

මත්ස්‍ය සම්පත සුරැකිව තබාගැනීමට සොබාදහම කෙරෙහි මනා බැඳීමෙන් යුතුවූ එවක ගැමියාගේ ආකල්පද ඉවහල් වී ඇත. එහෙත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත්තේ හැමකෙකුම පාහේ බාගෙන කෑමට ඇති වළ ඉහගෙන කෑමට තරම් අකාරුණික වීම හේතුවෙන්ය. තහනම් දැල් ආම්පන්න භාවිතය ප්‍රධාන කොටගත් විවිධ නොපනත්කම්වල නියැළෙන ධීවරයන් සේම ඔහේ හැල්මේ සියල්ලක් ගලා යෑමට ඉඩහැර අත පිසදා ගන්නා සමහරක් නිලධාරීන්ද වගඋත්තරකරුවන් කොට නිහඬ වීමෙන් පමණක් යහපතක් සිදුවේ යැයි සිතිය නොහැකිව පවතී.

අඟල් තුනහමාරට අඩු දැල් භාවිතය, ධීවරයන් තංගුස් ලෙස හඳුන්වන මොනෝපිලමන්ට් දැල් භාවිතය සේම යාන්ත්‍රික යාත්‍රාවන් භාවිතය ආදී අනවසර ධීවර කටයුතු පිළිබඳ විමර්ශනය හා වැටලීම් සිදුකිරීමේ නීත්‍යානුකූල අයිතිය පැවරී ඇත්තේ ජලජීවී සංවර්ධන අධිකාරිය වෙතය. එසේම නීතිවිරෝධී ධීවර ආම්පන්න අලෙවි කිරීමේ කටයුතු සිදුකරන සියලු වෙළෙඳ සැල් වැටලීමේ අයිතියද ඔවුනත පවතී. 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පාර්ලිමේන්තු පනත මගින් මෙන්ම 2006 අංක 22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ද මේ නීතිමය අයිතිය තහවුරුකොට ඇත.

අණපනත් මගින් පනවා ඇති නීති ක්‍රියාත්මක කරන අතරේ ආයතන සහ නිලධාරීන් ධීවර ප්‍රජාව සමග සහජීවන පිළිවෙතක පිහිටා කටයුතු නොකිරීම වත්මන් ගැටලු රැසකට පාදකව තිබේ. ධීවර සමුපකාර සමිති සංකල්පයද අපේක්ෂිත අරමුණු ඉටුකිරීමට සමත් වී නැත. බොහෝ සමිති මේ වන විට කඩාකප්පල් වී ඇත. මෙරට මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව පසු අස්වනු තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක වීමද පසුගාමී තැනකට වැටී තිබේ. එනම් මිරිදිය මසුන් මගින් කරවල, උම්බලකඩ, දුම් කරවල ආදිය නිෂ්පාදනය කෙරෙහි ධීවරයන් දිරිගැන්වීම අවිධිමත් තැනකට වැටී ඇත.

සියලු තැන්හී රොද බැද ඇති ආත්මාර්ථකාමීත්වය මෙරට වැව්, අමුණු වෙතද සේන්දු වී ඇති බව දැන් ඉදුරාම පැහැදිලිය. සොබාදහම හා බැඳුණු ජීවන සම්ප්‍රදායන් වත්මන් ජනජීවිත වෙතින් දුරස්ව තිබීමද බොහෝ අභාග්‍යයන්ට පාදක වී ඇත. එහෙයින්ම රජරට මිරිදිය ධීවර ජීවිත යළි යථාවත් කරනු සඳහා හැම අත විහිද පැතිර ගිය වැඩපිළිවෙළක ඇවැසි බව අවසන මතු කළ හැකිව තිබේ.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles