වැව හදන, ගම නගන යතිවරයාණෝ


වවුනියාව, නාමල්ගම ගම්මානය තිස් වසරක යුද්ධයට මුහුණ දී අනතුරුව නැවත පදිංචි කළ ගම්මානයකි. වවුනියාවේ සිට කිලෝමීටර් විස්සක පමණ දුරකින් පිහිටා ඇති නාමල්ගම බොහෝ දුෂ්කරතා පිරුණු ගමකි. නාමල්ගම ගම්මානයේ පවුල් හාරසිය හැත්තෑවක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරයක් දරිද්‍රතාවට, ජල අර්බුදයට දරුණු වශයෙන් මුහුණ දෙයි. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ මෙලෙස පීඩා විඳින නාමල්ගම ගම්මානයට පණක් ලබාදෙමින් ගැමියාගේ ජීවිතයට සිනහවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටිති. මේ වනවිට නාමල්ගම ගම්මානය නැවත ගොඩනැංවෙමින් තිබෙන බව අපට දැකගත හැක. මේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සමග සිදුකළ සාකච්ඡාවකි. 


මම නාමල්ගම ගම්මානයට යන්නේ පහුගිය ඇඳිරිනීති සමයේදීයි. ඒ ගමේ මිනිස්සුන්ට ආහාරපාන බෙදා දීම සඳහා. ඒ ගියාම මම දැක්කා නාමල්ගම ගමේ විශාල අඩුපාඩුකම් රැසක් තිබෙනවා කියලා. නාමල්ගම ගැමියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ජල හිඟය. ඒ වගේම නාමල්ගමේ මිනිස්සු වකුගඩු රෝගවලටද අධික ලෙසින් ගොදුරු වෙනවා. ගමේ මිනිස්සු බොන්න අවශ්‍ය වතුර ලබාගන්න කිලෝමීටර් අටක් දුරට යනවා. ගමේ කුඹුරු තිබෙනවා. නමුත් කුඹුරු හැම එකක්ම පුරන් වෙලා. මොකද කුඹුරුවලට, වගාවන්ට අවශ්‍ය වතුර ගන්න තැනක් නැති නිසා. ඒ නිසා අපි නාමල්ගමට වැවක් හදන්න පටන්ගත්තා. මේ වැව අක්කර තිහක පමණ වැවක්. වැව සකස් කිරීමේදී රජයේ ඉහළ තැන්වලින් සහ මහවැලි සංවර්ධන අධිකාරියෙන් අදාළ අවසරයන් අපට ඉතා ඉක්මනින් ලබාගැනීමට හැකිවුණා. ඒ ගැන සතුටුයි. මේ වෙද්දි වැව අවසන් අදියරේ තමයි තියෙන්නේ. තව දවස් විස්සක් තිහක් ඇතුළත වැවෙන් වතුර ටික නාමල්ගම ගමට බෙදන්න පුළුවන් වනවා. 

නාමල්ගම වැව හදාගෙන යද්දි අපි දැක්කා නාමල්ගම බෝගස්වැව මහ විදුහලේ ගුරු හිඟයක් තිබෙනවා. ළමුන්ට ඉගෙනගන්න හැකියාව තිබුණත්, පාසලේ ගුරු හිඟය නිසා ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න නොහැකියි. ඒ ගැන විදුහලේ විදුහල්පතිතුමා හිටියේ විශාල කනස්සල්ලකින්. එතුමා මට කතා කරලා කිව්වා මේ ගුරු හිඟයට මොකක් හෝ විසඳුමක් ලබාදෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා. බෝගස්වැව විද්‍යාලයේ ළමුන් හාරසීයක් පමණ ඉගෙනුම ලබනවා. 

මම නාමල්ගමට ගියාට පස්සේ මගේ ජංගම දුරකථනයෙන් 4G තාක්ෂණය තිබෙනවා කියලා පෙන්නුම් කළා. මොකද යුද කාලයේදී යුද ගනුදෙනු සඳහා එම තාක්ෂණයන් මෙම ප්‍රදේශවලට ලැබී තිබෙන නිසා. මෙම 4G තාක්ෂණය උපයෝගී කරගනිමින් පාසලට රූපවාහිනී යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර දාලා මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදුකරන්න පුළුවන් නේද කියලා මම හිතුවා. ඊට පස්සේ මගේ දායක සභාවේ මහත්වරුන්ගේ මාර්ගයෙන් රූපවාහිනී යන්ත්‍ර සහ අනෙකුත් අවශ්‍ය උපකරණ පාසලට ලබාදීමට කටයුතු කළා. මේ වනවිට 6,7,8,9,10,11 යන පන්තිවලට රූපවාහිනී ලබා දීලා zoom තාක්ෂණයෙන් ඉගැන්වීම් සිදුකරනවා. ඒ වගේම විවිධ විෂයන් සඳහා මෘදුකාංග භාවිත කරමින් ඉගැන්වීම් සිදුකරනවා. මේ වසරේ සිට නාමල්ගම පාසලේ උසස් පෙළ පන්ති ආරම්භයටත් සූදානම් වෙලා තිබෙනවා.

නාමල්ගම ගමේ පවුල් හාරසිය හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මේ ගමේ මිනිස්සු දරීද්‍රතාවයට විශාල වශයෙන් මුහුණ දෙනවා. හරියට කෑමක් බීමක් නැති නිසා අවම වශයෙන් දිනකට ළමුන් පනස් දෙනෙකුවත් උදෑසන පාසලේදී කලන්තෙ හැදෙනවා. බොහෝ පවුල් දවසට කන්නේ එක වේලක් පමණයි. එක එළවළුවක් සමග බත් ටිකක් කන්නේ. බඩගින්න නිවුනට පස්සෙනේ මනුස්සයෙක්ට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. මේ නිසා අපි ළමුන්ට ආහාර වේලක් බෙදා දීමේ වැඩසටහනකුත් ආරම්භ කළා. මේ ළමුන්ගෙන් බොහෝ දෙනෙක් ජීවිතය පිළිබඳව ධනාත්මක සිතීමක් ඇති අය නොවෙයි. එයට හේතු වන්නේ ඔවුන් ජීවත් වන වටපිටාව, අත්දකින දේවල් තුළ යම් කටුක බවක් ඇති වී තිබීම. නමුත් ගම ක්‍රමයෙන් දියුණුවට පත්වෙද්දී ළමුන් තුළ ඉබේම ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති වෙනවා කියල මම හිතනවා. ගමේ මේ විදිහට දියුණුවක් ඇතිවෙන්න කලින් ළමුන් පාසලට ආවොත් ඉතා අඩුවෙන් කියලා විදුහල්පතිතුමා කියනවා. ඒත් දැන් දරුවන් ඉතා ආසාවෙන් පාසල් එනවා. 

ගම්වල දරුවෝ රටේ අනාගතයට දායක වෙන්න ඕනේ. ඔවුන් රටට ශක්තියක් වෙන්න ඕනේ. ඒත් ඔවුන්ට ගොඩනැගෙන්න ශක්තියක් ලැබෙන්නේ නැත්නම් ඔවුන්ගෙන් රටේ යහපත් අනාගතයකට ශක්තියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ගමේ ළමුන් ක්‍රීඩාවට, ඉගෙනීමට ඉතාමත් දක්ෂයි. නමුත් ඔවුන්ට පහසුකම් අවමයි. පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ඔවුන්ට ක්‍රිකට් ආම්පන්න ලබාදීම පසුගිය කාලයේදී කළා. පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එමින් ළමුන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඔවුන්ව යොමු කිරීමේ අරමුණින් මේ වනවිට පාසලට අවශ්‍ය ක්‍රීඩාපිටියක් නිර්මාණය කිරීමේ කාර්යයද ඇරඹී තිබෙනවා. දැන් එහි මූලික කටයුතු සිදුකරගෙන යනවා. ඊට අමතරව පාසලට සංගීත භාණ්ඩ පිරිනැමීමක්ද අපි කළා. 

මේ හැමදෙයක්ම කරගෙන යන්න මට තනියෙන් බැහැ. ගමක් ගොඩනංවන්න වැඩ කරනවා කියන්නේ හිතන තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඇත්තටම පළමුවෙන්ම අපි මේ ගමට ගිය වෙලාවේදී ගම්මු අපිව විශ්වාස කළේ නැහැ. අපි වැව හදමු කිව්වාමත් ගම්මු විශ්වාස කළේ නැහැ. ඒත් අපි වැව හදන්න ආරම්භ කරපු දවසේ ඉඳලා ගමේ මිනිස්සු හැමෝම අපිත් එක්ක එකතු වුණා. දැන් ගමේ මිනිස්සුන්ගේ සහයෝගය, ආශිර්වාදයත් ලැබෙනවා. නමුත් සමහර අවස්ථාවලදී යම් යම් ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. නාමල්ගම රටටම ආදර්ශමත් ගම්මානයක් ලෙස නිර්මාණය කරන්න තමයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ. 
මේ සෑම වැඩකටයුත්තක් සඳහාම මගේ දායක සභාවේ සහයෝගය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ සහයෝගය සහ ගම්මුන්ගේ සහයෝගය නොමඳව ලැබෙනවා. ඒ ගැන සතුටක් තිබෙනවා. මේ වගේ දේශපාලනඥයෝ පයවත් නොගහපු අති දුෂ්කර ගම්මාන ලංකාවේ ඕනෑ තරම් තිබෙනවා. ඒ ගම්මානවලට පුළුවන් අය ගිහිල්ලා ගමට හයියක් වෙනවා නම් ඒක හොඳයි. ඒක තමයි මම රටට දෙන ආදර්ශය. රටේ දේශපාලනඥයෝ කරනකල් බලාගෙන ඉන්නෙ නැතිව, රජය කරනකල් බලාගෙන ඉන්නෙ නැතුව අපි පුළුවන් විදිහට ගම්වලට හයියක් වෙනවා නම් ඒක ඉතා හොඳ දෙයක්. මම කරන්නේ මට කරන්න පුළුවන් දේයි. රජයත් මේ දේවල් කරනවා නම් හොඳයි.

තිත්තවැල්ලේ ආනන්දසිරි හිමියෝ නාමල්ගම ගම්මානය ගොඩනැංවීමට, එහි ජනජීවිතය සාර්ථක කිරීමට විශාල දායකත්වයක් ලබාදෙති. උන්වහන්සේගේ මෙම වැඩසටහනෙහි ඉදිරි වැඩකටයුතු සඳහා හැකි අයගෙන් උපකාර බලාපොරොත්තු වෙති. 

දුරකථන අංකය - 0914 998 789

 



Recommended Articles