වැඩවර්ජනය කරපු කිසිම දවසකට වැටුප් ගෙවන්නේ නැහැ


ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශ කිරීමත් සමගම රාජ්‍ය සේවයේ බොහෝ අංශවල වැඩවර්ජන ක්‍රියාක්මක විය. එහි උච්චතම අවස්ථාවක් ලෙස දුම්රිය සේවක වර්ජනය දැක්විය හැකිය. ඔවුන් සහ රජයේ පාර්ශ්ව අතර වරින් වර සාකච්ඡා පැවැති අතර, එහිදී දුම්රිය සේවක ගැටලු සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාර මොනවාද යන්න පිළිබඳ %අද^ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමු.


ජනතාව අපහසුතාවට පත් කරමින් තිබෙන දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය කුමක්ද?

මේ වනවිට දින 07කට වැඩි කාලයක් වර්ජනය ක්‍රියාත්මක වෙනවා. දුම්රිය සේවකයන් වර්ජනයේ නිරතවන බව ඔවුන් ලිඛිතව ප්‍රකාශ කළෙත් නැහැ, වාචිකව දැනුම් දුන්නෙත් නැහැ. වෘත්තීය සමිති සම්ප්‍රදාය අනුව වර්ජනයක් කරනවා නම් ඔවුන්ගේ ආයතනයට කලින් දැනුම්දෙන්න අවශ්‍යයි. මොවුන් එහෙම කරලා නැහැ.

දුම්රිය වෘත්තීය සමිතිවල තිබෙන මෙම ඉල්ලීම වසර ගණනක පටන් තිබෙන ඉල්ලීමක්. 2015 රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමත් සමග ඔවුන් ආර්.එම් 01 සහ ආර්.එම් 02 වැටුප් තල ඉල්ලා සිටියා. ඒ වැටුප් තලය ගැන බොහෝ සාකච්ඡා පවත්වලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ බව දැනගත් අනිකුත් රාජ්‍ය සේවකයන් එයට විරුද්ධ වුණා. මොකද මේ වැටුප් තල දුම්රිය සේවකයන්ට ලබාදුන්නොත් රාජ්‍ය සේවයේ පන්ලක්ෂ දහනවදහසකට වැටුප් විෂමතාවක් ඇති වෙනවා. මේ නිසා එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා.

පසුව නැවත ඔවුන් සාකච්ඡා කළා. එහිදී මෙයට විසඳුමක් හොයන්න සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කරන්න එහිදී තීරණයක්  දුන්නා. නමුත් එය ක්‍රියාත්මත වුණේ නැහැ. මොකද සංවෘත සේවාවක් බවට පත්කර මෙම වැටුප්තල ලබාදුන්නොත් රාජ්‍ය සේවයේ අනිකුත් පිරිස් එයට විරෝධය දක්වන නිසා එම වැටුප්තල ගැන කතා කළේ නැහැ.

කෙසේ වෙතත් දිගින් දිගටම මොවුන්ගේ වර්ජනය නිසා ජනාධිපතිතුමා රනුග්ගේ කමිටුව පත්කර රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන පරීක්ෂා කරන්න කියලා උපදෙස් දුන්නා.
මේ වැටුප් විෂමතා සියල්ලම එන්න හේතුව 6/2006 චක්‍රලේඛය නිසා. එය 2006 පැවැති ආණ්ඩුව ගත් තීරණයක්. එම චක්‍රලේඛයෙන් පසුව විශාල වැටුප් විෂමතා ඇතිවුණා. කෙසේ වෙතත් රනුග්ගේ වාර්තාව අනුව සාමාන්‍යය රුපියල් 3,000ක අවමයකටත්, රුපියල් 24,000ක උපරිමයකටත් යටත්ව වැටුප් වැඩි කිරීම සිදුකර තිබෙනවා. 

නමුත් දුම්රිය සේවයේ 01 ග්‍රේණියේ අයට පමණක් 2015දී වැටුප් වැඩි වුණා. ඒ අනුව මෙම වැටුප් ගැළපීමේදී ඔවුන්ට රුපියල් 1500ක වැටුප් වැඩිවීමක් වී තිබෙන්නේ. එසේ වුවත් ඔවුන් ආර්.එම් 01 සහ ආර්.එම් 02 වැටුප් තල ඉල්ලනවා. 

පසුව මේ පිළිබඳ පරීක්ෂා කරන්න ජනාධිපතිතුමා  පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කළා. ඒ අනුකමිටුවට මමත් ඇතුළත් කළා. ඒ වගේම මුදල් ඇමති මංගල සමරවීර, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩාර, රාවුෆ් හකීම්, අකිල විරාජ්, පාඨලී චම්පික ඇමතිවරුන් සහභාගි වුණා. මේ අනුකමිටුව සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වුවා.

 එම කමිටුවේ තීරණය වුණේ කුමක්ද? 

 එම කමිටුව අනුව ගුරු, දුම්රිය, රාජ්‍ය පරිපාලන, වෘත්තිය සමිති කැඳවා සාකච්ඡා කළා. එහිදී යම් යම් එකඟතාවන්ට පැමිණියා. 

දුම්රිය ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දි අපේ අදහස වුණේ දුම්රිය සංවෘත සේවාවක් නොකර මෙයට විසඳුම් දෙන්න බැහැ කියන කාරණය.  මහා භාණ්ඩාගාරය ඇතුළු සියලු දෙනා එයට එකඟ වුණා. විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරය එතැනදි කිව්වේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදුන්නොත් තවත් වැටුප් විෂමතා බොහොමයක් ඇති වෙනවා කියලා.

මේ නිසා දුම්රිය සංවෘත සේවාවක් බවට පත් කරන්නත්, ඒ තුළ වෙනම වැටුප් ව්‍යුහ සකස් කරන්නත් තීරණය කර ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන්න තීරණය වුණා. වෘත්තීය සමිති එයට එකඟ වුණා. ඒ අනුව එම තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පසුව වර්ජනය අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. ඒ නිසාම පසුගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට මේ කාරණය ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය එය අනුමත කළා. මෙම කරුණු දුම්රිය වෘත්තීය සමිතිවලට දැනුම්දුන් විට එය පිළිගන්න බැහැ කියලා ඔවුන් තවදුරටත් වර්ජනයේ නිරත වී සිටිනවා.

ඉන්පසුව අමාත්‍යාංශ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරී සහ වෘත්තීය සමිති නායකයන් ගෙන්වා සාකච්ඡා කළා. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ආර්.එම් 01 සහ ආර්.එම් 02 වැටුප් තලයම ලබාදෙන්න කියලා. එය කොහොමත්ම කරන්න බැහැ. එතැනදි මම කිව්වා තවදුරටත් වර්ජනයේ යෙදෙනවා නම් රජයක් විදිහට අපි ක්‍රියාමාර්ග ගන්නවා කියලා.

මේ වනවිට වැඩවර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයන් මාසිකව ලබන අවම වැටුප් ගැන සඳහන් කරන්න පුළුවන්ද?

දුම්රිය රියදුරෙක් රුපියල් ලක්ෂ 03කට වඩා වැටුප් හා දීමනා අතිකාල මුදල් ගන්නවා. දුම්රිය නියාමකවරයෙක් රුපියල් දෙලක්ෂ පනස්දහසකට වඩා වැටුප් හා දීමනා අතිකාල ගන්නවා. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් රුපියල් ලක්ෂ දෙකකට වඩා වැටුප්, දීමනා සහ අතිකාල ගන්නවා. එහෙම වැටුප් ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 700ක අලාභයක් දරන ගමන්. 
ඒ වගේම මේ වසර 05 තුළ දුම්රිය සඳහා රුපියල් කෝටි 50,000ක් රජය ආයෝජනය කර තිබෙනවා. ඉන්දියාවෙන් දුම්රිය බලවේග කට්ටල 06ක් ගෙනත් තිබෙනවා, චීනයෙන් බලවේග කට්ටල 09ක් ඇණවුම් කර තිබෙනවා. එක් බලවේග කට්ටලයක් ලැබී තිබෙනවා. ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් දුම්රිය එන්ජින් 20ක් ගෙනැවිත් තිබෙනවා. මැදිරි 16ක් ඉන්දියාවෙන් ගේන්න තිබෙනවා. තෙල් ටැංකි 30ක් ගේනවා. මේ ආදී විශාල ප්‍රමාණයේ ආයෝජන සිදුකර තිබෙනවා.

ඒ අතර දුම්රිය මාර්ග නඩත්තු කිරීම් බොහොමයක් සිදු කරනවා. කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මගින් කැළණිවැලි දුම්රිය මාර්ගය සඳහා රුපියල් කෝටි 35,000ක ව්‍යාපෘතියක් සිදු කරනවා. ඒ තුළින් කැළණිවැලි දුම්රිය මාර්ගය මරදානේ සිට මාකුඹුර දක්වා කණු මතින් නව මාර්ගයක් ලෙස ඉදිවෙනවා.

විදුලි දුම්රිය ව්‍යාපෘතිය පානදුරේ සිට වේයන්ගොඩ දක්වා ක්‍රියාත්මක කරන්න වැඩ අරම්භ කර තිබෙනවා. මරදානේ සිට රාගම දක්වා තවත් මාර්ගයක් ඉදිකිරීමත්, රාගම සිට වේයන්ගොඩ දක්වා තවත් මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිත් සිදු කරනවා. කුරුණෑගල - පොල්ගහවෙල, මහව - ඕමන්තේ දුම්රිය මාර්ග නවීකරණය කරනවා. ඒ වගේ විශාල වැඩ ප්‍රමාණයක් සිදු කරනවා.

එහෙම තිබෙද්දි ජනතාවගේ බදු මුදලින් යැපෙමින් තමන්ගේ අඹු දරුවන් පෝෂණය කරමින් තමන් ජීවත්වෙන ආයතනය පාඩු ලබන අවස්ථාවක මෙවැනි වර්ජන කිරීම සාධාරණද කියලා මම ජනතාවගෙනුත් දුම්රිය සේවකයන්ගෙනුත් අහනවා. ඒ නිසා මෙය ඉතාම අසාධාරණ වැඩවර්ජනයක්. රජය මෙයට කෙසේ හෝ මුහුණදෙනවා. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න අපි තීරණය කළා. ජනතාවට සිදුවුණ අපහසුතාව ගැන මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඊයේ (02දා) දුම්රිය 12ක් ධාවනය කළා.

මීට පෙර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කළා නේද?

 හදිසි නීතිය යටතෙයි එය සිදු කළේ. දැන් හදිසි නීතිය ඉවත් කර තිබෙන්නේ. මේ නිසා නැවත දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට අවශ්‍ය ලිපි සකස් කරලා, ජනාධිපති ලේකම්වරයාට යවන්න කියලා මම උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා ඒවාට අත්සන් කළ පසු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වෙනවා. අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළ පසු මොවුන්ගේ සේවය ගැන ඉතිරි කටයුතු ටික කරන්නම්.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුණත් මේ වනවිට දුම්රිය කිහිපයක් ධාවනය කෙ‍රෙනවා. මේ වනවිට සේවකයන් කී දෙනෙක් සේවයට වාර්තා කර තිබෙනවාද?

දුම්රිය රියදුරන් කිහිපදෙනෙක් මට කතා කළා. දුම්රිය ධාවනය කරන්න රියදුරන් එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙද්දි ඔවුන්ට බලපෑම් කරලා තිබෙනවා, තර්ජනය කරලා තිබෙනවා. මේ ගැන අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

එක දවසක් වැඩවර්ජනය කළොත් රියදුරන්ට රුපියල්  6,000 – 8,000 අතර මුදලක අතිකාල අහිමි වෙනවා. රුපියල් 6,000 බැගින් බැලුවත් දවස් 07ට රුපියල් 42,000ක් ඔවුන්ට අහිමි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් වැඩවර්ජනය කළේ ඔවුන්ගේ වැටුප අරගෙන. ඒක කොතරම් අසාධාරණද? ඔවුන් තවමත් නිල නිවාසවල රැඳිලා ඉන්නවා. එහෙම ඉන්නත් බැහැ. නොදන්වා සේවයට වාර්තා නොකර ඉන්නත් බැහැ. නොදන්වා සේවයට පැමිණ නොසිටීම නිසා සේවය අත්හැර ගියා සේ සලකන්න පුළුවන්. අපි ඒ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

ඒ වගේම කොන්ත්‍රාත් පදනම මත රියදුරන් 30ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් 05යි සේවයට වාර්තා කර තිබෙන්නේ. නොපැමිණි සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කරන්න ලිපි සකස් කරන්න කියලා මම උපදෙස් දුන්නා.  තවදුරටත් මෙම වැඩවර්ජනය දිගින් දිගටම යනවා නම් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරලා අවශ්‍ය පියවර ගන්නවා. එයට අපි පසුබට වෙන්නේ නැහැ.

 පසුගිය වැඩවර්ජනයක් සිදු වූ අවස්ථාවේදී ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවා තිබුණා. මෙම වැඩවර්ජනයේ නිරත වන පිරිසටත් දුම්රිය දෙපාර්තමේන්තුව එහෙම කරනවාද?

වැඩ වර්ජනය කරපු කිසිම දවසකට වැටුප් ගෙවන්නේ නැහැ. අතිකාල ගෙවන්නේ නැහැ. එය අපි තරයේම කියා සිටිනවා. වැඩවර්ජනයට එක්වුණ කිසිවෙකුට ඒ දිනවල කිසිම වැටුපක්, දීමනාවක් අතිකාල ගෙවීමක් කරන්නේ නැහැ.

මේ මාසයේ පළමු සතියයි දැන් ගෙවෙන්නේ. සාමාන්‍යයෙන් දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කරන්නේ පළමු සතියේ. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ කුමක්ද?

 මේ කාලසීමාවේදී වාර ප්‍රවේශ පත්‍ර ගන්න බැරිවෙලා තිබෙනවා. නැවත එම වාර ප්‍රවේශපත්‍ර ලබාදෙනවා නම් එහි සම්පූර්ණ මුදල ගන්නේ නැතිව යම් කොටසක් ගන්න වැඩපිළිවෙළක් හදන්න ඕන. වැඩවර්ජනය අවසන් කළ දින සිට වාර ප්‍රවේශපත්‍රවල මිල අඩු කරලා දෙන්න අපි කටයුතු කරනවා. ජනතාවගේ අවශ්‍යතාව එය නම් එය අපි ඉටු කරනවා.

දුම්රිය රියදුරන් ලෙස ආරක්ෂක අංශ පුහුණු කිරීමට සාකච්ඡා කළා. එය සිදුවුණේ නැද්ද?

ආරක්ෂක අංශවල කිහිපදෙනක් පුහුණු කිරීමට සාකච්ඡා කළා. නමුත් තවමත් එය සිදුවෙලා නැහැ. ඒ දේ ඉටුකරන්න බලාපෙරොත්තු වෙනවා. කොහොම වුණත් දුම්රිය යථා තත්ත්වයට ගන්න අපි ඉදිරිපත් කරන හැම විසඳුමකටම මේ අය විරුද්ධ වෙනවා නම් අපි මොකද කරන්නේ? මේකත් හරියට ඊයේ පෙරේදා තිබුණ ආබාධිත රණවිරුන්ගේ ප්‍රශ්නය වගේ. ඔවුන් කිව්වා ඔවුන් විශ්‍රාම යනතෙක් වැටුප දෙන්න, විශ්‍රාම ගිය පසුවත් සම්පූර්ණම වැටුප දෙන්න කියලා. ඒකට කැමති වුණා. ඊටපස්සේ කිව්වෙ මොකක්ද? මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට විශ්‍රාම වැටුපට අමතරව මියයන තෙක්  වැටුප දෙන්න කිව්වා. ඒකත් කළාට පසු මොවුන් කිව්වොත් බිරිඳට පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන්ටත් මියයනතුරු රණවිරුවාගේ වැටුප දෙන්න කියලා, අපි මොකද කරන්නේ?

මේ ප්‍රශ්නය කතා කරන්න සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතැනට ගියා. ඒක අවසන් කරන්න කතා කරද්දි එක්කෙනෙක් ඇවිත් අපට කියනවා මහින්ද, ගෝඨාභය එනකම් මේක නතර කරන්න එපා කිව්වා කියලා. එතැනින්ම තේරෙනවා මේවා දේශපාලන ව්‍යාපෘති කියලා. ඒ වගේ මේ වර්ජන සියල්ලම දේශපාලන වර්ජන.  විපක්ෂයට අහිමි වුණ බලය ගන්න ඔවුන් ජනතාවට ආණ්ඩුව එපා කරවනවා.



Recommended Articles