මේ දිනවල වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගියදා නිවේදනය කළ අතර, ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද දැනුවත් කෙරිණ. එබැවින් වායුගෝලයේ දූවිලි අංශු සහ එහි බලපෑම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
වායුගෝලයේ දූවිලි අංශු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්?
වායුගෝලයේ නොයෙකුත් අංශු තිබෙනවා. වායු අංශු, දූවිලි අංශු, ජලවාෂ්ප අංශු ආදී නොයෙක් ආකාරයේ අංශු තිබෙනවා. මේවා අතරින් වායු දූෂක ලෙස හඳුනාගෙන තිබෙන්නේ දූවිලි අංශු, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඕසෝන් වගේ අංශු. මෙම අංශුවලින් මිනිසාගේ සෞඛ්‍යයට සහ පරිසරයට තිබෙන බලපෑම වැඩියි. මෙම ද්‍රව්‍යයන්ට අමතරව කාබනික රසායනික සංයෝග ආදිය තිබෙන්නත් පුළුවන්. ඒවායේ බලපෑමත් අහිතකරයි.
මෙම අංශු අතරින් දූවිලි අංශුව සමග තවත් කුමන සංඝටක තිබෙනවාද කියා අපි නොදන්න නිසා දූවිලි අංශු ශරීරයට බොහොම අහිතකර වෙන්න පුළුවන්.
දූවිලි අංශු ඇතිවෙන්නේ කොහොමද?
දූවිලි අංශු ආකාර කිහිපයකට ඇතිවෙන්න පුළුවන්. පොළොවෙන් නිකුත් වන දූවිලි අංශු තිබෙනවා, ඉන්ධන දහනයෙන් නිකුත් වෙන දූවිලි අංශු තිබෙනවා. දූවිලි අංශු සමග තවත් බොහෝ දේ එකට තිබෙනවා. මේ නිසා දූවිලි අංශු ශරීරයට බොහොම අහිතකරයි. සාමාන්‍යයෙන් දූවිලි අංශුවල ප්‍රමාණය අනුව වර්ග තුනකට කොටස් කර තිබෙනවා. ප්‍රමාණයෙන් ඉතාම කුඩා දූවිලි අංශුවලින් ශරීරයට කරන බලපෑම වැඩියි. සාමාන්‍ය වායුගෝලයේ රැදෙන වායු දූෂක දූවිලි අංශු (විෂ්කම්භව මයික්‍රො මීටර් 100ට අඩු අංශු) වගේම ඊටත් වඩා කුඩා අංශු (මයික්‍රො මීටර් 10ට වඩා අඩු අංශු) තමයි අපේ සෞඛ්‍යයට බලපාන්නේ. මිනිසුන් ශ්වසනය කරනවිට ශරීරගත වෙන්නේ මේ අංශු.
මෙම දූවිලි අංශු පෙණහලු තුළට ගිහින් විවිධ රෝග ඇතිකරන්න බලපානවා. අැතැම් කුඩා දූවිලි අංශු ලේ වලට එකතු වීමේ අවස්ථාව තිබෙනවා. එවිට ශරීරයේ විවිධ තැන්වලට ගොස් ඒවා තැන්පත් වෙන්න බලනවා. මේ නිසා ශ්වසන ආබාධවලට අමතරව හෘද රෝග, පිළිකා වැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
මීට අමතරව දූවිලි අංශු නිර්මාණය වන වෙනත් අවස්ථා තිබෙනවාද?
රථවාහනවල ඉන්ධන දහනය කිරීම නිසා පිටවන දුමෙන්, නිවෙස්වල සිදුකරන විවිධ දහනයන් නිසා, විදුලි බලාගාර ඇතුළු කර්මාන්තශාලාවල සිදුකරන දහනයන් නිසා විවිධ ප්‍රමාණයෙක් දූවිලි අංශු නිපදවෙනවා. මෙම දූවිලි අංශුවල තවත් විවිධ අංශු තිබෙන්නට පුළුවන්. ඒ නිසා බලපෑම වැඩියි. ඊට අමතරව ගොඩනැගිලි හදනකොට වගේම පොළොවේ තිබෙන දූවිලි අංශු වාතයට එකතු වෙනවා. නමුත් පොළොවේ තිබෙන දූවිලි අංශු සහ ගොඩනැලි හදනවිට එකතු වෙන දූවිලි අංශු තරමක් විශාලයි. ඉන්ධන දහනයෙන් නිකුත් වෙන්නේ ඉතාම කුඩා දූවිලි අංශු. ඒවා තමයි බලපෑම වැඩි. කාලගුණ තත්ත්වයන් සමග වායුගෝලයේ තිබෙන දූවිලි අංශු ප්‍රමාණය වෙනස් වෙනවා.
ලංකාව තුළ දූවිලි අංශු ප්‍රමාණය මැනීම් කටයුතු සිදුකරන ආකාරය ගැන පැහැදිලි කළොත්?
ලංකාව තුළ වායුගෝලයේ දූවිලි අංශු මැනීම ආරම්භ කළේ 1990 වගේ කාලයේ සිට. එතැන් සිට මේ දක්වා ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශවල වායු දූෂණය වෙලා තිබෙනවා කියා හඳුනාගෙන තිබෙනවා. එයට ප්‍රධාන හේතුව රථවාහන වලින් පිටවන දුම. වායුගෝලයේ දූවිලි අංශුවලින් 60෴ක්ම රථවාහනවලින් පිටවන දුම නිසා එකතුවන දූවිලි අංශු. ඉතිරිය කර්මාන්තශාලාවලින්, විදුලි බලාගාරවලින් පිටවන දුම් හා අනිකුත් කටයුතු නිසා පිටවන දූවිලි අංශු.
වායුගෝලයේ දූවිලි අංශු මැනීම් කටයුතුවලට අනුව 1997 සිට 2012 වනතුරු අපේ රටේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමණය දිගින් දිගටම වැඩි වේගෙන ගියා. මේ නිසා මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශ සමග එකතුව මේ තත්ත්වය අඩුකර ගැනීමට අපි උත්සාහ කළා.
රථවාහන දුම් පරීක්ෂාව, අැතැම් ත්‍රිරෝද රථ තහනම් කිරීම, ඉන්ධනවල තත්ත්වය වෙනස් කිරීම, ඉන්ධවලින් ඊයම් සල්ෆර් ආදිය ඉවත් කිරීම, මාර්ග දෙපස අවිධිමත් ඉදිකිරීම් ඉවත් කිරීම ආදී කටයුතු කළා.
එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද?
මේ නිසා 2012 සිට 2014 දක්වා වන විට පෙර පැවැති තත්ත්වයට සාපේක්ෂව වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 40෴කින් පමණ අඩු වුණා.
2014න් පසුව ක්‍රමයෙන් වායුගෝලයේ දූවිලි අංශු වැඩි වෙන්න පටන් ගත්තා. ලංකාවේ රථවාහන වැඩි වීම එයට හේතුව ලෙස අපි හඳුනාගෙන තිබෙනවා.
ඊසාන දිග මෝසම් කාලය තුළදී මේ ආකාරයට වායුගෝලයේ දූවිලි අංශු සාපේක්ෂව වැඩි වෙනවා. නිරිත දිග මෝසම් කාලයේදී වායුගෝලයේ දූවිලි අංශුවලට සාපේක්ෂව ගතහොත් ඊට වඩා තුන් ගුණයකින් පමණ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා තිබෙන ඊසාන දිග මෝසම් කාලයේ වැඩි වෙනවා. මේ වැඩි වීම තවදුරටත් ඉහළ යන බව පසුගිය කාලයේ ලබාගත් දත්ත අනුව අපට පෙනී ගියා. පසුගිය නොවැම්බරයේ සිට මේ මාසය දක්වාම වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සාපේක්ෂව වැඩි වී තිබෙනවා.
ලංකාවේ මේ තත්ත්වය ලෝකය සමග සසඳා බලනවාද?
ලෝකයේම වායු අංශු පැතිරීම සටහන් කරනවා. ඒ සටහන් අධ්‍යයනය කරද්දී පෙනී යන්නේ මේ කාලය තුළ සමකය ආශ්‍රිත රටවලට සාපේක්ෂව දූවිලි අංශු වැඩිවෙලා තිබෙනවා. මේ ආකාරයට එම රටවල දූවිලි අංශු වැඩි උනාම ඒ පැතිවල සිට හමන සුළඟින් අපේ රටට ඒමේ අවස්ථාව තිබෙනවා. පසුගිය වසර හා සසඳා බලන විට මේ වසරේ මෙම කාලය තුළ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මේ අවුරුද්දේ මාස දෙකක් පුරාවට දිගින් දිගම එම තත්ත්වය තිබෙනවා.
වායුගෝලයේ දූවිලි අංශු තිබෙන ප්‍රමාණය අනුව ශරීරයට බලපෑම් අතිකරන්නේ කෙසේද?
වායුගෝලයේ දූවිලි අංශු පවතින ප්‍රමාණය අනුව ශරීරයට බලපෑම් කරන්නේ කුමන අයුරින්ද යන්න පැහැදිලිව තේරුම් ගැනීමට වායු ගුණ සංගුණකය නමින් දර්ශකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වායු ගුණ සංගුණකය 0 – 50 අතර ප්‍රමාණය හොඳ වායුගෝල තත්ත්වයක් ලෙසත්, 50-100 අතර මධ්‍යස්ථ වායු ගුණ තත්ත්වයක් ලෙසත් හඳුන්වනවා.
100-150ත් අතර තත්ත්වය සංවේදී පුද්ගලයන්ට අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත්, 150-200 අතර තත්ත්වය අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත්, 200 වැඩි තත්ත්වය ප්‍රබල ලෙස අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත් හඳුන්වනවා.
මේ ආකාරයට මෙම වායු සංගුණකය වැඩි වනවිට බොහෝ පිරිසකට ශ්වසන ආබාධ ඇතිවිය හැකියි.
ලංකාවේ තත්ත්වය ගැන කතා කරනවා නම් මේ කාලසීමාව තුළ 100- 150 වායු ගුණ තත්ත්වයේ තිබෙන්නේ. ඇතැම් අවස්ථාවල එම අගය 200ට වඩා වැඩි වූ අවස්ථාත් තිබෙනවා. නමුත් එය සිදුවී තිබෙන්නේ විටින් විට. මේ කාලය තුළ ශ්වසන ආබාධ තිබෙන අයට ඒ තත්ත්වය වැඩිවෙලා වගේම ශ්වසන ආබාධ නැති අයත් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා.
ලංකාවේ ප්‍රදේශ අතර වැඩි වශයෙන් දූවිලි අංශු තිබෙන ප්‍රදේශ මොනවාද?
ඊසාන දිග මෝසම සමග වායුගෝලයේ දූවිලි අංශු වැඩි වෙනවා. නමුත් මෙවර එය ඊටත් වඩා වැඩිවෙලා තිබෙනවා. ලංකාවේ කොළඹ ප්‍රදේශයේ තමයි වැඩිම දූවිලි අංශු ප්‍රමණයක් තිබෙන්නේ.
2019 නොවැම්බර් මාසයේ උතුරු දෙසින් සුළං හමා ආවා. ඒ සමග පැමිණි දූවිලි අංශු ලංකාව පුරාම පැතිරුණා. ඒත් එක්කම කොළඹ තවත් වැඩි වුණා. අනිකුත් හොඳට තිබුණ ප්‍රදේශවලත් දූවිලි අංශු ප්‍රමාණය වැඩි වුණා.
කොළඹ, මහනුවර, කුරුණෑගල නගර 03 තුළ වායුගෝලයේ දූවිලි අංශු වැඩියි. මේ නගර 03 තුළ රථවාහන ප්‍රමාණය වැඩි නිසා අධික දුමක් පිටවෙනවා. කොළඹ විශාල ප්‍රදේශයක මේ තත්ත්වය තිබෙනවා. මහනුවර සහ කුරුණෑගල නගර සීමාව තුළ පමණයි මේ තත්ත්වය තිබෙන්නේ. ඊට අමතරව බදුල්ලේ යම් ප්‍රමාණයකට වැඩියි.
මාර්තු මාසය සහ ඉන් ඉදිරියට මේ තත්ත්වය කෙසේ වේවිද?
ඊසාන දිග මෝසම් කාලය ඉවර වෙනවාත් සමග විවිධ පැතිවලින් සුළං එන්නට පුළුවන්. ඒ අනුව මේ තත්ත්වය ටික ටික අඩු වේවි. පෙබරවාරි මාසය අවසන් වනවිට ක්‍රමයෙන් එය සමනය වෙමින් තිබෙනවා. ඉදිරියේදී වායුගෝල තත්ත්වය සාමාන්‍ය අතට හැරේවි කියලා හිතනවා. වැස්ස ලැබුණොත් අහිතකර බලපෑම් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යාවි. මොකද වැස්ස ලැබුණොත් දූවිලි අංශු අඩු වෙනවා. උෂ්ණ අධික කාලගුණයක් පැවතීම වායු දූෂක අංශු පැතිරෙන්න හොඳ තත්ත්වයක් වෙනවා.
මේ තත්ත්වය අඩුකර ගැනීමට මිනිසුන් කටයුතු කළ යුත්තේ කෙසේද?
ආයතනයක් ලෙස ඒ සඳහා අපි වෙනම වැඩසටහනක් හදන්න බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් අපෙන් වායුගෝලයට එකතුවෙන දූවිලි අංශු ප්‍රමාණය අඩු කළ යුතුයි. විදුලි බලාගාර අඩුවෙන් භාවිත කරලා රථවාහන භාවිතය පුළුවන් තරම් අඩු කළ යුතුයි. චීනයේ, ඉන්දියාවේ ඇතැම් නගරවල වායු දූෂණය ඉහළ ගිය අවස්ථාවල රථවාහන ඇතුළුවීම සීමා කළා. මේ ආකාරයේ සැලසුම් ගැන අපි අවධානය යොමු කළ යුතුයි. රථවාහන හැසිරවීමෙන් මෙම බලපෑම විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කසළවලට ගිනිතැබීම්, ගොවි බිම් ගිනිතැබීම් මේ කාලයේදී නොකළ යුතුයි.
මේ තත්ත්වය අඩුකර ගැනීමට රථවාහන සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. රථවාහන තදබදය අඩුකර ගැනීමට සැලසුම් ඉදිරිපත් කරන්න කියලා අපි කියල තියෙනවා. ඉන්දියාවේ චීනයේ ඇතිවුණ තත්ත්වයක් අපේ රටේ ඇතිවෙයි කියලා කියන්න බැහැ. නමුත් අපේ කර්මාන්තවලින්, රථවාහනවලින්, බලාගාරවලින් පිටවන වායු දූෂක අඩු කරගත යුතුව තිබෙනවා. අපි අපේ මට්ටම පවත්වාගෙන යා යුතු වෙනවා. මොකද වායුගෝලයට දූවිලි අංශු එකතු උනොත් ඒවා කොහෙන්ද එන්නේ කියන එකවත්, ඒවා එන එක වළක්වන්නවත් බැහැ.
ඒ වගේම අපේ වනාන්තර පද්ධතිය වැඩි කරගන්න පුළුවන් නම් හැම අතින්ම හොඳයි. මොකද එය වයුගෝලයේ දූවිලි අංශු අඩු කරගන්න පමණක් නෙවෙයි, හැමදේකටම හොඳයි. අපිට පහසුවෙන් ඉන්න කියලා අපි පරිසරය විනාශ කරනවා නම් අපිට පහසුවෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. අපිට වගේම අනාගතයටත් පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්නේ ගස්වැල් ආරක්ෂා කරමින් පරිසරය ආරක්ෂා කළොත් පමණයි. අපි වගේ සමාජයකට ඒක එතරම්ම ලේසි නැහැ. නමුත් එය හොඳින් කරන රටවල් තිබෙනවා.