ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොවන පාලනයකට නම්


මේ ගෙවෙමින් පවතින්නේ ජනාධිපතිවරණ උණුසුම පවතින සමයකි. මේ සමය තුළ විවිධ පොරොන්දු, වැඩපිළිවෙළවල් දේශපාලන වේදිකා තුළ වචනයෙන් උත්කර්ෂයට නැගෙයි. මේ තුළ බොහෝ විට මාධ්‍ය තුළින් අනාවරණය කරන්නේද, වැඩි කතාබහක් ඇති වන්නේද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳවය. නමුත් මෙවර ජනාධිපති අපෙක්ෂකයෝ 35 දෙනෙකි. මේ සෙසු අපේක්ෂකයන්ගේ ගමන්මග හා ඔවුන් ජයග්‍රහණය ලබන්නේ නම් ව්‍යවස්ථාව අනුව ඔවුන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න ගැන  යම් සටහනකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ධුර කාලය මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි අනුව්‍යවස්ථාවේ සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ යන වගන්තියට අනුව, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 02 වැනි වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල  අනුව අංක 2141/25 සහ 2019 සැප්තැම්බර් මස 18 වැනිදා ප්‍රසිද්ධියට පත්කරන ලද රජයේ විශේෂ ගැසට් පත්‍රය මගින් 2019 ඔක්තෝබර් මස 07 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා නාමයෝජනා කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මේ අනුව පිළිගත් දේශපාලන පක්ෂ විසින් යෝජනා කරන ලද අපේක්ෂකයන් 19 දෙනෙකුද, වෙනත් දේශපාලන පක්ෂවලින් යෝජනා කරන ලද අපේක්ෂකයන් තිදෙනෙකුද, ඡන්ද හිමියන් විසින් යෝජනා කරනු ලබන අපේක්ෂකයන් 19 දෙනෙකුද වශයෙන් අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීම සිදු විය.

එම අපේක්ෂකයන් අතරින් 35 දෙනෙකු නාමයෝජනා භාරදීම සිදුකළ අතර, එය මැතිවරණ කොමිසම පිළිගත්තේය. මේ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත් වෙති.

ඇතැම් අවස්ථාවලදී මැතිවරණ කොමිසම අනවශ්‍ය ලෙස ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් වීම වැළැක්විය යුතුය යන ස්ථාවරය තුළ කටයුතු කළේය. නමුත් මෙවරද යම් යම් නීති හා වෙනත් කාරණා  මුල්කරගනිමින් මැතිවරණ කොමිසමේ මේ උත්සාහය අසාර්ථකව තිබෙයි. මෙලෙස ජනාධිපති අපේක්ෂකත්වයෙන් මෙතරම් පිරිසක් ඉදිරිපත් වීම දියුණු රටවල දක්නට නොලැබෙන්නා වූ  තත්ත්වයකි.  ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැනි රටවල ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළ අපට එය තහවුරු කරගත හැකිය. එක් අතකින් මේ තත්ත්වය තුළ මැතිවරණය සඳහා  වියදම් කළ යුතු මුදල විශාලය. මේ ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 700කට වඩා වියදම් වන බව මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිඛිතව දන්වා තිබෙයි.
මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂවලින් සේම විකල්ප කණ්ඩායම් නියෝජනය කරමින්ද පිරිස් මෙවර ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත්ව සිටිති. 

යම් ලෙසකින් විකල්ප අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා බවට පත්වන්නේ යැයි අප සිතමු. ඒ ගැන අවධානය යොමු කිරීමේදී අපට පෙනෙන්නා වූ විශේෂ කාරණා කිහිපයකි. රටේ ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා 50෴කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකක් පැහැදිලිව දැකගත හැකිය. ඔවුන්ට මෙම 50% සීමාව අබිබවා යා හැකි වැඩි අවස්ථාවක් පවතියි. අනෙකුත් විකල්ප බලවේගවලට 50෴ සීමාව අබිබවා යා හැකිද යන්න ගැටලුව බවට පත්වෙයි. බොහෝ විට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර දෙස බැලීමේදීද පෙනෙන්නට ඇත්තේ දියාරු ස්වභාවයකි. මෙලෙස  50෴ සීමාව අබිබවා යෑමට පැහැදිලි ඉලක්කයක් නොමැති වූ විට මේ පාර්ශ්වයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පරමාර්ථය කුමක්ද? ඡන්දදායකයන් ලෙස අවධානය යොමුකළ යුතු කාරණයකි. ඇතැම් අවස්ථාවලදී  උපක්‍රමශීලී හේතු මත මෙවැනි විකල්ප අපේක්ෂකයන් බිහිවීමේ ප්‍රවණතාවක් අතීතයේ සිටම පැවතුණි. එය ප්‍රධාන පක්ෂවල මැතිවරණ ව්‍යාපාරය තුළ තවත් එක් ක්‍රියාදාමයකි. අනෙක් අතට මෙහි පවතින්නා වූ  නෛතික පසුබිම ගැන යම් අවධානයක් යොමු කළහොත්, යම් ලෙසකින් විකල්ප අපේක්ෂකයෙකු (පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකෙන් හැර) ජනාධිපතිවරයා බවට පත් වුවහොත් කුමන වාතාවරණයක් ඇති විය හැකිද යන්නද අපට යම් මට්ටමකට සාකච්ජාවට බඳුන් කළ හැකිය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ පැවතියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එම අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මහතාට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ජනාධිපති වීමට හැකි විය. ඉන් පසු ඔහුගේ විධායක ජනාධිපති ධුරයේ කාර්ය හා කර්තව්‍යයන් ඉදිරියට ගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය  හා අනෙකුත් සුළු පක්ෂවලත්, විශේෂයෙන්ම එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේද සහාය ලැබිණි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකය හා විධායකය අතර යම්කිසි ආකාරයක බල තුලනයක් පවත්වාගෙන යාම සඳහා හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් පාක්ෂික පදනමක් නිර්මාණය කරගත් නිසාය. නමුත් යහපාලන ආණ්ඩුවේ අවසන් කාලවකවානුව වනවිට විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බරපතළ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති විය. 2018 ඔක්තෝබර් මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්  අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත් කළේය. බල අර්බුදය මේ ආකාරයෙන් පැවතුණත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තමාගේ බලය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට හැකියාව ලැබු‌ණේ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබූ සහයෝගය නිසාය. 2018 දෙසැම්බර් මාසයේදී ඇති වූ අර්බුදයත් සමගින්, දින 52 ආණ්ඩුවේ අර්බුද අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමගින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 19 වැනි සං‌ශෝධනයට අනුව ජනාධිපතිවරයාට පෙර පැවැති විධායක බලතල යම් යම් සීමා කිරීම්වලට ලක්ව ඇති බවට විවරණය කෙරිණි. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පත්කිරීම වැනි කරුණුවලදී ජනාධිපතිවරයාගේ බලතල සීමා විය. මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපති බවට පත්ව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බල තුලනය පවත්වාගෙන යෑමට  එක්සත් ජාතික පක්ෂයේද, ඔහු මහලේකම් ධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහයෝගය ඔහුට ලැබිණි. මෙවර ජනාධිපතිවරණයේදී  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන බලවේග දෙකක් ලෙසින් මැතිවරණයට ඉදිරිපත් වෙති. 
ගෝඨාභය රාජපක්ෂ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාගෙන් කෙනෙකු ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔවුන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගැනීමේ පසුබිමක් පවතියි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටීමකින් තොරව පාලනය ගෙන යෑමේ හැකියාවක් පවතියි. සජිත් ප්‍රේමදාස මහතාටද එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටීමකින් තොරව පවත්වාගෙන යා හැකිය. නමුත් විකල්ප අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා බවට පත්වුවහොත් එවැනි පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බව පෙනෙන්නට තිබෙයි. විධායක ජනාධිපතිවරයා ලෙසින් තමන්ගේ වැය ශීර්ෂය හෝ සම්මත කරගැනීමට ඔහුට දුෂ්කර වෙයි. ඔහුට මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සහයෝගය නොමැති වුව‌හොත් ඇති වන්නේ ගැටලුකාරී තත්ත්වයකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හා වර්තමාන පාර්ලිමේන්තුව අතර ඇති වූ ඝට්ටනය අපට මතකය. එමගින් රටට එල්ල වූයේද සැලකිය යුතු බලපෑමකි. රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකයට එය ඍජු බලපෑමක් එල්ල කළේය. යම් ලෙසකින් විකල්ප අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා බවට පත් වුවහොත්, ඔහුට විධායක ජනාධිපතිවරයෙකු ලෙස තමන්ගේ පාලන ක්‍රියාදාමය සිදු කරගෙන යෑම ගැටලුකාරී වෙයි. සමස්ත ඡන්දයෙන් 50%ක සීමාව පසුකර යෑම ඔවුන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එලෙස ලබාගත හැකිවුවද ජනාධිපතිවරයා ලෙස වසර 05ක ධුර කාලයක් පාර්ලිමේන්තුවේ හා ව්‍යවස්ථාදායකයේ  සහයෝගය ලබාගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙයි. මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ අපේක්ෂකයන් දෙදෙනාට යම් මට්ටමකින් මේ තත්ත්වය සාර්ථකව කරගෙන යෑමේ පසුබිමක් නිර්මාණයව තිබෙයි.

අපේක්ෂකයන් 35 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම එතරම් සුබදායක ලෙස ගත නොහැක. මේ නිසා මැතිවරණ කොමිසමද යම් අර්බුදයකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබෙයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ සිටම පවතින්නේ  එවැනි තත්ත්වයකි. ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරමින් සිටින විටෙක විකල්ප අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඡන්දයට යොමුවීම යම් මට්ටමකින් සීමා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ක්‍රමවේදයක් සැකසිය යුතුව ඇත. මෙලෙස යොමුවන්නා වූ අපේක්ෂකයන්ගේ අරමුණ ජයග්‍රහණයට වඩා ඡන්ද කැඩීමය. ප්‍රධාන අපේක්ෂකයෙකුගේ ඡන්ද පදනමට යම් මට්ටමකින් හෝ බලපෑමක් එල්ල කිරීමය. එසේත් නැත්තම් යම් යම් රටවල පුරවැසිභාවය ලබාගැනීම, දේශපාලන රැකවරණ ලබාගැනීම, විවිධ වරප්‍රසාද ලබාගැනීම වැනි දේවල් ලබාගැනීමය. මේ නිසාම අවබෝධයෙන් යුතුව ඔබ තීරණය ගැනීම වැදගත්ය.

මැතිවරණයකදී ඔබ භාවිත කරන්නේ නිකම්ම නිකම් කතිරයක් නොවේ. රටක අනාගතය ගමන් කළ යුතු දිශානතිය තීරණය කිරීමට ඔබ ලබාදෙන්නා වූ දායකත්වයකි. ඔබ රට වෙනුවෙන් ගන්නා වූ තීරණයකි. එම නිසාම එහි වටිනාකම නාස්ති නොවන ලෙස භාවිත කිරීමට වඩා හොඳ තීරණය ලබාගත යුතුය. 

නීතිඥ සංවිධාන එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ.

- නිදුක් මදුෂික



Recommended Articles