වහාබිවාදය


වහාබ්වාදය යනු මුහම්මද් ඉබ්න් අබ්ද් අල් - වහාබ් නම් මුස්ලිම් පූජකවරයා විසින් 18 වැනි සියවසේදී නිර්මාණය කරන ලද ඉස්ලාම් ආගමික ඉගැන්වීමකි. 

මෙය ක්‍රියාත්මක වූයේ ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් වශයෙනි. %වහාබ්වාදය^ අතිතත්වාරක්ෂක (Ultraconservative) ආගමික සම්ප්‍රදායයක් වශයෙන්ද හඳුනා ගනු ලැබේ. 
වහාබ්වාදයේ ඇති මූලික සංකල්පය නම් තවුහිද් සංකල්පයයි. තවුහිද් යනු එක් දෙවි කෙනෙකු පමණත් වන්දනා කිරීමයි. සර්වබලධාරී දෙවියන් වහන්සේ හැර වෙනත් කිසිවෙකුත් වන්දනාමාන නොකළ යුතු බව වහාබ්වාදීහු පිළිගනිති. වහාබ්වාදයම ඇතැම් අවස්ථාවලදී සලාෆිවාදය හෝ මුවහ්හිද්වාදය වශයෙන් ද හඳුන්වන අවස්ථා තිබේ. 

වහාබ්වාදය අනුව කිසිදු මුස්ලිම්වරයෙකු පිළිම වන්දනා කිරීම සම්පූර්ණයෙන් නොකළ යුතු දෙයකි. එය ගොඩනැගෙන්නේ ඉස්ලාමීය හන්බලි ගුරු කුලය තුළිනි. එම ගුරු කුලය ඉස්ලාමීය සුන්නි සම්ප්‍රදායයේ ප්‍රධානතම ඉගැන්වීම් හතර අතරින් එකකි. අහමද් ඉබ්න් හන්බල් නම් ඉස්ලාමීය ආචාර්යවරයා එම සම්ප්‍රදායේ නිර්මාතෘවරයාය. 

වහාබ්වාදය මුලින්ම ආරම්භ වන්නේ සෞදි අරාබියේ නෙජ්ද් නම් ග්‍රාමීය ප්‍රදේශයෙනි. 18 වැනි සියවස වන විට එම ප්‍රදේශය තුළ ඉස්ලාමී සාන්තුවරුන්ගේ සොහොන් වන්දනා කිරීම සුලබව පැතිරී තිබිණි. මුහම්මද් ඉබ්න් අල්-වහාබ් සිදු කළේ එම ජනතාව තනි දෙවියෙකු අදහන්නන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමයි. 

පසුව වහාබ්වාදය සෞදි අරාබියේ දේශපාලන තන්ත්‍රය සමගද එක් වූ අතර, 1932 වසර වනවිට එරට රාජ්‍ය ආගමික සම්ප්‍රදායය බවට වහාබ්වාදයට පත්වීම හැකිවිය. 
සෞදි අරාබියේ අද වන විට රාජ්‍ය අනුගහය ලබන එකම සුන්නි ඉස්ලාම් සම්ප්‍රදාය බවට වහාබ්වාදය පත් වී තිබේ. සෞදි අරාබිය තුළට ඛනිජ තෙල් කර්මාන්තයෙන් සාර්ථක ලෙස මුදල් ගලා ඒමත් සමග වහාබ්වාදය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමටද සෞදි අරාබිය මුදල් යෙදවීය. 

විශේෂයෙන් 1970 දශ‍කයෙන් පසු වහාබ්වාදය පුළුල් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වීමක් දැක ගැනීමට ලැබිණි. දැනට ගණන් බලා ඇති ආකාරයට පර්සියානු ගල්ෆ් කලාපය තුළ වහාබ්වාදීහු මිලියන 5ක් සිටිති. සමස්ත සුන්නි මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව මිලියන 28.5කි. 

සෞදි අරාබිය පර්සියානු ගල්ෆ් කලාපයේ බලවත්ම රාජ්‍යය වීම හේතුවෙන් වහාබ් උලමාවරුන්ට 20 වැනි සියවසේදී ඉස්ලාමීය නීතිය, අධ්‍යාපනය, සදාචාරය සම්බන්ධයෙන් සුවිශාල බලපෑමක් කිරීමට හැකි විය. විශේෂයෙන් මෙහිදී ප්‍රධානතම ගැටුම් දෙකක් ඇති විය. එකක් නම් නූතන තාක්ෂණය සමග ගනුදෙනු කිරීමයි. අනෙක නම් මුස්ලිම් නොවන ලෝකය සහ මුස්ලිම් ලෝකයේම වෙනත් සම්ප්‍රදායයන් සමග ගනුදෙනු කිරීමයි. 
කෙසේ වෙතත්, ඔටෝමන්වරුන් නිර්මාණය කර තිබූ කිලාෆතයට එරෙහිව සෞදිය සිය ජාතිකවාදය පෙරට ගෙන ඒම සඳහා වහාබ්වාදය යොදා ගැනීමට කටයුතු කළේය. සෞදි අරාබිය සිය මතවාදී ආස්ථානය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන ගණනින් වෙන් කළ අතර, සිය ඉස්ලාමීය ඉගැන්වීම ප්‍රචලිත කිරීමේ අරමුණින් ශිෂ්‍යත්ව, වැඩමුළු, අධිශිෂ්‍යත්ව, විශ්වවිද්‍යාල, දේවස්ථාන ආදිය සිය දහස් ගණනින් 1950-60 දශකවල සිට ආරම්භ කළේය. 

ජීල්ස් කෙපල් නම් විද්වතා පවසන්නේ සෞදි අරාබියේ ඛනිජ තෙල් ආර්ථිකය ශක්තිමත් වීමත් සමග 1980 දශකයෙන් පසු වහාබ්වාදයද ශක්තිමත් වූ බවයි. ඒ අනුව ලෝකයේ ප්‍රධානතම ඉස්ලාමී සම්ප්‍රදායක් බවට වහාබ්වාදය පත් විය. 

 



Recommended Articles