ආර්ථික ශක්තිය වැඩි කරගැනීම තරගයක් බවට පත් කරගත් සමාජයක් තුළ හරිත විප්ලව කෘෂිකර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෘෂි රසායන භාවිතය ප්‍රචලිත කිරීමත් සමගම කෘෂිකර්මාන්තය මත යැපෙන ලෝකයේ බොහෝ රටවල් අස්වනු වැඩි කර ගැනීම සඳහා කෘෂි රසායන භාවිතය වැඩි කිරීමට කටයුතු කළේය.
වී ගොවිතැන සේම අනෙකුත් සියලු වගාවන් සඳහාද එය පොදු ය.
මේ තුළින් පාරිසරික, සමාජීය හෝ ගොවියාගේ යහජීවනයට අත්‍යවශ්‍ය අංගයක් වන අධ්‍යාත්මික තෘප්තිය වැනි සාධක ගැන එහි කිසිදු සලකා බැලීමක් නැත. එමෙන්ම ගොවියාගේ මෙන්ම එම බෝගයන් පරිභෝජනය කරන ජනතාවද රෝගී තත්ත්වයන්ට පත්වෙමින් තිබෙන සමාජයක් මේ නිසා ඇති වී තිබේ .
පාරිසරික ගැටලු
ස්වාභාවික පස භෞතික වශයෙන්, රසායනික වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් මනාව සමතුලිත වූවකි. කෘෂි රසායන භාවිතයෙන් මෙම සමතුලිත බව මුලින්ම නැති වන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමෙනි. අනතුරුව රසායනික කෘෂිකර්මයේදී කෙරෙනුයේ පසට අවශ්‍ය ඇතැම් ඛනිජ ද්‍රව්‍ය පමණක්, මූලිකව පෝෂණ පමණක් සැපයීම ය. පසේ ව්‍යුහය වෙනස් කිරීමෙන් අනෙක් පෝෂ්‍ය කොටස් සපයාගැනීමේ හැකියාව ඒ වනවිට නැති කර අවසන්ය. ඒ සඳහා ඇතැම් විට වෙනත් රසායනික ද්‍රව්‍ය (කැල්සියම්, සල්ෆර්, සින්ක් ආදී) යෙදීමට කෘෂි උපදෙස් ලැබෙන්නේ මෙනිසා ය. උදාහරණයක් දක්වනවා නම්, පසෙහි අසමතුලිතතාව එනම් අධික අම්ලතාව පාලනය කිරීමට කැල්සියම් නිර්දේශ කරනු ලබයි. එයින් අධික ආම්ලිකතාව පාලනය වන නමුත්, එහි ක්‍රියාකාරීත්වය පවතින්නේ මාස 3 – 4කට පමණි. ඊළඟ වතාවේ ගොවියාට ඊටත් වඩා කැල්සියම් රසායනික ද්‍රව්‍ය යෙදීමට සිදු වෙයි.
මේ අාකාරයෙන් ලෝකයේ රටවල් අතුරින් හෙක්ටයාරයක් සඳහා වැඩිම කෘෂි රසායනික භාවිත කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේදී කරන ලද පර්යේෂණයක් ඇසුරින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ලෝකයේ රටවල් අතුරින් හෙක්ටයාරයක් සඳහා වැඩිම රසායනික පොහොර භාවිත කරන රටවල් අතරින්ද ලංකාවට 08 වැනි ස්ථානය ලැබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ
මේ ආකාරයෙන් රසායන පොහොර හා කෘමිනාශක යෙදීමෙන් සිදුවන පළමු හානිය නම් පසෙහි ගුණාත්මක තත්ත්වය පහළ වැටීමය. එමෙන්ම පසේ ස්වාභාවික ව්‍යුහය බිඳ වැටීම, ජලය රඳවාගැනීමේ හැකියාව අඩුවිම, පෝෂ්‍ය කොටස් රඳවාගැනීමේ හැකියාව අඩු වී යෑම, බෝගවලට අවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂ්‍ය කොටස් හිඟ වීම, ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ග්‍රහණය අඩු වී ක්‍රියාකාරීත්වය නැති වී යයි. පසෙහි ph අගය අසමතුලිත වී අම්ල ගතිය වැඩීම, පසෙහි අත්‍යවශ්‍ය අංගයක් වන හියුමස් විනාශ වීමට පටන් ගැනීම ආදිය සිදුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති.
රසායන පොහොර හා කෘමිනාශක නිසා ලංකාවට ඇති වී ඇති අවදානම
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් තුළ වෙසෙන ජනතාව අතර බෝ නොවන රෝග පැතිරීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනු ලැබේ. මෙම රෝග අතර දියවැඩියාව, කොලොස්ටරෝල්, වකුගඩු රෝග ප්‍රධාන තැනක් ගනී. මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරන පාර්ශ්වයන් සොයාගෙන ඇති කරුණු අතර ජන ජීවිතයේ වෙනස්වීමද, ලබාගන්නා ආහාරවල ස්වභාවයද, පානීය ජලය පිළිබඳ තත්ත්වයන්ද බලපා ඇති බව ප්‍රචලිත කරුණකි.
ජනතාවගේ ජීවන රටාවේ වෙනස් වීම් හා ආහාර පුරුදුවල වෙනස්වීම්වලට අමතරව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන ක්‍රමවේදත්, එහිදී ජල මූලාශ්‍රවලට වී ඇති බලපෑමත් මෙම ලෙඩ රෝග වැඩිවීම කෙරෙහි දැඩි බලපෑම් සිදු කර ඇත. මෙම ගැටලු සඳහා බලපෑම් කරන එක් ප්‍රධාන සාධකයක් ලෙස වගා කටයුතුවලදී අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය හා ඒ මත ස්වාභාවික ක්‍රමවේදයන්වලට වූ බලපෑම් කිරීම දැක්විය හැක.
ගොවි ප්‍රජාව විසින් වැඩි ඵලදාවක් ලබාගැනීම සඳහා පෙළඹවීම මත රසායනික පොහොර ප්‍රචලිත කිරීමත්, ජාන වෙනස්කම් කරන ලද එළවළු හා පලතුරු පැළ හඳුන්වාදීමත් සිදු කරන ලදී. මෙහිදී කෙටිකාලීන වශයෙන් ප්‍රතිඵල ලැබුණද දිගුකාලීනව අපට අත්විඳීමට ලැබී ඇති ප්‍රතිඵල ලෙස ඉහත සඳහන් කළ රෝග තත්ත්වයන් දැක්විය හැක.
ලංකාවේ කාබනික පොහොර භාවිතය
කාබනික පොහොර භාවිතයත්, සාම්ප්‍රදායික බෝග රටාවට හුරුවීමත් තම අවශ්‍යතා තම ගෙවත්තේම වගා කරගැනීමට පෙළඹවීමටත් ජීවන පුරුදුවල වෙනස්කම් සිදු කර ගැනීමත්, ජනතාව අතර බෝ නොවන රෝග පැතිරීමට හොඳම විසඳුම බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක ටී.එච්.එම්.පී. සාගර මහතා පෙන්වා දෙයි.
කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන %අපි වවලයි අපි කන්නේ^ කෘෂි පුනරුද වැඩසටහන යටතේ කෘෂිකර්මය විෂයයක් ලෙස උගන්වන සෑම පාසලකම කාබනික ගෙවත්තක් ඇති කිරීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් එම පාසල් තුළ කෘෂිකර්ම ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් පසුගියදා (22දා) තංගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව වූ මේ සඳහා තංගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 67ක ගුරුවරුන් සහභාගි කරවාගෙන තිබිණි. ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබේ.
කාබනික පොහොර යොදා ආහාර සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා යෝග්‍ය බව දන්නා ප්‍රජාව තම ගෙවත්ත තුළ ආහාර වගා කරගැනීමට පෙළඹවීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙනුයේ යම් අවාසනාවන්ත සිදු වීමකටය. ප්‍රජාව තුළ පවතින දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීමට පෙළඹවීම සඳහා අවබෝධතාව ඉහළ නැංවීමට පාසල් ළමයින් ඉලක්ක කරගත් වැඩසටහනක්ද සැලසුම් කර තිබේ. මේකෙ අන්තර්ගතය ධාර්මික ගොවිතැනක්, නිරෝගී ජනතාවක් වස විසෙන් තොර රටක් කියන එකයි
ටී.එච්.එම්.පී. සාගර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක
බොහෝ පාසල්වල මේ වෙනකොටත් ආදර්ශ ගෙවත්තක් තියෙනවා. නමුත් මෙතනදි අලුත් දෙයක් ආරම්භ වුණා අපේ ඇමතිතුමාගේ සංකල්පයක් සමග. අපි වවලයි අපි කන්නේ කියන සංකල්පයේ මූලික පියවර අපි පාසලෙන් පටන්ගන්නවා. මේක ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක්. මේ සංකල්පය පාසලෙන් පාසලේ ඉගෙනගන්නා දරුවන්ටත්, එම දරුවන්ගෙන් ගෙදරට සහ ගමටත්, ගමින් නගරයට සහ රටටත් ව්‍යාප්ත වෙනවා.
කාබනික පොහොර භාවිත කරලා රසායනික පොහොර භාවිතයෙන් ලැබූ අස්වැන්න ලබන්න පුළුවන්. මේ සඳහා අපි ආදර්ශ ගෙවත්ත උපයෝගී කරගන්නෙ ළමයි වෙනුවෙන්. පාසල් ආදර්ශ ගෙවත්ත තුළ සෑම කුලයකටම අයත් පැළ 20 බැගින් ස්ථාපනය කරනවා. මෙම ගෙවත්තෙන් සාදාගන්නා පැළ අපි ගෙදරට ගමට යවන්න සූදානම් වෙනවා. මෙය හැකි ඉක්මනින් පාසල තුළ ආරම්භ කරන්න කටයුතු කරනවා. මේ දේවල් කාබනිකත් එක්ක වවලා එහි ප්‍රගතිය ලබාගන්නවා, කාබනික කැට පොහොර, ගොම පොහොර, දියර පොහොර භාවිතයෙන් කළා කියලා. මේක තමයි මෙහි පරමාර්ථය සහ බලාපොරොත්තුව.
මේක තුන් අවුරුදු ජාතික සැලැස්මේ කොටසක් ලෙස ක්‍රියාවට නැංවෙනවා. මේකෙ අන්තර්ගතය ධාර්මික ගොවිතැනක්, නිරෝගී ජනතාවක් වස විසෙන් තොර රටක් කියන එකයි. ලෝකයේ තිරසාර පාංශු කළමනාකරණය මගින් අස්වැන්න නිරන්තරයෙන් 58% දක්වා වැඩි කරගත හැකියි. මේක ලංකාවේ පරිහරණය කරන්නෙ පිටරටින් ලංකාවේ ආයෝජනය කරන දේශීය සමාගම් විසින්. තිරසාර පාංශු කළමනාකරණය මගින් ආහාර නිෂ්පාදනය 58෴ දක්වා වැඩි කරගත හැකියි කියලා ලෝක මතයක් තියෙනවා. මේක ඇත්තටම සාර්ථක දෙයක්. මේක ජපානය, කොරියාව, චීනය අත්හදා බලපු දෙයක්.
අපි වවලයි අපි කන්නේ කියන සංකල්පය තුළ දැක්මක් තියෙනවා. දේශීය ගොවීන්ගේ රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය අවම කිරීමත්, කාබනික පොහොර සහ හරිත වගාව ප්‍රචලිත කිරීමත් තමයි මේ මගින් බලාපොරොත්තු වෙන්නෙ. මේ පරිවර්තනය මීට අවුරුදු 10 - 12කට කලින් රජරට සිදු වුණා නම් අද හැම වර්ෂයකම 8.2% බැගින් ශීඝ්‍රයෙන් වර්ධනය වන නිදන්ගත වකුගඩු රෝගයක් එන්නෙ නෑ. දැනටත් අපි පරක්කු වැඩියි. නමුත් දැන් හරි පටන්ගත්තෙ නැත්නම් කුඹුරට බස්සන්න ගොවියෙක් නැති වෙනවා. මේක තමයි අපි අනාගතය සඳහා ඉලක්ක කරගත යුතු ප්‍රධානම කාරණාව. මේ ජාතික කර්තව්‍යයට අපි සැවොම දායක විය යුතුයි.
අපනයනය කිරීම් වැඩි කරන්නත්, ආනයනය සීමා කරන්නත් කටයුතු කරනවා
මහින්ද අමරවීර (කෘෂිකර්ම අමාත්‍ය)
වසවිස නැති වගාව පිළිබඳ අද ලෝකයේම අය කතා කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම අපට පොහොර දෙන අපට කෘමිනාශක ලබාදෙන රටවල පවා අද ආහාරයට ගන්නේ වසවිස නැති ආහාර. ඒ නිසා අද අපි විවිධ ක්ෂේත්‍ර දැනුවත් කරනවා. ඒ අතර අපි ප්‍රධාන වශයෙන් කල්පනා කළා ගුරුවරු දැනුවත් කරමින් ඒ හරහා දරුවන්ට ඒ දැනීම ලබා දෙන්න. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.
පාසල් තුළ කාබනික පොහොර වලින් වගාවන් සිදු කිරීම මගින් ඒ හරහා දරුවන්ගේ ගෙවත්ත ඒ අාකාරයෙන් සකසාගැනීම සඳහාත්, අපි මේ වනවිට වැඩපිළිවෙළක් ගෙනයමින් සිටිනවා. ඒ වගේම ඒ සඳහා වන ආධාර උපකාර ලබාදෙන්නත් අමාත්‍යාංශය මගින් අපි කටයුතු කරනවා.
ඇත්තෙන්ම අපි මේ වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ %සරුපිරි ගෙවත්තක්^ යන සංකල්ප යටතේ මීට අමතරව කොස් පැළ දසලක්ෂයක් සිටුවීමේ ජාතික ව්‍යාපාරයක්ද ගෙනයමින් තිබෙනවා. එමෙන්ම කලාප මට්ටමින් හඳුනාගත් බෝග ප්‍රවර්ධනය කරලා අපනයනය කිරීම් වැඩි කරන්නත්, ආනයනය සීමා කරන්නත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.
රාහුල් සමන්ත