ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙක් වූ රැල්ෆ් නඩර් (Ralph Nader) අපූරු අදහසක් පළ කර ඇත. ඒ දශක ගණනාවකට පෙරදීය. ඔහු කියා ඇත්තේ 66 Turn on to Politics - or Politics will Turn on You 99 යන්නයි. එනම් ඔබ දේශපාලනය කළ යුතුය - එසේ නැත්නම් දේශපාලනය ඔබ වටා කැරකෙන බවයි. ශ්‍රී ලාංකිකයා තරම් දේශපාලනයට හා මැතිවරණයට ආසක්ත වෙනත් රට වැසියන් පිරිසක් නැති තරම්ය. වසර 1931 සිට අප අපගේ පරමාධිපත්‍යය අභ්‍යාස කොට ඇති මැතිවරණ ප්‍රමාණය පමණක් 73කි.
කෝවිඩ් - 19 හමුවේ ආර්ථිකමය ලෙස පසුබැස්ස රාජ්‍ය ඊට සමගාමීව මුහුණදුන් අනෙක් උවදුර නියමිත කාල පරාසයන්හි පැවැත්විය යුතු මැතිවරණ පවත්වන්නේ කෙසේද යන්නයි. එනයින් බලන කල ශ්‍රී ලංකාවද එලෙස ආර්ථිකමය ලෙස පසුබැස්ස රාජ්‍යයක් වුවද, කෝවිඩ් -19 ව්‍යසනයේ අනතුර මුළුමනින්ම පහව නොගිය පසුබිමක මැතිවරණයක් පවත්වන දකුණු ආසියා කලාපයේ පළමු රාජ්‍යය බවට පත්ව ඇත.
මැතිවරණ ක්‍රමය:
ශ්‍රී ලංකාවේ අකුරු කියවීමේ හා ලිවීමේ සාක්ෂරතාව විශිෂ්ටය. එය වසර 2018 වන විට සියයට 91.71 ක පමණ ඉහළ අගයක පැවතියේය. මැතිවරණ සාක්ෂරතාව එලෙස මැනිය හැක්කක් නොවේ. සෑම මැතිවරණයකදීම යම් ජන්ද ප්‍රමාණයක් නරක් වන අතර එයද නොදැනුම නිසා සිදුවන්නක් යැයි කිව නොහැකිය. සමහර දෙනෙක් තම ජන්දය හිතාමතාම කුරුටු ගා දමන අවස්ථා ඇත. එවැනි ආකාරයේ විරෝධාකල්ප මඟින් මෙරටේ මැතිවරණයකට සිදුකළ හැකි බලපෑමක් නැත. අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට අවැසි වන්නේ නම් කළ යුත්තේ පූර්ව මැතිවරණ කාල සමයේ සංවිධිත විරෝධයක් පළ කිරීම හා සුදුස්සන් කවරේදැයි යන්න පිළිබඳ නිර්ණායක හඳුන්වා දී සමාජය දැනුම්වත් කිරීමයි. රටෙහි පිරිසිදු දේශපාලනයක් සඳහා වන එවැනි සංවිධානාත්මක කාර්යයක් කරන එක් පුරවැසි ව්‍යාපාරයක් වන්නේ මාර්තු 12 ව්‍යාපාරයයි.
මේ ඔවුන් අපේක්ෂකයෙක් තෝරන පිළිවෙළයි
01. ප්‍රතිපත්ති සම්පාදනයේ හා මූල්‍ය කළමනාකරණයේ ඇති දක්ෂතාව
02. අපරාධ වරදක් සඳහා සිර දඬුවම් නොවිඳීම
03. අල්ලස හා දූෂණයේ නොයෙදුණු සමාජ ඇගයීමට ලක්වූවෙකු වීම
04. නීතිවිරෝධී සුරාසැල් හා මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙක් ෙනාවීම
05. පරිසර ආධාරක පද්ධතිය විනාශ කිරීමට දායක වූවෙක් නොවීම
06. රටට අහිතකර ගිවිසුම් හඳුන්වා දී මූල්‍යමය අලාභ සිදු කරන්නෙක් නොවීම
07. කාන්තා හා තරුණ නියෝජනය ප්‍රවර්ධනය කිරීම
08. ආගමික නායකයන් බල දේශපාලන අරමුණු හා එක්කර ඔවුන්ගේ ජාතික නායකත්වය අවතක්සේරු නොකිරීම
සිරුර හැඩ කරන ඇඟලුමක් තේරීමට, රෙදිපිළි වෙළෙඳසල්වල පිහිටි ඇඳුම් මාරු කිරීමේ කාමරවල හෝරා ගණන් වැය කරන ඔබ, දරුවාගේ පළමු වසරේ අධ්‍යාපනය උදෙසා, ගම වටා පිහිටි ප්‍රාථමික පාසල් පසුකොට ගොස් රටේ හොඳම පාසල සොයන ඔබ පස් වසක් රටේ ඉරණම අතට ගන්නා පිරිසේ දක්ෂතාව හා ප්‍රවීණත්වය පිළිබඳ සොයා ඇත්තේ කෙදිනද?
ඡන්දයට පෙර එළඹෙන නිහඬ කාලය මගින් දෙන වරප්‍රසාදය වන්නේ ඔබේ දෙසවන් හා දෙනුවන් සිසාරා දෙමසක් තිස්සේ රැව් පිළිරැව් දුන් අපේක්ෂක ආයාචනා පිළිබඳ සිතීමට අවස්ථාවක් දීමයි. ඉහත නිර්ණායක එවන් නිවැරදි තෝරාගැනීමක් සඳහා ඔබ වෙත සියුම් ආලෝක ධාරාවක් ලබා දී ඇත්තේය.
එලෙස ඔබගේ මැතිවරණ සාක්ෂරතාව උපයෝගී කර ගනිමින් සිදුකළ යුතු එක් කාර්යයක් ඇත්තේය. එනම් නිවැරදිව ඡන්දය භාවිත කිරීමයි. ඒ මෙලෙසය.
කෙසේ වෙතත් මෙහිලා පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් කියවීමේ හා ලිවීමේ හා මැතිවරණ සාක්ෂරතාව පැවති පමණින් ශ්‍රී ලාංකිකයන් සතුව දේශපාලන සාක්ෂරතාව ඇතිද යන්න සැකසහිත බවයි. එලෙස යහපත් සාක්ෂරතාවක් පැවතියේ නම් නිවැරදි මහජන නියෝජිතයන් ඉල්ලා හඬා වැළපීමට පුරවැසියාට සිදුනොවනු ඇත්තේය. දැන් දැන් ඡන්ද දායකයන්ගේ අදහස දියවන්නාවද වටලෑමය. එහෙත් සැබෑ අර්බුදය එය නොවේ. දියවන්නාවට සැපත් වන ඇත්තන් තෝරන්නේද එලෙස කලකිරුණු පිරිස්ම වීමයි. අප රටේ විසූ ප්‍රකට කිවි චන්ද්‍රරත්න මානවසිංහ මෙලෙස ලියා ඇත. එය සඳහන්ව ඇත්තේ පසුකාලීනව පළ වූ ඔහුගේ නොපළ කවි සහිත කාව්‍ය ග්‍රන්ථයේය.
‘‘අල බතල වැවුමට - කෑ කෝ ගසන තරමට
තවම නම් කිසි තැන - වැවුණු එක අලයකුදු නොපෙනේ
මෙකී අනාගතවාදී වාක්‍යය මහජන නියෝජිතයන්ගේ කල්ක්‍රියාව හා ගළපා බැලීමට අපගේ ඡන්ද දායකයන් උත්සාහ කළ යුතුය. මහජන නියෝජිතත්වය හැඩ ගැන්වෙන්නේ කෙතරම් ‘වොයිස් කට්‘ ප්‍රමාණයක් මාධ්‍ය වෙත ලබා දී ඇත්ද යන්න හෝ කෙතරම් ප්‍රමාණයක් ටෙලිවිෂන් විවාදවලට සහභාගී වී ඇතිද යන්නෙන් නොවේ. පාර්ලිමේන්තු ගැලරියේ අසුන් ගෙන සිටින්නන්ගේ ලොමු දැහැ ගැන්වෙන ත්‍රාසජනක පට්ටන්දර දිගහැරීමෙන්ද නොවේ. රටේ නීති සම්පාදනයට මහජන නියෝජිතයා දක්වා ඇති උනන්දුව මෙන්ම රටේ අනාගත සංවර්ධන කතිකාවේ කෙතරම් බරක් උහුලා ඇතිද යන්න එහිලා සලකා බැලිය යුතු පරිමිතීන්ය.
එපමණක් නොවේ. යටත් පිරිසෙන් පාර්ලිමේන්තුවට පැමිණ සභාව අමතා ඇත්තේ කවර මහජන නියෝජිතයාදැයි සොයා බැලීමද වැරදි අභ්‍යාසයක් නොවේ. වෙරිටේ රිසර්ච් ආයතනයේ සංඛ්‍යා දත්තවලට අනුව නම් එකම වරක් පමණක් හෝ කිසිවිටෙකත් පාර්ලිමේන්තුවේ ගම්භීර සභාව අමතා නැති මන්ත්‍රීවරුන් පිරිස 13කි. මෙම අනාවරණයත් සමඟ ඔබ, ඔබේ ඡන්දය ඔවුන්ගේ මනාප අංක ඉදිරියේ භාවිත කිරීමට පෙර ඔබ ඔවුන් නිරෝගී තැනැත්තන්දැයි විමසා බැලිය යුතු යැයි ඔබ නොසිතන්නේද? මෙවන් සභා ගර්භයක වසරක් තිස්සේ ‘ඇටි කෙහෙල් කෑ උගුඩුවන්‘ සේ සිටිය හැක්කේ කවර නම් නියෝජිතයෙකුටද?
ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතය:
මෙවර ඡන්දයේ පවත්නා බලවත්ම අභියෝගය මෙයයි. නව කොරෝනා වෛරසය හමුවේ ජන්ද පොළට යන ජන්ද දායකයා නොයා සිටීවි යැයි සිතන හා පතන පිරිසක්ද මෙවර බිහි වෙමින් සිටී. මැතිවරණ කොමිෂන් සභාව තම කරට ගෙන ඇත්තේ සැබෑ අභියෝගයකි. මැතිවරණ ක්‍රියාවලිය තුළ එක් ආසාදිතයෙක් හෝ හමුවීම යනු එය කොමිසමට බැට දිය හැකි කදිම තුරුම්පුවකි. එහෙත් මෙතෙක් ඔවුන් දක්වා ඇති සමත්කම අගය කළ යුතු එකකි. නිරෝධායන මධ්යස්ථානගතව සිට දින 14 අවසන් කළ යම් පිරිසක් වේද ඔවුන් පැමිණිය යුත්තේ හෙට දිනයේ ඡන්දය පැවැත්වෙන අවසන් හෝරාවේදීය. එනම් ප.ව. 04.00 සිට ප.ව. 05.00 දක්වාය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට අවැසි පහසුකම් සැලසීමට නියමිතය. ශ්‍රී ලාංකිකයා කවදත් ක්‍රිකට්, ආගම හා මැතිවරණ යන ත්‍රිත්වයට ළැදිය. ඇරත් ඡන්ද මධ්‍යස්ථාන වෙත එන නිලධාරීන් හා ඡන්ද දායකයන් එන්නේද වෙනත් දීපංකරේක සිට නොවේ. තම අඹු දරුවන් හා යාළු හිත මිතුරන් හා එක්ව සිටිමිනි. ඔබ නිරෝධායන නීති සුරකින්නේ නම් නිවස හා ඡන්ද පොළ අතර ඇති වෙනසක් නැත. මෑත කාලීනව මෙරටේ පැවති පාර්ලිමේන්තු මැතිවරණ තුළ වාර්තා වූ ඡන්ද භාවිතයේ ප්‍රතිශත හා නරක් වූ ඡන්ද ප්‍රමාණය වගුෙව් දැක්වේ.
අලුත් ජන්ද:
වසර 2015 අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා සමගාමී සංසන්දනයක් සිදුකිරීමේදී පැහැදිලි වන්නේ මෙවර වැඩි වී ඇති ඡන්ද දායකයන් ප්‍රමාණය 1,219,395ක් බවයි. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා උපයෝගී කර ගත්තේ වසර 2018 ඡන්ද හිමි නාම ලේඛනයයි. මෙවර වසර 2019 නාම ලේඛනය භාවිත කරන බැවින් පැහැදිලි වන්නේ අලුතින් ඡන්ද 271,789ක නව ඡන්ද ප්‍රමාණයක් එකතු වී ඇති බවයි. මෙම නව ජන්ද ප්‍රතිපත්තිගරුක හා සුපිළිපන් අපේක්ෂකයන් වෙත ලබා දෙනු ඇතැයි සුලබව පවතින මතයයි. එහෙත් මෙහිලා පැහැදිලි කළ යුතු එක් කරුණක් වන්නේ දේශපාලනිකව දැනුම්වත් තාරුණ්‍යයක් මෙරටේ දක්නට නොමැති බවයි. වසර 2015 එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ප්‍රකාශිත ‘20.4 million නම් ග්රන්ථයට අනුව මෙරටේ ජනගහනයෙන් (එවකට) 23%ක් නියෝජනය කරනුයේ තරුණ ප්‍රජාව වුවද ඔවුන්ගෙන් දේශපාලනිකව ක්‍රියාකාරී හෝ දැනුම්වත්ව සිටියේ 1.9% ක පමණ අවම ප්රතිශතයක පිරිසක් වන අතර යම්තාක් දුරකට වෘත්තීය සමිති නියෝජනයක් හෝ ඇත්තේ 1.3%ක තරුණ ප්‍රජාවක් අතරේ පමණි. මෙවන් අක්‍රිය තාරුණ්‍යයක් සහිත රටක සක්‍රිය දේශපාලනයක් නිර්මාණය කරගන්නේ කෙසේද? ඒ අනුව සියල්ලට පළමුව අපේ තරුණ ප්‍රජාව හෙට දිනයේ ඡන්ද පොළට යන පිරිසේ මුලින්ම සිට ගනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාව වන අතර කවර හෝ සමාජ වෙනසක් සිදුකිරීමට පෙර ඔබගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීම වඩාත් වැදගත් බව අවධාරණය කළ යුතුමය. මැතිවරණ ක්‍රියාවලියේදී මැතිවරණ කොමිසමට සහාය වන රජයේ සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම හිමිවුවද අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ සේවකයන් බොහෝ පිරිසකට එකී හිමිකම නැත. පෞද්ගලික අංශයේද වගකීම විය යුත්තේ තම සේවක පිරිසට වසර පහකට වරක් පැමිණෙන මෙම දුලබ වරම හිමිකර දීමයි. එහිලා අනුදත් මාර්ගෝපදේශ පහත දැක්වේ. ඡන්දය ඔබේ අයිතිය වන අතර එය ඔබේ බලයයි. එබැවින් සේවායෝජකයන් මෙම මාර්ගෝපදේශවලට අවනතව තම සහෝදර සේවක ප්‍රජාවේ අයිතිය රැකිය යුතුව ඇත.
මේ පැමිණ ඇත්තේ ඉහිරුණු කිරට නොහඬා, අඳුරු වලාවන් සමූහයක් අතරින් රිදී රේඛාවක් පාදාගත යුතු අවස්ථාවයි. ඡන්දය අපේ හඬ වන අතර ඔබ එන තෙක් විෂබීජහරණය කරන ලද ඡන්ද මධ්‍යස්ථාන 13,000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා බලා සිටී. එබැවින් කතිරය සලකුණු කරන විට ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියා ඇති මෙවදන්ද සිහි කරමින් සුදුස්සා තෝරාගන්න.
‘‘මැතිවරණ හිමි ජනතාවටය. එය ඔවුන්ගේ තීරණයයි. ඔවුන්ගේ තීරණය ගින්නට පිටුපෑම නම්, දැවී පිලිස්සුණු පශ්චාත් භාග මත හිඳ ගන්නට සිදුවන්නේද ඔවුන්ටමය“