දේශීය සිනමාව තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන තරුණ රංගන ශිල්පියෙකු ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. රංගනයට අමතරව ගීත ගායනයටද හැකියාව ඇති ඔහු මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය හා එහි රූප රචනාව එළිදක්වනු ලැබීය. එනිසාම 'අද' තරු කතාබහට අපි ඔහු මෙසේ සම්බන්ධ කරගතිමු.
අලුත් ගීතය ගැන මුලින්ම කතා කරමු?
ගීතය නම් කරලා තියෙන්නේ "නෙළුම් පොකුණ ළඟ" කියලා. මේ ගීතය යුග ගීතයක්. මා සමගින් තමාෂා කුරුකුලසූරිය තමයි මෙහි සහය ගායනයෙන් දායක වෙන්නේ. ගීතය ලිව්වේ නිලාර් එම් කාසිම්. සංගීතවත් කළේ ශෙනාල් එම් හා 'ඇට්නෝ' එන්ටර්ටේට්මන්ට් ආයතනය. මෙහි ගීත රූප රචනාව කළේ 'දෙසවන්' ප්‍රඩක්ෂන් ආයතනය.
කාලෙකට පස්සෙ නේද ඔබ ගීතයක් කළේ?
ඔව්, 'නෙළුම් පොකුළ ළඟ' ගීතය මගේ දෙවැනි ගීතය. මේ ගීතය මම සැලසුම් කරලා තිබුණේ ගිය වසරේ නිකුත් කරන්න. ඒ කියන්නේ 'නිල් නෙතු' නිකුත් කරලා හරියටම වසර 10කින් මේ ගීතය එළිදක්වන්න. ඒත්, රටේ තිබුණ වතාවරණය හොඳ මදි නිසා මගේ අලුත් ගීතය මේ වසරේදී එළිදක්වන්න සිදුවුණා. ඒ කියන්නේ මගේ මේ ගීතය මම එළිදක්වන්නේ මගේ පළවෙනි ගීතය නිකුත් කරලා හරියටම වසර එකොළහකට පස්සේ.
මේ ගීතය අද රැල්ලට නිර්මාණය වුණ එකක්ද?
නැහැ. මම රැල්ලට ගීත කරන කෙනෙක් නෙමෙයි. මේ ගීතය ලස්සන ආදර කතාවක් මත නිර්මාණය වූවක්. නෙළුම් පොකුණ ළඟ මුණගැහුණු පෙම්වතුන් දෙදෙනෙක් අතර ගොඩනැගුණ සුන්දර ආදර කතාවක්. කොළඹ %නෙළුම් පොකුණ^ රඟහල සම්බන්ධ කරගෙන නිර්මාණය වුණ පළමු ගීතය මේක කියලයි මම හිතන්නේ. අනික් කාරණය තමයි අද බිහිවෙන ගීත හා රූප රචනා එක්ක ගත්තොත් මගේ %නෙළුම් පොකුණ ළඟ^ කියන ගීතය වෙනස්ම එකක්. කොටින්ම කියනවා නම් මේ ගීතය trending බලාගෙන හදපු එකක් නෙමෙයි.
රංගන ශිල්පියෙකු විදිහට ඔබ නමක් හදාගෙන තිබුණත්, ගායකයෙක් විදිහට ඔබව අපි දකින්නේ කලාතුරකින්. ඇයි ඒ?
මගේ වෘත්තිය රංගනය. ඉතින් මම මූලිකත්වය දෙන්නේ රංගනයට. මට ගායන හැකියාවත් තියෙනවා. හැබැයි මම විනෝදයට ගීතයක් කරනවා ඇරෙන්න ඒ දේට මූලිකත්වය දෙන්නෙ නැහැ. අනික මට ගායකයෙක් වෙන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. මගේ දෙවැනි ගීතය නිකුත් කරන්නේ පළමු ගීතයෙන් වසර එකොළහකට පස්සෙ. මම හිතනවා ඒ වගේ කාලයක් අරගෙන ගීතයක් කරන එක හොඳයි කියලා.
රංගන කටයුතුවලට මේ දිනවල සම්බන්ධ නැද්ද?
නැහැ. පසුගිය වසරේ ජූලි මාසයේදී තමයි මම අන්තිමට රංගන කටයුතුවල නිරත වුණේ. %කෝවිඩ්^ වසංගතය රට පුරා උත්සන්න වුණ නිසා මම කලා කටයුතුවලින් ඈත් වුණා. තවමත් මම අලුත් නිර්මාණයක් භරගත්තේ නැහැ. අනික රටේ තියෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරුත් දැන් අලුත් නිර්මාණ කරන්න බයයි.
ඔබ දායක වුණ කලා නිර්මාණ ඉදිරියට එන්න තියෙනවාද?
ඔව්, චිත්‍රපට හතරක වැඩ ඉවර කරලා තියෙනවා. මම හිතනවා රටේ තත්ත්වය යහපත් අතට හැරුණු ගමන් ඒ චිත්‍රපට ප්‍රදර්ශනය වේවි කියලා. අන්තිමට මම රඟපෑවේ අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් අවසන් වරට රඟපෑ %මිස් ජෙනී^ කියන චිත්‍රපටයේ. මම හිතන්නේ ඒ චිත්‍රපටය තවමත් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය වෙනවා.
ඉදිරියට එන්න තියෙන චිත්‍රපටවල ඔබ වෙනස් චරිතද නිරූපණය කරන්නේ?
අන්තිමට කරපු චිත්‍රපටවල මම වෙනස්ම විදිහේ චරිතවලට තමයි දයක වුණේ. 'ගෝරි' හා ෆේස් ටු ෆේස්^ චිත්‍රපට දෙකේම මම රඟපෑවේ දුෂ්ඨයා විදිහට. ඉදිරියට එන්න තියෙන චිත්‍රපටවලත් ඒ වගේම එකිනෙකට වෙනස් විවිධ චරිත මම රඟපාලා තියෙනවා.
පෞද්ගලික ජීවිතේ තොරතුරු කොහොමද?
සැමියෙක් හා පියෙක් විදිහට මට දැන් වගකීම් වැඩියි. තරුණයෙක් විදිහට ගත කරපු කාලෙට වඩා වෙනස්ම අත්දැකීමක් මම දැන් විඳිනවා. පුංචි පුතත් එක්කම තමයි දැන් ගොඩක් වෙලාවට කාලය ගෙවෙන්නේ. පියෙකුට ලබන්න පුළුවන් උපරිම සතුට මගේ පුතත් එක්ක ගත කරද්දි මම විඳිනවා.
බුද්ධික සේනාධීර