වසර 152ක් සමරන ශ්‍රී ලංකා පොලීසියේ නොනිමි ගමනක අභිමානය


ධම්මො භවේ රක්ඛති ධම්මචාරී (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකියි) යන බුදු වදන ආදර්ශ පාඨය කරගෙන, අභීත හස්තියෙකු මැදිකර ගනිමින්, ධර්ම චක්‍රය සහිත ලාංඡනය හිසෙහි දරා ගනිමින් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ජීවිත හා දේපොළ සුරක්‍ෂිත කරමින් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කැපවූ ශ්‍රී ලංකා පොලීසිය, මෙරට ස්ථාපිත කරන ලද පළමු රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙහි ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වෙයි. ඒ අනුව අද (03දා) සිය 152 වැනි සංවත්සරය මහත් හරසරින් සමරන ශ්‍රී ලංකා පොලීසියේ නොනිමි ගමනක අභිමානය පිළිබඳ තැබෙන සටහනකි මේ.

මෙරට ආරම්භ කරන ලද ප්‍රථම ආරක්‍ෂක සේවාව වනුයේ ශ්‍රී ලංකා පොලීසියයි. 1796 දී ඉංග්‍රීසීන් විසින් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු පොලිස් සේවාවක් මෙරට තුළ ආරම්භ කර ඇත. 1806 දී, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ප්‍රකාශයට පත්කළ අංක 14 දරන ආඥා පනත මගින් පනවන ලද රෙගුලාසි යටතේ තවදුරටත් පොලිස් බළකාය විධිමත් කළ අතර, එවකට පොලිස් බළකාය කොස්තාපල්වරුන් 28 දෙනෙකුගෙන් සමන්විත විය. 1833 ජූලි මස 09 වැනිදා සිට පොලිස් බළකායට වැටුප් ගෙවීම ආරම්භ කර ඇත.

අනතුරුව වාණිජ නගර කේන්ද්‍ර කර ගනිමින් ස්ථාන 47ක පොලිස් ස්ථාන පිහිටුවමින්, පොලිස් නිලධාරීන් 585 දෙනෙකු නගර ආරක්‍ෂක රාජකාරී සඳහා යොදවා ඇත. මෙහිදී  ප්‍රථමයෙන්ම පිහිටු වූ පොලිස් ස්ථානය ලෙස මරදාන පොලිස් ස්ථානය ඉතිහාසයට එක්ව ඇත. 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ විධි විධාන අනුව 1866 සැප්තැම්බර් මස 03 වැනිදා ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතා ප්‍රථම පොලිස්පති ධුරයට පත්වීමත් සමග ව්‍යවස්ථාපිතව හා සංවිධානාත්මකව මෙරට පොලිස් සේවාවේ ආරම්භය සිදු විය. එම දිනය %පොලිස් දිනය^ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 

ප්‍රථම ශ්‍රී ලාංකේය පොලිස්පතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතා 1947 ජනවාරි මස 06 වැනිදා පත්වීමත් සමග එතෙක් බටහිර මුහුණුවරක් ගෙන තිබූ පොලිස් සේවාව ලාංකීයකරණය වීමේ ආරම්භය සිදු විය. වර්තමානයේදී රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාකාරී කොට්ඨාස 64කින් සහ ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 42කින්ද, පොලිස් ස්ථාන 492කින් යුක්තව පොලිස් නිලධරයන් 85,000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ශක්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත.
ඕනෑම රටක ක්‍රියාත්මක වන පොලිස් සංවිධානයක රාජකාරිය වන්නේ, නීතිය හා සාමය පවත්වාගෙන යමින් අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය සහ රථ වාහන කළමනාකරණයයි. එහෙත් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි භූමිකාව ඊට වඩා සංකීර්ණව සිදුවේ. 

34 වැනි පොලිස්පතිවරයා වන වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2015 වර්ෂය වන විට දිවයිනේ පැවැති 437ක් වූ පොලිස් ස්ථාන සංඛ්‍යාව මේ වන විට 492 දක්වා වැඩිකර තිබේ. පොලිස් රාජකාරි සහ සේවාවන් ලබා ගැනීම සඳහා ඉතා දුෂ්කරතාවෙන් යුතුව දුරබැහැර ගෙවා පැමිණීමට සිදුව තිබූ ජනතාවට මේ තුළින් විශාල පහසුවක් සැලසිණි.

ශ්‍රී ලංකා පොලීසිය දැනුම, තාක්‍ෂණය හා පුහුණුව යොදා ගනිමින් අපරාධ වැළැක්වීමට සහ අපරාධ විමර්ශනයට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. වර්තමානයේදී අපරාධ සිදුවීම් වැඩිවීමක් පිළිබඳ කතාබහට ලක්ව තිබුණද, අපරාධ වාර්තා වීමේ සංඛ්‍යා දත්ත සංසන්දනය කළ විට අපරාධ අඩුවීමක් විනා අපරාධ වැඩිවීමක් දක්නට නොමැත. වර්තමානයේදී අපරාධ විමර්ශනයට නවීන තාක්‍ෂණය භාවිත කිරීම තුළින්,  විමර්ශන කාර්යයෙහි කැපීපෙනෙන වර්ධනයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව තිබේ. 

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ පරිගණක අපරාධ අංශයක් ස්ථාපිත කර ඇත. ‍තවද, ශ්‍රී ලංකා පොලීසියට එක්වූ නවතම පොලිස් කොට්ඨාසයක් ලෙස වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයද පෙන්වා දිය හැකිය. 
පොලීසිය වෙතින් මහජනතාවට, තම අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී අසාධාරණයක් සිදු වුවොත් එය පොලිස්පතිවරයා වෙත ඍජුවම දැනුම්දීම සඳහා %Tell IGP^ විද්‍යුත් තැපෑල මගින් පහසුකම් සලසා තිබේ. 

ශ්‍රී ලංකා පොලීසිය ප්‍රජා පොලිස් සංකල්පය මෙරට ජනතාවට හඳුන්වා දෙමින් දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ක ප්‍රජා පොලිස් කමිටු 14,068ක් පිහිටුවා ඇති අතර, මේ වන විට පොලිස් ස්ථාන 486ක ප්‍රජා පොලිස් මව් කමිටු හා උපදේශක සභා 486ක්ද පිහිටුවා ක්‍රියාත්මක කරමින් ඇත. ‍

ප්‍රජා පොලිස් සංකල්පය යටතේ ක්‍රියාවට නංවන ලද %‍ගමට පොලීසියක්^ පොලිස් ජංගම සේවා වැඩසටහන මූලික වශයෙන් ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශ්‍රමදාන යන තේමාවන් ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. මෙම වසරේ මුල් කාර්තුව මේ වන විට අවසන් කර ඇති අතර, එමගින් මහජනතාව උදෙසා දියත් කරන ලද වැඩසටහන්වල ඇස්තමේන්තුගත වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 523කට අධිකය. 

මෙම වැඩසටහනට සමගාමීව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම විවිධ හේතු මත අසරණභාවයට පත් පවුල් වෙනුවෙන් නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට නව නිවාස 367ක් වැඩ අවසන් කර හිමිකරුවන් වෙත පිරිනමා ඇති අතර, අලුත්වැඩියා කර භාරදෙන ලද නිවාස සංඛ්‍යාව 62කි. මෙම නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීමේ කාර්යය සඳහා ඇස්තමේන්තුගත දළ වටිනාකම රුපියල් මිලියන 446කට අධික වේ.

පොලිස් සේවය මෙරට ආරම්භ වූ දා පටන් වර්තමානය දක්වා මහජන ජීවිත හා දේපොළ සුරක්‍ෂිත කිරීම සඳහා සිය රාජකාරිය ඉටු කිරීමට යෑමේදී පොලිස් නිලධාරීන් 3,128 දෙනෙකු ජීවිත පරිත්‍යාග කර ඇත. එමෙන්ම පොලිස් නිලධාරීන් 22ක් පූර්ණ ආබාධිත තත්වයටත්, නිලධරයන් 1,513 දෙනෙකු ආබාධිත තත්ත්වයටත් පත්ව පත්ව ඇත. සිවිල් අරගල ත්‍රිත්වයේදී හා ඉන් පසුවත් ජීවිත පරිත්‍යාග කරමින් මහජනතාවගේ සුරක්‍ෂාව වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන එකම ආයතනය ශ්‍රී ලංකා පොලීසිය බව අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

පොලිස් අධිකාරී,  අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර

 



Recommended Articles