"මේ ඕෂන්වීව් ව්‍යාපෘතිය තුළින් අපි උත්සාහ කළේ පැල්පත් හා මුඩුක්කු වලින් තොර නගරයක් ඇතිකරන්නයි. මේකෙ අරමුණ දුප්පත් ජනතාවට නිවාස ලබාදෙන එක. වැසිකිළි පහසුකම් ලබාදෙන එක. පී.ඩබ්.ඩී නිවාස වලට වැසිකිළි පහසුකම් නෑ. ඒක කණගාටුදායක තත්ත්වයක්. රේස්කෝස් නිවාසවල තත්ත්වයත් එහෙමයි. පී.ඩබ්.ඩී. යුනික් වීව්, රේස්කෝස් පැල්පත්වාසීන්ගේ ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. මේ සඳහා සභාව අදම තීරණය කරනවා නම් හොඳයි. මේ ව්‍යාපෘතිය පටන් ගන්න ඉඩම් තියෙනවා. සල්ලි තියෙනවා. ආයෝජකයෙක් ඉන්නවා. සියලුම දේවල් තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ නගර සභාවයි."
ඒ අදහස පළ කළේ නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද දොඩම්පේගමගේ මහතා නගර සභා රැස්වීමක් අමතමිනි. දිගින් දිගටම අප නුවරඑළිය නගරයේ අවිධිමත් ඉදිකිරීම්, පානිය ජල ගැටලුව මෙන්ම වැසිකිළි නොමැති වූවන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන නිසා මෙම කතාවේදී මතුවූ පී.ඩබ්.ඩී. නිවාස වෙත මුලින්ම ගමන් කළේ එහි ඇත්ත නැත්ත සොයා බැලීමේ අරමුණිනි.
පී.ඩබ්.ඩී. නිවාස ලෙස හඳුන්වන්නේ ඉංග්‍රීසි පාලන කාලය තුළ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා ඉදිකළ නිල නිවාසයි. එම නිවාස ඉදිකර වසර 150කට වඩා පැරණිය. අද වන විට නිවාස දැඩි ලෙස අබලන්ව පවතින අතර, ඉන් කොටසක 2007 වසරේදී නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. අනෙක් කොටසේ තවමත් පැරණි පේලි නිවාස හා පැල්පත් වල පවුල් 32ක් ජීවත් වේ.
මෙම නිවාස සඳහා පොදු වැසිකිළි 08ක් ඇති අතර, ඉන් භාවිතයට ගත හැක්කේ 03ක් පමණි. උදෑසන කාර්ය බහුල අවස්ථාවේදී පාසල් දරුවන්ට මෙන්ම, රැකියා සඳහා පිටත්ව යන අයවලුන්ට එය ප්‍රමාණවත් නොවන බැවින් තම අවශ්‍යතා සඳහා අසල පිහිටි ඇළට යාමට නිවැසියෝ පුරුදු වී සිටිති. එසේම එකතු වන කසළ බැහැර කරන්නේද මේ ඇළටමය. එසේ බැහැර කරන මළ අපද්‍රව්‍ය හා කසළ ඇළ දිගේ නුවරඑළිය නගරය මධ්‍යයෙන් ග්‍රෙගරි වැවට ගලා යන බව අපට නිරීක්ෂණය විය. අප එහි ගිය අවස්ථාවේදී මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කළේ නිවැසියෙක් වූ ඒ. අරියදාස්ය.
මෙතන ගෙවල් 62ක් හදන්න 2007දි විතර පටන් ගත්තා. ඒත් හැදුවේ 30යි. ඒ ව්‍යාපෘතිය නතර වුණා. මේ ඉඩම අයිති නගර සභාවට. හැමදාම ගෙවල් හදලා දෙනවා කියල කියනවා. ඒ වුණාට කරල දෙන්නෙ නෑ. එක ගෙදර පවුල් තුන හතරක් ජීවත් වෙනවා. ගෙයක් කිව්වට තියෙන්නේ කාමරයයි, කුස්සියයි විතරයි. වැසිකිළි මදි. කියන්න ලැජ්ජයි මහත්තයෝ ගොඩක් අය යන්නේ ඇළට. අපේ කාලෙ නම් දැන් ඉවරයි. ඒ වුණාට මේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනේ.
ඔහු කියූ කතාව සත්‍යයක් බව මෙම නිරීක්ෂණයේදී අපට වැටහුණි. මේ තත්ත්වය තුළ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අපව දැනුම්වත් කළේ පී. පරමේෂ්වරියි.
"උදේට ළමයින්ට වැසිකිළි යන්න හරිම කරදරයි. පිරිමි අය ගිහින් ආවට පස්සේ තමයි අපිට යන්න වෙන්නේ. මම කරන්නේ කුලී වැඩ. වැඩට යන ගමන් ටවුමට ගිහින් රු 20ක් දීලා වැසිකිළියට යනවා. නැත්නම් වෙලාවට වැඩට යන්න බැරිවෙනවා. මට හිටියෙ ගෑණු ළමයි තුන්දෙනෙක්. අම්මත් මගේ ළඟ හිටියේ. අම්මා ලෙඩ වුණාම මම කිව්වා තාවකාලිකව හරි වැසිකිළියක් හදාගන්නම් කියලා. නමුත් ඒකට ඉඩක් හම්බ වුණේ නෑ. අම්මා මැරුණෙ සෑහෙන්න දුක් විඳලයි."
එහි නිවැසියෙක් වූ පාකියන් රාජාද කතාවට එක්වූයේ මේ ලෙසිනි.
"වැසිකිළි තියෙනවද කියලවත් නගර සභාවෙන් බලන්නෙ නෑ. මේ වෙනකොට වළවල් පිරිලා. නගර සභාවේ මහත්වරු පෞද්ගලික වැඩවලට නම් මෙහාට එනවා. මේ පැත්තේ ඉන්න මන්ත්‍රී මහත්වරුත් එහෙම තමයි. අපේ ළඟ සාක්ෂි තියෙනවා. ඒ වුණාට මේ පොදු වැඩ කරලා දෙන්න නම් පැත්ත පළාතේ එන්නෙ නෑ."
මේ ගැටලු සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයෙන් පසුව එම ස්ථානයට පැමිණි නුවරඑළිය මහ නගර සභාවේ කර්මාන්ත කමිටු සභාපති, නාගරික මන්ත්‍රී ගාමිණී දිසානායක ජනතාවට පවසා සිටියේ තමන් මේ පිළිබඳව දැනුම්වත්ව නොසිටි බවයි. අදාළ බල ප්‍රදේශයේ නගර සභා මන්ත්‍රීවරුන් සිටින්නේද මෙම නිවාස පේන දුරිනි. ඔවුන් පොදු දේපළ තමන්ගේ කර ගැනීමට දරණ උනන්දුවෙන් 1%ක් පී.ඩබ්.ඩී. ජනතාවගේ පොදු පහසුකම් ගැටලු විසඳීමට දැක්වූයේ නම් මෙහි දරුවන්ට මළපහ කිරීමට ඇළට යාමට සිදුවන්නේ නැත.
පී.ඩබ්.ඩී. නිවැසියන්ගෙන් සමුගෙන අප ඉන්පසු ගියේ පවුල් 150ක් පමණ ජීවත් වන එම්.සී. නිවාස සංකීර්ණය වෙතයි. එහිදී අපට හමුවූ ජී.ජී.ඒ. ධනවතී තමන් මුහුණදෙන ගැටලු පැවසුවේ මේ අයුරිනි.
"මෙහෙ තියෙන බරපතළම ප්‍රශ්නය තමයි පාරවල් නැතිකම හා වැසිකිළි බට ඇළට හරවලා තියෙන එක. පාරවල් ටික ඔක්කොම මිනිස්සු අල්ලගෙන වැටවල් ගහලා. සමහර තැන් වලින් මිනියක්වත් අරන් යන්න බෑ. ටොයිලට් බට ඔක්කොම ඇළට දාල තියෙන්නේ. දොරක් ඇරල තියන්න බෑ. ගඳ එනවා. බලධාරීන්ට මේ ගැන ලියපු ලියුම් මිටියක්ම තියෙනවා. ඒ වුණාට වැඩක් නෑ. මේ ගැන නගරාධිපතිතුමා ඇවිල්ලා බලන්නෙ නෑ. කොමසාරිස්තුමිය ඇවිල්ලා බලන්නෙත් නැහැ. ඉංජිනේරු මහත්තයා එන්නෙත් නැහැ. ඉතින් අපි කාටද කියන්නේ.
අපගේ ඊළඟ ගමනාත්තය වුණේ නුවරඑළිය නගරයට කීලෝමීටරයකටත් වඩා ආසන්නව ඇති යුනික්විව් අලුත් කොළනියයි. එහි පදිංචි පවුල් සංඛ්‍යාව 56කි. අතිශය දිළිඳු පැල්පත් වලින් ගහණ මේ ප්‍රදේශය ඉංග්‍රීසි ජාතිකයන් දුටුවහොත්, නුවරඑළිය පුංචි එංගලන්තය ලෙස හඳුන්වා, එංගලන්තයට අපහාස කරන බවට ඔවුන් නඩු පවරනු නිසැකය. ඇත්තෙන්ම මෙහි තත්ත්වය ශෝකාන්තයකි. ඒ බව එම්. අයි. සකිඩීන් කියන මේ කතාව තුළින් වඩාත් හොඳින් පැහැදිලි වෙයි.
"ටොයිලට් වළක් හාරගන්නවත් තැනක් නැතුවයි අපි ඉන්නේ. තියෙන වළ පිරිලා. දැන් ගේ ඇතුළෙ තමයි වළක් හදාගන්න වෙන්නේ. නගර සභාවට පොදු ටොයිලට් එකක් හදල දෙන්න කිව්වම කියන්නේ, ඔයගොල්ලෝ අයින් කරන්න ඉන්නේ, ඒ නිසා හදල දෙන්න බෑ කියලයි. ඒත් ටොයිලට් එකක් නැතුව ඉන්නේ කොහොමද? අපිට සත්තු වගෙයි ඉන්න වෙලා තියෙන්නේ. එක්කෝ අපිට යන්න වෙන තැනක් හොයල දෙන්න ඕනේ. ඇහුවොත් කියන්නේ ඉඩම් නෑ කියලයි. නුවරඑළියේ ඉඩම් කොයිතරම් ප්‍රමාණයක් පිට සල්ලිකාරයන්ට විකිණෙනවද? දුප්පත් නිසා ඒවා අපිට ලැබෙන්නෙ නෑ. බොන්න වතුර ටික ගන්නෙත් අපි කැළෙන්. ඒ වළේ තියෙන්නෙත් පිරිසුදු වතුර නෙමෙයි. බල්ලො පවා ඒ වළට පැනලා නානවා. ඒ ජරා වතුර තමයි අපි බොන්නේ."
වසර ගණනාවක් ඇදෙන මෙම ගැටලුව සඳහා පිළියමක් ලබාදීමට කිසිදු බලධාරියෙකුට හැකියාව ලැබී නැත. නුවරඑළිය නගරයට ආසන්නව ඇති රේස්කෝස් පිටියේ නිවැසියන්ගේ තත්ත්වයත් මීට සමානය. එහි පවුල් 58කට ජනතාව ජීවත් වේ. මීට වසර 100කටත් පමණ පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙම ජනතාව මෙහි පදිංචි කර ඇත්තේ අශ්වයින් බලාගැනීම හා රේස්කෝස් පිටියේ නඩත්තු කටයුතු සඳහාය. ඔවුන්ගේ නිවාස මුඩුක්කු තත්ත්වයේ පවතින අතර, පැරණි ලැයිම් කාමර වල සහ ලෑලි වලින් සෑදු කුඩා නිවාසවල හය හත් දෙනෙකු ජීවත් වේ. වැඩිහිටියෝ, ළමෝ, තරුණයෝ ආදිය එක් කාමරයකට කොටු වී ඇත. ඒ නිසා මතුවන සමාජ ගැටලුද බොහෝමයකි.
පරම්පරා 5ක් ජීවත් වුවද, මෙම ඉඩමේ කිසිදු අයිතියක් ඔවුනට නැත. හිමිකමක් නොමැති නිසා නව නිවාසයක් සාදාගැනීමට හෝ අලුත්වැඩියා කර ගැනීමට කිසිදු හැකියාවක් නොමැත. මැතිවරණ වකවානුවේදී වෙනත් ස්ථානවල ඉඩම් දෙන බවට පොරොන්දු වුවද ඒ කිසිවක් ඉටුවී නොමැත. වසර ගණනාව පුරාම ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
නුවරඑළිය නගර සභාවේ පෙර පාලනය විසින් නගර සභාව සතු ඉඩම් යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඕෂන්වීව් ව්‍යාපෘතිය දෙස අපේ ඇස යොමු වූයේ ඒ නිසයි. කෙසේ වුවත් වර්තමාන පාලනය බලයට පත්වූ වහාම එය නතර කිරීමට පියවර ගනු ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ, ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයන් විසින් සිදුකරන ලද %ක්‍රියාකාරකම් නතර කරන ලද රාජ්‍ය ව්‍යාපෘති^ සම්බන්ධ පරීක්ෂණ පත්‍රිකාවේ ඕෂන්වීව් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දක්වා තිබුණේ මේ ආකාරයෙනි.
නුවරඑළිය නගරය අවිධිමත් ලෙස ඉදිකර තිබිමත්, අනවසර නිවාස, පැල්පත් නිවාස පැවතීමත් ස්ථිර වාහන නැවතුම් අංගණයක් නොමැති වීමත් හේතුවෙන්, පැල්පත් නගරයෙන් ඉවත් කර ඔවුන්ට ස්ථිර නිවාස තනාදීමටත්, වාහන අංගණ, ස්ථිර පොළ භූමියක්, සුඛෝපභෝගී මහල් නිවාස ආදී තවත් දෑ ඉදිකරමින් සංචාරක ආකර්ෂණය ඇති කළයුතු බව නුවරඑළිය මහ නගර සභාව තීරණය කරන්නේ 2014 වසරේදීය. ඒ සඳහා සුදුසු සැලැස්මක් සකස් කිරීම භාරවන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරියේ කොටස් මගින් සමාගම් පනත යටතේ 1994 වසරේ ලියාපදිංචි කර ඇති ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගම වෙතයි.
ඒ අනුව ඔවුන් විසින් රුපියල් මිලියන 13622ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර, එම ගොඩනැගිලි තුල පොළ භූමිය ස්ථාපිත කිරීමටත්, වාහන 450ක අංගණයක් ඉදිකිරීමටත්, අතිසුඛෝපභෝගී නිවාස 206ක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබුණි. ඉදිකරන ගොඩනැගිලිවල මහල් දෙකක් පොළ භූමිය, කඩ කාමර හා කාර්යාල වෙනුවෙන් මහ නගර සභාව වෙත ලබාදීමටත්, ඉතිරි මහල් වල ඉදිකළ කඩ කාමර හා සුඛෝපභෝගී නිවාස විකුණා ලැබෙන ලාභයෙන් ව්‍යාපෘති පිරිවැය ආවරණය කර ගනිමින් පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 250ක් ඉදිකිරීමටත් ඕෂන්වීව් ඩිවලොප්මන්ට් සමාගම එකඟ වී ඇත. තවද නගර සභාවට ලැබෙන බදු ආදායමෙන් තවත් පැල්පත් නිවාස 600ක් නගර සභාව විසින් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි.
2016 වන විට සියලු රාජ්‍ය ආයතනවල අනුමැතිය මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගෙන තිබුණි. ශක්‍යතා අධ්‍යයන වාර්තාව සැකසීම, පසේ තත්ත්වය පරික්ෂාව, සැලසුම් සකස් කිරීම ආදිය සඳහා ඕෂන්වීව් සමාගම රුපියල් හාරකෝටි අසූ ලක්ෂයක් වැයකර තිබූ අතර, ව්‍යාපෘතිය ඉටුකිරීම සඳහා 2016 ජූනි 29 දින නගර සභාව හා ගිවිසුම්ගත විණි.
එහෙත් 2018 මැයි 15 පැවැති නගර සභා රැස්වීමේදී මෙම ගිවිසුම අවලංගු කිරීමටත්, වෙනත් නව යෝජකයෙක් හඳුනාගෙන නගර සභාවට වැඩි ප්‍රතිලාභ අත්වන අයුරින් නව ගිවිසුමකට එළඹිය යුතු යෝජනාවක් නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කර, සභාව විසින් අනුමත කිරීම නිසා ව්‍යාපෘතිය නවතා දමා තිබුණි. මේ වන විටත් නගර සභාව එහි ඉදිකිරීම් ආරම්භ කර නොමැති අතර, සැලසුම් කළ පරිදි මාසිකව නගර සභාව අපේක්ෂා කළ කෝටි 02ක ආදායමක් ඔවුන්ට අහිමි වී ඇත.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා සියලු නීතිමය අවසරයන් ලබාගෙන තිබියදී 100෴ රාජ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළ ව්‍යාපෘතියක් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව කිසිදු තාර්කික පදනමකින් තොරවු කරුණු මත නවතා දැමීම අවාසනාවකි. පැල්පත් තුළ අදටද ජීවත් වෙන දහස් ගණන් ජනතාවට ඔවුන්ටම වෙන්වූ බිම් කොටසක ස්ථිර නිවාස ලබාගැනීමේ හැකියාව අහිමි වී ගොස් තිබේ. ඉතාම අපිරිසුදු පරිසරයක පවත්වාගෙන යන පොළ භූමිය ජනතාවට හිතකර, අපද්‍රව්‍යවලින් තොර වූ සුරක්ෂිත ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට තිබූ අවස්ථා ඇහිරී ගොස් තිබේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම් නගර සභා මාසික ආදායම රුපියල් කෝටි 2ක් දක්වා වර්ධනයක් කරා යෑමට සැලසුම් කර තිබුණද, එය අදටද රුපියල් මිලියන හතරක් පමණක් වේ. ඉහළ පැලැන්තියේ ජනතාව වෙත සුපිරි නිවාස ඉදිකර දී එම නිවාස විකිණීමෙන් ලැබෙන ලාභයෙන් පැල්පත්වාසීන් 600ක් වෙත ස්ථිර නිවාස ඉදිකර දීමේ සැලසුම බිඳ වැටී ඇත. අධුරදර්ශී පාලකයන්ගේ නොමනා තීරණයක් මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙය තවත් එක් අකාර්යක්ෂම ව්‍යාපෘතියක්ව පවතින බව නිගමනය කළ හැකිය.
නැවත මෙම ව්‍යාපෘතිය සක්‍රීය කළයුතු බවත්, ඕෂන්වීව් ඩිවලොප්මන්ට් ආයතනය සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයක් වන බැවින්, මෙම ව්‍යාපෘතිය එම ආයතනය මගින් ක්‍රියාවට නැංවිය යුතු බවත්, මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බැවින්ද, කෙටිකාලීන ජනප්‍රිය දේශපාලන අරමුණු වෙනුවට දිගුකාලීන ප්‍රතිඵල හිමිවන මෙවැනි ව්‍යාපෘති පිළිබඳව නගරසභිකයන් නිවැරදි ලෙස දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම සුදුසු බවටත් නිර්දේශ කරමු.
ඉහතින් උපුටා දැක්වූයේ පිටු 35කින් සමන්විත එම පරීක්ෂණ පත්‍රිකාවේ අත්‍යාවශ්‍ය කොටස් කිහිපයක් පමණි. එහෙත් මේ පිළිබඳව නගර සභා බලධාරීන් කොතෙක් අවධානය යොමු කරනවාදැයි අපි නොදනිමු. විශේෂයෙන්ම මෙවැනි ව්‍යාපෘති නතරවීම පිටුපස ඇති ප්‍රධාන සාධකය දේශපාලන කුහකත්වයයි. තම නොහැකියාවත්, මෙම ව්‍යාපෘති තුළින් දේශපාලන ප්‍රතිවාදියාට ලකුණු අත්වීමත්, ඔහු තමන් අභිභවා ඉදිරියට යනු ඇතැයි හටගන්නා බියත් හේතුවෙන් ඒවාට අකුල් හෙලන බව, මෙරටේ අක්‍රීය කරන ලද වෙනත් ව්‍යාපෘති දෙස බැලීමෙන්ද ප්‍රත්‍යක්ෂ වේ.
සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්