• දේශීය ආර්ථිකය සහ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තය හොඳ දේශපාලන සටන් පාඨ
• COVID-19 ශ්‍රී ලංකාවේ ගෝලීය ආර්ථික කේන්ද්‍රස්තාන අවස්ථාව වසා දැමුවා
• රටට ගැලපෙන සමතුලිත ආර්ථික ක්‍රමයක් දැන්වත් හඳුනාගත යුතුයි
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති මංගල පී.බී. යාපා පවසයි
නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.
කවදා හෝ දිනෙක මේ වසංගත තත්ත්වය නිමාවට පත්වීමෙන් අනතුරුව රටෙහි ආර්ථිකය යළිත් ඉදිරි මාවතට රැගෙන ඒම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයකි. එහිදී සමස්ත ලෝකයම මේ වසංගතයෙන් මිදීම අනිවාර්යය කරුණකි. ශ්‍රී ලංකාව නම් කුඩා දූපත් රාජ්‍යයට සිය ආර්ථික සමෘද්ධිය ඇති කරගැනීමට නම් ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමගින් පවත්වන සබඳතාව ප්‍රධාන වීම ඊට හේතුවයි.
මේ අතර, දේශීය ආර්ථිකයක, ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව පිළිබඳ වන කතාබහක්ද COVID-19 වසංගතයට සමගාමීව රට තුළ මතු වෙමින් තිබේ. 1977දී රටට හඳුන්වාදුන් විවෘත ආර්ථිකය එතෙක් පැවැති දේශීය ආර්ථිකය බිඳ හෙළූ බවටත්, ඒ හරහා ශ්‍රී ලංකාව විදේශයන් මත යැපෙන දූපතක් පමණක් බවට පත්ව ඇති බවටත් අද චෝදනාව වී තිබේ.
ඒ අනුව වසංගතයෙන් පසුව ලෝකය තුළ ඇති වන ආර්ථික ගැටලුවලට රටක් ලෙස කෙසේ මුහුණ දිය යුතුද, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් කෙසේ සපුරා ගත යුතුද යන්න පිළිබඳව යන්න ප්‍රධාන ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ සඳහා දැනට රට තුළ මතුවෙමින් පවතින මෙම දේශීය ආර්ථිකය ගොඩනැගීම යන සංකල්පය කෙසේ දායක කරගත යුතුද, එසේ නොමැතිව ඊට වඩා හොඳ ක්‍රමයක් මෙහි ඇත්ද යන කාරණාවත් කතා බහට ලක්ව ඇත. එසේම මෙහිදී සියල්ලටම යටින් ඇති දේශපාලනයද අපට අමතක කළ නොහැක.
ඒ අනුව පවතින මේ තත්ත්වයත් උද්ගත විය හැකි තත්ත්වයත් පිළිබඳව අදහස් විමසීම සඳහා අපි පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ වරලත් ඉංජිනේරු මංගල පී.බී. යාපා මහතා හමුවුණෙමු.
නාවික ඉංජිනේරුවරයෙකු ලෙස සිය වෘත්තිය දිවිය අරඹා ඇති ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සාමාජිකත්වය දරයි. එසේම ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක්ද හිමි කරගැනීමට සමත්ව ඇත. මීට පෙර ඔහු කොළඹ නැව් තටාංකාංගනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර ඇති අතර, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
ඒ මහතා සිය අදහස් දැක්වීම තුළදී, දැනට රට තුළ පවතින මෙම දේශීය ආර්ථිකය සහ ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තය යන සංකල්ප වඩාත් හොඳ දේශපාලන පාඨයන් බවද පවසයි. එහෙත් මේ අවස්ථාවේදී විය යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොර වී සියලු දෙනාගේම එකඟතාවෙන් ඉදිරි වසර පහකට සරිලන ලෙස ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් ඒ හරහා රට යළිත් නගා සිටුවීම බව ඔහුගේ අදහස වී තිබේ.
"මෙතැනදී ගොඩක් දේවල් තීරණය වෙන්නේ ඉදිරියේදී රටෙහි පවතින තත්ත්වයත් සමගම රටෙහි ඇති වන සමාජ දේශපාලනික වාතාවරණය අනුව කියලයි මම විශ්වාස කරන්නේ. එය තමයි වැදගත්. දැන් රටම නැඹුරුවෙමින් පවතින ප්‍රවණතාවය වෙන්නේ දේශීය ආර්ථිකයක්, ස්වයංපෝෂිත කෘෂිකර්මයක් යන සංකල්පයි.
මේ ආණ්ඩුව ගත්තත්, ඊට සන්ධාන ගත වෙලා ඉන්න අය එවැනි සංකල්පවල හිටපු අය, ඉන්න අය සහ ඒවායින් ජනප්‍රිය සටන් පාඨයක් හදාගන්න පුළුවන් අය. රටේ මැතිවරණ අවස්ථාවක් තියෙන්නේ. ඒ අය දන්නවා ඔවුන්ගේ දේශපාලන නැඹුරුවත් එක්ක මේක ජනතාව අතරට යන්න හොඳ සටන් පාඨයක් කියලා. එතැනදී ඔවුන්ට පුළුවන් ජාතිවාදී කියන දේ දේශීය ආර්ථිකය කියන පැත්තට හරවා ගන්න පුළුවන්." යාපා මහතා පවසයි.
එහෙත් පාලක පක්ෂයට සහ විපක්ෂයට හිතවත් පිරිස් වෙත මෙන්ම මධ්‍යස්ථ පිරිසකටත් මෙය හොඳ දැක්මක් ලෙස ඉදිරිපත් විය හැකි බව හෙතෙම සඳහන් කරයි. එහිදී බොහෝ විට එය ජාතිවාදී සටන් පාඨයට වඩා හොඳ සටන් පාඨයක් බවටත් පත් කරගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පවසයි.
"ඒත් මෙතැනදී තියෙන ගැටලුව වෙන්නේ අභ්‍යන්තර සමාජ දේශපාලන මතවාදය රටේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කිරීම සඳහා ඍජුවම බලපෑමයි. මෙතැන ජනතාව අතර ඇති වන මතවාදයට වඩා වැදගත් වෙන්නේ රජය අන්තිමට ගන්න මතය මොකක්ද කියන එකයි.
රජය ඒ පැත්තට නැඹුරු වුණොත් එය, විවෘත ආර්ථිකයට, ආයෝජන ප්‍රවර්ධනයට, අපනයන සංවර්ධනයට ප්‍රතිවිරුද්ධ මතයක්. එය එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතයක්. හැමදාම ආපු තර්කයක් තමයි මෙහිදී රටට ගැළපෙන සමතුලිතතාවක් හඳුනාගත යුතුයි කියන දේ. දේශීය නිෂ්පාදන සහ නිෂ්පාදකයා ආරක්ෂා කළ යුතුයි කියන දේ."
එහෙත් එහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ තරගකාරීත්වය පිළිබඳ කාරණාව බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම රටකට හුදෙකලාව සිටීමට නොහැකි බවත්, ගෝලීය වෙළෙඳ පොළට එකතු වීම අනිවාර්යය බවත් ඔහු පවසයි. ඒ නිසා තරගකාරීත්වය ඇති කරගන්නේ කෙසේද යන්න විමසීම වැදගත් අවස්ථාවකි. එහිදී සියයට සීයක්ම දේශීය ආර්ථිකයක් යන සංකල්පයට යාම ආයෝජන ආකර්ෂණය සඳහා අසීරු තත්ත්වයක් උදා කරනු ඇතැයි යන්න යාපා මහතාගේ අදහස වී තිබේ.
"මොකද දැන් අපිට මේ ආයෝජන ආකර්ෂණය කරන්න සිදු වෙලා තියෙන්නේ බොහෝ ව්‍යාකූල ලෝක වාතාවරණයක් මත. ලෝකයේ ආයෝජකයෝ යළිත් වරක් මේ ආයෝජනය කිරීම් ගැන හිතන්න පටන් අරගෙන තියෙන්නේ. වඩාත් ස්ථාවර වෙළෙඳ පොළක් කොහෙද තියෙන්නේ කියන දේ ඔවුන් හොයනවා. ලංකාව ඒ වගේ දේකට දේශපාලනික වශයෙන් සහ වෙළෙඳ පොළ වශයෙන් සුදුසු තත්ත්වයක නෙමෙයි තියෙන්නේ.
ලංකාව කියන්නේ මිලියන 21ක ජනතාවක් ඉන්න හරි පොඩි රටක්. අපි ඉස්සර පුළුවන් තරම් ප්‍රචාරය කරන්න හැදුවේ ලංකාව මිලියන 21ක් වුණාට අපේ මුහුදු මාර්ග සහ ගුවන් මාර්ග හරහා සම්බන්ධ වෙන සමස්ත වෙළෙඳ පොළ බිලියන 4කට වඩා වැඩියි කියලයි. ඉන්දියාව, දකුණු ආසියානු කලාපයේ සිට මැදපෙරදිග දක්වා මෙන්ම අග්නිදිග ආසියාවටත් යනන් පුළුවන් තැනක් කියලයි.
ඒත් COVID-19 න් සිදු කළේ මේ සියලුම අවස්ථාවන් වසා දමපු එක. ඒ නිසා දැන් සැපයුම් දාම සියල්ල කැඩිලයි තියෙන්නේ. හැබැයි එතැනත් හොඳ අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදියට චීනය සතුව විශාල ආර්ථිකයක් තිබුණට මේ වගේ දේකදී ඒ සියලු දේ අඩපන වෙනවා කියන දේ පැහැදිලි වෙලා තියෙනවා. සමහර විට හිතෙන්න පුළුවන් පොඩි ආර්ථිකයකදී එය පාලනය කරගන්න පුළුවන් කියලා.
හැබැයි ඒ එක්කම පොඩි ආර්ථිකය වුණත් මේ වගේ වැහුවම ගුවන් ගමන් නැතිව, නැව් ගමනාගමනයක් නැතුව, අපනයනය භාගයකට භාගයක් කපා දමලා කොහොමද රැකෙන්නේ කියන එක. අපනයන සංවර්ධන මණ්ඩලයේ මේ වසරේ අපනයන ඉලක්කය ඩොලර් බිලියන 10යි. මට ගැටලුව වෙන්නේ මේ බිලියන 10න් කොහොමද රැකෙන්නේ කියන එක. එතැනදී ආනයන සීමා කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ආයිත් 70 - 77 කාලෙට්, සංවෘත ආර්ථික ක්‍රමයට ක්‍රමයෙන් ළගා වෙනවා." ඔහු වැඩි දුරටත් පවසයි.
ඒ අනුව අද ජනප්‍රිය මතවාදය බවට පත්ව ඇත්තේද මෙයම බව ඔහු සඳහන් කරයි. එහෙත් එහිදී ආණ්ඩුව විවෘත ආර්ථිකය පැමිණීමට පෙර 70 -77 කාලේදී තිබුණු ඒ අත්දැකීම්වලින් දුටු අඩුපාඩු, ප්‍රශ්න විසඳගත හැකි ක්‍රමයක් සකසා ගැනීමත්, 77න් පසු ඇති වූ විවෘත ආර්ථිකයේ පවතින අඩුපාඩුත් තේරුම් ගෙන ඒවාට විසඳගන්න සෙවීමත් වඩාත් වැදගත් බවද මංගල යාපා මහතා පෙන්වා දෙයි. මෙම අවස්ථා දෙක ගැනම කල්පනා නොකර දැනට පවතින ජනප්‍රිය මතවාදයකට යාම ආයෝජන අඩු කිරීමකට හේතුවන බව ඔහු පවසයි.
"දැනටමත් අපනයනය අඩු කරගෙන යනවා නම්, සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙලා යනවා නම්, ආයෝජනයත් අඩුවෙනවා නම් ලංකාව උග්‍ර ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙනාව. එය ප්‍රබල දේශපාලනික ආර්ථික සහ සාමාජීය ගැටලුවකට රට පත් කිරීමක් වෙනවා."
ඒ අනුව මෙවැනි තැනකට රට පත් කිරීම සඳහා හේතුවන විශාල දේශපාලන ගැටලුවක්ද තමන්ට දැකගත හැකි බව හෙතෙම පවසයි. විශේෂයෙන්ම මෑත අවස්ථාවකදී මැතිවරණයක් පැවැත්වීම අසීරු තත්ත්වයක් බවට පත්ව තිබෙද්දී, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව යළි කැඳවීමක් සිදු කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
"මේ රටේ දේශපාලනඥයන්ට පරිණත ප්‍රඥාවක් තියෙනවා නම් මේක තමයි අවස්ථාව රට ගැන හිතලා පක්ෂ සේරම එකතු වෙලා රටට ගැලපෙන වඩාත්ම සුදුසු ප්‍රතිපත්තියක් අලුතින්ම ඇති කරගන්න එක. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජන බලවේගයට ජනපති බලය නැහැ. ජනපතිවරයාට පාර්ලිමේන්තු බලය නැහැ. 2015 දී අපි දේශාලනය විසින් උරුම කරදුන්න ගැටලුව අද පරිසරය විසින් උරුමකර දීපු අවස්ථාවක් තමයි අපි දකින්නේ."
ඒ අනුව මෙය අලුත් විදියකට සිතීම සඳහා ලබා දුන් දෙවැනි අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත් යාපා මහතා පවසයි.
"ඒ නිසා මේ අවස්ථාව රට සමාජ, දේශපාලනික ආර්ථික වශයෙන් යම් සංධිස්ථානයකට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් දේශපාලනය තුළින් රටෙහි අනාගතය එක්තරා විදියකට හරි තැනකට ගෙනයන්න. හැබැයි මේ ප්‍රශ්න සියල්ලම අතර රට යම් විදියකට ඒකාධිපති පාලනයක් වෙත යාමේ අවස්ථාවකුත් අපි දකිනවා. පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව, ව්‍යවස්ථා විරෝධී විදියට කටයුතු කළොත්, එය එහි ආරම්භක පියවරක් බවට පත්වේවි.
ජනතාව මේ වෙලාවේ ඉතාමත් බුද්ධිමත් වෙන්න ඕනේ. තමන්ට හැගෙන දේ රටෙහි ජනප්‍රිය කරවීමට නොයාම තමයි වැදගත්. ඉස්සර සිරිමාවෝ මැතිනියගේ කාලේ තිබුණා හාල් නැතිව බත් කන්නම්, මිරිස් නැතිව හොඳි කන්නම්, සීනි නැතිව තේ බොන්නම් කිව්වට ඒ දේ කරන්න බෑ. අදටත් මේ සමාජ මාධ්‍ය තුළ අපි දකිනවා මැතිණිය ඒ කිව්ව දේ කලා නම් පොල් පැලයක් හිටෙව්වා නම් අද එහි ඵල ප්‍රයෝජන තියෙනවා නේද කියලා.
ඒදේ වැරදියි කියලා මම කියන්නේ නෑ. රට ආහාරයෙන් ස්වයංපෝෂිත වෙන්න ඕනේ. ඒත් එක්කම තරගකාරීත්වය ගැන හිතන්න වෙනවා. අපේ කෘෂි භෝග තරගකාරී මට්ටමකට ගෙන එන්න ඕනේ. අපේ පසු අස්වනු හානිය අඩු කරගෙන වැඩි ඵලදාවක් ඇති කරගිමින් අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයටත් ගෙන යාමේ අවස්ථාව තිනෙවා." හෙතෙම සඳහන් කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලය වසර 2020 සඳහා සකස් කරපු අපනයන උපායමාර්ගික සැලැස්මෙහිද මෙරටින් සිදු කරන එළවලු සහ පළතුරු අපනයනය සඳහන් වී තිබේ. එම අපනයන පැස සාදා ගැනීමේ අවස්ථාව රටක් ලෙස ශ්‍රී ලංකාවට හැකිය යන්න මංගල යාපා මහතා සඳහන් කරයි. ඉදිරියේදී මෙම එළවලු සහ පළතුරු වෙත හොඳ වෙළෙඳ පොළක් හිමි වන බවත්, විශේෂයෙන්ම රබර් සඳහා ලෝක වෙළෙඳ පොළෙහි වටිනාකමක් ඇති වන බවත් ඔහු පවසයි. ඒ සඳහා දැන් ඉදන්ම ජනතාව සහ රට සකස් වීම සුදුසු බව ඔහුගේ අදහස වී තිබේ.
"ඒවාට අමතරව ඉලෙක්ට්‍රොනික උපාංග, මෝටර් රථ අමතර කොටස් වගේම වෛද්‍ය උපාංග නිෂ්පාදනයටත් අපිට යොමු වෙන්න පුළුවන්. ඒ අවස්ථාව නැවත වතාවක් රටට උදා වෙලා තියෙනවා. ඒත් ඒ දේ කරාවිද කියන දේ තීරණය කරන්න ඕනේ රජය සහ ජනතාවයි."
මෙහිදී රටෙහි දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් සියලු දෙනාම එකතු වී එක මතයකට පැමිණීම වැදගත්ම කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.
"මේ අවුරුදු පහ දේශපාලන ඇණ කොටා ගැනීමකින් තොරව ඉදිරියට යනවා කියන ප්‍රතිපත්තියේ හිටියොත් රටක් හැටියට එකතු වෙලා යන්න පුළුවන්. දැනට පේන හැටියට අගෝස්තු වෙනකම්ම ඡන්දයකට යන්න බැහැ. අපි හිතුවොත් ප්‍රතිපත්ති 10ක් හරි 20ක් හරි දෙපැත්ත එකතු වෙලා ක්‍රියාත්මක කළොත්, ඒ අනුව අයවැයක් හදලා ඒක අනුමත කළොත් පොඩි හරි හුස්මක් ගන්න පුළුවන් වෙයි. ඒ දේශපාලන ස්ථාවරත්වය ජාත්‍යන්තරයට දීලා, ඒ දැක්ම ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් එය එක පක්ෂයක් ජයග්‍රහණය කරනවාට වඩා රට ජයග්‍රහණය කරවන්න හොඳ අවස්ථාවක්." මංගල පී.බී. යාපා මහතා අවසන් වශයෙන් පවසා සිටියි.