වස විස නැති පලතුරු රටට බෙදන මැනිං වෙ‍ෙළඳ පොළ


හරිත විප්ලවය හරහා ලෝකයා ආහාරවලට වස විස එකතු කර අනුභව කළත් මෙරටේ අතීතයේ සිටි මිනිසුන් ආහාරවලට කිසිදු කෘත්‍රීම ද්‍රව්‍යයක් එකතු කළේ නැත. එහෙත් හරිත විප්ලවය ලංකාවට හඳුන්වා දීමට රටේ බලධාරීන් කටයුතු කිරීමත් සමග රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් ඉහළින්ම පිළිගන්නා මෙරටේ බහුතර වූ ගොවි ජනතාවත් කිසිදු සොයා බැලීමකින් තොරව හරිත විප්ලවයෙන් බිහිවූ දේවල් වැලඳ ගැනීමට කටයුතු කළේය. එයින් බිහි වූ බීජ, කෘෂි රසායන වල්නාශක, රසායනික පොහොර මේ භූමිය තුළ භාවිත කිරීම හේතුවෙන් වසර දහස් ගණනක් තිස්සේ මෙරටේ ජනතාව රටට දායාද කළ පාරම්පරික බීජ ටික මුලින්ම රටට අහිමි විය.


හරිත විප්ලවය හරහා බිහි වූ බොහෝ බහුජාතික සමාගම්වල මූලිකම අරමුණ වී තිබුණේ බීජ ඒකාධිකාරියක් ගොඩනැගීමය. ඒ අනුව ඔවුන් ලෝකයාට හොර රහසේ මරාගෙන මැරෙන බීජ නිෂ්පාදනය කළ අතර, මෙම බීජයකින් හටගන්නා පුෂ්පයක රේණු අප රටේ පාරම්පරික බීජයකින් හටගන්නා පුෂ්පයක රේණු සමග ගැටීමකට ලක්වීමේදී දේශීය බීජයෙන් හටගන්නා ඵලදාවේ රෝපණය වීමේ ශක්තිය හීන වී යයි.

වසර 2500කට වැඩි ඉතිහාසයක් ඇති අප රටේ ගොවීන් ඉදිරි වගාවන් සඳහා බීජ ලබාගත්තේ එක් වගා කන්නයකදී ලැබෙනා අස්වැන්නෙන් හොඳම කොටස උපයෝගී කරගෙනය. මෙසේ දේශීය බීජ වඳ බීජ බවට පත්වීම නිසා සෑම වගා කන්නයකදීම සමාගම් මගින් නිපදවන බීජ මිලදී ගැනීමට මෙරටේ ගොවීන්ට සිදු වූ අතර, එහිදී බීජ සමග වල්ශාක, බීජ හා බැක්ටීරියා කවලම් කිරීමට බහුජාතික සමාගම් කටයුතු කරනු ලැබිණි. අනතුරුව වල් මර්දනයට, කෘමි මර්දනයට, වල්නාෂක, කෘමිනාශක නිර්මාණය කිරීමට බීජ නිෂ්පාදන සමාගම් කටයුතු කළේය. මීට අමතරව බහුජාතික සමාගම් මගින් බීජවලින් හොඳ අස්වැන්නක් ලබාගැනීමට රසායනික පොහොරත් හඳුන්වා දුන් අතර, ඉන්පසුව හරිත විප්ලවය හරහා ලොවට හඳුන්වා දුන් පලතුරු ඉදවීම සඳහාත්, විෂ රසායන වර්ග නිෂ්පාදනය කිරීමට බහුජාතික සමාගම් කටයුතු කළේය. 

මේ නිසා අකාලයේ රෝගී වන ජනතාව බේරා ගැනීමට ඉතාමත් සුළු පිරිසක් අරගලයක් ආරම්භ කළ අතර යම් කාලයකදී අරගල කිරීම තුළින් ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගත්තත් මේ රටේ ජාවාරම්කාර දේශපාලනඥයන් කිහිප දෙනෙකුට හා ජාවාරම්කාර නිලධාරීන් කිහිප දෙනෙකු විසින් එම ජයග්‍රහණ බිමට සමතලා කළේය. මෙවැනි තත්ත්වයක් තිබියදී ජාවාරම්කරුවන්ට අභියෝග කරමින් කොළඹ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් රටට ආදර්ශයක් දෙන කටයුත්තකට මුලපුරා තිබේ. ලංකාවේ නිෂ්පාදනය කරන බොහෝ පලතුරු රට පුරා විසිරී යන්නේ මැනිං වෙළෙඳ පොළ මූලික කර ගනිමින් වන අතර, මැනිං වෙළෙඳ පොළේ පලතුරු වෙළෙඳුන් පලතුරු ඉදවීම සඳහා ස්වාභාවික ක්‍රම භාවිත කිරීම හේතුවෙන් මෙරටේ බොහෝ ජනතාවට වස විසෙන් තොර පලතුරු අනුභව කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. මේ පිළිබඳව විමසීමට මෙම කටයුත්තට දායක වූ බලධාරීන් කිහිප දෙනෙකු සමග අප මෙසේ සාකච්ඡා කළෙමු.

මැනිං වෙළෙඳ පොළේ කිසිදු වෙළෙන්දෙක් රසායනික ද්‍රව්‍ය වෙළෙඳ පොළ තුළටවත් රැගෙන එන්නේ නැහැ දේශබන්දු ලාල් හෙට්ටිගේ (සභාපති) - මැනිං මාර්කට් පොදු වෙළෙඳ සංගමය 

වස විසවලින් ජනතාව බේරාගැනීමේ අරමුණින් අපි දැඩි තීන්දුවක් ගෙන තිබෙනවා. මේ අනුව මැනිං වෙළෙඳ පොළ තුළදී කිසිදු පලතුරකට රසායනික ද්‍රව්‍ය ඉසින්න බැහැ. පලතුරු ඉදවීමට අවශ්‍ය නම් ඒකට පාරම්පරික ක්‍රම භාවිත කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම පහසුකම් වෙළෙඳුන්ට ලබාදීලා තියෙන්නේ
ඒ වගේම ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරලා තිබුණොත් එම පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කරනවා. රසායනික ද්‍රව්‍ය යොදා තිබෙනවාද කියා සොයා බැලීමට අපිට ක්‍රම‘වේද තියෙනවා. මේ නිසා පලතුරු රැගෙන එන ලොරියක කුඩා පලතුරු ප්‍රමාණයකට හරි රසායනික ද්‍රව්‍ය යොදා තිබුණොත් පලතුරු ලොරියම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා මැනිං වෙළෙඳ පොළට පලතුරු රැගෙන එන වෙළෙඳුන්,  ගොවි ජනතාව, මැනිං වෙළෙඳ පොළට ස්වාභාවික ආකාරයට පලතුරු රැගෙන ආයුතු වෙනවා.
සියලු දෙනාම එකතුවී මෙම කටයුත්ත සිදුකරන නිසා මැනිං වෙළෙඳ පොළේ කිසිදු වෙළෙන්දෙක් රසායනික ද්‍රව්‍ය වෙළෙඳ පොළ තුළටවත් රැගෙන එන්නේ නැහැ. මෙම වැඩපිළිවෙළ සාර්ථක වීමට එය ප්‍රධාන හේතුවක්.

මැනිං වෙළෙඳ පොළ ආරම්භ කරලා තියෙන නීති රීති ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථානවලටත් හඳුන්වා දෙනවා
එච්.එම්. උපසේන (ජාතික සංවිධායක) - සමස්ත ලංකා ඒකාබද්ද ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සමිතිය

මැනිං වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ රටේ තියෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 11 තුළත් ක්‍රියාත්මක කරනවා. වැලිසර, නුවරඑළිය, මීගොඩ, දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, නාරාහේන්පිට, අැඹිලිපිටිය, නොරොච්චෝලේ, බෝකුන්දර, ආර්ථික මධ්‍යස්ථාන හරහා දෛනිකව විශාල පලතුරු ප්‍රමාණයක් හුවමාරු වෙනවා. මේ නිසා ස්වාභාවික ක්‍රම මගින් පලතුරු ඉදවීමට ආර්ථික මධ්‍යස්ථාන කටයුතු කිරීමත් සමග රටේ බොහෝ ජනතාවට සෞඛ්‍යයට හිතකර පලතුරු අනුභව කිරීමේ අවස්ථාව හිමිවෙනවා. 
ජනතාවත් හොඳ පලතුරු තෝරා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. එහෙම කළොත් මුලින්ම පලතුරු ඉදවීමට භාවිත කරන වසවිස රටින් තුරන් කිරීමට හැකියාව තියෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන තුළ පලතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ලෙසට වෙළෙඳ ප්‍රජාව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම ස්වාභාවික ක්‍රමයට ඉදවීම සිදුකරන ආකාරය පිළිබඳවත් වෙළෙඳුන් දැනුවත් කරලා තියෙන්නේ. මේ නිසා මැනිං වෙළෙඳ පොළ ආරම්භ කරලා තියෙන නීති රීති ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථානවලටත් හඳුන්වා දෙනවා.

වෙළෙඳ ප්‍රජාව වගේ බලගතු පිරිසක් වස විසෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට ඉදිරිපත් වෙලා තියෙනවා
පූජ්‍ය අතුරලියේ රතන හිමි උපදේශක - තිරසාර කෘෂිකර්ම ව්‍යාපෘතිය

වස විසෙන් තොර රටක් හදාගැනීම සඳහා වසර 10ක සිට අරගල කරනවා. ඒත් රට ගැන හැඟීමක් නැති, මිනිස්සු ගැන හැගීක් නැති දේශපාලනඥයන් කිහිප දෙනෙකු රටේ මිනිසුන්ට වස විස කැවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේ තියෙන කාලයකදී මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන්, වෙළෙඳ සංගමය එක්ව ගත්ත මෙම තීන්දුව බලගතු එකක්. අපිට මුලින් ප්‍රශ්නයක් තිබුණා වස විසෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට යෑමේදී අපිට ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවුවහොත් අප පස්සෙන් සිටින්නේ කවුද කියලා. ඒත් වෙළෙඳ ප්‍රජාව වගේ බලගතු පිරිසක් වස විසෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට ඉදිරිපත් වෙලා තියෙනවා.

හරිත විප්ලවය සිදුවුණාට පස්සේ එය සොයාගත් විද්‍යාඥයාට නොබෙල් ත්‍යාගය පවා හිමිවුණා. එදා එතුමා මේ වගේ විනාශයක් ගැන හිතන්නේ නැතිව ඇති. ඒත් බහුජාතික සමාගම් විසින් මෙය විනාශකාරී තත්ත්වයට පත් කළා. පලතුරු ඉදවීම සඳහා වෙළෙඳ පොළට නිකුත් කරන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් ගැන රසායනික බෝතලයේ අඩංගු නැහැ. මේ නිසා යම් දෙයක් සිදුවුණත් නඩු පවරන්න කෙනෙක් නැහැ. පලතුරු ඉදවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය 300කට වඩා රට තුළ තිබෙන බවට වාර්තා වෙනවා. 2013 වසරේදී රසායනික වර්ග 30ක් මැලේසියාවට ගිහිල්ලා පරීක්ෂණ කළා එතැනදී පරීක්ෂණ නිලධාරියා ඇහැව්වා මේවා භාවිත කරලා ඉදවන පලතුරු කන රටේ මිනිසුන් ඉන්නවද කියලා.

ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් යහපත් ක්‍රියාවක් සිදුකරනවා
මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන - රජරට වෛද්‍යපීඨය

මහා පො‍ෙළාවට වස විස ගහනවා ඒ වගේම පලතුරු ඉදවන්නත් වස විස ගහනවා. අවසානයට සැවොම රෝගීන් වෙනවා. පලතුරු ඉදවීම ගත්තම අපේ රටට පාරම්පරික ක්‍රම රාශියක් තියෙනවා. ඒ ක්‍රමයට පලතුරු ඉදවීම හරහා රසය වගේම ගුණයත් සුරක්ෂිත වෙනවා. ඒත් බහුජාතික සමාගම් හඳුන්වා දුන් රසායනික ක්‍රම හරහා මිනිසුන්ට පිළිකා, වකුගඩු රෝග ඇතිවීම වගේම වෙනත් ශරීර ආබාධ රාශියක් ඇති වෙනවා. 

ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් යහපත් ක්‍රියාවක් සිදුකරනවා. ඒ සඳහා සම්පූර්ණ මගපෙන්වීම සිදුකළේ මමයි. ස්වාභාවික ක්‍රමයට පලතුරු ඉදවීම පිළිබඳව වෙළෙඳ සංගම් මට්ටමින් වෙ‍ෙළඳුන් දැනුවත් කිරීමට මම සූදානම් වෙලා ඉන්නේ. මෙම වැඩපිළිවෙළ යටතේ දැනට මැනින් වෙ‍ෙළඳ පොළේ වෙළෙඳුන් වගේම නුවරඑළිය ප්‍ර‘දේශයේ පලතුරු වෙ‍ෙළඳුන් දැනුවත් කරලා තියෙන්නේ. ස්වාභාවික ක්‍රමයට පලතුරු ඉදවන එක අමාරු වැඩක් නොවෙයි. මෙහිදී වෙළෙඳුන්ට විශේෂ වාසියක් අත්වෙනවා. මොකද රසායනික ද්‍රව්‍ය මිලදී ගන්න වියදම් වන මුදල ඉතුරු වෙනවා.

මේ පිළිබඳව මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් කිහිප දෙනෙකුද මෙසේ අප සමග අදහස් දැක්වූහ.

දැන් නම් රසායනික ද්‍රව්‍ය පැත්ත පළාතකට ගෙන්නේ නැහැ නිමල් අලගේන්ද්‍ර, 

 මීට වසර 12ක් විතර වෙනකම් රසායනික ද්‍රව්‍ය යොදාගෙන විශාල පලතුරු ප්‍රමාණයක් ඉදවීමකට ලක්කලා. මම මුලින් පලතුරු ඉදවීම සිදුකළේ ස්වාභාවික ක්‍රමයට. සරලව කියනවා නම් කුඩා කාමරයකට පලතුරු දාලා. පරඬැල් පොඩි මුට්ටියකට දාලා ඒ තුළට ගිනි අඟුරක් දාලා පිම්බම දුම ඇතිවෙනවා. ඊට පස්සේ මුට්ටිය කාමර ඇතුළේ ටික වෙලාවක් තියලා එළියට ගන්නවා. පස්සේ කාමරය වසා දමනවා. මේක ඉතාමත් සරල ක්‍රමයක්. ඒ වගේම ඝන ඉටිරෙද්දකින් පලතුරු ටික හොඳට වහල තිබ්බත් නිකම්ම ඉදෙනවා. 
මැනිං වෙ‍ෙළඳ පොළ ආරම්භ වූ කාලයේදී මෙම ක්‍රමය භාවිත කළා. ඒත් නිලධාරීන් රසායනික ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම නිසා අපිත් නොදැනුවත්වම එම ක්‍රමයට හුරු වුණා. ඒ තුළින් රටේ ජනතාවට වස විස කැව්වා. ඒ වගේම අපේ පවුල්වල පිරිස්වලටත් පලතුරු හරහා වස විස කැව්වා. ඒත් දැන්නම් රසායනික ද්‍රව්‍ය පැත්ත පළාතකට ගෙන්නේ නැහැ. මම පලතුරු අරන් සිල්ලරට වගේම තොගයට විකුණනවා. දැන් කාටවත් බයවෙන්න දෙයක් නැහැ.


මැනිං වෙ‍ෙළඳ පොළ තුළින් තොගයට හෝ සිල්ලරට පලතුරු ගැනීමේදී ජනතාව බයක් ඇති කර ගත යුතු නැහැ
අනිල් ඉන්ද්‍රජිත්, 

“මැනිං වෙ‍ෙළඳ පොළ තුළ වසර 25කට වැඩි කාලයක් මම වෙ‍ෙළඳාම් කරනවා. පලතුරු සිල්ලර ක්‍රමයට අලෙවි කරනවා. අපි පලතුරුවලට රසායනික ද්‍රව්‍ය ගැහැව්වේ ඉතාමත් අඩුවෙන්. මොකද පලතුරු තොගය ගනිද්දී ඒ අය රසායනික ද්‍රව්‍ය ගහලා දෙන්නේ. ඒත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිදුකළ දැනුවත් කිරීම්වලට අනුව අපි තේරුම් ගත්තා මේක වැරදි ක්‍රමයක් කියලා. මේ නිසා සිල්ලර වෙළෙඳාම් කිරීමට ගත්ත පලතුරු ස්වාභාවිකව ඉදවලා තියෙනවද කියලා මම හොඳට හොයලා බලනවා වස විස බලනවා. එහෙම නොතිබුණොත් මිලදී ගැනීමක් සිදු කරන්නේ නැහැ. 
මැනිං වෙළෙඳ පොළ තුළ පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන නිසා මැනිං වෙ‍ෙළඳ පොළ තුළින් තොගයට හෝ සිල්ලරට පලතුරු ගැනීමේදී ජනතාව බයක් ඇති කර ගත යුතු නැහැ. 

ජනතාව වෙනුවෙන් කෙසෙල් ඉදවීම සිදුකරන්නේ ස්වාභාවික ක්‍රමයටයි ප්‍රියන්ත විජේසුන්දර, 

&මම අලෙවි කරන්නේ කෙසෙල්. කෙසෙල් වෙ‍ෙළඳාම ආරම්භ කරලා වසර 28කට වැඩියි. මුලින්ම ස්වාභාවික ක්‍රමයට කෙසෙල් ඉදවීම සිදුකළා. නිලධාරීන් එකතුවෙලා අලුත් ක්‍රමයක් කියලා රසායනික ද්‍රව්‍ය යොදන එක හඳුන්වා දුන්නා. ඒක නිසා ස්වාභාවික  ක්‍රම ටික කාලයකට නතරවෙලා ගියා. කොහොම හරි රසායනික ද්‍රව්‍ය යොදලා කෙසෙල් ඉදවීම තුළින් මිනිස් ශරීරයට වස විස ඇතුළු වෙනවා කියලා අපි දැන් දැනුවත්. මේ නිසා ජනතාව වෙනුවෙන් හිතලා මම කෙසෙල් ඉදවීම සිදුකරන්නේ ස්වාභාවික ක්‍රමයටයි.  
මම කෙසෙල් තොග වශයෙන් ගෙන්වනවා. ගොවීන්ට ව්‍යාපාරිකයන්ට කියලා තියෙන්නේ  ස්වාභාවිකවම කෙසෙල් ටික මැනිං වෙ‍ෙළඳ පොළට එවන්න කියලා. මේ නිසා ඉදවීම සිදුකරන්නේ මම. ඒක නිසා ජනතාව මැනිං වෙළෙඳ පොළේදී පලතුරු ගැනීමේදී අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.

මැනිං වෙළෙඳ පොළෙන් පිටත රසායනික ද්‍රව්‍ය යොදවලා ඉදවීමකට ලක්කරන ගස්ලබු අලෙවි කරනවා. මේවා වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි
කමල් රණසිංහ, 

අවුරුදු 10ක පමණ පෙර සිට මම මෙහි ගස්ලබු වෙළෙඳාම ආරම්භ කළා. මුලින්ම දේශීය ගස්ලබු අලෙවි කරපු නිසා ස්වාභාවික ලෙස ඉදවීමකට ලක්වෙන ගස්ලබු අලෙවි කළා. 
ඒත් දෙමුහුන් තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන ගස්ලබු ඉදවීම් සඳහා අනිවාර්යයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුණා. එහෙම නැතුව ස්වාභාවික ක්‍රමයට දෙමුහුන් ගස්ලබු ඉදවීම නෑ. එහෙම කිරීමට යෑමේදී ගෙඩියට හානි සිදුවුණා. අවාසනාවන්ත කරුණ වෙලා තියෙන්නේ දේශීය ගස්ලබු සොයාගන්න බොහොම අමාරු වීමයි. ඒක නිසා බලධාරීන් දේශීය ගස්ලබු වගා ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතු වෙනවා. කොහොම වුණත් රසායනික ද්‍රව්‍ය ගෙඩියට ඍජුවම ස්ප්‍රේ කරලා තියෙන ගස්ලබු අපි මිලදී ගන්නේ නැහැ. ඒ වගේම ගස්ලබු ඉදවීම සඳහා අපි මැනිං වෙළෙඳ පොළ තුළදී කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. මිනිස්සු අපෙන් ඇවිල්ලා අද කන්න, හෙට කන්න පුළුවන් ආකාරයට ගස්ලබු ඉල්ලනවා. මේ නිසා මැනිං වෙළෙඳ පොළෙන් පිටත ස්ථානවලදී රසායනික ද්‍රව්‍ය යොදවලා ඉදවීමකට ලක්කරන ගස්ලබු අලෙවි කරනවා. මේ නිසා මේවා වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.



Recommended Articles