සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
රට වෙළාගත් ව්‍යසනය හමුවේ අපට අවැසි ආහාර භෝග අප විසින්ම වගාකොට පරිභෝජනයට ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙසමයෙහි සාකච්ඡාවක් මතුව තිබේ. ඒ සඳහා සැලසුම් වන යම් යම් වැඩසටහන් පිළිබදව ද කියවේ. මෙහෙයින්ම රටේ පුරන් වී, වල්වැදී අතහැරුණු හැම බිම්කඩක්ම වගා කළ යුතු බවටද අදහස් පළවේ. එහෙත් ඉහළ වගා වපසරියක් ඇති මහවැලි එච් කලාපයේ යල් කන්නයේ වගාවන් සඳහා දියවර නිකුත් කිරීමේ කිසිදු සූදානමක් නැති බවට ගොවීහු කරුණු පැහැදිලි කරති. මෙරට ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපාරය සේ පිළිගැනෙන මහවැලියේ විශාලතම කලාපය එච් කලාපයයි. අවම වශයෙන් අප්‍රේල් මාසය අවසන් වීමට මත්තෙන් හෝ යල කන්නය අරඹයා දියවර නිකුත් කළ යුතුව තිබේ. කල් ඇතිව වගාවන් ස්ථාපිත කිරීම සාර්ථක වගා කන්නයකට හේතු වේ. කරුණු එසේ වුවද එච් කලාපයේ තවමත් එවැනි සූදානමක් හෝ නොපෙනීම ගැටලුසහගත වී ඇත.
කලාපයේ තඹුත්තේගම, තලාව, නොච්චියාගම, එප්පාවල, ගල්නෑව, මීගලෑව, මහඉලුප්පල්ලම ආදී කොට්ඨාසවල සියලු වාරි ඉඩම් මේ වන විට මූකලන් වැහී තිබීම ගොවි හදවත් අවුළුවන්නකි. තවදුරටත් ප්‍රමාද වී වගා කන්නය ඇරඹීම මගින් වගාවන් පළිබෝධ හානිවලට ගොදුරු වීමට ඉඩකඩ ඇතැයි යන්නද බැහැර කළ නොහැකි මතයකි. මේ හැම අතරේ අකල්හි සිදුවන වගාවන් මෝසම් වැසිවලට අසුවීම මගින් සිදුවිය හැකි පසු අස්වනු හානියද තවත් බලවත් ගැටලුවකි. සාර මහ පොළොවට පෙම්බැදි ගොවීන්ට මේ අතුරු ආන්තරා ගැන ඇත්තේ හොඳ අවබෝධයකි. එහෙත් වගකිවයුත්තන්ගේ නොදැනුවත්කම ගැන ඔවුනට ඇත්තේ කණස්සල්ලකි. තලාව, පයින්ඩිකුලම ගම්මානයේ ගොවි සංවිධාන නියෝජිතයෙකු වන අතුල වික්‍රමසිංහ මහතා එවන් අයෙකි. මේ ඔහු ඒ පිළිබඳව දැක්වූ අදහස්ය.
“වී වපුරන්න හරි ගොඩ ගොවිතැනක් කරන්න හරි වෙලාවට වතුර දෙන්නෙ නැත්තේ ඇයි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. වගා කන්නය පහුවෙලා පටන් ගත්තහම හැම අතින්ම අවාසියි. පහුවෙලා වී වැපුරුවොත් ගොයම් කපන කාලෙට මෝසම් වැහිවලට අහුවෙනවා. එතකොට වෙච්ච මහන්සියෙන් ඇති වැඩක් නෑ. තෙමිච්ච වී විකුණන්නත් බැහැ. කෘමි හානි, පළිබෝධ හානිවල ඉවරයක් නෑ. වල් මර්දනයත් ලේසි නෑ. ඒකෙන් වෙන්නෙ ගොවියා සදාකාලික ණයකාරයෙක් වෙන එක. මාසෙ අන්තිමට පඩිය අතට ගන්න නිලධාරීන්ට ගොවියන්ගේ වේදනාව තේරෙන්නෙ නෑ. මේ වෙලාවේ වගා කරන්න කියලා කියනවා. ඒත් මහවැලි කලාපේ ලොකුම ගොවීන්ට ගොවිතැන් කරන්න වතුර දෙන කතාවක්වත් තාම නැහැ.”
1976 වර්ෂයේ ජනවාරි මස අටවන දිනදී එවක මෙසිරිලක අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මහවැලි ව්‍යාපාරයේ පළමු වෑයම ලෙස පොල්ගොල්ල වේල්ල විවෘත කරනු ලැබීය. එහි රැඳුණු දියවර කි.ව. 455 - 473 වකවානුවේ ධාතුසේන රජ දවස ඉදිව ඇති අනුරාධපුරයේ, කලාවැව තෙක් ගලා ආවේ මහවැලි %එච් කලාපය^ බිහිවීමේ ඉඩහසර සකසමිනි. එවක සප්ත කලාපීය මහවැලියේ ප්‍රමුඛ හරිත බිම් තීරය බවට පත්ව ඇත්තේ මහවැලි එච් කලාපයයි. යල, මහ දෙකන්නයේ පමණක් නොව අතරමැදි කන්නයක්ද වගා කරලීමේ වෑයම එච් කලාපයේ මුල්කාලීන අභිප්‍රායන් අතර විය. ඉහළ මධ්‍යම කඳුකරයේ අතිරික්ත ජලය විසල් කලාවැව තෙක් ගෙනැවිත් හරිත පැහැයෙන් වසර පුරා එච් කලාපයේ වගා බිම් සරු කරලීම මුල්කාලීන අරමුණු අතර තිබිණි.
මහවැලියේ, එප්පාවල, කැටකාල ගම්වාසී උපාලි රත්නායක මහතා පැවසුවේ ඉකුත් වසර කිහිපය පුරාවට මෙම පසුබිම හාත්පසින්ම කණපිට පෙරළී වසරේ මහ කන්නය පමණක් වගා කරලීම දක්වා කරුණු කාරණා යෙදීම කලාපීය ගොවීන්ගේ දැඩි කණස්සල්ලට හේතුවී ඇති බවයි. නිසි වැඩපිළිවෙළක් නොවීම හේතුවෙන් ඉකුත් යල් කන්න කිහිපයක් නිකරුණේ මඟහැරුණු බව ගොවීන්ගේ අත්දැකීම වී තිබේ. එහෙයින්ම බත්පත උදෙසා මහ මග විවිධ උද්ඝෝෂණ, උපවාස ආදිය දියත් කරන්නට ගොවීන්ට සිදුව තිබිණි. මෙවර යල ද නිකරුණේ ගතවී යනු ඇතැයි යන දෙගිඩියාවට ගොවීන් මැදිවී ඇත. ගොවි ඉල්ලීම් කෙරෙහි සංවේදී එප්පාවල, කැටකාල ගම්මානයේ බෝධිරුක්ඛාරාම විහාරාධිකාරී පූජ්‍ය පුල්එළියේ ගුණරතන හිමියෝ මෙසේ පැවසූහ.
“ගොවිතැන් කරන්න මිනිස්සුන්ට ඕන කරන්නේ වතුර. කන්නයක් නියමිත වෙලාවට පටන් ගන්න එක හැම අතින්ම වාසියි. මහවැලි වතුරෙන් අවුරුද්දකට එක කන්නයක් විතරක් වගා කරනවා කියන එක සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. දැන් මේ වෙලාවේ මොනව හරි දෙයක් වගා කරන්න ඕන කියන දේ හැමෝම කියනවා. මහවැලි එච් කලාපේ පහුගිය අවුරුදු හතරක් පහක් තිස්සේ හරිහමන් විදිහට යල කන්නයක් වගා කෙරුණේ නැහැ. ඇත්තටම ගොවීන්ට වගා කරන්න උවමනාව තිබුණත් මොනව හරි හේතුවක් කියලා නිලධාරීන් ඒ ඉඩකඩ ඇහුරුවා. ගොවිතැන් කරන මිනිස්සුන්ගේ වටිනාකම වැඩියෙන් දැනෙන මේ වගේ වෙලාවක හරි ගොවීන්ට වතුර ටික හරි වෙලාවට දෙනව නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ.”
මහවැලි එච් කලාපයේ සමස්ත වාරි ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 25,363 කි. පූර්ණ ලෙස මෙම සමස්ත භූමිය වගා කරලීම සඳහා අක්කර අඩි 254,810ක ජල ප්‍රමාණයක් වගා කන්නයකට අවශ්‍ය බව මහවැලි දත්ත වාර්තා පැහැදිලි කරයි. එය කලාවැව දෙවරකුත්, ඉන් අඩකට මඳක් වැඩි ප්‍රමාණයක් නැවත පිරවීමට සමාන තත්ත්වයකි. කලාවැව අක්කර පහළොස්දහසක් පුරා විහිද පැතිර ඇති අතර, අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවක් දැරීමේ හැකියාවෙන් ද සමන්විතය. පෙර රජ දවස එකිනෙකට යාවූ කලාවැව සහ බළලුවැව යනුවෙන් වැව් දෙකක් පැවත ඇතත්, වර්තමානයේ මෙම වැව් දෙකම සැලකෙනුයේ එකක් ලෙසය. එනම් කලාවැව නමිනි.
ඉරට, හඳට තනි රකිමින්, මහපොළොව හා ගැටී දිවි සරි කරන එම්.එම්. සුනිල් තිලකරත්න මතුකරලූයේ සැඟවිය නොහැකි සත්‍යයකි.
“ගොවීන්ට ණය වෙලා අඩමානෙට ගොවිතැන් කරන්න බෑනේ. ඒකෙන් වෙන්නෙ කබලෙන් ළිපට වැටෙන එක. පහුගිය කන්න කීපයක් තිස්සෙම නිලධාරීන්ගේ මේ හරි තීරණයක් නැතිකම හින්දා අවසානේ අසරණ වුණේ ගොවිතැන් කරන අපි. නිලධාරීන්ගේ මේ හරි තීරණයක් නැතිකමෙන් ගොවිතැන් කරන මිනිස්සු පුදුම දෙගිඩියාවකින් ඉන්නේ. ඇත්තටම තවදුරටත් ගොවිතැන් කරනවද කියලා දැන් හිතන්න වෙලා තියෙන්නේ. ගොවිතැන් කරමු කියලා මේ වෙලාවේ හැමෝම කියනවා. ඒත් වතුර දෙන්නැතිව, හරි තීරණයක් නැතිව කොහොමද අපි කුඹුරට බහින්නේ. එහෙන් අලින්ගේ කරදර. මේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කරන්නෙ නැති එක තමයි ලොකුම කරුමේ.”
කලාවැවේ දකුණු ඉවුර ඇළ මගින් පෝෂණය වන කලාපයේ තඹුත්තේගම, තලාව, එප්පාවල, නොච්චියාගම ආදි කොට්ඨාසවලින් සමන්විත හෙක්ටයාර් 14011ක භූමිය සඳහා වගා කන්නයකට අක්කර අඩි 146,410ක ජල ප්‍රමාණයක්ද, වාරි ඉඩම් හෙක්ටයාර් 6642කින් සමන්විත කලාවැවේ වම් ඉවුර ඇළ මගින් පෝෂණය වන ගල්නෑව සහ මීගලෑව කොට්ඨාස සඳහා වගා කන්නයකට අක්කර අඩි 68,820ක ජල ප්‍රමාණයක්ද , යෝධ ඇළ මගින් සරු වන මහඉලුප්පල්ලම කොට්ඨාසයේ වාරි ඉඩම් හෙක්ටයාර් 4720ක් සඳහා වගා කන්නයකට අක්කර අඩි 39,580ක ජලය ප්‍රමාණයක් ද අවශ්‍ය බව එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ නිගමනය වී තිබේ. එහෙත් කලාපීය ගොවීන්ට කන්නයක් මඟහැරීම යනු දැරිය නොහැකි පාඩුවකි. ගල්නෑව, හුණුපොළගම පුරාණ ගම්මානයේ ගොවි නියෝජිතයෙක් වන ඩී.එම්. පුංචිබණ්ඩා මහතා පැවසුවේ ඒ පිළිබඳවයි.
“කන්නයක් මඟහැරෙනවා කියන එක ගොවිතැන් කරන මනුස්සයෙකුට දරාගන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු වෙන මොනවා කියල කරන්නද. මහවැලිය ආපු කාලේ නම් අපේ අප්පච්චිලාට කියල තියෙන්නේ යල, මහ දෙකන්නේ විතරක් නෙමෙයි අතරමැදි කන්නෙකුත් ගොවිතැන් කරන්න වතුර දෙන්න පුළුවන් වෙයි කියලයි. ඒත් දැන් එක කන්නයක් ගොවිතැන් කරන්නෙත් අමාරුවෙන්. පහුගිය යල කන්න කීපෙකම කිසිම හේතුවක් නැතිව නිලධාරීන් වතුර දෙන එක ප්‍රමාද කෙරුවා. ඇත්තම කිව්වොත් සමහර කන්න සම්පූර්ණයෙන්ම මඟඇරුණා. අඩුම ගානේ ගොවිතැන ගැන හැමෝම කතා කරන මේ වෙලාවේ වත් මහවැලියේ වතුර දෙන්න තාමත් වැඩපිළිවෙළක් නැත්තේ ඇයි කියලා හිතාගන්න බෑ. දැනටත් කන්නෙ පටන් ගන්න කලාවැවේ වතුර තියෙනවා.”
ගොවි ගැටලු පිළිබඳව කළ විමසීමකදී එච් කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (තාක්ෂණ සේවා), ජයන්ත ප්‍රේමලාල් මහතා පැවසුවේ යලට දියවර නිකුත් කිරීමේ සූදානමක් මේ වන තෙක් නොමැති බවයි. ප්‍රමාද වී හෝ දියවර නිකුත් කළද එමගින් වී වගා කිරීමට අවස්ථාවක් නොමැති බවත්, අතිරේක භෝග වගාවන් සඳහා පමණක් දියවර නිකුත් කෙරෙන බවත් ප්‍රේමලාල් මහතා පැහැදිලි කළේය.
වසංගතය අවසන ලෝකය පුරා මතුවිය හැකි සාගත අහේනි කාලයක් පිළිබඳව දැනටම අනාවැකි පළවෙමින් තිබේ. ඉන් ගැලවීමට ඇති එකම මග නම් සත්‍ය ලෙසම ඉඩ ඇති හැම බිමක්ම වගා කිරීම පමණකි. මුළුමහත් ලෝකයම වෙළාගත් ව්‍යසනයක් හමුවේ අපගේ කුසගින්න දේශීය භවභෝග සම්පත් තුළින්ම නිවා ගැනීමට සිදුවීම ඉදිරියේ ඇති වන අභියෝගයයි. එම අභියෝගය හමුවේ මහවැලි ගොවීන් ඉල්ලනුයේ ජලය පමණයි. එම ඉල්ලීම කෙරෙහි අන් කවරදාටත් වඩා සාවධාන වීමේ අවශ්‍යතාව මෙසමයෙහි මතුව ඇති බව නොකිවමනාය. එහෙත් තවමත් නිලධාරීන් නිහඬය. කලාවැව අභිමුව ධාතුසේන රජු ද නිහඬව බලා සිටිනුයේ මේ අභාග්‍යය දෙසය.