වයස අවුරුදු 7දී ලී කැටයම් කලාව ඇරඹූ අපූරු තරුණයෙක්


“තාත්තා මට කරන්න කියලා දෙයක් කිව්වෙ නෑ.. ඒත් කරන දේ හරියට කරපන් කියලා කිව්වා..” ඔහු කතාවට ප්‍රවේශ වුණේ එහෙම. එහෙම කියන තාත්තා  ඉන්පසු  නිහඬව ඉන්නෙ නැහැ. පෙනෙන නොපෙනෙන මායිම්වල ඉඳලා හරි ජීවිතේ හරියට හදාගන්න පුතෙකුට කියලා දෙනවා. ඒක තාත්තගෙ හැටි. මේක තාත්තගෙන් ඔහුට ලැබුණ උරුමය. තවත් ටිකක් මේ කතාව දිගේලි කළොත් මේක පරම්පරාවෙන් ඔහුට ලැබුණ උරුමය. එහෙම ලැබෙන උරුමය කරුමය කරගනිමින් විඳවන්නන්ද, උරුමය හොයමින් අරගල කරන්නන්ද, උරුමය අරුමයක් කරගනිමින් ආඩම්බර වන්නන්ද, උරුමය පසෙකලා දෛවය උරගා බලන්නන්ද අපට හමුවෙයි. ඔහුට පියාගෙන් ලැබෙන උරුමය ලී කැටයම් කලාවය. ඇම්බැක්කට අරුමයක් නොවූ ලී කැටයම් කලාව බොහෝ පුතුන් ප්‍රතික්ෂේපකර වෙනත් මගකට යොමුව ජීවිතය සොයනා විට, විසි දෙහැවිරිදි ඔහු එහි නතර වන්නේය... එහි යම් තරමක ආඩම්බරකාර මාවතක් විවර කරගන්නේය.. ඔහු සතිෂ් කුමාර පියසේනය...


සතිෂ් ලී කැටයම් කලාවට යොමු වුණ ආකාරය ගැන කතා කරමු?

ලී කැටයම් කරන්න යොමු වුණේ මම දෙක වසරේ ඉන්නකොට. මගේ තාත්තා වඩුවෙක් වගේම, ලී කැටයම් කලාව සිදුකළ කෙනෙක්. ඒ නිසා මම නිතරම ලී කැටයම් සිදුකරන ආකාරය දැක්කා. මට ඒ දේවල් සූක්ෂමව කරන ආකාරය ගැන කැමැත්තක් ඇතිවුණා. නියන අතකොලුව අරගෙන කැටයම් කළා. කැටයම් කලාව සහජයෙන්ම ආපු දෙයක් කියලා මට ඒ දේවල් කරද්දි  හිතෙනවා. ඒක තමයි ආරම්භය..

ඉවසීමක් සංයමයක් මේ කටයුත්තට තියෙන්න ඕන?

ඔව් ලොකු ඉවසීමක් තියෙන්න ඕන. හරි සූක්ෂමව මේ දේ කරන්න ඕන, එහෙම නැතිවුණොත් නිර්මාණය විනාශ වෙනවා. ඒ සඳහා ලොකු කාලයක් වැය වෙනවා. ඉවසීම සියයට දාහක් තිබිය යුතුයි. එය මම අවබෝධ කරගෙන ඉන්නේ.

මේ ලී කැටයම් කලාවෙන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් වෙයි කියලා සතිෂ් හිතනවද?

ලී කැටයම් උපත කියන්නේ ඇම්බැක්ක ගමනේ. ලී කැටයම් කලාව කරන තරුණයෝ මෙහේ නැහැ දැන්, මම විතරයි ලී කැටයම් කරන තරුණ කෙනෙක්ට ඉන්නේ. මේ ලී කැටයම් කලාව කරන්න මේ ප්‍රදේශයේ ගොඩක් අයට හැකියාව තිබුණට මේ සඳහා තාක්ෂණය පාවිච්චි කරන්නේ නැහැ. අද වෙද්දි ෆේස්බුක් මාධ්‍ය, වට්ස්අප්, ඉමෝ, ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරලා අපිට ව්‍යාපාර කරන්න පුළුවන්. මම එතනට ගියා. ෂොප් එකක් එක්ක එකතුවෙලා මේක කළොත් එහි හිමිකාරයා මුදලක් තියාගෙන, මේ දේ කරන අපි වගේ අයට  පොඩි මුදල් ලැබෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න මට ඕන වුණා. ඒ නිසාම තමයි මම තාක්ෂණය යොදා ගත්තේ. පොඩි කාලෙ ඉඳලා මගේ පස්සෙන් හිටියෙ තාත්තා. මම මුලින්ම කිව්ව වගේ, තාත්තා කරන්න කියලා දෙයක් කිව්වෙ නැතිවුණාට කරන දේ හරියට කරපන් කිව්වා. ඒ වගේම කරන දේ හරියට කරන්න කියලා දුන්නා. මම 2003දී කැටයම් කලාවට යොමු වුණා. 2015 උසස් පෙළ විභාගයෙනුත් පස්සෙ තමයි තාත්තත් එක්ක මෙය බිස්නස් එකක් විදිහට කරන්න යොමු වුණේ. මෙය වැඩිදියුණු කරගෙන යන්නේ ෆේස්බුක් එක තුළින්. 2015 මට තිබුණු විශ්වාසයට වඩා මේ අවුරුදු හතර තුළ පාරිභෝගිකයන්ගේ විශ්වාසය ගොඩක් ඉහළින් දිනාගන්න මට පුළුවන් වුණා. මම නිර්මාණයක් කරලා ඒ නිර්මාණය කුරියර් සර්විස් එකෙන් යවනවා විතරයි. මගේ එකවුන්ට් එකට සල්ලි දානවා. ඒ විශ්වාසය නිසා. ගොඩක් පාරිභෝගිකයන් කවදාවත් මුණගැසී කතා කරලා නැහැ. ඉතා සුළු පිරිසක් තමයි මා හමුවී නිර්මාණ කරගෙන තිබෙන්නේ. ආර්ථිකය ගැන ඒ තරම් හිතන්නෙ නැතිව තමයි මම මෙයට යොමු වුණේ. නමුත් පසුකාලීනව මම කළ ලී කැටයම් තරගවලට ඉදිරිපත් කළාට පස්සෙ එය ව්‍යාපාරික කටයුත්තක් බවට පත්වුණා. මේ වනවිට ලොකු ඉල්ලුමක් ඇතිවෙලා තිබෙනවා. සමහර වෙලාවට ඉල්ලුමට සැපයුම් දෙන්න වෙන්නෙ නැහැ. මේ වෙද්දි හොඳ පසුබිමක් ඇතිවෙලා තිබෙනවා. හැබැයි අදටත් මුදලට වඩා මගේ පරමාර්ථය මේ ලී කැටයම් කලාව ආරක්ෂා කරගත යුතුයි.

අනාගතය ගැන හිතද්දි  මේ දේවල් එපාවෙලා වෙන රස්සාවක් හොයාගන්න හිතුණෙ නැද්ද?

කිසිම දවසක මට එහෙම හිතිල නැහැ. මම මේක කරන්නෙ ගොඩක් ආසාවෙන්. මේ සියුම් කැටයම් කරද්දි එපා වෙන්නෙ නැද්ද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. මම මේ දේට ආදරේ නිසා මට එහෙම එපා වෙලා නැහැ. අපි දේකට ආදරේ කරද්දි, ඒ දේ එපා වෙන්නෙ නැහැනේ. 

මේ කටයුත්ත සිදුකරද්දි තිබුණ අභියෝග මොනවද?

මට ලොකුම අභියෝගය තිබ්බෙ ගෙදරින්. මාත් එක්ක හිටපු මගේ යාළුවො මීට වඩා හොඳයි කියලා සමාජය පිළිගන්න ජොබ් පස්සෙ ගියා, සමහර අය රජයේ ජොබ් කරන්න යොමු වුණා, මටත් වෙන රස්සාවක් කරන්න කියලා ගෙදරින් කිව්වා. ඒකට හේතුව වුණේ මගේ අක්කලා දෙන්නත් උපාධිධාරිනියන් වීම. මට කැම්පස් යන්න උනන්දුවක් තිබුණෙ නැහැ. ඒකට හේතුව ඒ දෙන්නට තවම රැකියාවක් නැතිවීම. ඒ නිසා මට අවශ්‍ය වුණා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. මේ වනවිට ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරන පසුබිම නිර්මාණය කරගනිමින් ඉන්නවා. මගේ ඊළඟ පියවර තව පිරිසක් මේ කටයුත්තට දායක කරගැනීම. මේ වනවිටත් සමහර පාඨමාලාවල ඉගැන්වීමේ කටයුතු කරන්න මට ආරාධනා කර තිබෙනවා. මං හිතනවා මට ඒ දේත් කරගන්න පුළුවන් වෙයි කියලා.

වැඩිපුරම යොමු වෙන්නේ කෙබඳු ලී කැටයම් නිර්මාණය කිරීමටද?

හංසයා, ගජසිංහයා වැනි පාරම්පරික නිර්මාණ මිනිසුන් හැමවිටම දැක තිබෙන නිර්මාණ කර තිබෙනවා. ඒ වගේම මට සුවිශේෂී නිර්මාණයක් තිබෙනවා. ශිල්ප අභිමානි ජාතික ප්‍රදර්ශනයේදී අපිට වෙළෙඳ කුටි දෙනවා. ඒ ප්‍රදර්ශනයේදී එක් පුද්ගලයෙක් පැමිණ නැඳුන් ගමුවේ රාජා කියන ඇතාගේ ඡායාරූපයක් පෙන්නුවා. එය පෙන්වා  ඔහු කිව්වා මේ සිතුවම බිත්තියේ වෝල් හැගර් එකක් ලෙසින් කරගන්න ඕන කියලා. ඒ විදිහටම ඕන කිව්වා. මුදල ප්‍රශ්නයක් නැහැ කිව්වා. මට මම ගැන විශ්වාසයක් තිබ්බා. මම එය අභියෝගයක් ලෙසින් භාරගෙන හිතුවටත් වඩා හොඳට ලීයම උපයෝගී කරගෙන එය සිදුකළා. ඒ වගේම එතරම් අප දැක නැති, විදේශ රටවල තාක්ෂණයත් එක්ක යන නිර්මාණ කරලා බලන්න ආස හිතුණා. මම බොහෝ විට විදේශ රටවල කරන දේවල් අත්හදා බලන්න යොමුවෙලා හිටියා. පැරණි දේත් රැකගෙන අලුත් දෙයක් නිර්මාණය කිරීමයි මගේ අරමුණ.

සතිෂ්ගේ ලී කැටයම්වලට ලැබුණ ඇගයීම් ගැන කතා කළොත්? 

2005 වසරේ මම පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී ළමා නිර්මාණ තරගයකින් රිදී පදක්කමක් ලබාගත්තා. ශිල්ප සභාවෙන් පාසල් තරගයේදී මට මධ්‍යම පළාතෙන් කුසලතාවයකුත්, ජාතික මට්ටමින් කුසලතාවයකුත් හිමිවුණා. ඉන්පසු 2015දී උසස් පෙළ විභාගය නිමකරලා 2016දී ශිල්ප සභාව හා සම්බන්ධව ජනාධිපති සම්මාන ප්‍රදර්ශනයට තිබ්බා. එයට මම තුන්පත් රෑන දැව කැටයම ඉදිරිපත් කළා. එයින් මධ්‍යම පළාතේ තුන්වන ස්ථානය ලබාගත්තා. ලංකාවෙනුත් තෙවන ස්ථානය මට හිමිවුණා. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් පැවැත් වූ %ශිල්ප අභිමානී^ 2015 වසරේ මම මධ්‍යම පළාතෙන් තරුණ ශිල්පියා වුණා. (මධ්‍යම පළාතේ වයස අවුරුදු 18-35ත් අතර, අයගේ සමස්ත නිර්මාණවලින් ප්‍රථම ස්ථානය) ඒ වගේම ශිල්ප සභාවෙන් කරන  විවෘත දැව කැටයම් අංශය 2016දී මධ්‍යම පළාතේ දැව කැටයම් ප්‍රථම ස්ථානය ලබාගත්තා. 2017 ජාතික මට්ටමෙන් කුසලතා සහතිකයක් හිමිවුණා. 2018 මේ වසරේ මධ්‍යම පළාතේ  විවෘත දැව කැටයම් අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත්තා. ජාතික තරගයෙන් තෙවන ස්ථානය ලබාගත්තා.  කවදා හෝ ස්වර්ණ සම්මානය ලබාගැනීම තමයි මගේ හීනය.

නිදුක් මදුෂික



Recommended Articles