වනසතුන්ට ආහාර දෙන්න එපා එය ඔවුන්ට කරන හානියකි


මෙම ලිපිය සැකසීමට ආසන්න හේතුව වූයේ යාල ජාතික වනෝද්‍යානයේ වාසය කරන නන්දිමිත්‍ර යැයි ඊනියා නාමකරුවන් විසින් හඳුන්වන ලබන වනගත ඇතෙකු එම වනෝද්‍යානයෙන් අල්ලා ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විසින් තීන්දු කිරීමත්, ඊට එරෙහිව පරිසරවේදීන් දැඩි විරෝධය පළකිරීමත්ය. මේ සිද්ධිය තුළ මාගේ රචනයට අවශ්‍ය ප්‍රස්තුතය ගොනු වී තිබේ. එනම් වනසතුන්ට මිනිස් ආහාර ලබාදීම කොතරම් දුරට සෘජුව සහ වක්‍රව එම සතුන්ට හානි පමුණුවන්නේද යන්නයි. 


මේ ඇතා සිතුල්පව්ව විහාරයට ආකර්ෂණය වන්නට හේතු වී තිබෙන්නේ එහි නායක ස්වාමීන් වහන්සේලා කාලයක් තිස්සේ පලතුරු ඇතුළු ආහාර වර්ග ලබාදීම බවට පරිසරවේදීහු චෝදනා කරති. මුල් කාලයේ මේ සත්ත්වයා විහාරයට සහ එහි භාරකරුවන්ට ගෞරවයක් කොට සැලකූ බව පෙනෙන්නට තිබූ නමුත් පසුව එය කරදරයක් වන්නට වූ කල විහාරය වටා විදුලි වැටක් ඉදිකරන්නටත්, ඉන් නොනැවතී මෙම සතා අල්ලා ඉවත් කිරීමටත් යෝජනා වී ඇතැයි කියවේ. මෙය සිතුල්පව්ව විහාරය සම්බන්ධව නව ප්‍රවණතාවයක් නොවන බවත්, මීට පෙරද මේ අයුරින්ම ආහාරවලට ඇබ්බැහි කරගත් අලියෙකු පිළිබඳව සිතුල්පව්වෙන් වාර්තා වු බවත් සඳහන් වේ. අවසානයේ එම අලියාගේ ඉරණමද ඛේදනීය ලෙස අවසන් වූ බවට චෝදනා එල්ල වේ. මෙම සමස්ත ක්‍රියාවලියේම වැරදිකරුවන් මිනිසුන්ය. මිනිසුන්ගේ මෙම අනුවණ ක්‍රියා නිසා අවසානයේ තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ වනසතුන්ට බව නම් නිශ්චිතය.

වනසතුන් පිළිබඳ ආකල්පය

සතෙකුට ආහාරපාන දීම කුසල් වැඩෙන ක්‍රියාවකි. ඉන් බොහෝ දෙ‍ෙනකු අපේක්ෂා කරන්නේද එම සතුන්ගේ කුසගිනි නිවීම හෝ වෙනත් යහපත් දෙයක් වන්නටද පුළුවන. නමුත් අප සතුන්ට දක්වන කරුණාව, මෛත්‍රියේ ප්‍රතිඵලයක් ලෙස එම සතුන්ට හානියක් සිදුවනවා නම් ඉන් අප අපේක්ෂා කරන කිසිදු යහපත් සිතුවිල්ලක්, බලාපොරොත්තුවක් ඉටුවන්නේ නැත. සැබැවින්ම වනසතුන්ට ආහාර දීමෙන් සිදුවන්නේ එම සතුන්ට හානියකි. වනසතුන්ට දක්වන කරුණාව සහ මෛත්‍රිය සබුද්ධිකව කළ යුත්තේ එනිසාය. 

මිනිස් ආහාර වනසතුන්ට හානිකර වන්නේ කෙසේද

මේ පිළිබඳව වඩා තාර්කික සාධක කීපයක් පර්යේෂණ රැසක් පාදක කරගෙන ඉදිරිපත් කරන්නට, ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (United State Department of Agriculture - USDA) 2019 වසරේදී කටයුතු කර තිබේ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම කරුණු කීපයක් එහිදී අවධාරණයට ලක් තිබේ.

මනුෂ්‍ය ආහාර සතුන්ගේ සෞඛ්‍යය‍ට යෝග්‍ය නොවන අතර, ඒවා උන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය නොවේ. මක්නිසාද යත් සෑම සතෙකුටම ඔවුන්ට විශේෂ වූ ආහාර රටාවක් තිබේ. මනුෂ්‍ය ආහාර නිසා එම සතුන්ට විවිධ රෝගාබාධවලට ගොදුරු වීමටත්, පෝෂණ ගැටලු ඇතිවීමටත්, පරපෝෂිත තත්ත්වයන්ට ගොදුරු වීමටත් ඍජුවම හේතු වේ. එසේම වනසතුන්ට මනුෂ්‍ය ආහාර දවටන ආදිය ඉවත් කර ආහාරයට ගැනීමටද නොහැකිය. ඒවා සමග ආහාර ගැනීම නිසා ආහාර ජීරණ පද්ධතිය අවහිර වීමෙන් මරණයට පත් වේ. 

මේ සම්බන්ධව නිදසුන් ඕනෑතරම් ශ්‍රී ලංකාවෙන් සොයාගත හැකිය. උදාහරණයක් ලෙස උඩවලව ජාතික වනෝද්‍යාන මායිමේ අදටත් මිනිසුන්ගෙන් ආහාර යදින අලියෙකු දක්නට ලැබේ. උඩවලව ඇත් අතුරු සෙව‍ෙණ් පශු වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙම සතාට දියවැඩියාව ඇතුළු රෝග වැලඳී තිබෙන්නේ මිනිසුන් ලබාදෙන ආහාර වර්ග පරිභෝජනයට පුරුදු වී ඇති නිසාය. අලින් වැනි දීර්ඝ සංචාර සිදුකරන වනසතුන් මනුෂ්‍ය ආහාරවලට ආකර්ෂණීය වීම නිසා එකතැනක රැඳී සිටීමට පුරුදු වීම ජීව විද්‍යාත්මකව ඔවුන්ගේ සෞඛ්‍යයට හිතකර නැත. බුත්තල - කතරගම මාර්ගයේද මෙවැනි අලින් දෙතුන් දෙනෙකු නිරීක්ෂණය කළ හැකිය. එසේම පූර්වයෙහි එම මාර්ගයේම පිරිමි අලින් මෙසේ ආහාර යැදීමට පුරුදු වී සිටි නිසාම වනෝද්‍යානය ඇතුළතින් තවත් විදුලි වැටක් ඉදිකර එම ක්‍රියාවලිය පාලනය කිරීමට පවා සිදුවිය. එසේම ලංකාවේ තැන තැන කුණු වළවල්වල කසළ බුදින්නට පුරුදු වී සිටින අලි ඇතුන්ගේ සංඛ්‍යාවද සුළුපටු වන්නේ නැත. කසළ කෑම නිසාම ඒවා ආහාර ජීරණ පද්ධතියට බලපෑම් එල්ලකොට මිය යන ප්‍රමාණයද ඉහළ යමින් තිබේ. අලි ඇතුන්ට පමණක් තවත් බොහෝ සතුන්ට මෙය හානිකරය. ත්‍රිකුණාමලය කොටුව තුළ ජීවත් වන තිත්මුවන්ද මේ ආකාරයෙන්ම මරණයට පත්වන්නේ පොලිතීන් ආහාර ජීරණ පද්ධතියේ රැඳීම නිසාය. 

ඔවුන් (USDA) ඉස්මතු කරන තවත් කාරණයක් වන්නේ මහජන සෞඛ්‍යයට එල්ලකරන බලපෑමයි. අනවශ්‍ය ආකාරයෙන් වනසතුන් එක්තැනකට ඒකරාශී වීම මිනිස්සුන්ට සෞඛ්‍යමය තර්ජන එල්ල කරන බව ඔවුහු ප්‍රකාශ කරති. මිනිසුන්ට පමණක් නොව එසේ ඒකරාශී වනසතුන් අතරද සෞඛ්‍යමය තර්ජන, අනවශ්‍ය තරගයක් ඇතිවීමට එම එකතුවීම බලපාන බව ඔවුන් හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය පැහැදිලි කරගන්න ඉන්දියාව වැනි රටවල අන්ධ ආගමික භක්තිය සමග මීයන්, වඳුරන් සහ ඇතැම්විට සර්පයන් වැනි සතුන්ටත් දක්වන සීමාරහිත සමීපතාව කදිම උදාහරණයකි. 

වනසතුන් මිනිස්සුන්ට තිබෙන බිය නැතිවීම තෙවන කාරණය ලෙස ඔවුන් හඳුනාගෙන තිබේ. එය ගැටලු කීපයක් ඇති කරයි. ඇතැම් සතුන් මෙසේ සමීප වීම නිසා පසුකාලීනව ප්‍රචණ්ඩත්වයට යොමු වීමට ඉඩ තිබෙන බවත්, එය මිනිස් ජීවිත හා දේපළවලට බලපෑම් කරන බවත් හඳුනාගෙන තිබේ. එය සතුන් විශාල වීම, හෝ මාංශ භක්ෂක සතුන් වීම නිසා පමණක් සිදුවන දෙයක් නොවේ. එය ඔවුන්ගේ චර්යාව වෙනස් වීම නිසා සිදුවන දෙයක් ලෙස හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ කැන්ගරුවන්, එක්සත් ජනපදයේ කඳුකර සිංහයන් සහ නරින් සම්බන්ධයෙන්ද මෙවැනි ප්‍රවණතාවයන් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අලින්, වඳුරන්, රිළවුන් සහ ඇතැම් පක්ෂීන් සම්බන්ධයෙන්ද මෙවැනි වාර්තා සහ අත්දැකීම් පළවී තිබේ.

උතුරු ඉන්දියාවේ මිනී කන කොටින් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් පිළිබඳ සුප්‍රසිද්ධ දඩයම්කරුවකු වූ ජිම් කෝබට් ප්‍රකාශ කර ඇත්තේ එම සතුන් මිනීකන්නන් බවට පරිවර්තනය වන්නට බලපාන්නට ඇතැයි සැලකිය හැකි හේතු අතර එක් ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ සාගතවලින් මිය යන මිනිසුන්නේ සිරුරු නිසි පරිදි ආදාහනය නොකර තැන තැන දමා යාම බවයි. මෙම සතුන් ඒවා අනුභවයට හුරු වීම නිසා පසුව මිනිසුන් දඩයමටද හුරු වන්නට ඇති බව සඳහන් වේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ වනසතුන්ගේ ස්වාභාවික චර්යාවන් විකෘති කරන්නටත්, උන්ට හානි කරන්නටත් මෙම තත්ත්වයන් හේතු වී තිබෙන බවයි. අනෙක් අතට එසේ ඇබ්බැහි වූ වනසතෙකු නැවත ස්වාභාවික චර්යාවන්ට නතුකර ගැනීමද ලෙහෙසි පහසු කාර්යක් නොවේ.

මානව ජනාවාස, වගාබිම්වලට සහ මාර්ග සමීපයටත් වනසතුන් ආකර්ෂණය කරගැනීම, වනසතුන් සහ මිනිසුන් අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට පදනම සම්පාදනය කරන බව ඔවුහු ප්‍රකාශ කරති. විශේෂයෙන්ම මිනිස් ආහාරවලට පුරුදු වූ සතුන් තමන් අවට පරිසරයේ සිදුවන දේවල් සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරයි. උන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ පහසුවෙන් සපයා ගත හැකි ආහාර වෙත ආකර්ෂණය වීමයි. ඒ සඳහා වන කිසිදු බාධාවක් ඔවුන් සැලකිල්ලට ලක් නොකරන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. මෙම තත්ත්වයට වගකිව යුත්තේ මිනිසාගේ නොසැලකිල්ල සහ අනවබෝධයයි. අවසානයේ එහි දීර්ඝ සහ කෙටිකාලීන හානිය සිදුවන්නේ වනජීවීන්ට බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ කාරණාවටම අදාළ තවත් ආකර්ෂණීය වාර්තාවක් බීබීසී (BBC) මේ වසරේදී පළකොට තිබුණි. ඔවුන්ගේ මාධ්‍ය වාර්තාවක් පාදක වී තිබුණේ ලොව පුරා කරන ලද පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයි. එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ වනසතුන් මිනිස් ආහාර බුදීම ඔවුන්ගේ චර්යාව සහ ජීව විද්‍යාත්මක සාධක පවා වෙනස් කරන්නට තරම් බලපෑම් ඇතිකරන බවයි. ඔවුන්ගේ පර්යේෂණවලට තේමා වී තිබුණේ කළු වලසුන්වයි. ශීත ඍතුවේදී වලසුන් ලබාගන්නා Winter rest නැතිනම් නින්ද (සිසිර තරණය) මේ ආහාර පුරුදු නිසා අඩුව තිබෙන බවත්, එය ඔවුන්ට සෘජුව හානිකර ලෙස බලපාන බවත් හඳුනාගෙන තිබුණි. එපමණක් නොවේ, එම වලසුන්ගේ රෝම සහ රුධිරය පරික්ෂා කිරීමෙන් සොයාගෙන තිබුණේ ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාවද අඩු වී තිබෙන බවයි. මිනිස් ආහාර මෙම සතුන්ට ඇතිකරන බලපෑම පිළිබඳව තවත් සැඟවුණු කරුණු රාශියක් තිබෙන බව ඔවුහු විශ්වාස කරති. ලංකාවේ මේ සම්බන්ධව අප දන්නා පමණින් එබඳු පර්යේෂණ සිදුකර නොමැති වුවත්, මෙවැනි සිද්ධි ඇසුරෙන් ලංකාවේ තිබෙන තත්ත්වය පිළිබඳ යම් අදහසක් ලබාගත හැකිය.

සංරක්ෂණය, පින් සහ පව්

ලංකාවේ ඇතැම් නිවෙස්වල ඇතිකරන සුරතල් මසුන් අධික ලෙස බෝ වූවාට පසුව හෝ නඩත්තුව අපහසු වූ විට බොහෝවිට කරන්නේ එම මසුන් ළඟම තිබෙන ස්වාභාවික ජල පහරකට මුදාහැරීමයි. ඔවුන් මෙසේ කරන්නේ මෙම සතුන් විනාශ කිරීම පවක් ලෙස සලකන නිසාවෙනි. නමුත් සංරක්ෂණයේ අර්ථයෙන් සැලකුවහොත් මෙම සුරතල් මසුන් ස්වාභාවික ජල පහරවලට එක්කිරීම දේශීය මත්ස්‍ය විශේෂවලට කරන දැඩි හානියකි. එනිසා පිං පව් සංකල්පයත්, විශේෂ සංරක්ෂණයත් පටලවාගත යුත්තක් නොවේ. පසුගිය කාලයේ අපට අසන්නට දකින්නට ලැබුණු තවත් සිද්ධියක් වූයේ ඇතැම් පන්සල්වලට අලි පැටවුන් බල්ලන් බළලුන් මෙන් ගෙනත් දමා ගොස් තිබෙන බවයි. මෙය කොතරම් දුරට උඩුදුවා ඇත්ද යන්න පැහැදිලි වන්නේ සතත්ත්වෝද්‍යානයට යන නරඹන්නන් පවා එහි සිටින සතුන්ට ආහාර ලබාදෙන්නට දරන උත්සාහයන් වළක්වන්නට එහි පාලකයන්ට සිදුව ඇති බැවිනි. මේ ක්‍රියාවන් අප තේරුම් ගත යුත්තේ විචාරශීලී විවෘත මනසකින් මිස පින් පව් සංකල්ප මත පිහිටා නොවේ.

ඉගෙන ගත යුත්තේ කුමක් ද? 

සිතුල්පව්වේ ඇතාගේ සිද්ධිය පදනම් කරගෙන නිර්මාණය වී තිබෙන සාකච්ඡාව වනසතුන්ට මනුෂ්‍ය ආහාර හුරු කිරීමේ ප්‍රතිවිපාක මොනවට පෙන්වා දී තිබේ. මෙම සිද්ධිය මිනිස්සුන්ගේ අවධානය දිනාගෙන තිබෙන නිසා ඒ හරහා වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් සහ මිනිසුන්ගේ හානිකර ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීමට මාර්ගයක් කරගැනීම වැදගත් වේ. මෙම උගැන්ම අනාගතයේදී හෝ මෙවැනි සිද්ධි වළක්වා ගැනීමට හේතු වේ. කෙසේවුවත් ජම්මෙට වඩා පුරුද්ද ලොකු බව පෙනෙන්නේ, දිවයිනේ බටහිර වෙරළට සේන්දු වූ එලිෆන්ට් සීල් (Southern Elephant Seal) නැරඹීමට පැමිණෙන සිය ගණනක් වූ මිනිසුන් එම සතාටද ආහාර දී සමීපයට ගෙන්වා ගැනීමට උත්සාහ ගෙන තිබෙන බව වාර්තා වී තිබීමෙනි. 

මංජුල කරුණාරත්න - රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 



Recommended Articles