වනසතුන් වළපල්ලට යවන බලධාරීන්ගේ කැලෑ නීතිය


ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ලොව ඉහළම තැනක සිටින රටකි. ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන් විශේෂ ගණන සාපේක්‍ෂව ඉහළ අගයක් ගනියි. මෙරටට ඇදී එන සංචාරකයන්ගෙන්ද අතිබහුතරයක් වනසතුන් දැක ගැනීමට විශාල උනන්දුවක් දක්වති. මෙරට වනාන්තරවල වෙසෙන සත්ත්වයන් අතර වඩාත්ම දුර්ලභ හා දැකබලා ගැනීමට අපහසු සත්ත්වයන් වනුයේ බිළාල පවුලට අයත් සත්ත්ව විශේෂයන්ය. ශ්‍රී ලංකාවෙහි බිළාල පවුලට අයත් සාමාජිකයන් සිවු දෙනෙක් වෙති. එයින් එක් සත්ත්වයෙකු වන බළලා ගෘහාශ්‍රිත ජීවිතයට හුරුවී ඇති අතර ඉතිරි සිවුදෙනාම වනාන්තර තුළ ජීවත් වේ. 


කොටියා (Panthera Pardus Kotiya) මෙරටට ආවේණික සත්ත්වයෙකු බව ඉතා මෑතකදී සිදුකළ පරීක්‍ෂණ වලින් ඔප්පු වී තිබේ. බොහෝ රටවලින් වඳව ගිය අඳුන් දිවියන් (Prionailurus Viverrinus) තවමත් මෙරට වනාන්තර තුළ බහුලව නැතත් දැකගත හැකිය.  බළල් පවුලට  අයත් ඉතිරි වනසත්ත්වයන් දෙදෙනා කොළ දිවියා සහ කැලෑ බළලා නමින් හැඳින්වේ.

ඉහත සඳහන් සතුන් සිවුදෙනාම මාංස භක්‍ෂකයෝ වෙති. හාවා, වඳුරා, රිළවා, වල්ඌරා සහ ඉත්තෑවා යන සතුන් පස්දෙනා බළල් පවුලට අයත් විලෝපිකයන්ගේ ආහාර ලැයිස්තුවේ ඉහළින්ම සිටිති. යම් හෙයකින් හාවා, වඳුරා, රිළවා, වල්ඌරා සහ ඉත්තෑවා යන සතුන් වඳවී ගියහොත් බළල් පවුලේ වනසතුන් වඳවී යෑමද වළක්වාගත නොහැකිය. 

වනසත්ත්ව සහ වෘක්‍ෂලතා පනතට අදාළව විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති නියෝග මත සංරක්‍ෂිත සතුන් එසේ නොවන සතුන් තීරණය කළ හැකිය. මෑතකදී ගත් කැබිනට් තීරණයක් අනුව හාවා, වඳුරා, රිළවා, වල්ඌරා සහ ඉත්තෑවා යන සතුන් මැරීමට, මස් ප්‍රවාහනයට හා ඒ සතුන්ගේ මස් වෙළෙඳ පොළෙහි විකිණීමට පනවා තිබූ තහංචිය ඉවත් කළ බව විද්‍යුත් මාධ්‍යයන්හි වාර්තා කෙරිණි. 
මෙම තීරණයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා ගෙන එන්නේ මෙබඳු විග්‍රහයකි.

1937 අංක 2 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත සුදු අධිරාජ්‍යවාදීන් විසින් පනවන ලද්දේ අරමුණු ගණනාවක් පෙරදැරිවයි. එම පනතේ පූර්විකාවෙහි මෙසේ දැක්වේ. ‘‘ &ශ්‍රී ලංකාවේ වනසත්ත්ව හා වෘක්‍ෂලතා සංරක්‍ෂණය කිරීම සහ පරීක්‍ෂණය කිරීම, එම වනසත්ත්වයන් හා වෘක්‍ෂලතා වාණිජ වශයෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලැස්වීම, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතකි. වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක පනත මේ වනවිට සංශෝධන ගණනාවකට ලක්ව ඇතත් තවමත් මෙරට වන සත්ත්වයන් හා වෘක්‍ෂලතාවන් ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රධාන කොටම බලධාරී වනුයේ මෙම පනතේ ප්‍රතිපාදනයන්ය.

1937 අංක 2 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ 1වන කොටසෙන් ජාතික රක්‍ෂිත භූමි සහ අභය භූමි නිර්ණය කිරීම සිදුකෙරේ. පනතේ 2වැනි වගන්තිය අනුව අමාත්‍යවරයා විසින් ජාතික උද්‍යාන හා ආරක්‍ෂා ස්ථාන ආදිය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හැකිය. 1993 අංක 49 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනතේ 3(අ) වන වගන්තිය අනුව දැඩි ස්වභාව රක්‍ෂිතයකදී හෝ ජාතික උද්‍යානයකදී හෝ ස්වාභාවික රක්‍ෂිතයකදී කිසිම සතෙකු දඩයම් කිරීම, මැරීම හෝ ගැනීම හෝ පැලෑටියකට හානි කිරීම හෝ පැලෑටියක් උගුල්ලා ගැනීම හෝ විනාශ කිරීම නොකළ යුතුය. 

1993 අංක 49 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනතේ 8 වැනි වගන්තියෙන් සංශෝධිත පරිදි  මුල් පනතේ 6 (1) (අ) වැනි වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු විසින් තහනම් අඩවියක් තුළ, ජාතික උද්‍යානයක් තුළ, ස්වාභාවික රක්‍ෂිත භූමියක්, වනපිවිසුමක්, ආරක්‍ෂා ස්ථානයක්, සමුද්‍රීය රක්‍ෂිතයක් හෝ සීමාන්තරික කලාපයක් තුළ යම් වනස‍ෙතකු දඩයම් කිරීම වෙඩි තැබීම මැරීම, තුවාල කිරීම, අල්ලා ගැනීම හෝ මැරුණු හෝ පණ ඇති යම් වසතෙකු හෝ එවැනි සතකුගේ යම් කොටසක් තම සන්තකයෙහි හෝ පාලනය යටතේ තබා ගැනීම නොකළ යුතුය.

එසේම 1993 අංක 49 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනතේ 8 වැනි වගන්තියෙන් සංශෝධිත පරිදි  මුල් පනතේ 6 (2) වැනි වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු විසින් යම් තහනම් අඩවියක්, ජාතික උද්‍යානයක්, ස්වභාව රක්‍ෂිත භූමියක්, වනපිවිසුමක්, ආරක්‍ෂා ස්ථානයක්, සමුද්‍රීය රක්‍ෂිත ප්‍රදේශයක් හෝ සීමාන්තරික කලාපයක් තුළට කිසිම සතෙකු ඇතුළු කිරීම හෝ ඒ තුළ යම් සතෙකු දිගේලි කිරීම, නිදහස් කිරීම හෝ මුදා හැරීම නොකළ යුතුය.

1993 අංක 49 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක (සංශෝධන) පනතේ 8 වැනි වගන්තියෙන් සංශෝධිත පරිදි  මුල් පනතේ 6 (4) වැනි වගන්තිය අනුව ඉහත 06 වැනි වගන්තියේ විධිවිධාන කඩ කරන අයෙකු අවුරුද්දකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකින් බන්ධනාගාරගත කිරීමේ දඬුවමකට යටත් කළ හැක්කේය.

ශ්‍රී ලංකාවේ වනසතුන් ආරක්‍ෂිත හා ආරක්‍ෂිත නොවන සතුන් ලෙස වර්ග කර තිබේ. මුල් පනතේ සඳහන් වර්ගීකරණය 2009 අංක 22 දරන සංශෝධන පනතෙන් සෑහෙන දුරට වෙනස් කර තිබේ. ඒ අනුව වල්ඌරා, හාවා, ඉත්තෑවා, රිළවා සහ අළු වඳුරා ආරක්‍ෂිත නොවන ක්‍ෂීරපායී සත්තු වෙති.  

මේ සතුන් සම්බන්ධයෙන් 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී  රජය විසින් පවත්වන ලද අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකදී ගනු ලැබී යයි කියනු ලබන නිවේදනයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල උණුසුම් පුවත් මැවෙමින් පවතියි. එම ආරංචියේ පරිදි වල්ඌරා, හාවා, ඉත්තෑවා, රිළවා සහ අළු වඳුරා යන සතුන් මැරීම, මාංස ප්‍රවාහනය හා විවෘත වෙළෙඳ පොළේ වෙළෙඳාම් කිරීම නුදුරු අනාගතයේ සිට නීත්‍යනුකූල කරුණක් වනවා මෙන්ම අනාගතයේදී මහා පාරිසරික අර්බුදයක්ද නිර්මාණය වනු ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීම්වලින් අදාළ පාර්ශ්වයන් පවසා ඇත්තේ එකී සතුන්ගෙන් වගාවන්ට වන හානි වැළැක්වීම පිණිස එකී නියෝගය ලබාදී ඇති බවයි. මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ එම නියෝගයන් කෙතරම් අර්ථාන්විත වන්නේද යන්න පිළිබඳවයි. එකී ලැයිස්තුවේ සඳහන් හාවා හෙවත් වල්හාවා විසින් කරනු ලබන වගා හානියන් සැලකිය නොහැකි තරම්ය. මෙරට කෘෂිභෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා එළවළු වගාවෙන් සියයට විස්සත් විසිපහත් අතර ප්‍රමාණයක් අස්වනු නෙළීමත් වෙළෙඳ පො‍ෙළ්දී විකිණීමත් යන කාල පරතරය තුළදී හානි සිදුවේ. එවන් තත්ත්වයක් කළමනාකරණය කිරීමකින් තොරව අහිංසක සතුන් කෙරෙහි වෛරය පැතිරවීම හාස්‍යජනක තත්ත්වයකි. 

අනෙක් අතට මෙම සතුන්ගෙන් මෙන්ම විශේෂයෙන් වල් ඌරන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සාර්ථක නව නිපැයුම් කිහිපයක්ම සිදු කිරීමට පසුගිය කාලයේදී මෙරට නව නිපැයුම්කරුවන් කිහිපදෙනෙක්ම සමත්විය. ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කරමින් ඒවා වැඩිදියුණු කිරීමට අනුග්‍රහය දක්වා එම උපකරණ ගොවීන් වෙත ලබාදීමට යම් වැඩපිළිවෙළක් සැකසීම පසෙක තබා සත්ත්ව සංහාරයකට ඉඩදී බලාසිටීමට පොළොවෙන් උපන්නා යැයි කෘතියක සඳහන් කළ මෙරට පරිසර අමාත්‍ය ධුරය දරන ජනාධිපතිවරයා කටයුතු කිරීම කනගාටුදායක කරුණකි.

මෙරට ජාතික වනෝද්‍යාන ගණනාවක්ම මේ වනවිට මහාපරිමාණ ගවගාල් බවට පත්වෙමින් තිබේ. විශේෂයෙන්ම මාදුරු ඔය රක්‍ෂිතය, යාල වනෝද්‍යානය, කළමැටිය අභය භූමිය වැනි ස්ථාන මහා පරිමාණ ගවගාල් හිමියන් විසින් නීතිවිරෝධී ලෙස පරිහරණය කරමින් පවතී. මෙයින් ඇතිවන බරපතළම ප්‍රශ්නය වනුයේ වනසතුන්ට ආහාරය පිණිස ගත හැකි තණකොළ සියල්ලම පාහේ ගවයන් විසින් උලා කෑමයි. ඒ හේතුවෙන් කුසගින්නේ පෙළෙන වනසත්තු ගම්වදිති. ඇතැම් පිරිස් විසින් දිනකට ගවයන් හත්සීයක පමණ ප්‍රමාණයක් කළමැටිය - උස්සන්ගොඩ රක්‍ෂිතය තුළට රිංගවන බව නෝනාගම ප්‍රදේශයේ අප විසින් සිදුකළ සොයා බැලීමකදී හෙළිවිය. මෙරට ජාතික වනෝද්‍යාන හා රක්‍ෂිතයන් මුහුණ පා සිටින තර්ජනය එයින් මනාව පැහැදිලි වෙයි.

එසේම, ජාතික වනෝද්‍යාන හා රක්‍ෂිතවලට අයත් භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් දේශපාලකයන්ගේ සුරතලුන්ගේ පරිහරණය වෙනුවෙන් බලපත්‍ර මත මුදාහැර තිබේ. එම මුදාහරින ලද ප්‍රදේශයන්ට නුදුරු අනාගතයේදීම ස්ථිර අයිතිය සහිත හිමිකම් ඔප්පු ලබා දීමට යන බවත් ආරංචි වේ. යාල ජාතික වනෝද්‍යානයෙහි තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා කිලෝමීටර 14ක පමණ දුරක පිහිටි දැවැන්ත පරිසර පද්ධතියක් මේ වනවිටත් කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් බිල්ලටදී හමාරය. මදුනාගල, වනාන්තරයට අයත්ව තිබූ අතිවිශාල බිම් ප්‍රමාණයක් මේ වනවිටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට, කටුපොල් වගාවක් හා එළිමහන් සත්වෝද්‍යානයක් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම හෙළිපෙහෙළි කර අවසන්ය. අද වනවිට මදුනාගල රක්‍ෂිතයේ වන සත්තු කුඩා බිම් කඩකට සීමාව අසරණව සිටිති. 

ජලගැලුම් නිම්න රක්‍ෂිතය, පුත්තලමේ වන රක්‍ෂිත, විල්පත්තු රක්‍ෂිතය, ශ්‍රී පාද රක්‍ෂිතය, සිංහරාජ වන රක්‍ෂිතය ඇතුළු සියලු රක්‍ෂිත භූමි මේ වනවිටත් ඉඩම් කොල්ලකරුවන්ගේ අධිග්‍රහණයට පත්වෙමින් පවතියි. මේ ලිපිය ලියන අවස්ථාව වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නගරයට ආසන්නතම රක්‍ෂිත භූමිය වන කොට්ටව කෝඹල වනාන්තරයේ කොටසක් නීති විරෝධී ලෙස ගිනිතබා තේ වගාව සඳහා සූදානම් කෙරෙමින් පවතින ආකාරයක් කොළඹ මාතර අධිවේගී මාර්ගයේ යන එන අයට දක්නට හැකිය. මේ සියලු නොමනාකම් නැවැත්වීමට කිසිදු උත්සාහයකින් තොරව රජය විසින් වනසතුන් දඩයමට අවසර ලබාදීම බරපතළ ප්‍රශ්න ගණනාවක මුල බව අමතක නොකළ යුතුය.

19 වන ශතවර්ෂයේදී  ඕස්ට්‍රේලියානු රජය තයිලැසීන් නම් විලෝපිකයා මරා දමන්නට අණකළේ එම සත්ත්වයාගෙන් සුනඛයන්ට හා ගොවිපොළ සතුන්ට එල්ල වූ ප්‍රහාර හේතුවෙනි. 1930 දශකය වන විට තයිලැසීන් සත්ත්වයන් ඔවුනගේ අවසන් බිම්කඩ වූ තස්මේනියාවෙන්ද වඳවී ගියේය. තයිලැසීන් හෙවත් තස්මේනියානු ව්‍යාඝ්‍රයා වඳවී යෑම ගැන අදටත්  ඕස්ට්‍රේලියානු රජය කම්පාවට පත්ව සිටී.
මහජන චීනයේ මා ඕ සේතුංගේ පාලන සමයෙහිදී වගාවට කරන හානි සලකා ගේ කුරුල්ලන් මරා දැමීමට අණ කෙරිණි. ගේ කුරුල්ලන් වඳකර දැමීම නිසා පළඟැටියන්ගෙන් හා අනෙකුත් කෘමීන්ගෙන් වන වගාහානි උත්සන්න විය. පසුකාලීනව චීනයේ කපුටන් මරා දැමීමෙන් පාරිසරික සමබරතාව බිඳී ගොස් කැළිකසළ ගොඩගැසීමේ ව්‍යසනයක් ඇතිවිය.

ඇමෙරිකාවේ යෙලෝස්ටෝන් වනෝද්‍යානය ලොව මුල්ම අභය භූමියයි. එහි සිටි වෘකයන් මරාදැමීමට ඇමෙරිකානු රජය විසින් සිදුකරන ලද නියෝගයක් මත එහි සිටි අවසන් වෘකයාද මරාදමනු ලැබීය. අවසානයේ සිදුවූයේ කිසිසේත් අපේක්‍ෂා නොකළ දෙයකි. ගෝනුන්ගේ සහ සාවුන් සීමාවකින් තොරව බෝවීම නිසා වනාන්තරයේ යටි වගාව සහමුලින්ම විනාශ විය. අවසානයේ පිටතින් වෘකයන් අල්ලා ගෙනවුත් යෙලෝස්ටෝන් වෙත මුදාහැරීමට ඇමෙරිකානු රජයට සිදුවිය. 

මොංගෝලියාවේ කැළෑ අශ්වයන් අල්ලා ගැනීම හේතුවෙන් එම සතුන්ගේ ගහණය අවසන් වෙමින් පවතී. ඉන්දියාවේ වනාන්තරවල සිංහයන් දඩයම් කිරීමට ඉඩදීම නිසා අවසන් සිංහයාද අහිමිවිය. දැන් රාජස්ථානයේ එක් වනෝද්‍යානයක අලුතින් සිංහයන් බෝ කර ඇත. ඉරානයේ අවසන් සිංහයාද විනෝදය පිණිස මරා දමනු ලැබීය. අප්‍රිකාවේ අවසන් සුදු රයිනෝ පසුගිය දිනෙක අවසන් ගමන් ගියේය.
වල්ඌරා, හාවා, ඉත්තෑවා, රිළවා සහ අළු වඳුරා යන සතුන් මැරීම, මාංස ප්‍රවාහනය හා විවෘත වෙළෙඳ පොළේ වෙළෙඳාම් කිරීම නුදුරු අනාගතයේ සිට නීත්‍යනුකූල වන තත්ත්වයක වනෝද්‍යාන තුළ පවා එම සතුන් දඩයම් කිරීම ජයටම සිදු කෙරෙනු ඇත. එමෙන්ම අනිවාර්යයෙන්ම මෙම සත්ත්ව ඝාතනය ඉහත සත්ත්වයන් කිහිපදෙනාගෙන් පමණක් නොනවතිනු ඇත. 

එසේම එම සතුන් වනෝද්‍යාන තුළින් පිටතට පැමිණි අවස්ථාවන්හි දඩයම් කිරීම දැනටත් විශාල වශයෙන් සිදුවේ. එම සතුන් එයාකාරයෙන් ශීඝ්‍රයෙන් දඩයම් කිරීම ආරම්භ කළහොත් ආහාර දාමයන්හි ඉහළ මට්ටම්වල සිටින විලෝපිකයන් සියලු දෙනාට කුසගින්නේ මියැදීම හෝ ගම්වැදීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවනු ඇත. 

එබැවින් වල්ඌරා, හාවා, ඉත්තෑවා, රිළවා සහ අළු වඳුරා යන සතුන් මැරීමට හා මස් පිණිස විකිණීමට අවසර ලබාදීම අතිභයානක ප්‍රතිඵල ඇති කරන වැරදි සහගත තීරණයකි. මඩු වලිගයෙන් තැලිය යුතු මෙබඳු වැරදි සහගත තීරණ අකුලා ගැනීමට රජයට බලකිරීම සියලු පරිසර සංරක්‍ෂණ සංවිධානයන්හි සහ සත්වලෝලීන්ගේද වගකීමක් වනවා මෙන්ම එම අනුවණ තීරණ හකුලා ගැනීම මස්වැද්දන් වීමට යන මෙරට පාලකයන්ගේද වගකීමකි.  

නඳුන් ශ්‍යාමාල්

 



Recommended Articles