වනජීවිය සතු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හැර සෙසු සියල්ලම නීති විරෝධියි


කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වන විට පවත්වාගෙන යන සියලු පුද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යන නීතිවිරෝධී ඒවා බවට තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් හෙළිවේ. එමෙන්ම හික්කඩුව ජාතික උද්‍යානය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන පළමු එකම පළමු ආදර්ශ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය එය වන අතර ලංකාව තුළ ඇති එකම නිත්‍යානුකූල මධ්‍යස්ථානය බවද එම තොරතුරුවලින් හෙළිවේ.


රජයට කිසිදු බදු මුදලක් නොගෙවා කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් පවත්වාගෙන යනු ලබන අනෙකුත් මධ්‍යස්ථාන දිනකට විශාල මුදලක් උපයාගනු ලබන්නේ විදෙස් සංචාරකයෙකුගෙන් රුපියල් 1000ක මුදලකට හා දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50 සිට 100 දක්වා ටිකට් පතකට එම මධ්‍යස්ථාන නැරඹීම සඳහා අවස්ථාව සලසා දෙමිනි.

එමෙන්ම කැස්බෑ පැටවුන් නිදහස් කිරීම වෙනුවෙන් දෙස් විදෙස් සෑම සංචාරකයෙකුම අදාළ මධ්‍යස්ථානය වෙත රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු අතර, ඒ සඳහා කැස්බෑ පැටවුන් පස් දෙනෙකු නිදහස් කිරීමට ඔවුන් ලබා දේ. 

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි. 

එවැනි සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාවේ මුහුදු තීරය වෙත ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදුවේ. 

එසේ ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් දකුණු වෙරළ තීරයේදී දක්නට ලැබේ.

එසේ කැස්බෑවන් දකුණු වෙරළ තීරයේදී නිරන්තරයෙන් දක්නට ඇති ප්‍රදේශ අතර, මිරිස්ස , වැලිගම , හබරාදූව, හම්බන්තොට, අංගොඩ, රැකව ,බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. එම ප්‍රදේශ පදනම් කරගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන්ද පවත්වාගෙන යයි.

වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින මෙම කැස්බෑවුන් සංරක්ෂණය සඳහා විවිධාකාරයේ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක වන අතර, දකුණු වෙරළ තීරය තුළද දිගටම මෙවැනි මධ්‍යස්ථාන 15ක පමණ ප්‍රමාණයක් මගින් සිමෙන්ති ටැංකි කිහිපයක් අටවා ගතහැකි සෑම මඩුවකම ‘%කැස්බෑ සංරක්ෂණය’ නාමයෙන් කෙරෙනා මේ ජාවාරම පිළිබඳව මෙතෙක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු ආකාරයක නීතියක් ක්‍රියාත්මක නොකර ඇති බවද තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු මගින් හෙළිවිය .

මොකද්ද මේ කැස්බෑ සංරක්ෂණය?

මුළු ජීවිත කාලයම මුහුදේ ගතකළත්, සාගරවාසී කැස්බෑවුන් විශේෂ සියල්ලම බිත්තර දැමීම සඳහා වෙරළ කරා ඇදෙන අතර, මේ ආකාරයෙන් මුහුදු වෙරළේ දමන බිත්තර විලෝපිකයන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වන නිසා මෙම බිත්තර එකතු කර ‘සංරක්ෂණ මධ්‍යස්ථානයන්හි තබා, ඒවායින් බිහිවෙන පැටවුන් මුහුදට මුදා හැරීම සහ ආබාධිත කැස්බෑවුන් ‍රැක බලා ගැනීම සිදුවෙන බවට පැවසේ.
තත්ත්වය එසේ වුවත්, දකුණු වෙරළ තීරය දිගේ පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන නීති විරෝධී වනවා පමණක් නොව කැස්බෑවුන් සංරක්ෂණය කරනු ලබන්නේ කැස්බෑවුන්ට සරිලන කිසිදු ජීව විද්‍යාත්මක ක්‍රමයක් අනුව නොවන බවද එම මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් ගම්‍යමාන වන කරුණකි. 

මෙම මධ්‍යස්ථානවල හිමිකරුවන් විසින් වෙරළාශ්‍රිතව වෙසෙන්නන්ට හා ධීවරයන්ට බිත්තරයකට රුපියල් 50 සිට 100 දක්වා විවිධ අගයකින් යුතු මුදල් ගෙවා ඔවුන් හරහා තම මධ්‍යස්ථානයන්ට බිත්තර එකතු කරගනු ලබන බවද ධීවරයන් හා ප්‍රදේශයේ ජනතාව කියා සිටිති.

සංරක්ෂණ මධ්‍යස්ථාන තුළින් කැස්බෑ ගහනයට වන හානිය සංරක්ෂණය මුවාවෙන් පවත්වාගත්තත්, මෙම මධ්‍යස්ථාන කැස්බෑවුන්ගේ පැවැත්මට ඉතාම හානිදායක දෙයක් වන්නේ, චලතාපී සත්ත්ව කොටසක් වන කැස්බෑවුන්ගේ බිත්තරයක් තුළ වැඩෙන පැටවාගේ ලිංගය තීරණය වන්නේ බිත්තරයට ලැබෙන තාපය අනුව වීමයි. කැස්බෑ මවක් සුදුසු ස්ථානයක් ‍තෝරාගෙන, වළක් හාරා බිත්තර දමන විට, කුටියේ ගැඹුරත්, හැඩයත්, බිත්තර දමන ආනතියත් නිසා පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ආසන්න වශයෙන් 1:1 ආකාරයෙන් වන බව පරිසරවේදීහු පෙන්වා දෙති. 

නමුත් ‘සංරක්ෂණය’ සඳහා වළ හාරා බිත්තර පිටතට ගෙන ‘සංරක්ෂණ මධ්‍යස්ථානවලට ගෙනැවිත් නැවත වළ දමන්නවුන්ට මෙම ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව කිසිම දැනුමක් නැති නිසා කැස්බෑ ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානවලින් නැවත වළ දමන බිත්තර වලින් බිහිවන 97%ක්ම පැටවුන් පිරිමි සතුන් වනබව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

මෙම හේතුව නිසා ප්‍රජනන කාර්යය සඳහා ගැහැනු සතුන් සාගරයට මුදා හැරෙන්නේ නැති තරම් සේම මෙම මධ්‍යස්ථානවල බිත්තර කුටීරයන්හි බිත්තර තැන්පත් කිරීමේදී නියමිත දුර ප්‍රමාණයන්ට අනුව තැන්පත් නොකරන නිසා, දිලීර ආසාදන නිසා පැටවුන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු තරමින් ඉහළ යන බවද පරිසරවේදීහු පවසා සිටිති. එම නිසා සංරක්ෂණය මුවාවෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානවලින් සාගර කැස්බෑ ප්‍රජාවට සිදු කෙරෙන්නේ ඉතාමත්ම දරුණු විනාශයක් බවද ඔවුහු පෙන්වා දෙති.

ස්වාභාවික පරිසර තත්ත්වයන් යටතේදී බිත්තරයකින් කැස්බෑ පැටවෙකු බිහි වූ විට වෙරළේ සිට එසැණින් මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ කාලයක් එක දිගට පිහිනීම සිදුකරයි. ‘%බාලක උන්මාදය’ (juvenille frenzy) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියෙන් ස්වභාවධර්මයා විසින් ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කර දුර්වලයන් ඉවත් කර දමයි. මෙම පැටවුන් තනිව ආහාර සොයා ගැනීම අරඹන්නේ මෙම පැය 48 පිහිනා විඩා නිවීමෙන් පසුවය.

තම ජීවිත කාලයේම සංචරණය, මග සොයාගැනීම සඳහා අතිශය වැදගත් වන පෘථිවියේ චුම්බක පද්ධතිය පැටවුන් විසින් තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නේද මෙම කාලයේදී බව නීතිඥ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසා සිටී.

නමුත් මෙම ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානවලින් බිහිවන පැටවුන්ට මෙම අතිශය වැදගත් ස්වාභාවික ක්‍රියාවලියට මුහුණපෑමේ අවස්ථාව අහිමි කර තිබේ. ඔවුන්ව මුහුදට මුදා හැරෙන්නේ උපතින් පසු දින කිහිපයක් කොන්ක්‍රීට් ටැංකිවල තබා ගැනීමෙන් අනතුරුවය. මෙයින් සිදුවන හානියද විශාල වන අතර, ප්‍රධාන වශයෙන්ම බිත්තරයෙන් බිහිව පැය 48ක් පමණ දියඹට පිහිනීමට අවශ්‍ය ශක්තිය පැටවාට ලැබෙන්නේ බිත්තරයේ පෝෂ්‍ය ද්‍රව්‍යවලිනි. නමුත් දින කිහිපයක් සිමෙන්ති ටැංකියක් තුළ ඔබ මොබ පිහිනීමෙන් පැටවුන් මෙම ශක්තිය අහිමි කරගනී. 

එනිසා මොවුන් මුදා හැරිය විට පිහිනීමට ඇති ශක්තිය මදකමින් වෙරළාසන්නයේදීම විලෝපිකයන්ට ගොදුරු වන බැවින් දියඹට පීනා යන්නේ ඉතාම සුළු කැස්බෑ පැටවුන් ප්‍රමාණයක් පමණක් වීම තුළ කැස්බෑ ගහනයේ වර්ධනයට එය සෘජු ලෙස දැඩිව බලපා තිබෙන බවද ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

‘අවාසනාවකට මෙන් මෙම කැස්ඹෑ පැටවුන් මෙම කාලයට වඩා වැඩි කාලයක් මිනිසුන් ළඟ තබා ගැනීම නිසා එම සතුන්ට විශාල කුසගින්නක් ඇතිවන විට ආසන්නයේ ඇති දේවල් ආහාරයට ගැනීම තුළ කැස්ඹෑ පැටවුන් රංචු වශයෙන් තබා ගැනීමේදී එකිනෙකාව හපාගෙන කෑමට පටන් ගනී. ඒ නිසා සමහර සතුන්ගේ ශරීර කොටස් අහිමි වේ. එසේම ආසාදන තත්ත්වද ඇති විය හැකිය.

බීජ සමය පසු කළ කැස්ඹෑ පැටවා පිටින් ආහාර ගැනීම පටන් ගන්නා විට තම ශරීරයේ බර වැඩිවීම නිසා වතුරට මුදා හැරියද බොහෝ දුර පීනා ගොස් නිරුපද්‍රිතට මුහුදු සීමාවකට යෑමේ අවකාශය අඩුය. ඇතැම් විට එසේ දැමූ පැටවුන් නැවත වෙරළාසන්න ප්‍රදේශවලට ගසාගෙන පැමිණේ. එවිට ජලචර පක්ෂීන්ගෙන් හා විශාල මත්ස්‍යයන්ගෙන් ඔවුන් අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩිවේ.

එමන්ම මෙම පැටවුන් ටැංකිවලට දමන්නේ සියලුම විශේෂ එකට සිටින ලෙසයි. එම නිසා මෙම ඇතැම් විශේෂ අනෙක් විශේෂයන් නසා දමන නිසා පැටවුන් එකිනෙකාගේ ගාත්‍රා ආදිය සපා කා හානි කර, විනාශ කර දැමීමට පෙළඹේ. මෙනිසා මොවුන් ජීවත් වීමේ සම්භාවිතාව තව තවත් පහළ වැටේ . මීට අමතරව මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරකයන් ලවා මෙම පැටවුන් මුහුදටම ගෙන ගොස් අතහැරීම සිදුකරයි. 

නමුත් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීම කළ යුත්තේ රාත්‍රියේදී වුණත්, මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට මොවුන් මෙම පැටවුන් දිවා කාලයේ මුහුදට මුදාහැරීම තුළින් එයින් ඔවුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ තව තවත් පහළ වැටෙන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි .

බොහොමයක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන තුළ විශාල කැස්බෑවන් පවා රඳවා ගෙන සිටින්නේ ඉතාම කුඩා ඉඩකඩක් සහිත සිමෙන්ති ටැංකි තුළය. විශාල සාගරයක වසර 300ට ආසන්න කාලයක් ජිවත්වීමේ වාසනාවක් ඇති සතෙකු මෙවැනි ස්ථානයක සිරකර තබා ගැනීමට සදාචාරාත්මක මෙන්ම නීතිමය අයිතියක් ද නොමැති පසුබිමක, මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන්නේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමක් නොමැති නිසාත්, කැස්බෑ සංරක්ෂණය කෙරෙහි අදාළ රාජ්‍ය ආයතනය දක්වන අඩු සැලකිල්ල නිසාත් බව මෙයින් පැහැදිලි වේ .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා මුහුදු කැස්බෑ සංරක්ෂණ සංගමයේ සභාපති ජීවන් කස්තුරිආරච්චි මහතා පළකර සිටියේ මෙවන් අදහසකි. 

''ලෝකය දියුණු වෙලා. නව තාක්ෂණික දේවල් මුහුදට ඇවිල්ලා තියෙනවා. මෙම සතුන්ට දැන් මුහුදේ ජීවත්වීමට හැකියාවක් නෑ. ඒ නිසා දැන් මේ සතුන්ට සංරක්ෂණ මධ්‍යස්ථාන පවා බිහිවෙන්න වෙලා තියෙනවා. මේ සතුන්ට උද්ගතවෙලා තියෙන තත්ත්වයත් සමග සමහර සුළු පිරිසක් කරන වැරදි නිසා මේ සතුන්ට මේ තත්ත්වය උදාවෙලා තියෙනවා.

දැනට වසර 05කට පමණ පෙර ලංකාවේ කිසිදු සංරක්ෂණ මධ්‍යස්ථානයක් හෝ සංගමයක් බිහිවෙලා තිබුණෙ නෑ. ඒ කාලෙ එක් එක් තැන් තැන්වල පොඩි පොඩි වශයෙන් පවත්වාගෙන ගිය කැස්බෑවුන් ආරක්ෂා කරන තැන් එකතැනකට ගෙනැල්ලා සංගමයක් පිහිටුවලා කැස්බෑවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව එවක සිටි වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු වනජීවී නිලධාරීන් තීරණය කරනු ලැබුවා නමුත් ඒක වුණේ නෑ. 

සමහර මධ්‍යස්ථානවල කැස්බෑවන්ට හරිම අකටයුතු දේවල් සිදුවෙනවා. සමහර කැස්බෑවුන්ට සති දෙකක් පමණ කෑම ලබාදෙන්නෙ නෑ. සමහර සංරක්ෂණ මධ්‍යස්ථාන, මේක ව්‍යාපාරයක් ලෙස හිතනවා මිස ඒ සත්වයාට සැලකිය යුතු ආකාරය ගැන හිතන්නෙ නෑ. සතුන් අතින් අල්ලනවා. ඡායාරූප ගන්නවා. එම කිරණ එම සතුන්ට වදිනවා. ඒ පිළිබඳ කිසිදු දැනීමක් නෑ. වනජීවී නිලධාරීන් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු වෙනවා. 
මෙහිදී මූලිකවම සිදුවෙලා තියෙන්නේ සංචාරක ආකර්ශනය නිසා අධිකව මුදල් උපයන ස්ථාන බවට මේවාපත් වෙලා තිබීම. අපි මේ පිළිබඳව වනජීවී නිලධාරී මහතුන් දැනුවත් කරලා තියෙනවා. මේ පිළිබඳව අපි නීති උපදෙස් ලබාගැනීම සඳහා අදාළ අංශවලට යොමු කරලා තියෙනවා. කැස්බෑවන් සංරක්ෂණය කියන එකට මූලිකත්වය දිය යුතුයි. එසේ නොකර එවැනි වැරදි කරන අය හඳුනාගෙන ඒවා නොකරන්නට ඒ අයට උපදෙස් දීලා එම සතුන් ආරක්ෂා කරගැනීමට උපදෙස් දීලා එම බිත්තර මිනිසුන්ගේ ආහාර බවට පත්වීම වළක්වා ඒවා ආරක්ෂා කරගැනීමට ක්‍රමවේදයක් සකසා දෙන්න ඕන.

වෙරළ තීරය තුළ ටැංකි 04ක් 05ක් හදාගෙන ධීවරයන්ගේ මාර්ගයෙන් කැස්බෑවො ටිකක් දැලක පටලවලා ටැංකිවලට ගෙනත් දාගන්නවා. ඉතින් ටිකට් එකක් ගහලා පෙන්වනවා. මේක සමහර අය ව්‍යාපාරයක් කරගෙන. පසුගිය කාලයේ ඉදි කරපු සහ දැනට ඉදිවෙමින් පවතින එවැනි ස්ථාන තියෙනවා. නමුත් සංගමයක් හැටියට අපට අවසරයකුත් නෑ එවැනි ස්ථාන නිරික්ෂණය කරලා යම් පියවරක් ගන්න. 
වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේකට විසඳුමක් සොයාගත යුතුයි. හතු පිපෙන්න වගේ රට පුරා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බිහිවෙනවා. කැස්බෑ පැටවුන් බිහිවූ විගසම මුහුදට මුදා හැරීම කළ යුතුයි. නමුත් සති ගණන් ටැංකිවල තියාගෙන අතින් අල්ලලා සියලු දෙනාට පෙන්වීම තුළින් කැස්බෑ පැටවුන්ට හානි වෙනවා. 

නීතිය ක්‍රියාත්මක නොවීම 

ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියට ප්‍රකාරව ඇ සිට උ  දක්වා වගන්ති තුළ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම් වේ. 

එපමණක් නොව, එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබාදිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙන අතර, ඒ අනුව අදාළ වැරැද්ද සිදුකරනු ලබන තැනැත්තා හට ඔහු වරදකරු කිරීමේදී රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකටම යටත්විය යුතුය. 

නමුත් වසර ගණනක් මුළුල්ලේ නීති විරෝධීව සත්ත්ව හිංසනයන්ද සිදුකරමින් පවත්වාගෙන යන මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු වැටලීමක් , අත්අඩංගුවට ගැනීමක් ,නඩු පැවරීමක් සිදුකර නොමැති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් හෙළි වේ.
රාජ්‍ය ආයතනයක් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ වනජීවීන් නිසා විශාල ලාභයක් ලබන බව තොරතුරු පනතින් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණ වන නමුත් වනජීවීන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙවැනි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද පුදුම සහගතය.(මුලාශ්‍ර තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් ඒවා වේ)

කැස්බෑවුන් පාරිසරික ලෙස වැදගත් වන සාධක අතර කොරල් පරිසර පද්ධතිවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම,මුහුදු පරිසර පද්ධති තුළ ස්ථාවර ආහාර ජාල ඇති කිරීමට දායක වීම. වැල්ලබඩ ශාක ප්‍රජාවන්ට අවශ්‍ය පාංශු පෝෂක සැපයීම.ආදිය පෙන්වා දිය හැකිය .

මේ තරම් සුවිශේෂ පාරිසරික මෙහෙයක් සිදුකරනු ලබන කැස්බෑවුන් විධිමත් ලෙස සංරක්ෂණය කළ යුතු සත්ත්ව කාණ්ඩයක් වුවත් සතුන් නිසා රුපියල් මිලියන ගණනක ලාභ උපයන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් රජයට ලබා ගත හැකි විශාල ආදායමක් නැති කරගන්නවා සේම කැස්බෑවන්ගේ ආරක්ෂාවටද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. 
මේ නීතිවිරෝධී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රමාණවත් විධිමත් කැස්බෑ සංරක්ෂණ රජයේ මධ්‍යස්ථාන ඇති නොකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ මෙවැන්නකි. 

'' මෙය සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන එන එකක්. නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි ප්‍රවිෂ්ට වෙලා ඉන්නේ. මේවායේ නීතිවිරෝධී කටයුතු වළක්වන්න වැටලීම් කරන එක තවත් එක ක්‍රමයක් පමණයි. මේ ආශ්‍රිතව මිනිසුන්ගේ ආර්ථිකයක් ගොඩනැගිලා තිබෙන බැවින් මෙය නියාමනයකට ගෙන යන්න කටයුතු කරනවා. මේ සම්බධයෙන් ඉදිරියේදී ඉක්මනින්ම සොයා බලා කටයුතු කරනවා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට



Recommended Articles