වනඅලි-දුම්රි‍ෙය් ගැටීම් කාගේ වරදින්ද ?


වනඅලි - දුම්රියේ ගැටීම,  විසඳුම් යෙදීම සිද්ධියත් සමග අමතකව යන ශ්‍රී ලංකාවේ තවත් එක් ඛේදවාචකයක් බවට පත්ව තිබියදී, දේවල් සෝද සෝදා මඩේ දැමීම පලක් නැති බව අප දන්නේ වුවද වනඅලි දුම්රියේ ගැටීමට ස්ථීර විසඳුමක් ලබනු වස් අද කතාබහ මෙලෙස ගෙන එන්නෙමු.


අදාළ ප්‍රදේශවලදී දුම්රිය සෙමින් ධාවනය කිරීම හෝ අලින්ට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග සෑදීම හොඳම විසඳුමයි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති, ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු

වනඅලින් දුම්රියේ ගැටීමට සාර්ථක විසඳුමක් තවමත් නොපෙ‍ෙන්නේ  ඇයි ?

මං හිතන්නේ අපි එයට විසඳුමක් සොයන්න නම් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් කර ඊට අදාළ දත්ත සොයාගෙන ඒ අනුව තීරණයක් ගත යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මොකක් හරි %ගැජට්^ එකක් හොයාගෙන තමයි කවුරුත් දුවන්නේ. මේක සවි කළාම හරි, මෙහෙම කළාම හරි කියලා. අපි දැන් වසර ගණනක් එහෙම විසඳුම් පසුපස ගිහිල්ලා තියෙනවා. නමුත් සාර්ථකත්වයක් නෑ.

අපිට පුළුවන් පැහැදිලිව සොයා ගන්න කුමන ප්‍රදේශ හරහාද දුම්රිය ගමන් කරන්නේ, අලි ඉන්න ප්‍රදේශ මොනවාද කියලා. ඒ අනුව අපිට පුළුවන් අලින්ට   ජී.පී.එස්. කරපටි පලඳවා දුම්රිය හරහා ගමන් කරන ස්ථාන මොනවාද යන්න සොයා ගන්න. එහෙම සොයා ගතහොත් අපිට තීරණය කරන්න පුළුවන් ඒ ඒ ස්ථානවලදී අලින්ට දුම්රිය මාර්ග යටින් හෝ උඩින් යන්න මාර්ග හදන්න, එහෙම නැත්නම් දුම්රිය ඒ සීමාව තුළ ශීඝ්‍රයෙන් ගමන් නොකර අඩු වේගයකින් ගමන් කරවන්න. 

නමුත් ඒ සඳහා අපි අලි දුම්රිය මාර්ග හරහා කොපමණ ප්‍රදේශයක ගමන් කරනවාද, ඒ සතුන් දුම්රිය මාර්ගය හරහා  ගමන් කරන්නේ කුමන ස්ථානයන්ගෙන්ද කියන පැහැදිලි දත්ත ලබාගත යුතුයි. ඒ දේ සිදු නොකර දුම්රියට කැමරා සවි කිරීම වැනි දේවලින් කවදාවත් අපිට විසඳුමක් ලැබේවි යැයි මම නම් හිතන්නේ නෑ. 

විෂයයට අදාළ ඇතැම් නිලධාරීන් පසුගිය කාලයේ ප්‍රකාශ කර තිබුණා වනඅලින් සඳහා රේඩියෝ කරපටි භාවිතය ප්‍රායෝගික කටයුත්තක් නොවන බවට ?

මම නම් දන්නේ නෑ කුමන පදනමකින් ඒ අය එහෙම කියනවාද කියලා. දැනට ලංකාවේ රේඩියෝ කරපටි පලඳවා අලි 80ක් පමණ පර්යේෂණයට ලක්කර තිබෙනවා පසුගිය වසර 25ක පමණ කාලය තුළදී. ලංකාවේ ඉතා හොඳ දත්ත තිබෙනවා. එම දත්ත මගින් නොයෙකුත් තීරණ අරගෙන  තිබෙනවා. ඒ වගේම ලංකාවේ දත්තවලින් වෙනත් රටවල් පවා තීරණ අරගෙන තිබෙනවා. 
දැනට වනජීවී දෙපාර්තමේන්තුවෙන් රේඩියෝ කරපටි 40ක් ගෙන්වා තිබෙනවා. ඒවා තවම අලින්ට භාවිත කර නෑ. ඒවා භාවිත කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ නොයෙකුත් ගැටලු තිබෙනවා. ඒ අතරතුර  තවත් කරපටි 300ක් ගෙන්වා ගන්න වනජීවී දෙපාර්තමේන්තුවට අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය සම්පත් දැනට වෙන් කර තිබෙනවා. 

මෙවැනි ක්‍රියාමාර්ගයකට යනවානම් දුම්රිය ගමන් කරන ප්‍රදේශ වගේම අනෙකුත් සෑම ප්‍රදේශයකම සැරිසරන අලින්ට කරපටි පලඳවා ඔවුන් දුම්රිය මාර්ගවලට අවතීර්ණ වන ස්ථාන තීරණය කරන්න අපිට පුළුවන්. එවිට පැහැදිලි දීර්ඝකාලීන විසඳුමකට යා හැකියි. ප්‍රශ්නය වන්නේ එය සිදුවේවිද කියන එකයි. 

රේඩියෝ කරපටි පැලඳවීම ගැන පරිපාලනමය ගැටලු තිබෙනවා. නමුත් ජීව විද්‍යාත්මකව හෝ අලින්ගේ පැත්තෙන් හෝ ප්‍රශ්නයක් නෑ. වෙන වෙන ප්‍රශ්න නිසා තමයි තියෙන එකත් තවම කර ගන්න බැරිව තිබෙන්නේ.
මොකද රේඩියෝ කරපටි භාවිත කිරීමෙන් අපිට අලි ගැනම දත්ත ලබා ගන්න පුළුවන්. නැත්නම් අපි හිතන්නේ අලියා අරෙහෙන් යන්නේ, මෙහෙන් යන්නේ කියලා, ඒ අපිට හිතෙන දේනේ. අපි හිතන විදියට අලි වැඩ කරන්නේ නෑ. අපේ දුම්රිය මාර්ග බොහොමයක් වැටී තිබෙන්නේ අලි බහුලව සිටින ප්‍රදේශ හරහායි. පසුගියදා අලි දුම්රියේ ගැටු‍ෙණත් හබරණදී. එවැනි ප්‍රදේශවල පැහැදිලිවම ඒ සතුන්ගේ වාසභූමි හරහායි දුම්රිය මාර්ග වැටී තිබෙන්නේ. අද තාක්ෂණය තියෙනවා අලියාගෙන්ම දැන ගන්න ඒ සත්තු මොන විදිහටද සැරිසරන්නේ, මොන විදියටද පරිසරය පාවිච්චි කරන්නේ කියලා. ඒ අනුව අපිට පැහැදිලි තීරණ ගන්න පුළුවන්. 

එසේ නම් වරද කොතැනද ?

ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මොකද අපි එක එක්කෙනාගේ එහෙමත් නැත්නම් මගේ හරි තව කාගේ හරි මතවලට තීරණ ගන්න ගියාම තමයි ප්‍රශ්නය ඇති වෙන්නේ. නොයෙකුත් දේවල් නිසා නොයෙකුත් මත දැරිය හැකියි. නමුත් අපි දත්ත ලබා ගන්නවා නම් ඒ දත්ත අනුව අපිට පුළුවන් පැහැදිලි තැනකට යන්න, විශ්වාස හෝ මත හෝ පදනම්ව තීරණ නොගෙන. එතන තමයි අපි වරද්දා ගන්නේ. 

මෙම ගැටලුවම ඇති අපේ අසල්වාසී රටවල් ඊට සාර්ථක විසඳුම් මේ වන විට ලබාගෙන තිබෙනවාද?

ඉන්දියාව අපිට වඩා තාක්ෂණය පැත්තෙන් දේවල් කරන්න හදනවා. නමුත් රේඩියෝ කරපටි වගේ දෙයක් ගත්තම ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා. මේ දින කිහිපය පුරා මම අපේ රටේ දත්ත පෙන්වා ඉන්දියාවේ විශේෂඥයන් සමග සාකච්ඡා කළා. නමුත් සමහර දේවල් ගැන ඔවුන් අපිට වඩා ඉදිරියෙන් සිටිනවා. ඇතැම් දේවල් ගැන අපි ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිනවා. 

දැනට ඔවුන් දුම්රිය මාර්ගයට අලින්ගේ පැමිණීම නිශ්චිතව දැන ගන්න %ලේසර් බීම්^ යොදා ගනිමින්  අත්හදා බැලීම් කරගෙන යනවා. ඉදිරියට එවැනි තාක්ෂණය යොදා ගනිමින් තවත් දේවල් කර ගන්න පුළුවන්. 

තාක්ෂණය පමණක් මේ සඳහා ප්‍රමාණවත්ද ?

ප්‍රශ්නය තියෙන්නේ 70ට 80ට යන දුම්රියක් අලියෙක් දැකලා %බ්‍රේක්^ ගැහුවම නවතින්නේ කිලෝ මීටරයක් විතර ඈතින්. ඒ නිසා අපි දැන ගන්න අවශ්‍යයි කිලෝ මීටරයකට හෝ දෙකකට පමණ පෙර එහි අලියෙක් සිටින බව. එසේත් නැත්නම් අපි අදාළ ප්‍රදේශය හරහා සෙමින් යා යුතුයි. ඒ විකල්ප දෙක තමයි තිබෙන්නේ. අලියෙක් ප්‍රදේශයේ නැතිව දුම්රිය ගමන් කළත් මීටර 50කට 100කට එහායින් පනින්න පුළුවන්. එවිට කුමන ආකාරයක තාක්ෂණයක් තිබුණත් සතා දුම්රියේ වැදීම නවත්වන්න බෑ. හොඳම විසඳුම තමයි ඒ ප්‍රදේශය හරහා දුම්රිය සෙමින් ධාවනය කිරීම. නැතිනම් අලින්ට පාර හරහා පනින්නේ නැතිව ගමන් කිරීමට විකල්ප මාර්ග සෑදීම. මොන තාක්ෂණය තිබුණත් මං හිතන්නේ ඔය දෙක තමයි අපිට තිබෙන විසඳුම. 

අපිට කියන්න බෑනේ දුම්රිය කොළඹ සිට වව්නියාවට සෙමින් ධාවනය කරන්න කියලා. එහෙම අවශ්‍යත් නැහැනේ. අනිත් කාරණය අලින් දුම්රියේ ගැටෙන්නේ බොහෝ විට රාත්‍රී කාලයේ. රාත්‍රී දුම්රියක් මඳක් ප්‍රමාද වුණාට ලොකු ප්‍රශ්නයක් ඇති වේවි යැයි සිතන්න බැහැ. තෙල් ප්‍රවාහන දුම්රියක් ඒ ප්‍රදේශය හරහා සෙමින් ධාවනය වීම ලොකු ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෙවෙයිනේ. මිනිස්සු කන්තෝරුවට යන දුම්රියක් නෙවෙයිනේ. 

නමුත් අපිට ඊට වඩා කොපමණ අලි ප්‍රමාණයක් දුම්රියේ ගැටී තිබෙනවාද, සාමාන්‍යයෙන් ඒ මොන වගේ වේලාවටද යනාදී දත්ත පර්යේෂණයට ලක් කළොත් මං හිතන්නේ අපිට කඩිනමින් ගතහැකි තීරණ තියේවි. තවත් දත්ත ලබා ගෙන අපිට යෑමට අවශ්‍ය ස්ථානය සොයාගත හැකි වේවි. 

මේ සම්බන්ධව වගකීමක් ඇති රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

මගේ ජීවිත කාලයේම මම වැඩ කරලා තියෙන්නේ අලි ගැනයි. නමුත් අපෙන් කවුරුත් ඒ ගැන අහන්නේ නෑ. ඉතින් අපිට බලෙන් ගිහින් කියන්න බෑනේ. ඒක තමයි ප්‍රශ්නය. මීට අදාළ නොවුණත් දැනට ලංකාවේ අලි කළමණාකරණය විශාල වෙනසකට ලක් කරන්න යනවනේ. අලි පාර්ක්වලට පන්නලා වැටවල් ගහන්න යනවා. ඒවා අරගෙන තියෙන්නේ දේශපාලන තීරණ වශයෙන්. ඒ සම්බන්ධව අපිට බොහෝ දත්ත තිබෙනවා සහ පැහැදිලිව පෙනෙනවා මේවා කවදාවත් හරියන දේවල් නොවෙයි, මින් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. නමුත් ඉතින් ලංකාවේ ඇත්තටම පිළිගැනීමක් නැහැ පර්යේෂණ දත්ත මත තීරණ පදනම් විය යුතුයි කියන කාරණය පිළිබඳ. ඇත්තටම අපි ඒ දත්ත ඉන්දියාවේ මැලේසියාව වගේ රටවල්වල කතා කරද්දී ඒ රටවල් ඒවා ඉහළින් පිළිගන්නවා. අපේ රටේ පිළිගන්නේ නෑ. ඒකට ඉතින් මොනවා කරන්නද ? අපි ලබා උපන් හැටි තමයි. අපේ රටත් එක්ක කරන්න පුළුවන් දේවල්වත් අපිට කර ගන්න බෑ ඒ ගැන උනන්දුවක් නැති නිසා. ඒක අපේ රටේ බොහෝම ලොකු අවාසනාවක්. 

මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ පුද්ගලයන්ගේ විනය පිළිබඳ සහ සුපරීක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් - ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන

මේ වනවිට අලින් නිතිපතා දුම්රිය මාර්ගවල මාරුවන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තමයි නිතිපතා එම මාර්ගයන්හි මාරුවන කාලපරිච්ඡේද හඳුනා ගෙන තිබෙනවා. ඊට අමතරව නලා ශබ්දය භාවිත කර සතුන් පළවා හැරීමට හෝ තිරිංග තද කර දුම්රිය නවත්වා ගැනීමට හෝ මේ ස්ථානවල අලි මාරු වන බවට දුම්රිය රියැදුරන් දැනුවත් කිරීම සඳහා දුම්රිය මාර්ග පුවරු සවි කර තිබෙනවා වගේම වේග සීමාද දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවා සිදුකර තිබෙනවා. 

මෙවැනි තත්ත්වයක් යටතේදීත් තවමත් දුම්රියේ අලි ගැටෙනවානම් එය අලි පිළිබඳව හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ  ගැටලුවක් නොවෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ පුද්ගලයන්ගේ විනය පිළිබඳ සහ සුපරීක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ එතැනින්. නැවත මුලට යෑමේ අවශ්‍යතාවක් නැහැ. 

දැන් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙනුයි. දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙය විසඳීමට වනජීවී දෙපාර්තමේන්තුවට කළ හැකි දේ තමයි අලි මාරුවන කාලපරිච්ඡේද සහ අලි මාරුවන ප්‍රදේශ යන කරුණු මත දුම්රියේ එන්ජින් කාමරය තුළ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අලි වෙඩි ඇතුළු අලි පළවා හරින උපකරණ සමග යෙදවීම. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව එකඟ වේවිද, නොවේවිදැයි මම දන්නේ නෑ.

වනජීවී සංරක්ෂණය ජනතාවගෙන් වියුක්ත නොකර එය ඔවුන්ට බද්ධ කළ යුතුයි - රුහුණ විශ්වවිද්‍යාලයීය, භූ ගෝල විද්‍යා අධ්‍යයනාංශයේ,   පාරිසරික භූ ගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල කරුණාරත්න

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2005-2010 වර්ෂ අතර කාලය තුළ අලින් 90 දෙනකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබෙනවා. ලංකාවේ පමණක් නොවෙයි අසල්වැසි ඉන්දියාවෙත් දුම්රියේ ගැටී අලි මිය යෑම බරපතළ ප්‍රශ්නයක්. ඔවුන් මේ සම්බන්ධයෙන් කළ ඇතැම් පර්යේෂණ (Roy and Sukumar,2017,Palei සහ තවත් අය,2013, Nature and Wildlife Association – NWA,2018) අනුව අලි දුම්රිය මාර්ග වෙත ඇදී එන්නේ හුදෙක්ම පාර මාරුවීම සඳහා නොවේ යැයි සැක පහළ කෙරෙනවා. එහිදී දුම්රියෙන් ඉවත දමන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පුරුදු වීම සහ දුම්රිය මාර්ගය දෙපස ඇති තෘණ ආහාරයට ගැනීමටත් ඇතැම් වෙලාවට පාරවල් දිගේ ඇවිද යෑමටත් මෙසේ මෙම සතුන් පැමිණෙන බවට ඔවුන් අනුමාන කරනවා.

ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි නමුත් ඒ සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම නේවාසික කණ්ඩනය (Habitat Fragmentation) වීම නිසා අලි වැනි පුළුල් සැරීම් පරාසයක් සහිත සතුන්ගේ පැවැත්ම දැඩි  තර්ජනයට ලක්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසත් මෙවැනි  අනතුරු බහුල වීමේ ඉඩකඩක් පවතිනවා.

ලංකාවේ බොහෝ විට කතිකාවන් නිර්මාණය වෙන්නේ යම් සිද්ධියක් පදනම් කර කරගනිමින්. අවාසනාවට ඒ සිද්ධිය අමතක වීමත් සමග ඒ සම්බන්ධයෙන් ගොඩනැඟුණු කතිකාවතත් කිසිදු සාධනීය ප්‍රථිපලයක් අත්කර නොගෙනම අමතකව යනවා. මේ සිද්ධියත් එසේ වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

මූලිකව වශයෙන්ම මෙම තත්ත්වයන් කළමණාකරණයට පර්යේෂණවලට සහ පර්යේෂකයන්ට විශාල වගකීමක් සහ භූමිකාවක් තිබෙනවා. ඒ ඇසුරින් ප්‍රශස්ත කළමනාකරණ ප්‍රවේශයක් නිර්මාණය කරගත යුතුයි. දීර්ඝකාලීන සහ තිරසර පිළියම වන්නේද එයයි. පර්යේෂණ ප්‍රතිඵල අනුව ප්‍රතිපත්ති සහ සැලසුම් පිළියෙල කළ යුතුයි. නමුත් ලංකාවේ දක්නට  තිබෙන තත්ත්වය තමයි සුදුසුකම් තිබෙන පර්යේෂකයන්ගේ, විද්වතුන්ගේ අදහස් නොසලකා හරිමින් තමන්ගේ පෞද්ගලික සහ දේශපාලනික  උවමනාවන් වෙනුවෙන් ක්‍රියා කිරීම. එසේම යහපත් චේතනාවෙන් කරන විවේචනයක් පවා දරාගැනීමට සහ  පිළිගැනීමට තරම්වත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නිලධාරීන් නිහතමානී නැහැ.  ඒ වගේම  පර්යේෂණ සඳහා කෙරෙන  දිරිගැන්වීම් ඉතාම අවම මට්ටමකයි තිබෙන්නේ. බොහෝ අවස්ථාවලදී ජනමාධ්‍යයත් එවැනි ගැටලු සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබෙනවා. 

ඒ වගේම පර්යේෂණවල ප්‍රතිඵල සාමාන්‍ය ජනතාවට සන්නිවේදනය කිරීමත් මූලිකම අවශ්‍යතාවක්. ලංකාවේ මේ ක්‍රියාවලිය අකාර්යක්ෂම හෝ සමහර විට සිදු නොවන තරම්. පොදු ජනතාවට එවැනි පර්යේෂණවල ප්‍රතිඵල කුමක්දැයි කියා අවබෝධයක්  නැහැ. පර්යේෂණවල ප්‍රතිඵල ජාත්‍යන්තර සඟරාවල පළවීම් අත්‍යවශ්‍ය වෙනවා වගේම එම ප්‍රතිඵල  තමන්ට ගෝචර වන භාෂාවකින් දැනගැනීමේ අයිතිය සෑම ලාංකිකයෙකුටම තිබෙනවා. අවාසනාවකට ලංකාවේ එවැනි තත්ත්වයක්  දකින්න නැහැ. ඔවුන්ට ඒ අලුත් දැනුම වෙත ප්‍රවේශ වීමට අවකාශයක් නැහැ. ඒ  සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය වී නැහැ. 

ඒ නිසා නිරන්තරයෙන් ජනතාවම චෝදනාවට ලක් වෙනවා. විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සිංහල සහ දෙමළ භාෂාවලින් පළ නොවන තරම්. මේ දැනුම සමාජය වෙත ගලා නොයෑම නිසා ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය විදිහට ජනතාව නොමග යැවීමට හැකියාව ලැබී තිබෙනවා.

ජනතාවගෙන් බහුතරයකට අපේ රට ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථාන (Biodiversity Hotspots) ස්වල්පය අතරට ගැනෙන විශේෂ භූගෝලීය කලාපයක් කියන එක පිළිබඳව හෝ අවබෝධයක් නැහැ.  ඒ නිසා මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළකට යා යුතුව තිබෙනවා.  මේ අනවබෝධය නිසා තමයි අනතුරට පත්ව මිය ගිය සතුන්ගේ ශරීර කොටස් පවා රැගෙන යාමට මිනිස්සු පෙළඹෙන්නේ. මේ නිසා තමයි තමන්ට තර්ජනයක් යැයි සිතන ඕනෑම සතෙක් මරා දාන්න, ඕනෑම ම්ලේච්ඡ ක්‍රමයක් පාවිච්චි කරන්න මිනිසුන් පෙළෙඹිලා තිබෙන්නේ. මේක අතිශය ඛේදනීය තත්ත්වයක් සහ වහා පිළියම් කළ යුතු තත්ත්වයක්. ඒ නිසා තමයි අපි දිගින් දිගටම වගකිවයුත්තන්ට පෙන්වා දෙන්නේ වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය  යන විෂය පාසල් විෂය පද්ධතියට හඳුන්වාදීම වහ වහාම සිදුකළ යුතු බවට. ජනතාව සවිඥානික නොකර මේ ගැටලුවට තිරසාර විසඳුමක් සොයාගත නොහැකියි. කෙටියෙන් කිවහොත් වනජීවී සංරක්ෂණය ජනතාවගෙන් වියුක්ත නොකර එය ඔවුන්ට බද්ධ කළ යුතුයි.



Recommended Articles