වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී ඉඩම් දේශපාලන හිතවතුන්ට අතහැරලා


2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් වනඅලි මෙන්ම වනසතුන් බෙහෙවින් වාසය කළ රක්ෂිත ඇතුළු වනගත ප්‍රදේශ හෙළිකිරීම නිසා, වනඅලින් ඇතුළු වනසතුන් බොහෝ පිරිසක් අවතැන් වූහ. ඔවුනට වාසභූමියක් තැනීමේ අරමුණින් හෙක්ටයාර 30,000කට අධික භූමි ප්‍රදේශයක් යෝජිත හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස වෙන්කරනු ලැබීය.

2009 වර්ෂයේදී හම්බන්තොට වරාය ගුවන්තොටුපොළ සහ ඒ අවට සිදුවූ තවත් සංවර්ධන කටයුතු හේතුවෙන් සිදුවූ කැලෑ හෙළි කිරීමෙන් අවතැන් වූ වනඅලින් උදෙසා වනඅලි කළමනාකරණ රක්ෂිත භූමිය වෙන්කරන ලදී. ඒ සඳහා මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශයන්ද අයත් විය. 2009 අංක 22 දරන වනසත්ත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2වන වගන්තියට අනුව මෙම වනඅලි ‘‍කළමනාකරණ රක්ෂිත භූමි ප්‍රදේශය ප්‍රකාශයට පත්කිරීමට තිබුණද, වසර ගණනාවක් තිස්සේ එම කටයුත්තද සිදුනොවිණ. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතිවූ අලි-මිනිස් ගැටුම හේතුවෙන් විනාශ වන අලි-මිනිස් ජීවිත රැකගැනීම සඳහා, හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී 2021 ජනවාරි18වන දින සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී.

මෙම ගොවීන්ගේ සත්‍යග්‍රහයට හා උපවාසයට සහයෝගය දක්වමින් අවස්ථා කීපයකදීම ගොවි සංවිධාන පරිසර සංවිධාන එක්ව විරෝධතාද පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර 23746.55කින් යුත් හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර තිබේ.

අලි කළමනාකරණයෙන්

ඉඩම් අහිමි වූ හැටි

හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ මහවැලි කලාපයට අයත් භූමි ප්‍රදේශය 2003 වසරේදී කිරි ගොවීන්ගේ තෘණ භූමි සඳහා වෙන්ව තිබුණි. පසුව 2008දී පමණ මෙම භූමි භාගය වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කරනු ලබන්නේ, ඒ වනවිට වනඅලින්ගේ වාසභූමි දැඩි සේ හෙළිකරමින් සිදුකළ දැවැන්ත සංවර්ධනය හමුවේ නිර්මාණය වූ අලි-මිනිස් ගැටුම සඳහා පිළියමක්ද ලෙසිනි. මේ අතර මෙම අලි කළමනාකරණ රක්ෂිතය දෙපලු කරමින් 2014දී පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස හම්බන්තොට සිට මත්තල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ ඒ සමග වනඅලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබූ තවත් විශාල භූමි ප්‍රමාණයක්ද අහිමි විය.

ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙක්ටයාර 2000ක් පමණ ලබා ගත්තේය. මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක් සංවර්ධනය කර ඇති අතර, ගැසට් පත්‍රය මගින් ගුවන්තොටුපොළ වෙනුවෙන් තවත් හෙක්ටයාර 866ක භූමියක් වෙන් කර තිබේ.

එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා හෙක්ටයාර 1115ක් පවරා ගත් අතර, මේ වනවිට ඉන් හෙක්ටයාර 800ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන්ය. නමුත් අවතැන් වූ අලි ඇතුන් 20කට අධික ප්‍රමාණයක් වරාය හෙළි නොකරන ප්‍රදේශයේ තවමත් ජීවත් වේ.

ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහාද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණ වේ.

මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩමත්තල, පුංචිඅප්පුජදුර, බදගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල,මිරිජ්ජවිල, සූරියවැව යන ප්‍රදේශයන්ට වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි-මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගාබිම්වලට හා දේපළ සඳහා සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

මීට වසර 15කට පමණ පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මහවැලි අධිකාරියට අයත්ව තිබූ හෙක්ටයාර තිස්දෙදහසකට අධික භූමි ප්‍රමාණය එම ප්‍රදේශයන්ගෙන් මීට වසර 15ක පමණ සිට මේ දක්වා විටින් විට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා හෙක්ටයාර පහළොස්දහසක් පමණ ලබාදී ඇති බව හම්බන්තොට මයුරපුර මහවැලි අධිකාරියෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරුවල සඳහන් වේ. මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර තිබූ රක්ෂිත ප්‍රදේශද ලබා දී ඇතැයි මෙම සොයාබැලීමේදී අනාවරණය වූ තවත් කාරණාවකි.

ගැසට් එකට නොගිය

මහවැලි රක්ෂිත කොටස

විවිධ ඉඩම් ජාවාරම්කරුවන්ගේ මෙන්ම දේශපාලන හිතවතුන්ගේ ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත සඳහා මහවැලි අධිකාරිය යටතේ තිබූ විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවස්ථා කීපයකදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2017 දෙසැම්බර් 19 දින WL /16/RTI  යන ලිපි අංකය මගින් ලබාගත් තොරතුරුවලට අනුව හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිත සඳහා හෙක්ටයාර 25997.10ක් වෙන් කර තිබුණි. ඒ සඳහා සිතියම්ද සකස් කර තිබුණි. එමෙන්ම 2019 නොවැම්බර් 20 දින වජි /06/01/02//769 යන ලිපි අංකය යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වූයේ එම බිම් ප්‍රමාණය හෙක්ටයාර 25726.55ක් දක්වා අඩු වී ඇති බවයි. ඒ අනුව වසර දෙකක් තුළදී වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන් කර තිබූ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 270ක් අඩු වී තිබේ.

එමෙන්ම අවසාන වශයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2021 පෙබරවාරි 22 දින වජි /1/2/769 II යටතේ ලබාගත් තොරතුරුවලට අනුව හෙක්ටයාර 25726.55ක ප්‍රමාණයම වෙන්කර ඇති බවට සිතියම් සමග ලබා දුන් තොරතුරු මගින් අනාවරණය විය.

මෙවන් පසුබිමකදී හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් 2021 අප්‍රේල් මස 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ හෙක්ටයාර 23746.55කින් යුත් භූමි ප්‍රමාණයක් පමණි. ඒ අනුව හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන් කර තිබූ තවත් හෙක්ටයාර 1384ක් අහිමි වී තිබේ. ඒ අනුව වසර තුනකදී හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයෙන් අහිමි කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 1654කි. එසේ අහිමිකර ඇත්තේ මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම් වේ.

ගැසට් නොකළ

ඉඩම් කොටස කාගේද?

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන් කර තිබූ භූමි ප්‍රමාණයෙන් ගැසට් නොකරන ලද හෙක්ටයාර 1384ක භූමිය පිහිටා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටසේය.  එම භූමි ප්‍රදේශය දේශපාලන හිතවතුන්, බලවතුන් ඇතුළු ධනවතුන් විසින් අල්ලාගෙන ගල් මෝල් කිහිපයක්ද පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී මෙම පිරිස්වලට වාසි සිදුකිරීම සඳහාම අදාළ භූමි ප්‍රමාණය රක්ෂිතයෙන් බැහැර කොට ගැසට් කර ඇතැයි පැහැදිලි වේ.

මේ අතර ඉදිවූ දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටස වශයෙන් තෝරා ගනු ලබන්නේ වනඅලින් බොහෝසෙයින් ජීවත් වූ ප්‍රදේශයක් වන අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශවල ජීවත් වන වනඅලින් හට අධිවේගී මාර්ගයට පැමිණීමට නොහැකි ලෙස කිලෝමීටර් 35ක පමණ දිගින් යුත් දැඩි ආරක්ෂාකාරී අලි වැටක් ඉදිකර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 215.99ක මුදලක් යොදවා ඇතැයිද තොරතුරු දැනගැනීමේ පනත මගින් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

මේ ආකාරයෙන් විශාල මහජන මුදල් ප්‍රමාණයක් යොදවා අලි වැටක් ඉදිකරනු ලබන්නේ අධිවේගී මාර්ගයෙන් එපිට කොටස අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කර ඇති පසුබිමකය. මෙම ගැසට් පත්‍රයට අනුව අධිවේගී මාර්ගයේ සිට මීටර් 500ක පමණ දුරක් කිලෝමීටර් 30ක් පමණ යනතුරු අඩු වැඩි වශයෙන් අලි කළමනකරණ රක්ෂිතයට අහිමි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී රුපියල් මිලියන ගණනක් වැය කර තවත් අලි වැටක් ඉදිකිරීමට සිදුවේ. මේ ආකාරයෙන් රුපියල් මිලියන 350කට අධික ප්‍රමාණයක් (රුපියල් කෝටි 3500ක් පමණ) මහජන මුදල් නාස්තියක් සිදුවන අතර, හුදෙක් එය සිදුකරනු ලබන්නේ තම දේශපාන හිතවතුන්ගේ හා ඉඩම් ජාවාරම්කරුවන්ගේ මනදොළ පිරවීමට අලින්ට වෙන් කර තිබූ රක්ෂිත කොටස් ලබාදීම තුළින් වීම කනගාටුවට කරුණකි.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයේදී ඔහුගේ ලේකම්වරයෙකු කියා සිටියේ අමාත්‍යවරයා රෝහල්ගත වී ඇති බවයි. පසුව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ විය.



Recommended Articles