"ස්වාමිපුරුෂයාත්, ලොකු පුතත් දෙන්නම කළේ තාවකාලික රැකියා. කෝවිඩ් නිසා ඒ දෙන්නටම වැඩ නැති වුණා. පවුලේ අටදෙනෙක් කන්න බොන්න ඕනෙ. සල්ලි නැති නිසා රු: 15,000ක් ණයට ගත්තා. ඒ මුදලට දවස් දහයකට රු:2000/= ක් පොලිය දෙන්න ඕනේ. පොලිය ගෙව්වෙ නැති වුණාම ඒකට වැල් පොලියක් එකතු වෙනවා. අන්තිමට ගත්ත 15,000ට ගෙවන්න තියෙන ගාන රු: 80,000ක් වුණා. ඒක ගෙවන්න ආයෙත් ණය වුණා. ණයකාරයෝ ගෙදරට එන්න පටන් ගත්තාම බැරිම තැන තමයි දුව ගෙදරක වැඩකාරකමට යන්න තීරණය කළේ. අන්තිමට ඒ ගිහිල්ලා මිනී පෙට්ටියෙනුයි ගෙදර ආවේ."
රාජමානික්කම් රංජනී අප හමුවේ එසේ පැවසුවේ හැඬූ කඳුළිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ 16 හැවිරිදි තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනී ඇගේ දියණියයි. ඇය මිය යාමේ සිද්ධිය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් වී තිබේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විරෝධය නිසාම මෙම සිද්ධියට සුවිශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙන බවක් සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවම ප්‍රදර්ශනය වේ. ඒ නිසාම මෙම සිද්ධිය තුළින් මතුකෙරෙන වතුකරයේ සමාජය මුහුණදී ඇති බරපතළ ඛේදවාචකය හා විශේෂයෙන් බාලවයස්කාර දැරියන් මුහුණදෙන කුරිරු යථාර්ථය පසෙකලා රිෂාඩ් බදියුදීන් විරෝධය තවදුරටත් ඉස්මතු කරමින් තිබෙන බවක් පෙනේ. නමුත් අපගේ අභිප්‍රාය වන්නේ පවතින සැබෑ තත්ත්වය පාඨක ඔබ හමුවට ගෙන ඒමයි. ඒ නිසාම අපි ඉෂාලිනීගේ පවුලේ සාමාජිකයන් සොයා ඩයගම, බටහිර තුන්වන කොටසට යාමට තීරණය කළෙමු. එහිදී හමුවු ඇයගේ මව වූ රාජමානික්කම් රංජනී අප හමුවේ හැඟීම්බරව දොඩමලු වූයේ මේ ආකාරයෙනි.
"මට දරුවෝ හයදෙනෙක් ඉන්නවා. පිරිමි දරුවෝ එක්කෙනෙයි. ගැහැනු දරුවෝ පස්දෙනයි. මිය ගිය ඉෂාලිනී පවුලේ තුන්වෙනියා. බාලම දරුවාගේ වයස අවුරුදු දෙකයි. අපි දවසේ වැඩ කරලා එදා වේල හොයාගෙන කන බොන මිනිස්සු. මහත්තයත්, අවුරුදු 21ක ලොකු පුතත් හෝටල්වල තාවකාලික රැකියා තමයි කළේ. සල්ලි නැතුව ණය වුණාට පස්සේ කර කියාගන්න දෙයක් නැති වුණා. රුපියල් 80,000ක් ගෙවන්න තිබුණ නිසා අන්තිමට ඒකට සල්ලි හොයන්න මහන්සි වුණා. ඒ වෙලාවෙදී වත්තේ ඉන්න කෙනෙක් අපිට රත්රන් බඩු උකස් තියලා රු. 30,000ක් දුන්නා. එයා කොළඹ බංගලාවලට වැඩකාරයෝ හොයලා දෙන බ්‍රෝකර් කෙනෙක්. මම තවත් අයගෙනුත් ණය අරගෙන රු.67,000ක් අර ණය ගෙව්වා. තවත් රු.13,000ක් ඉතිරි වුණා. ඒ අතර ඒවා ගෙවන්න කියලා ණයකාරයොත් කරදර කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී අර බ්‍රෝකර් කිව්වා %බදියුදීන් මහත්තයලා ගෙදරට වැඩකාරියෙක් හොයනවා, ඒ අය හරි හොඳයි. එයාගේ දුවත් අවුරුදු 4ක් එහෙ හිටියා. ලොකු දුව එහාට යවමු^ කියලා. දුව වෙනුවට මම යන්නද කියලා ඇහුවත් එයා කැමති වුණේ නෑ. ඒ වෙලාවේ ලොකු දුව නෑදෑ ගෙදරක ගිහිල්ලයි හිටියේ. ඒක නිසා තමයි පොඩි දුවට යන්න වුණේ. ඒකට මමයි, මහත්තයි දෙන්නම කැමති වුණේ නෑ. ඒ වුණාට දුව කිව්වා එයා ටික කාලයකට ගිහිල්ලා ණය බේරලා ඉවර වුණාට පස්සෙ ගෙදර එන්නම් කියලා. අපි අකමැත්තෙන් වුණත් ඒකට කැමති වුණා.
එයා කොළඹ යන දවසේවත් අපිට යන්න වුණේ නෑ. වීල් එකේ බ්‍රෝකර් තමයි එක්ක ගියේ. මෙහෙදි පඩිය රු.25,000ක් දෙන්න පොරොන්දු වුණත් එහේ ගියාම දුව පොඩි නිසා රු.20,000ක් මාසෙට දෙන්නම් කිව්වා. දුව එහෙ ගියාට පස්සේ මාස දෙකක පඩිය මැඩම් බ්‍රෝකර්ගේ බැංකු පොතට දාල තිබුණා. එයා ඒකෙන් රත්රන් බඩු බේරගන්න රු.33,000ක් තියාගෙන ඉතිරි 7,000 අපිට දුන්නා. මම ඊට පස්සේ සල්ලි ඉල්ලලා දෙන්න කියලා බ්‍රෝකර්ට කිව්වම එයා විටින් විට සල්ලි ඉල්ලලා දුන්නා. දුව මැරෙන කාලය වෙනකොට අපිට ලක්ෂ දෙකක විතර මුදලක් දීලා තිබුණා. නමුත් ඒ කාලය ඇතුළත කවදාවත් අපිට දුව බලන්න ලැබුණේ නෑ. මුලින් බ්‍රෝකර් කිව්වේ මාස තුනකින් බලන්න පුළුවන් කියලයි. අපි දුවට කතා කළේ ඒ ගෙදර වැඩ කරන පිරිමි ළමයෙකුගේ ෆෝන් එකට. එක අවස්ථාවක අවිස්සාවේල්ලේ මළගෙදරක ගිය වෙලාවක මම අර වැඩකරන කෙනාට කිව්වා අපිට දුව බලන්න පුළුවන් නම් එහාට එන්නම් කියලා. එයා කිව්වා හා කියලා. අපි කොටුවට ගිහින් බොරැල්ලේ ඒ ගෙදරට එන්නේ කොහොමද කියලා අහනකොට එයා කිව්වා මැඩම් හදිසියේ පුත්තලම් ගියා, ඒක නිසා එන්න එපා කියලා. ඒ වෙනකොට දුව ඉන්න ගෙදර කොහෙද තියෙන්නේ කියලවත් අපි දැනන් හිටියේ නෑ. ආපහු දවසක මහරගම ගිහිල්ලත් දුව බලන්න එන්නද කියලා කතා කරද්දි ඒ අය අපිව මගහැරියා. ඒ වගේ තුන් හතර පාරක් කළා. අන්තිම කාලේ දුව කතා කරද්දි එහෙ ගෙදර කරදරයි කියලා අපිට දැනුණා.
දුව කිව්වා ගෙදර වැඩකරන පිරිමි කෙනා එයාට ගහනවා කියලා. ඒ පවුලේ ඔක්කොම 8ක් 10ක් විතර ඉන්නවා කියල තමයි අපිට තේරුණේ. ඒ අයගේ වැඩ කරන්න අවුරුදු 16ක කෙල්ලට සිද්ධ වුණා. එයා ගිය මාසේ 15වෙනිදා කතා කරද්දි කිව්වා ඒ ගෙදර තවත් ඉන්න බෑ. එයාව ගෙන්න ගන්න කියලා. එක වෙලාවකදි එයා කතා කරද්දි ෆෝන් එකේ ලවුස්පීකර් දාලා මැඩමුත් අර වැඩට ඉන්න පිරිමි කෙනත් කතා කළා. මම ඒ අයට කිව්වා දුවට ගහන්න එපා. එයා තවම පොඩි ළමයෙක්නේ. මම එහේ වැඩට එන්නම්. එහෙම කරලා එයාව ගෙදර එවමු කියලා. මොකද අපි ගත්ත සල්ලිවලට හිලව් වෙන්න තවත් කාලයක් එහෙ වැඩ කරන්න තිබුණා. මම එන්නම් කිව්වට ලොක්ඩවුන් නිසා 21වෙනිදත්, 27වෙනිදත් මට එහෙ යන්න බැරි වුණා. මම බ්‍රෝකර්ට කිව්වා 7වෙනිදා මම කොහොම හරි එහේ යනවා කියලා. ඒ අතරේ තමයි 3වෙනිදා හවස බ්‍රෝකර් හදිසියක් කියලා එන්න කිව්වේ. එයාට බොරැල්ල පොලීසියෙන් කතා කරලා තිබුණා. එයා මට ෆෝන් එක දුන්නම පොලිස් නිලධාරීන් කිව්වා දුවට කරදරයක්, පුළුවන් ඉක්මනට එන්න කියලා. පස්සෙ තමයි ආරංචි වුණේ එදා උදෙත්, දවලුත් බොරැල්ල පොලීසියෙන් බ්‍රෝකර්ට කතා කරලා තිබුණත් එයා අපිට කිව්වෙ නෑ කියලා. සල්ලි නැති නිසා අපිට එදාම යන්න බැරි වුණා. 4වෙනිදා උදේ තමයි යන්න පුළුවන් වුණේ. අපිට බොරැල්ල පොලීසියට එන්න කිව්වත් බ්‍රෝකර් එක්කගෙන ගියේ දුව හිටපු බදියුදීන් මහත්තයාලගේ ගෙදරට. එදා තමයි ජීවිතේ මුල් වරට එහාට ගියේ. ඒ ගියාමයි දැනගත්තේ දුව පිච්චිලා ඉස්පිරිතාලෙ කියලා. එයාලා ඒකට විවිධ හේතු කිව්වත් ඒ එකක් වත් අපිට පිළිගන්න බෑ. අදටත් දුවට මොකද වුණේ කියලා අපි දන්නෙ නෑ."
වාර්තා වන අන්දමට ජූඩ් කුමාර් ඉෂාලිනී, ජුලි 03වන දින උදෑසන 6.30ට පමණ පිලිස්සීමට ලක්වීමෙන් අනතුරුව දින 12ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය. මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය තැරැව්කරුවකු හරහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ පසුගිය 2020 නොවැම්බර් 18වෙනිදා බවයි. අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව මුළු ශරීරයෙන් 72෴ක් ගිනි ගැනීමකින් දැවී ඇති බවට පෙන්නුම් කරයි. පශ්චාත් මරණ පරීක්ෂණ තුළින් ගර්භිණී ලක්ෂණ නොපෙන්වන නමුත්, දීර්ඝකාලයක සිට විටින් විට දැඩි යෝනි ලිංගික ප්‍රවේශයකට ලක්ව ඇති බව අනාවරණය වී ඇත. නමුත් මෘදු පටක සහ අභ්‍යන්තරව සාපරාධී ලෙස සැක කළ හැකි හානි පිළිබඳ සාක්ෂි නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිදුවූ සිදුවීමක් නිසා ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුවද, එසේ අනාවරණය නොවූ සිදුවීම් රාශියක් වතුකරය තුළ සිදුවන බව ළමාරක්ෂකයන් කියා සිටියි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් වයසේ පසුවන දරුවන් 5,000කට ආසන්න ප්‍රමාණයක් පාසල් නොයන අතර, මෙම දැරිය ජීවත් වූ ඩයගම, ආගරපතන ප්‍රදේශය එහි වැඩි ප්‍රවණතාවයක් දක්වයි. මෙම ඉෂාලිනී දැරියද 7 වසරෙන් පාසල් යාම නවතා ඇත. ඇගේ වැඩිමහල් සොහොයුරා මෙන්ම සොහොයුරියද පාසල් ගමන නවතා ඇත්තේ 7, 8 ශ්‍රේණිවලදීය. දරිද්‍රතාවයත්, වෙනත් හේතුත් මතත් පාසල් යාම නවතාලන මෙම දරුවන්, විවිධ ජාවාරම් කරා යොමු කරමින් තම මඩිය තර කරගන්නා තැරැව්කාර මාෆියාවක් වතුකරය තුළ ක්‍රියාත්මක වන අතර, ඉෂාලිනීලා වැනි දරුවෝ එහි ගොදුරු බවට පත්වෙති.
කෙසේ වුවත් අද පමණක් නොව හෙටද සිදුවන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපි අදහස් කළ බැවින් මෙම අපචාරයන්ට එරෙහිව දැඩි හඬක් නගන පිරිස් සොයා යාමටද තීරණය කළෙමු.
ඉෂාලිනී දියණියට සාධාරණය ඉටු නොවෙන බව තමයි පේන්නෙ
ඒ අනුව අපට හමුවූ සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරයේ වී. මහේන්ද්‍රන් මහතා තම අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
"මේ සිද්ධිය වතුකරයේ සිදුවූ පළමු සිද්ධිය නෙමෙයි. පසුගිය වකවානුව තුළ ළමුන් 15ක් පමණ විවිධ අතවරවලින් මියගොස් තිබෙනවා. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වධ හිංසාවලට ලක්වෙනවා. නමුත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ ඉෂාලිනී දියණියටත් සාධාරණය ඉටු නොවෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ ඉතාමත් මන්දගාමියි. පරීක්ෂණ ඇරඹිය යුතු වන්නේ මෙම දැරිවිය පිලිස්සී මියගිය බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවෙසින් වුණත්, පොලිස් කණ්ඩායම් ඒ පරීක්ෂණ සිදුකරන්නේ ඇය ජීවත් වූ ඩයගම ප්‍රදේශයේයි. ඒ පවුලේ සාමාජිකයන් අපට දන්වා සිටින්නේ ඔවුන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් පොලීසිය ප්‍රශ්න කරන බවයි. මේ තත්ත්වය තුළ පරීක්ෂණ වෙනත් දිශාවකට හැරවීමේ කුමන්ත්‍රණයක් ඇද්ද කියන සැකයත් ඇති වෙලා තියෙනවා. අපි කියන්නේ ඉෂාලිනී දැරියට යුක්තිය ඉටු විය යුතුයි. එහෙම වුණොත් තමයි හෙට තවත් ඉෂාලිනීලා බිහි නොවන සමාජයක් අපට ගොඩනගන්න පුළුවන් වෙන්නේ."
මානව හිමිකම් කොමිසම විසින් දරුවන්ගේ සුභසිද්ධිය සහ රැකවරණය වෙනුවෙන් සම්මුතියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමෙන් අනතුරුව එහි මූලික පියවර ලෙස 1979 වර්ෂය ළමා අයිතිවාසිකම් වර්ෂය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කළේය. මේ අතර මානව හිමිකම් කොමිසමේ මූලිකත්වය සහ මගපෙන්වීම ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ළමා හිමිකම් ප්‍රඥප්තිය සකස්කොට, 1989 නොවැම්බර් 20වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි 44/5 දරන සැසි වාරයේදී අනුමත කර ප්‍රකාශයට පත්කරන ලදී. දරුවන්ගේ සංවර්ධනය, ඔවුන්ගේ අභිවෘද්ධිය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වන රජයන් මෙම ගිවිසුම සමග එකඟ විය. මේ වනවිට ජාත්‍යන්තර ගිවිසුම් අතරින් වැඩිම රටවල් ප්‍රමාණයක් අත්සන් කර ඇති ගිවිසුම වන්නේ විශ්ව ළමා ප්‍රඥප්තියයි. වයස අවු 18ට අඩු සෑම කෙනෙකුම ළමයෙකු ලෙසත්, ඔවුන් හට මෙම ප්‍රඥප්තියේ සඳහන් සියලු අයිතිවාසිකම් හිමි විය යුතු බවත් විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පළමු වන වගන්තියෙන් අවධාරණය කර ඇත. වගන්ති 54කින් සමන්විත මෙම ලියවිල්ල මූලික වශයෙන් මූලධර්ම 4ක් මත පදනම් කරගෙන සකස්කොට තිබේ. ඒ අනුව දරුවන් සම්බන්ධයෙන් වෙනස්කොට නොසැලකීම, දරුවාගේ උපරිම යහපත, පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය, ළමයාගේ අදහස්වලට ගරු කිරීම සිදුකළ යුතු වන්නේය. එහෙත් මේ සියල්ල කොතරම් ප්‍රායෝගික වේද?
ඇයි ළමයි අනාරක්ෂිත? ඒ ගැන ගැඹුරින් සළකා බැලිය යුතුයි
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ වෛද්‍ය චම්පිකා ජයවර්ණ මහත්මිය දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
"ළමා අපයෝජනයක්, ශාරීරික, මානසික, ලිංගික හා නොසලකාහැරීම් තුළින් සිදුවෙන්න පුළුවන්. අපි ඉෂාලිනීව ගත්තොත් මේ කියන තත්ත්වයන් හතරෙන්ම ඇය අපයෝජනයට ලක්වී ඇති බව පේනවා. රජයක් විසින් විවිධ අණපනත් ගෙනෙන්නේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වෙලා නැති නිසයි. ඇයි ළමයි අනාරක්ෂිත? ඇයි ළමයි ළමා ශ්‍රමිකයන් හැටියට කටයුතු කරන්නේ. ඒ ගැන අපි ගැඹුරින් සලකලා බැලුවොත් අපිට පේනවා මේ හැම ප්‍රශ්නයකටම පවතින දැඩි ආර්ථික අර්බුදය බලපාලා තියෙනවා කියලා. අද මව, පියා දෙදෙනාටම රැකියා කිරීම සඳහා බල කෙරී ඇත්තේ මෙම අර්බුදයයි. කිරි බොන වයසේ දරුවන් දාලා මව්වරුන්ට වෙනත් රටකට බැල මෙහෙවර කරන්න යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය විසින් ජනිත වෙන දරිද්‍රතාවය හේතුවෙන් තමයි ඉෂාලිනී වගේ දරුවන්ට පාසල් අධ්‍යාපනය මගදිම හමාර කරන්න සිද්ධ වෙන්නේ. ඒ අර්බුදය විසින් තමයි ඉෂාලිනීගේ අම්මට ඉතාම අමානුෂික පොලියකට ණයක් අරගෙන තමන්ගේ දරුවන්ගේ බඩකට පුරවන්න වෙන්නේ. ඒක නිසාම තමයි අවසානයේදී තවමත් භද්‍ර යෞවනයටවත් පා තබා නැති තමන්ගේ දරුවව බැල මෙහෙවර කරන්න ධනපතියෙකුගේ ගෙදරට යවන්න සිද්ධ වෙන්නේ. මේක ඉෂාලිනීලාට විතරක් බලපාපු ප්‍රශ්නයක් නෙමෙයි. අද ලංකාවේ ජාති ආගම් බේදයකින් තොරව රටේ බහුතර ජනතාවකට මේ තත්ත්වය අත්වෙලා තියෙනවා. අද දරුවන් අනාරක්ෂිතයි. මානව බැඳීම් පලුදු වෙලා. කිරි දරුවෝ විකුණන තත්ත්වයකට අපි පත්වෙලා. මීට අවුරුදු ගාණකට කලින් මැදපෙරදිගදී මරණ දඬුවම හිමිවූ රිසානාගේ කතාවත් අපට පෙන්නුම් කරන්නේ මේ යාථාර්ථයයි. මෙලෙස වාර්තා නොවුණු එහෙත් පීඩාවට පත්වුණ ඉෂාලිනීලා, රිසානාලා මේ බිමේ තවත් දස දහස් ගණනාවක් ඉන්න බව නම් ඒකාන්තයි.*
ළමා ශ්‍රමිකයින් සහ ළමා අපචාර වෙනුවෙන් නීති සංශෝධනය විය යුතුයි
මෙවැනි ව්‍යසන වළක්වාගත හැකි නීතිමය රාමුවක් අප රට තුළ නැද්ද? ඒ පිළිබඳව විමසීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කාරක සභා සාමාජික එස්. මෝහනරාජා මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
&මෙවැනි අපයෝජනයන් ලංකාවේ බහුලව සිදුවෙනවා. ළමුන් සේවයේ යෙදවීම, ඔවුන් පැහැරගෙන ගොස් අවයව ලබාගෙන විකිණීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගැනීම, ලිංගික වෙළෙඳාමට යොදා ගැනීම වැනි විෂමාචාර සිදුවීම් වෙනවා. ළමා අපයෝජන සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ අණපනත් තියෙනවා. එයට අදාළ 93 සහ 95 සංශෝධන පනත්වලිනුත් ප්‍රතිපාදන ලැබී තියෙනවා. ඊට අමතරව අපට වධ හිංසා වැළැක්වීමේ පනතක් තියෙනවා. අන්තර්ජාතික වශයෙන් තියෙන නීතිරීතිත් අපි පිළිඅරගෙනයි තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත්, මානව හිමිකම් කොමිෂන් සභා පනතෙත් ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධ විශේෂ විධිවිධාන තියෙනවා. ඒ වගේම ළමාරක්ෂක අධිකාරියටත්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටත් විශේෂ බලතල පැවරෙනවා. නමුත් ඒ සඳහා ක්‍රියා කළ යුතු රාජ්‍ය ආයතන තම යුතුකම හා වගකීම හරිහැටි ක්‍රියාත්මක කරනවාද කියන ගැටලුව අපිට තියෙනවා.
මේ සඳහා කටයුතු කරන ආයතන විශේෂ අවධානයක් යොමු කරමින්, තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා නම්, අපිට මීට වඩා දරුවන්ට ආරක්ෂාවක් සලසා දෙන්න පුළුවන්. ඒ සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලීසිය, පරිවාස දෙපාර්තමේන්තුව ආදී සියලු රාජ්‍ය ආයතන එකතු වෙලා ළමුන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ව නීතිවිරෝධී කටයුතුවලට යොදා ගැනීම වැළැක්වීමටත්, එසේ යොදා ගන්නවා නම් ඒවා නිරීක්ෂණය කිරීමට හා වැටලීම් කළ හැකි යාන්ත්‍රණයක් ගොඩනගා ගත යුතුයි. ඒ තුළින් පමණයි මේ දරුවන්ගේ සුරක්ෂිතභාවය අපට සැලසිය හැක්කේ. මේ සඳහා 2021 ජනවාරි 18වන දින ළමා ශ්‍රමිකත්වය පිළිබඳව ඉතා විශේෂ වූ පනතක් සම්මත කර ගැනීමට හැකි වුණා. කලින් පැවැති 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනතට අනුව, වයස අවුරුදු 14 දක්වා ළමයින්ට රැකියාවල යෙදීම තහනම් කර තිබුණා. නමුත් මෙම නව පනත මගින් එම වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවලා තියෙනවා. අනෙක් අතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවු: 18ට අඩු අය ළමුන් හැටියට අර්ථ නිරූපණය කරලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ අවු: 16ට අඩු ගැහැනු දරුවෙකුගේ කැමැත්ත මත වුවත් ලිංගිකව හැසිරුණොත් දූෂණයක් හැටියටයි ගණන් ගැනෙන්නේ. අවු: 16ට වඩා වැඩි ගැහැනු දරුවෙකුට කැමැත්තෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව තියෙනවා. නමුත් විවාහ වීමට හැකි වයස හැටියට දක්වලා තියෙන්නේ අවු 18යි. මේ තුළ ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනවා. මේවැනි පරස්පරතා අද අපරාධකරුවන්ට වාසි සහගත ලෙසයි භාවිත වෙන්නේ. ඒ සඳහාත් සංශෝධන ගෙන ආ යුතු බවයි මගේ නම් අදහස."
සටහන හා ඡායාරූප- නුවරඑළිය සම්පත් ජයලාල්