අප ජීවිතයෙන් සොයනා සතුට එකිනෙකාට සාපේක්ෂ විය හැකි වුවත්, ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්ෂතාවක් තිබිය නොහැකිය. එනම්, එය නිරපේක්ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එමෙන්ම, තමන් සොයා ගත යුත්තේ තාවකාලික සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා, සමස්ත තුන් ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස ගිහි ගෙදර අතහැර, එම සතුට සොයා ගිය අප මහ බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වයත් සමග නිර්වාණය නමැති එම නිරපේක්ෂ සතුට ළඟා කරගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එය එසේ නම්, සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සාපේක්ෂ සතුටක් අපේ ජීවිතයට ළංකර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්ෂ සතුට ළඟා කර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සතුට මුවාවෙන් තිබුණු දුක අවබෝධ කරගෙන එය අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් වීර්ය වඩන උතුමන් වන්නේද එබැවිනි.
ගිහි නම - කැළුම් මධුශංක
වයස - අවුරුදු 30
පදිංචිය - දකුණු කොරියාව/ශ්‍රී ලංකාව
පාසල - නිවන්තකචේතිය මහා විද්‍යාලය - අනුරාධපුර
රැකියාව - මැෂින් ඔපරේටර් - ආයතන ප්‍රධානී
?ඔබ වහන්සේට සද්ධර්මය හමුවෙන්නේ හරි අපූරු ආකාරයකට
ඔව්. දවසක් මම රාජකාරි ඉවර වෙලා ගෙදරට ගියේ නිදාගන්න හිතාගෙන. ඉතින් ඒ වෙලාවෙ මම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට ආවා. එක වීඩියෝවක් මං ළඟට ඇවිත් දෙතුන් වතාවක්ම හිරවෙන්න පටන් ගත්තා. අයින් වෙන්නෙම නැහැ. ඒ නිසා මම බැලුවා මේ මොකක්ද කියලා. බැලින්නම් මිනිත්තු 43ක ධර්ම දේශනාවක්. මහන්සියෙන් හිටපු නිසා මම පොඩ්ඩයි ඇහුවේ. ඒත් ඒ අහපු පොඩ්ඩෙන්ම මම සෑහෙන්න තරම් ධර්මය කෙරෙහි පැහැදුණා. එදා මම ඇහුවේ මෙතෙක් මම නොඇසූම දහමක්. %සසර ගනුදෙනු^ තමයි ඒ ධර්ම දේශනාව. මට ඒක හොඳට මතකයි. එතැනින් තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ.
?හැබැයි ඔබවහන්සේට පැවිදි වෙද්දි ගෙදරිනුත් සෑහෙන්න බලපෑමක් ආවා නේද
මම තාමත් පැවිදි වෙලා වැඩි කාලයක් නැහැ. ඒ නිසා ඒ තත්ත්වයට ළඟාවෙන්න මම සෑහෙන්න සූක්ෂම වුණා. ධර්ම දේශනා දහයක් පමණ අහනකම්ම කිසිම අමුත්තක් ගෙදරට පෙන්නුවේ නැහැ. ඔවුන්ටත් දහම අහන්න සැලැස්සුවා. අනික ඔවුනුත් දහම ගැන ඒ වෙද්දි යම් අවබෝධයකයි හිටියේ. ඒ බවත් මම දැනගෙන හිටියා. ඒත් ඒ මට්ටම කොයිතරම්ද කියන එක ගැන නම් මට ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඉන් ටික කාලයකට පස්සේ තමයි මට අම්මලා පැවිදිවෙන්න කැමැත්ත දුන්නේ.
?ඒත් ඔබේ වැඩිමහල් සහෝදරයා එතැනදි ඔබවහන්සේට හරස් වුණා නේද
ඔව්. මේ ගැන දැනගත්තට පස්සේ අයියා මට දුරකථන ඇමතුමක් දීලා සෑහෙන්න බැන්නා. ඒ වෙද්දි අයියා විවාහ වෙලයි හිටියේ. ඔහු ගුවන් හමුදාවෙයි සේවය කරන්නේ. අනික ඒ කාලේ මට මගේ පෙම්වතිය හින්දත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙලයි තිබුණේ. මොකද ඇය කැමති වුණේ නැහැ මම පැවිදි වෙනවට. පැවිදි වීම සම්බන්ධව ඇය හිටියෙත් වැරදි ස්ථාවරයක. හැබැයි මම ඇයටත් මේ ධර්මය අහන්න දෙන්න තරම් සූක්ෂ්ම වුණා. මම හිතනවා කවදා හෝ ඇය ඒ දහම තේරුම් ගනීවි කියලා. කොහොම වුණත් මේ අතරේ මගේ අයියට මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ දහමක් අහන්න අනුරාධපුරයේදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඉන්පස්සේ තමයි ඔහු තමන් කළ වැරැද්ද ගැන කලකිරිලා ගුරු ස්වාමීන් වහන්සේ ඉස්සරහ අඬල තියෙන්නේ. ඒත් එදා උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් අයියා දිහා බලලා තියෙනවා. මම හේතු ගැළපුණොත්, පාරමිතාව සම්පූර්ණ වුණු දවසට පැවිද්දට ඒවි කියල ඒ වෙලාවේ උන්වහන්සේ අයියට කියල තියෙනවා. බොහෝම කරුණාවෙන් අයියගේ හිත හදලා තියෙනවා.
? හැබැයි ඔබවහන්සේට ගිහි ජීවිතයේ ඉඳගෙනත් ධර්මයේ හැසිරෙන්න ඉඩක් තිබුණා
මට නැවතත් තිරිසනෙක් වෙන්න ඕන නැහැ. මොකද මට මං ඇහුව මුල්ම ධර්ම දේශනාවෙන්ම ඒ බව අවබෝධ වුණා. ඒ නිසා ආයෙත් නම් සතර අපාගත වෙන්න මට බැහැ. ඒ බවත් එදා මම අවබෝධකර ගත්තා. ඒ නිසා මම මේ අත්භවයේදීම මේ සංසාරේ නිමා කළ යුතුයි කියන ස්ථාවරයට එදාම ආවා. හැබැයි මේ තීරණයෙන් පස්සෙත් මා වටා සිටි විදේශගත පිරිස මාරපාක්ෂික බලවේග වගේ මං පස්සෙ එන්න පටන් ගත්තා. ඉතාම සුළුතරයක් විතරයි මගේ තීරණය අවබෝධ කර ගත්තේ. ගොඩක් අය හිතුවේ දකුණු කොරියාවේදී තමන්ට ලැබෙන ලක්ෂ තුන හතරක වැටුප ගැන. සැප සම්පත් ගැන. පහසුකම් ගැන. අනික අපිට එහි ඕනෑතරම් නිදහසකුත් තිබුණා. මට තව අවුරුදු කිහිපයක වීසා කාලයකුත් තිබුණා. ඒ නිසා එහේ ඉතා සුව පහසුවෙන් ජීවත්වෙන්නත් මට අවස්ථාව තිබුණා. ඒ තියෙද්දිම මේ වගේ තීරණයක් ගත්තු එක ගැන එයාලට තිබ්බේ පුදුමයක්. මට ඉතාම සමීප අයියා කෙනෙක් කිව්වා ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියල.
?හැබැයි දකුණු කොරියාව කියන්නේ බෞද්ධ පසුබිමක් පවතින රටක්
ඉස්සර නම් දකුණු කොරියාවේ වැඩිපුර ජීවත් වුණේ බෞද්ධයෝ. ඒත් දැන් තත්ත්වය වෙනස්. සියයට 30ක් විතර තමයි බෞද්ධයෝ ඉන්නේ. තවත් සියයට 30ක් ක්‍රිස්තියානි වැසියන්. බහුතරය ජීවත් වෙන්නේ නිරාගමිකයන් විදිහට. ඔවුන් විශ්වාස කරන්නේ නැහැ ආධ්‍යාත්මික ජීවිතයක් ගැන. කිසිවකුට හිංසාවක් නැති ලෞකික ජීවිතයක් ගැන පමණයි ඔවුන් හිතන්නේ. ඒ නිසා අපටත් ඔවුන්ව වෙනස් කරගන්න බැරිවුණා. අනික ඒ තරම් භාෂා ප්‍රවීණත්වයක් අපටත් නැහැ. ඒ තරම් කාලයක් මට එහි සේවය කරන්න ලැබුණෙත් නැහැ. හැබැයි මම දහමට නැඹුරු වෙද්දී ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසාදෙන්න මගේ කළමනාකරුවා ස්වකැමැත්තෙන්ම දායක වුණා. ඔහු කොරියානු ජාතික කළමනාකාරවරයෙක්. එතුමාව මම මේ මොහොතේදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මොකද එතුමා මගේ ධාර්මික නැඹුරුව දැනගත්තු ගමන් ඒ සඳහා මට එදා උදව් කරන්න පටන් ගත්තා. වතාවක් මට එතුමා හිස නමා ආචාර පවා කළා. හැබැයි මම දහම ඇහුවට පස්සේ වෙනදටත් වඩා උනන්දුවෙන් තමයි මගේ රාජකාරිය ඉෂ්ට කළේ. ආයතනයට අවශ්‍ය නිෂ්පාදනයත් හොඳින් ලබාදුන්නා. ඒකයි විය යුත්තේ.
?ඒත් ඔබවහන්සේ පවා ලංකාවට ඇවිත් වෘත්තීය වශයෙන් නියැළෙන්න අදහස් කරගෙන හිටියේ මංගලෝත්සව සම්බන්ධ ඉහළ ආදායමක් ලැබිය හැකි ක්ෂේත්‍රයක්
ඔව්. ඒකෙනුත් මම තේරුම්ගත්තේ මම මේ ප්‍රචාරණය ලබාදෙන්නේ කාමයට නේද කියලයි. විකුණන්නේ කාමය නේද කියලයි. මොකද අපි ගිහි ජීවිතේම ගෙවන්නේ පංච කාමයෙන් පිනවමින්. එතැනදිත් පවුල් ජීවිතේ සැපයි, සුන්දරයි කියලා ප්‍රචාරණයක් ලබාදෙනවා නේද කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. හැබැයි මගේ රැකියාව විතරක් නෙමෙයි, ලෝකේ තියෙන බොහෝ රැකියාවලින් සිදුකරන්නේ පංච කාමය පිනවීමට වක්‍රාකාරව උදව් කිරීමක්. ඒ නිසා නැවතත් සතර අපායේ නොවැටෙන්න නම් මේක තමයි එකම අවස්ථාව කියලා මම අවබෝධ කරගෙන ඉවරයි. මේක හොඳ අවබෝධයෙන් යා යුතු ගමන් මාර්ගයක් බවත් මම තේරුම් අරන් ඉවරයි.
?ඒ වෙනුවෙන් ඔබවහන්සේ මේ මොහොතේදී මොකද කරන්නේ
ඒ ඒ මොහොතේ හිතේ ස්වභාවය ගැන නිතරම සිහියෙන්, රාග, ද්වේශ, මෝහ සහගත සංකල්පනා පහළ වෙනවාද යන්න ගැන කල්පනාවෙන් ඉන්නේ. කෙලෙස් සහගත ඒ සංකල්පනාවල අසාරත්වය මෙනෙහි කරන එකයි සිදුකරන්නේ. ඒ වෙනුවෙන් තමයි ආර්යය මෛත්‍රී භාවනාව වඩන්නේ. අරිහතුන් වහන්සේලාට බලාපොරොත්තු නැහැ. උන්වහන්සේලා අතීතය සහ අනාගතයට ඇලිලා නැහැ. අතීතයට ඇලිල නැති නිසාම තමයි හිතින් බලාපොරොත්තු සහගත අනාගතයක් නිර්මාණය කරගන්නෙ නැත්තේ. ඒ නිසා ගිහියන්ට හෙට දවස ගැන කෝටියක් බලාපොරොත්තු තිබුණට, මට ඒ බලාපොරොත්තුවල අසාරත්වයමයි හැඟෙන්නේ. මේ මොහොතේ පමණයි ජීවත් වෙන්නේ. ඒ තරම් අපේ ඊළඟ හුස්ම ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසයි ජීවිතය අවිනිශ්චිත. අපි හැම මොහොතකම මරණයට සූදානම්ව ඉන්න ඕනේ. ඒ වෙනුවෙනුයි අපි වැඩකටයුතුවල යෙදෙන්න ඕන. පංචේන්ද්‍රයන්ගේ වටිනාකම ප්‍රහීන කර ගැනීමේ ප්‍රතිපදාවක අපි නියැළෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි ඊට අවශ්‍ය පරිසර සාධක සහ කල්‍යාණ මිත්‍ර සේවනයේ යෙදෙන්නේ. ඒකයි ඒ ආකල්පය ධනාත්මක චින්තනයක් වෙන්නේ.
?ගිහි ජීවිතේ සහ පැවිදි ජීවිතේ අරමුණුවල පවතින මූලික වෙනස්කම් කොහොමද දකින්නේ
ගිහි ජීවිතේදී අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ලෝකෙන් කොටසක් මගේ කරගන්න. ඒත් පැවිදි ජීවිතේදී අපි උත්සාහ කරන්නේ අතහරින්න. ඒකටයි අපි පුරුදු පුහුණු වෙන්නේ. මොකද ගිහි ජීවිතේදී අපි සතුටින් ඉන්නවා කියල හිතාගෙන හිටියට දැන් ඇත්ත නැත්ත හරි හැටි අවබෝධ වෙලයි තියෙන්නේ. ඒ හින්දා එදා ගිහි ජීවිතයේ කවමදාකවත් නොලබපු ආකාරයේ පුදුමාකාර සතුටකින් තමයි දැන් ජීවත් වෙන්නේ. මම ඒ නිරාමිස ප්‍රීතිය උදාකර ගත්තේ මේ පැවිදි ජීවිතය නිසා.
?දැන් ඔබවහන්සේ ජීවිතයට ළං කරගන්න අරමුණු දිහා බලන්නේ සාපේක්ෂවද නිරපේක්ෂවද
අපි අරිහතුන් වහන්සේලා නෙමෙයි. ඒත් අපි ඒ අරමුණ කරා ඒ මග යන අය. අරිහතුන් වහන්සේලා නම් ස්වභාවයෙන්ම නිරපේක්ෂවයි අරමුණු දිහා බලන්නේ. එතකොට කිසිම මානසික දුකක් නැහැ. අනික, බුදුරජාණන් වහන්සේ පවා සුදුසු, ගැළපෙන දේ අගය කළා. රමණීයත්වය උන්වහන්සේ අගය කළේ ඒ නිසා. ඒත් උන්වහන්සේ ඒක ඇගයුවේ අපි දකින දෘෂ්ටිකෝණයෙන් නෙමෙයි. මොකද උන්වහන්සේගේ චිත්ත පරම්පරා ගමන් කළේ අවිද්‍යාවෙන් නෙමෙයි.
?එදා ගත්තු ඒ තීරණේ ගැන දැන් මොකද හිතෙන්නේ
සියයට දාහක් නිවැරදියි. ඒ බව දැන් ප්‍රත්‍යක්ෂ වෙලා අවසානයි. ඒ නිසා මේක තමයි ඒ ළිඳෙන් ගොඩට එන්න තියෙන එකම මග. ඒ බවත් අවබෝධ වෙලා ඉවරයි. එහෙම නැත්නම් අදත් මම ඉන්නේ දකුණු කොරියාවේ. ඒත් මම අවුරුදු තිහක් වෙනකම්ම මොකක්ද කළේ කියන එකයි මට දුක. හැබැයි මම ඉන්පස්සේ හෝ මේ දහම අවබෝධ කරගත්තු එක ගැන සතුටුයි. මේක තමයි මම මේ දහම අවබෝධ කර ගත්තු හොඳම වයස කියල දැන් හිතෙනවා. මොකද ඊට අවශ්‍ය සියලුම ආකාරයේ ගිහි ආශ්‍රයන් මම ඒ අවබෝධයට පෙර ලැබුවා. ඒ නිසා මට මේ ගමනේ අසාරත්වය දකින්න ලේසි වුණා. දවසින් දවස මගෙන් දේවල් අත්හැරෙද්දි මට දැනෙන සතුට දැන් කියල නිම කරන්න බැහැ. අනික මගේ තාත්තත් ඒ දහම අවබෝධ කරගෙනයි දැන් ඉන්නේ. ඔහුත් තව ටික දවසකින් මේ පැවිදි ජීවිතයට ඒවි. ඔවුන් ඒ තරම්ම මේ දහම අවබෝධ කරගෙන. අයියත් දැන් මේ දහම අවබෝධ කරගෙන ඉන්නේ. ඔහු ඉන්නෙත් මෙතැනින් මේ පරම්පරාව අවසන් කර ගන්නවා වගේ මට්ටමක. මොකද ඔවුන්ටත් ආයේ සතර අපායේ තියා මේ තිස් එක් ලෝක ධාතුවේ කොහෙවත් ඉපදෙන්න අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා ඔවුන් උදේ පාන්දරම දවස ආරම්භ කරන්නෙත් ධර්ම දේශනාවකට සවන් දීලා.
?ඒත් ප්‍රත්‍යක්ෂ දහම මිස නොපෙනෙන දෙවිවරු, භූතයෝ, පෙරේතයෝ ගැන විශ්වාස කිරීම බුදුදහමට කැපද
බුදුරජාණන් වහන්සේ අපට දිව්‍යලෝක ගැන, සතර අපාය ගැන ත්‍රිපිටකයේ දේවදූත සූත්‍රය ආදී සුත්‍ර දේශනා ඔස්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි අපට ඒ දෙවිවරු, පෙරේතයෝ නොපෙනෙන්නේ අපේ දෘෂ්ටි පරාසයේ ගැටලුවක් නිසා. එහෙම නැතුව නැති නිසා නෙමෙයි. එවැනි දේවල් නොපෙනෙන නිසාම අපට එවැනි කායිකයන් නැහැ කියන්න බැහැ. අනික දෙවිවරු අතරත් බලසම්පන්න බවින් අඩු වැඩි අය ඉන්නවා. ඒ වගේම පෙරේතයෝ අතරත්, යක්ෂයෝ අතරත්, භූතයෝ හෙවත් සූක්ෂ්ම කයක් ඇති අය අතරත් බලසම්පන්න පිරිස් ඉන්නවා. දෙවියන්ට ආවතේව කරන දේවතාවොත් ඉන්නවා. ඒ වගේම බොහෝ පින් රැස් කරගත් සමහර පුණ්‍යවන්තයෝ ඉන්නවා ජීවිතයේ අවසාන මොහොතේදී ඒ අයට හටගත් ද්වේෂ සහගත සිතිවිල්ලක් නිසාම ප්‍රබල යක්ෂයෝ වුණු. ඔවුන්ටත් පුළුවන් තමන්ගේ සූක්ෂ්ම කය ඝනීභවනය කරන්න. ඒවා පුණ්‍ය සෘද්ධි. හැබැයි අවුරුදු සීය දෙසීය ගිහිල්ලත් පුණ්‍ය ශක්තිය මදිකමින් තමන්ගේ මුණුබුරාට මිණිබිරියට ආවේශ වෙලා පින් ඉල්ලන පෙරේත ආත්ම තමයි වැඩිපුර ඉන්නේ. අවාසනාවට, නොදන්නාකම නිසා බොහෝ දෙනාට අත්වෙන්නේ මේ ඉරණම. ඒ නිසා භෞතිකවාදී නොවන සියල්ල මිත්‍යාවන් විදිහට බැහැර කරන්න අපට බැහැ. එහෙම නම් විනිවිද පෙනෙන වතුර වීදුරුවක ඉන්න ක්ෂුද්‍ර ජීවීන් පවා අපට බැහැර කරන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ව අපට පියවි ඇහැට පේන්නෙ නැහැ.
?ශික්ෂාකාමීත්වය කොහොමද සද්ධර්මය අවබෝධයට වැදගත් වෙන්නේ
ගරුගුණ හිත යන්න භික්ෂුවකට සද්ධර්මය අවබෝධය කර ගැනීමේදී ඉතා වැදගත්. ගරුගුණ හිත තියෙනකොට සිත, කය සහ වචනය ශික්ෂණය වෙන්න ඒක සෑහෙන්න උදව් වෙනවා. ඒ ශික්ෂණය ලබාගන්න වත් 14ක් තියෙනවා. අනික ඒ සඳහා සාමණේර නමක්ද, වැඩිහිටි භික්ෂුවක්ද යන්න කිසිසේත්ම වැදගත් නැහැ. අරමුණයි වැදගත්. අනික ජාත සෝතාපන්න ළමයි විශාල ප්‍රමාණයක් දැන් ලංකාවේ ඉපදිලා තියෙන බවත් අපට ආරංචියි. ඒ නිසා සාමණේර භික්ෂූන් වහන්සේලාට ධර්මාවබෝධයක් නැහැ කියලා අපට කිසිසේත්ම බැහැර කරන්න බැහැ. මොකද අපට තව කෙනෙක්ගේ ධර්මාවබෝධය ගැන පූර්ණ නිගමනයක් අරගන්න බැහැ. ඒ නිසා සද්ධර්මය අවබෝධ කරගැනීම සඳහා එකිනෙකා අතර පැවතිය යුතු කල්‍යාණ මිත්‍රත්වයයි වැදගත් වෙන්නේ. එතකොටයි නිවන කරා යා හැකිවෙන්නේ. ඒකයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.