යුද්ධය නිමාවීමෙන් පසුව ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර පසු වූ අප මේ වනවිට දකුණු ආසියානු කලාපයේ අවසන් ස්ථාන අතරට පත්ව තිබේ. පසුගිය වසර හතරහමාරක කාලය තුළදී වත්මන් පාලකයන් ගෙනගිය අසාර්ථක පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාව දැන් ඇෆ්ගනිස්තානය හා තරග කරමින් සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය හමුවේ ඔවුන්ගෙන් ඉදිරියට පැමිණීමේ අපේක්ෂාවෙනි.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්රයකම ගැටලු ඇති වූ බව පාඨක ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ආර්ථිකය, යටිතල පහසුකම් සංවර්ධනය, විදේශ ආයෝජන, නවෝත්පාදන, අධ්‍යාපන හා සෞඛ්‍ය යන සෑම ක්ෂේත්රයකම දරුණු කඩාවැටීමක් ඇති වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
අප මේ කුරහන් සුවඳ තීරු ලිපියේ බොහෝ වේලාවට සාකච්ඡා කළ කරුණක් වන්නේ ඉන්දීය සාගරයේ වඩාත්ම වැදගත් ස්ථානයක පිහිටා ඇති අපේ දිවයිනට ලෝකයේ නාවික ක්ෂේත්රයේ බලවතෙකු බවට පත්වීමට ඕනෑ තරම් අවස්ථා ඇති බවයි. අප මේ බව හොඳින් හඳුනාගෙන කටයුතු කරමින් සිටියෙමු. හම්බංතොට වරාය ඉදිකිරීම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමට අප කටයුතු කළේ මේ හේතුවෙනි.
කෙසේ වෙතත් වත්මන් පාලකයන් අප ආරම්භ කළ සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යනවා වෙනුවට කළේ එම සංවර්ධන ව්‍යාපෘති විදේශයන්ට විකිණීමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාවට දෙපසින් ලෝකයේ දියුණුම ආර්ථික දෙකක් සහිත රටවල් දෙකක් පවතී. ඒ සිංගප්පූරුව හා ඩුබායි රාජ්‍යයයි. මේ රටවල් දෙක සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමෙන් අපට අන්‍යොන්‍ය වශයෙන් වාසි සහගතව කටයුතු කිරීමට අවස්ථාව තිබේ.
එසේම ඕනෑම රටක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත එම රටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකරයි. අපගේ පාලන කාලය තුළ අපි හැකි තරම් දේශීය ව්‍යාපාරිකයන් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේ මේ බව හොඳින්ම අධ්‍යයනය කර තිබූ හෙයිනි.
එසේම යුද්ධයෙන් පසුව ඇති වූ හිතකර වාතාවරණය තුළ ශ්‍රී ලංකාව තුළ බොහෝ නව ව්‍යාපාර ආරම්භ කෙරිණි. විශාල පිරිසකට ඒ හරහා රැකියා හිමි වූ අතර විශාල පිරිසකට දුප්පත්කම පරයා නැගී සිටීමටද එය අවස්ථාවක් විය.
තවත් ව්‍යාපාර විදේශීය වෙළෙඳ පොළට පිවිසියේය. විදේශීය ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමෙන් තවදුරටත් ආර්ථිකය පුළුල් විය. මේ හරහා ශ්‍රී ලංකාවට පැමිණි විශාල සමාගම් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආදී ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යයක් ඉටුකරන්නට විය.
කෙසේ වෙතත් 2015 වසරේ පත් වූ ආණ්ඩුව අප ලබාගත් ආරම්භය කණපිට හරවමින් ප්‍රතිපත්ති වෙනස් කරමින්, ආරම්භ කර තිබූ සංවර්ධන ව්‍යාපෘති තහනම් කරමින් කටයුතු කරන්නට විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු කිරීමට තිබූ විදේශ ආයෝජන නැවැත්වීමට ආයෝජකයන් කටයුතු කළ අතර, ඇතැම් ආයෝජකයෝ තම ආයෝජන රැගෙන ගොස් වෙනත් රටවල ආයෝජන අවස්ථා සොයාගැනීමට කටයුතු කළහ. මේ හරහා අපගේ සංවර්ධනය අඩාළ විය.
අනෙක් අතින් දශක තුනක් තිස්සේ පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය දිගින් දිගටම වර්ධනය වෙමින් පැවැතියේය. 2019 වසරේදී ලෝකයේ සංවර්ධනය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝන්ලි ප්ලැනට් සඟරාව කටයුතු කළේය.
ඒ වත්මන් ආණ්ඩුවේ හැකියාව මතම පමණක් නොව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් අප එයට ශක්තිමත් පදනමක් යොදා තිබුණ හෙයිනි.
කෙසේ වෙතත් අප ජාතික ආරක්ෂාවට දැමූ ඒ ශක්තිමත් පදනම ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවීමේ අවසාන ප්‍රතිඵලය වූයේ ත්‍රස්තවාදය පරාජය කර 10 වැනි සැමරුම පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ශ්‍රී ලංකාව ගොදුරු වීමයි. මෙම ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තව තවත් ආපස්සට ගෙන ගියේය. කෙසේ වෙතත් නැවත වරක් සංචාරකයන් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර තිබේ.
ඒ අනුව ඔවුන්ට උපරිම ආරක්ෂාවක් ලබාදෙමින් ඔවුන්ගේ අවශ්‍යතා උපරිම ලෙස ඉටු කිරීමට අපට කටයුතු කළ හැකි නම් නැවතත් සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමට අපට අවස්ථාවක් තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව සඳහන් කළේ මේ වනවිට ආරක්ෂාව තහවුරු වී ඇති බවයි. ඒ අතරේදී නුවරඑළියේදී තව්හීද් ජමාත් පුහුණුව ලැබූ ඇතැම් පුද්ගලයෝ ශ්‍රී ලංකාවෙන් විදේශ රටක් බලා ගමන් කිරීමට කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූහ.
ඒ අනුව තවමත් මෙහි ආණ්ඩුව නොකියන ඇත්තක් ඇති බව පෙනේනට තිබේ. මේ අතරේ ආණ්ඩුව තවදුරටත් එකිනෙකාට චෝදනා කරගැනීමේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යමින් සිටියි. ජනාධිපතිවරණය තවත් නොබෝ දිනකින්ම පැවැත්වීමට නියමිත හෙයින් ඉතිරි කාලයත් ජනපති - අගමැති ගැටුම ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.
අනෙක් අතින් ජනතාවට එක් එක් ප්‍රශ්න අමතක කරවීම වෙනුවෙන් සතියෙන් සතියට අලුත් මාතෘකා ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ඇත. මෙය රටකට හොඳ තත්ත්වයක් නොවේ. අප ආණ්ඩුවට ඒ ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ ලබාදෙමින් විපක්ෂයක් ලෙසත්, ඉන් එහාටත් රට ගැන, ජනතාව ගැන සිතමින් අපගේ වැඩ කොටස ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන්නෙමු.
මේ වනවිට අප විවිධ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ ඒ නිසාය. මේ සඳහා ලබාදිය හැකි උදාහරණය වන්නේ දක්ෂතාවලින් හෙබි තරුණ ශ්‍රී ලාංකිකයන් හඳුනාගැනීමටත්, රටක් ලෙස ඔවුන් දේශීය හා විදේශීය ක්‍රීඩා පිටියේ ඉදිරියටත් රැගෙන යෑම වෙනුවෙන් සකසන ක්‍රීඩා ප්රතිපත්තියයි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනතා අදහස් ඇතිව මෙම ප්‍රතිපත්තිය සකස් කරන අතර එය Fit Sri Lanka ලෙස නම් කර තිබේ. මේ සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම දැනටමත් ආරම්භ කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ඒ සඳහා අදහස් හා යෝජනා ලබාදීමට අවස්ථාව තිබේ.
ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ තත්ත්වයට වැටී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ජනතාව දැන් දේශපාලනඥයන්ට වෛර කිරීමට පටන්ගෙන ඇත්තේද එහෙයිනි. රට මේ තත්ත්වයට පත්වීම සම්බංධයෙන් කිසිම අවස්ථාවක ජනතාවට දෝෂාරෝපණය කිරීමට නොහැක. නමුත් දැන් එකාවන්ව එකට සිතමින් ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළ යුතු අවස්ථාව පැමිණ තිබේ. මන්දයත් ලෝකය දැන් ශ්‍රී ලංකාවට කළ හැකි දේ බලා සිටින හෙයිනි.
ලබන සතියේදී යළිත් හමුවෙමු! ඔබට සුබ අනාගතයක්!