ලෝක දේශපාලනයේ නව ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු නොකර දේශපාලන ආර්ථිකය ජය ගැනීම අපහසුයි


තවත් නිදහස් දිනයක් ගෙවී ගියේය. රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණනවා යැයි ඇසෙන චෝදනාව අදටත් ඇසේ. විවිධ යෝජනා, චෝදනා හමුවේ නිදහස භුක්ති විඳින අතර, මෙම දේශීය සම්පත් විකිණීම සම්බන්ධයෙන් පවතින කතාබහට විද්වත් මත සොයා අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල මහතා හමුවුණෙමු.

 පොදු දේපළ විකිණීම සම්බන්ධයෙන් නැගෙන යෝජනා චෝදනා අනුව ඔබ දකින විදිහට සිදුවෙමින් ඇත්තේ කුමක්ද? 

අපි නිදහස කියලා අවුරුදු හැත්තෑ දෙකක් ගෙවී ගියත්, අදත් කරන්නේ නිදහස කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගැනීමට නොහැකිව තවත් දවසක් ගෙවා දමන එකයි.

නූතන ලෝකයේ ආර්ථිකය තුළ අපට තනිව ජීවත් වීමට නොහැකියි. පවතින ලෝක දේශපාලනය ඇතුළත එදා අපි කතා කළ ස්වයංපෝෂිත සහ සෞභාග්‍යය ගැන රටක් හැටියට හුදකලා වී අද කතා කිරීමට හැකිද කියන දේ ගැන අපි හිතන්නේ නැති තරම්. භූගෝලීය වශයෙන් දේශපාලන ප්‍රවණතා ගත්තද අපි ඉන්නේ කොතැනද කියන තැන ගැන අපි ගෙවුණු හැත්තෑ දෙවසරක කාලය තුළ සොයා බැලුවාද?

ඉස්සර යම් රටකට තවත් රටක් විසින් ස්වාධීනව කටයුතු කරගෙන යන්න දිය යුතුයි යන පිළිගැනීමක් තිබුණා.  ඒ රටවල අනන්‍යතාවට ඇගිලි නොගැසිය යුතුයි කටයුතු කළා. ඒත් අද එහෙම වෙනවාද?

නැහැ. අද වන විට ලෝකයේ බලවත් රාජ්‍යයන් සහ විවිධ රාජ්‍යයන් යම් යම් කාරණවලදී වෙනත් රාජ්‍යයන්හි කණ්ඩායම්වලට, ජාතිකයන්ට බලපෑම් කරමින් සිටිනවා. ඒ කියන්නේ අපි නිදහස ලැබුණු කාලයේ අපට ඇහුණු ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය කියන දේ තුළ රැඳෙන්න බැහැ කියන එකයි.

-එහෙම වෙන්නේ ඇයි කියන දේ අප රට ඇසුරෙන් විවරණය කළොත්?

  මම දකින්නේ අපි නිදහස ගත්තත්, එය අයුතු ලෙස පාවිච්චි කිරීමට ගොස් ඕනෑවට වඩා අනවශ්‍ය ලෙස එම නිදහස භාවිත කිරීමට නැඹුරු වී තිබෙනවා. ඒ කියන්නේ මම හිතනවා වර්තමාන ලෝක දේශපාලනය සහ අපේ රට තුළ නිදහසෙන් පසු සිදුවූ ක්‍රියාදාමයන් තුළ නිදහස කියන දේ නැවත මෙනෙහි කළ යුතුයි කියලා. නිවැරදිව තේරුම් ගත යුතුයි.

  නිදහස ගැන කතා කරනවා නම් වසර විස්සකට තිහකට පෙර තිබූ තැන නතර වෙලා ඒ ගැන හිතන්නට බැරි තරමට ලෝක දේශපාලනය වෙනස් වෙලා. ඒ ඒ රාජ්‍යයන් අනෙක් රාජ්‍යයන් දෙස බලන ආකාරය වෙනස් කරලා. ඔවුන් ජාත්‍යන්තර ලෝක ක්‍රමයක් තුළ ජීවත් වෙනවා.

  ඇමරිකාව, චීනය වගේ රටවල් තමන්ට අවශ්‍ය විදිහට ලෝකයේ ජීවත් වෙනවා. රුසියාව ඒ අයට අවශ්‍ය දේ කරනවා. අපි වගේ පුංචි රටවල් ගැන ඒ අයට තැකීමක්, හැඟීමක් නැහැ. ඒ අය  ඒ අයට ඕනෑ ද් කළාට අපිට එහෙම කරන්න බැහැනේ.

  අපි කළොත් ඒ අය අපෙන් ප්‍රශ්න කරනවා. නැතිනම් අපි ඒ අයට උත්තර දිය යුතුයි.  නමුත් රුසියාව, ඇමරිකාව, චීනය වගේ රටවල් ඒ ඒ අයට අවශ්‍ය විදිහට වරින්වර රටවල් ආක්‍රමණය කළ ආකාරය හිතන්න. ඇමෙරිකාව, ඉරානය ගැන ක්‍රියා කළ ආකාරය හිතන්න. චීනය, ටිබැටය ගැන ක්‍රියා කළේ කොහොමද? කවුරුවත් ඒ අයගෙන් එහෙම කළේ ඇයි ඇහුවෙත් නැහැ. ඇහුවා නම් ඒ අය ඒවට උත්තර බදින්නෙත් නැහැ. එහෙම කළා  කියලා ඒ අයට ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නැහැ.  එහෙම නම් අපේ රටේ යාපනයෙන් ආරම්භ වූ අභ්‍යන්තර කැරැල්ල ගැන හිතන්න. අපි  එය යුද්ධයෙන් දිනාගත්ත බව ඇත්ත. ඒත් ඒ ඇතුළත ලෝකයේ කොයිතරම් නම් රාජ්‍යයන් එයට ඇගිලි ගැහුවාද? බලපෑම් කළාද? මතකද ඉන්දියාව ගුවනින් කෑම පාර්සල් දැම්මා. ප්‍රශ්නය අපේ  අභ්‍යන්තර දෙයක් නම් ඉන්දියාව එහෙම කළේ කොහොමද? එහෙම නම්  අවුරුදු හැත්තෑවක් කතා කරන නිදහස තුළ රාජ්‍යයක් හැටියට තියෙන නිදහස රැක ගැනීමටවත් අපට හැකි වී තිබෙනවාද?

ආසන්නතම සිදුවීමක් ලෙස නැගෙනහිර වරාය 2019 ජැටිය ගිවිසුම සමග මෙවැනි සංසිද්ධින් කෙබඳු බලපෑමක් ඇති කළ හැකිද?

2019දී ජැටිය සම්මුතිය අනුව ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය යම් එකඟතාවන් ඇති කරගත්තා. ජැටිය ඉන්දියාවට දෙන්නෙ නැහැයි කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. එදිනම ඉන්දියාව කීවේ මොකක්ද? ජාත්‍යන්තර ගිවිසුම් තිබෙනවා නම් ඒ අනුව කරන්න යැයි ඉන්දියාව ලංකාවෙන් ඉල්ලීමක් කළා? එහෙම නම් ඉන්දියාව ඒ දීපු පණිවුඩය තුළ එක් දෙයක් පැහැදිලියි. ආණ්ඩු මාරු වුණාට ගිවිසුම් වෙනස් වෙන්න බැහැ කියන එකයි.

මම එක් උදාහරණයක් දෙන්නම්. 1987 ඉන්දු ලංකා ගිවිසුම කඩකරමින් අපි ඉඩම් අයිතිය දී නැහැ. එහෙම නම් එවැනි ගිවිසුම් කඩකිරීම ගැන ජාත්‍යන්තරය අවධානයෙන් ඉන්නවා විය හැකියි. 1974 ඉන්දු ලංකා මැරිමයිට්  ඇග්‍රිමන්ට් මගින් ඉන්දියාව අපිට කච්චතිවූ දූපත භාරදුන්නා. අපි 2019 ජැටිය අවලංගු කරනවා වගේම මේ කච්චතිව් දූපත දුන්න ගිවිසුමත් ඉන්දියාව අවලංගු කළොත් කියලා හිතමු. එහෙම නම් එක වරායක් නෙවෙයි. අපේ රට වටා ඇති මුහුදු සම්පත නිසා එයින් ජීවත් වන ධීවර ජනතාවට ඇතිවන අපහසුතාවන් ගැන හිතන්න. මම හිතන්නෙ නැහැ ඉන්දියාව එහෙම කරයි කියලා.

මෙම සංකිර්ණ සංවේදී කාරණා ගතවූ කාලයන් හිදීත් ඇසුණා?

1978දී ධනවාදී විවෘත ආර්ථිකයක් ගෙනෙනවා කියලා කිව්වා. දැන් එයින් පස්සෙ මොකද කළේ. ගෑස් ආපහු ගත්තා. එයාර් ලංකා ආයෙත් ගත්තා. වරාය ගිවිසුම ආපස්සට ගත්තා. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඒවායේ ඇති භයානකකම කෙතරම්ද?

 මම සරල උදාහරණයක් දෙන්නම්. මේ වරාය ගිවිසුම ඉන්දියාව සමග විතරක් නෙවෙයි. එතැනදී ලංකාව, ඉන්දියාව සහ ජපානයත් ඉන්නවා. මෙය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක්.

  ජපානය සමග අර පහුගිය රජය අත්සන් කළ මිනි බස් සේවා ගිවිසුම අවලංගු කළා. එතකොට ආසන්නතම වශයෙන් ගිවිසුම් දෙකක් අවලංගු කරලා. ඒකයි ඉන්දියාව එදා හවසම කියන්නේ ආණ්ඩු වෙනස් වුණාට අත්සන් කළ ගිවිසුම් වෙනස් වෙන්න බැහැ කියලා. මෙහෙම ගියොත් අපේ දේශපාලන හැලහැප්පීම තුළ ආර්ථිකය ගොඩනගා ගන්න බැහැ. ඒක නිදහස නෙවෙයි.

ඒ කියන්නේ ලංකාවේ ජාතික සම්පත් පිටරටට විකිණිය යුතුයි කියන එකද?

 මම එහෙම කියන්නේ නැහැ. යමක් කරන විට එතැන උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, අත්දැකීම් ඇති අය සිටිය යුතුයි. ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවායේ ගුණදොස් විචාල යුතුයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මිස දේශපාලකයන් අවසාන විනිශ්චයට නොආ යුතුයි. සංවාදයට බුද්ධියට ඉඩ දිය යුතුයි. එහෙම නොවෙනකොට අඩුපාඩු සිදුවෙනවා වැඩියි. හැමදාමත් සිදුවන්නේ මේ වරදයි. මෙය වල්බූරු නිදහසක් ලෙස අපේ දේශපාලනයේ  දෝලනය වන දෙයක්. අපේ දේශපාලනයේ අන්තර් ක්‍රියාවලියේ සිදුවන වරදක්.

එහෙම නම් අපේ ආර්ථික සහ දේශපාලනය සම්බන්ධ ගැටුමක් කීවොත්?

 ඒකත් මෙහෙමයි. ආර්ථිකය සහ දේශපාලනය නොව දේශපාලන සහ ආර්ථිකය  අතර සිදුවන අර්බුදයක් කීවොත් වඩා නිවැරදියි. ඒක කියවිය යුත්තේ එහෙමයි. මේකට පොලිටිකල් ඉකොනොමි කියලා කියමු. ඒ කියන්නේ අපි කතා කළ යුත්තේ දේශපාලන ආර්ථිකයක් ගැනයි. මම එයටත් සරල උදාහරණයක් දෙන්නම්. අපට වාර්ෂිකව අයවැයක් සකස් කළ හැකියි. එයට දිළිඳු සහනාධාරත් ඇතුළත් කළ හැකියි. නමුත් ඒවා කපා දැමිය යුතුයි කියා නියෝගයක් ලැබෙනවා නම් අපට ඒ සහනාධාර අයවැයෙන් ලබාදිය හැකිද? සහනාධාර නතර කරන්න කීවොත් එය කළ හැකිද?

අපි පවතින්නේ කිනම් මතවාදයක් තුළද?

 ඒකත් මෙහෙමයි. රටකට ජාතිකත්වයක් තිබිය යුතුයි. ජාතිවාදයක් තිබෙන්නට බැහැ. යුද්ධයට එය අනුබලයක් වුණා නම් යුද්ධය අවසන්වූ පසු එය අමතක කරවන වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැහැනේ. අපි මුල් මානසිකත්වයේම සිරවී සිටියා. එහෙමනම් නම් අපට කොහෙද නිදහසක්.

රජයට තුනෙන් දෙකක බහුතරය තිබෙනවා. ඒ නිසා රජයට අවශ්‍ය දේ කළ හැකියි. ජනතාව එයට අනුමැතිය දී තිබෙනවා යැයි ඇතැම් මැති ඇමතින් කියනවා?

තුනෙන් දෙක තිබුණට තනිවම වැඩ කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවාද? වරාය නැගෙනහිර ජැටියම උදාහරණයට ගන්න. එය ක්‍රියාත්මක කිරීමට ඒ බහුතර බලය තුනෙන් දෙක මෙතෙනදි භාවිත වුණේ නැහැනේ.

ඒ කියන්නේ තවත් පාර්ශ්වයක් ඉන්නවා කියන එකද?

අන්න ඒක තමයි. තුනෙන් දෙකකටත් වඩා බලයෙන් වැඩි තවත් පාර්ශ්වයක් ඉන්නවා. ඒ නිසා ශක්තිමත් තීරණවලට යන්න ජනාධිපතිවරයාට බැහැ. ඒ පිරිස ප්‍රෙෂර් ග_ප් ඒ කියන්නේ බලපෑම් කණ්ඩායමක් හැටියට හැමදේකදිම කටයුතු කරනවා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිවරයා ගන්නා දිගුකාලීන හෝ යහපත් දේ ක්‍රියාත්මක කිරීමට බැරි වෙනවා.

ඔබ දකින විදිහට මේ බලපෑම් කණ්ඩායම කවුද?

  ජාති, ආගම්, ගිහිපැවිදි වශයෙන් නැතිව අවුරුදු හැත්තෑවක් තිස්සේ පොදුවේ හැමදාමත් සිදුවූ විදිහටම මම ඒ දේ කියන්නම්. ඒ කියන්නේ ජාතිවාදී බලවේග තියෙනවා. අනික මෙතැන පෞද්ගලිකත්වය තුළත් ගැටුමක් තියෙනවා.

 මම එයටත් උදාහරණයක් දෙන්නම්. බණ්ඩාරණායක අගමැතිවරයාගේ පනස් හය කාලයේ රට සභා ගැන එතුමා උනන්දුවෙන් කටයුතු කළා. එදා එයට විරුද්ධව එය ගෙන ඒම වැළැක්වීමට ජාතිවාදී ව්‍යාපාර විසින්  පියවර ගත්තා.

  මම එයින්ද කියන්නට යන්නේ නිදහස ලබාගත් තැන සිටම අපේ රටේ ජාතිවාදී රැල්ලක් නිර්මාණය වෙමින් ඒ තුළ දේශපාලනය දෝලනය  වුණා කියන එකයි.තුන්ගොල්ලම බලය වෙනුවෙන් ජාතිවාදය භාවිත කර බලයට එනවා. එයින් පස්සේ ඒ හැමදෙනාම ජාතිවාදය දිගටම අරගෙන යනවා.

එහි පවතින ප්‍රධාන සදොස් තැන් කෙටියෙන් කීවොත්?

  ප්‍රධානම දේ අපිට පාලනය කරගත නොහැකි තරමට අද ජාතිවාදය පිළිලයක් බවට පත්වෙලා. හැම ජාතියක්ම කළේ ඒ ටිකයි. ඒ යටතේ ප්‍රචාරය කරන කතා ප්‍රවෘත්ති බොරු ප්‍රචාර බලයක් කරගෙන ඔවුන් බලයට එනවා. ජනතාව ඒවා එසේම යැයි පිළිගන්නවා. ඒකයි මම කීවේ තුනෙන් දෙක බලයක් තියෙනවා නම් වැඩ කළ හැකියි පොරොන්දු දුන් ගෝඨාභය මහත්තයාටත් වැඩ කළ නොහැකි තැනට එයාගෙ දැක්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව නැතිවෙලා. එය අභිභවා බලවේග ඉදිරියට ගිහිල්ලා. 

මෙන්න මේ දේ අපි නිදහස සමරන අවස්ථාවක හෝ කතා කර නිවැරදි  කළයුතු දේවල්. එහෙම නැති වුණොත් ලබන අවුරුද්දෙත් ඔය රාජකීය උත්සවයක් විතරක් තියෙයි.

මේ සංවාදය තුළ පැහැදිලි වන්නේ  ජාත්‍යන්තර දේශපාලන මතවාදයන්ට අවනත නොවී අපට අපේ නිදහස රැකගත නොහැකියි කියන අදහසද?

   මෙහෙම හිතන්න. ලෝක දේශපාලනය එදාට වඩා අද වෙනස්. අපි එයට සමගාමීව යා යුතුයි. අපේ දැක්මක් අපට තිබිය හැකියි. එහෙත් ඔවුන් කියන දකින හිතන දේ ගැනත් අපට දැනුමක් තිබිය යුතුයි.

   දැන් හිතන්න ජාත්‍යන්තර ගිවිසුම් ගැන කියන්නේ එක්තරා කණ්ඩායමක් විතරයිනේ. ඒ කණ්ඩායම් තුළ එවැනි අදහස් මතවාද ඉදිරිපත් කරන අය අතළොස්සයි. ඒ විතරක් නෙවෙයි. ලෝක දේශපාලන භූමියේ නූතන ප්‍රවණතා ගැන ඒ අය සතු දැනුම, අත්දැකීම හිතන්න.

රට දියුණු කිරීම සඳහා විකිණීම නෙවෙයි.  රටකට විදේශ ආයෝජන තිබිය යුතුයි. මේ ආයෝජනය විකිණීම ලෙස ඇතැමුන් විවරණය කළ හැකියි. එතෙනදි එහෙම නොවන තැනට එයටත් පැහැදිලි අර්ථයක් අවශ්‍යයි.

මේ ක්‍රමය නතර කිරීමට මේ නිදහසෙන් පසු හෝ යෙදිය හැකි යෝජනා මොනවාද?

  පළමු දේ හරි මිනිසුන් පත් කිරීමයි. එය අපේ යුතුකමක්. ඒත් අපිට එය කරන්න බැහැ. ජේ.ආර්ගේ සමානුපාතික ක්‍රමය තුළ අපිට ඒ අවශ්‍ය අය නොව පක්ෂ මූලස්ථානයට අවශ්‍ය අයයි එවන්නේ. මේ ක්‍රමය වෙනස් නොකර සදොස් තැන් නිවැරදි කළ නොහැකියි.

විමසුම-ලාල් ජයසුන්දර



Recommended Articles