දකුණුලක තුළ එදා සිට අද දක්වා එකසේ විශාල සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පිහිටා තිබෙන උස්සන්ගොඩ හඳුන්වා දිය හැකිය. උස්සන්ගොඩ අභය භූමිය හෙක්ටයාර 111ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප්‍රදේශයකි.
උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඩේ. මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්ෂේම භූමියක අසිරිය ගනියි.
මෙම අපූරු භූමියෙහි ශාක පැළවෙන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත් වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාක ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වේ.
උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප්‍රවාද රැසකටම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද වනවිට ජාතික උද්‍යානයක සිදු නොකළ යුතු මිනිස් ක්‍රියාකාරකම් දැක්වෙන නාම පුවරුවලට පමණක් සීමාවී තිබෙන බව එහි එන සංචාරකයෝ පවසති.
උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය
මෙරට 21 වැනි ජාතික උද්‍යානය ලෙස 2010 සැප්තැම්බර් මස 30 දින වනජීවී දෙපාර්තමේන්තුව උස්සන්ගොඩ ජාතික උද්‍යානය ගැසට් කර ප්‍රකාශයට පත් කර තිබේ. හුංගම, කලමැටිය, කුරුළු අභය භූමියට යාබදව වැලිපටන්විල ධීවර වරායට බටහිරින් හෙක්ටයාර 349ක පමණ භූමි භාගයක උස්සන්ගොඩ ජාතික උද්‍යානය පිහිටා තිබේ.
උල්කාපාතයක් පොළව මතට වැටීමෙන් ගිනි ගැනීම හේතුවෙන් උස්සන්ගොඩ පොළව තද රතු පැහැ ගැන්වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. උස් නොවූ තැනිතලා භූමියක අක්කර සියයක පමණ ගස් කොළන් උසට නොවැඩී සූර්ය ක්‍රාන්ති, විෂ්ණුක්‍රාන්ති, චන්ද්‍රකාන්ති යන ඖෂධ පැළෑටි පමණක් මෙම භූමියේ දක්නට ලැබීම විශේෂත්වයකි. රාවණා රජුගේ මාළිගාවක් මෙහි තිබූ බවටත්, මංගර දෙවියන් මෙහි වැඩ සිටි බවටත් අතීත ජනප්‍රවාදවල සඳහන් වේ.
රතු පස්
පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය. උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම හේතුවෙන් මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවයි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පසද උණු වූ පාෂාණද ඒ සඳහා සාක්‍ෂි සපයයි.
අතීතයේදී රාවණා රජුගේ දඬුමොනරය නැමති ගුවන්යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි %දඬු මොණරය^ එලෙස ගොඩ බස්සවා ඇතැයි ප්‍රදේශවාසීන් අතර ජනප්‍රවාදයක් පවතී. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
කහ කුරුලු සන්දේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේද උස්සන්ගොඩ පිළිබඳ සඳහන්ව තිබේ. එකල සිටම අවධානයට ලක් වූ ප්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.
එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අදෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
ජනප්‍රවාද
කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප්‍රවාද රැසකට උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂීම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප්‍රවාද, පුරාවිද්‍යාත්මක නටබුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරුද රැසක් වේ. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
උස්සන්ගොඩ යනු රාවණා රජුගේ %දඬු මොනරය^ නැමති ගුවන් යානාව නවත්තපු තැන බවත්, දඩුමොනරය ගෙඩබැස්සවීමට මෙතැන ගුවන් පථයක් වැනි දෙයක් තිබෙන්නට ඇති බවත් මේ හා සම්බන්ධව ඇති ජනප්‍රවාදයකි. අදටත් මේ උස්සන්ගොඩ තැනිතලාවේ දකින්නට තිබෙන්නේ රතු පාට පස්ය, මෙහි පිළිස්සුණා සේ පෙනෙන ගල් කැබලි සෑදී තිබෙන්නේ රාවණ රජුගේ දඩුමොනරය ගොඩ බෑම හේතුවෙන් බවද සඳහන් වේ.
එමෙන්ම උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් තිබෙන නිසා . තවත් එක් විශ්වාසයක් වන්නේ මෙම ස්ථානයට උල්කාපතයක් කඩා වැටී සෑදුණ ස්ථානයක් බවයි. මෙය කඩාවැටීම හේතුවෙන් මෙහි ඇති අසාමාන්‍ය පසද පරිසරයද නිර්මාණය වී ඇති බව පැවසේ. මෙම උල්කාපාතය කඩා වැටීමෙන් ‘උස් වූ ගොඩ’ පසුකාලීනව උස්සන්ගොඩ වූ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.
ජාතික වශයෙන් වැදගත් මෙම උද්‍යානය නමට පමණක් නම්කර අතහැර දැමීමෙන් එහි ප්‍රතිඵල ලබාගත නොහැකි බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. පුරාවිද්‍යාත්මක මෙන්ම පාරිසරික අතින්ද ඉතා වැදගත් උස්සන්ගොඩ සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ගේ අවදානයෙන් ගිලිහී යෑම හේතුවෙන් උස්සන්ගොඩ විනාශ වීමේ අවධානමක් පවතී. ඒ සඳහා මානව ක්‍රියාවලීන් මෙන්ම පාරිසරික සාධකද හේතුවේ.
එමෙන්ම මෙහි පැමිණෙන සංචාරකයන් තැන තැන කැළි කසළ දැමීම නිසා එහි පරිසර පද්ධතීන්ට තර්ජනයක්වී තිබේ. වාහන ගාල් කර තැබීමට හා එහි ආරක්ෂාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැත. එමෙන්ම මෙහි විවිධ අපචාර ක්‍රියා හා සොරකම් සිදුව ඇති බවට හුංගම පොලීසියට පසුගිය කාලය තුළ පැමිණිලිද ලැබී තිබේ.
කළමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයෙන් මෙම උද්‍යානය පාලනය වුවද එහි නිලධාරීන්ට සිය රාජකාරී කටයුතු කිරීමට හෝ කාර්යාලයක් ඉදිකර නොමැත. එම නිලධාරීන් යතුරුපැදිවලින් ජංගම මුර සංචාරයේ යෙදීම සිදුකරයි.
මේ සම්බන්ධව අප දකුණු කලාපය භාර වනජිවී සහකාර අධ්‍යක්‍ෂ ප්‍රසන්ත විමලදාස මහතාගෙන් විමසා සිටි අතර, ඒ මහතා කියා සිටියේ උස්සන්ගොඩ ජාතික උද්‍යානය සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඇති බවයි. මුරකුටියක්, වාහන ගාල් කිරීමට රථ ගාලක්, උද්‍යානයට වාහන ඇතුළු කිරීමට නොහැකි වන සේ අමතර මාර්ග වසා දැමීම වැනි යෝජනා මෙයට ඇතුළත් කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
මෙම උද්‍යානය තුළ සංචාරක හෝටල් ඉදිකිරීමට විවිධ පාර්ශ්ව පසුගිය කාලයන්හිදී විවිධ උත්සාහයන් දැරුවත් උස්සන්ගොඩ ජාතික උද්‍යානය අවට පදිංචිකරුවන්ගේ දැඩි විරෝධතා හමුවේ එම ව්‍යාපෘති නම් ඉවත් කර ගැනීම සිදුකළ බවද ජනතාව පවසති.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි