ලෝක ආර්ථිකයේ උස්පහත් වීම්වලට අපි ඉක්මනින්ම හසුවේවි


පැවති දේශපාලනික අස්ථාවර භාවය යම්තාක් දුරට පහව යද්දී රටේ ආර්ථිකයට කුමක් සිදුවේවිද? යන ගැටලුව මහජනතාව හමුවේ පැන නගින්නේ අයවැය සම්බන්ධයෙන් නැගෙන කතාබහත් සමගිනි. රටේ ආර්ථික තත්ත්වයේ පසුබෑමක් පවතින මෙවන් වටපිටාවක අයවැයකින් මහජනතාව ලෙස බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? යන්නත්, ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් අයවැය සම්පාදනයේදී රජයක් ලෙස සැලකිලිමත් විය යුත්තේ මොනවා සම්බන්ධවද? පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය චන්දන අලුත්ගේ මහතාගෙන් මෙලෙස විමසීමක් සිදුකිරීමට අද අපි සිතුවෙමු.


?අයවැයක් ඉදිරිපත් නොකර රජය විසින් අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා. පවතින ආර්ථික තත්ත්වය මත මෙම තත්ත්වයේ බලපෑම කෙබඳු වේවිද 

රාජ්‍ය අයවැය ඉදිරිපත් කිරීමේදී නියමිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වාද විවාද තියෙනවා. ඒ වාද විවාදවලින් කරන්න අවශ්‍ය වෙනස්කම් අයවැයට ඇතුළත් කරනවා. මෙය සති ගණනාවක දිගු ක්‍රියාදාමයක්. තව දින කිහිපයකින් මේ වර්ෂය අවසන් වෙනවා. මේ අවස්ථාවේදී මෙම දිගු ක්‍රියාදාමයට යන්න හිටියොත් එහෙම ලබන අවුරුද්දේ රාජ්‍ය වියදම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නැති වෙන්නට පුළුවන්. කෙටිකාලීන උපක්‍රමයක් ලෙස අතිරේක මුදල් යම් කිසි මාසයකට හෝ දෙකකට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඒ අනුව වැඩ කරගෙන යන්න සිදුවෙනවා. උපක්‍රමයක් ලෙස කෙටිකාලීනව මුදල් සම්පාදනය කරගෙන රජයේ මීළඟ පිස්කල් වර්ෂයට අදාළ ලෙස අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් කරයි. ඒක තමා දැන් සිදුවෙන්න නියමිත දෙය. 

නමුත් මෙතැනදී ආර්ථික වශයෙන්  තිබෙන ගැටලුව වන්නේ අවිනිශ්චිතතාව. අයවැයක් අපි සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේ සියලුම වාද විවාද කරලා පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ඉන්පසු එය නීති ගතවෙනවා. ඒක තමා මීළඟ වර්ෂය සඳහා පිස්කල් නීතිය බවට පත්වෙන්නේ. නීතිගත වූ පසු රජය, මීළඟට ආර්ථිකයත් එක්ක සම්බන්ධවෙලා තියෙන ව්‍යාපාර, සංවිධාන, තනි පුද්ගලයන්, බැංකු ආදී හැම දෙයක්ම තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය, සේවා කටයුතු, සියල්ල සකස් කරගන්නේ එම රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතවයි. 

රාජ්‍ය ප්‍රතිපත්තිය ඉදිරිපත් වුණාම රජය ලබා දී තිබෙන නිවේදන සංඥා මොනවාද කියන එක ව්‍යාපාරිකයන් හා පුද්ගලයන් අවබෝධ කරගෙන, ඒ අනුව තමන්ගේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යනවා අවශ්‍ය වෙනස්කම් සමග. වෙනත් වර්ෂවල සාමාන්‍ය තත්ත්ව යටතේ මේ කාලය වෙද්දී හැමෝම දන්නවා මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. නමුත් දැන් මේ වෙනකම් ඉදිරි වර්ෂයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන එක අවිනිශ්චිතයි. ඒ නිසා මෙතෙක් පැවැති ආර්ථික අවිනිශ්චිත භාවය තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. එයින් සාමාන්‍ය ජනතාවත්, ආයතනත්  පීඩාවට පත්වෙනවා. මොකද ඉදිරි වර්ෂයට තමන්ගේ ප්‍රතිපත්ති සකස් කරගන්නේ කොහොමද කියන එක අවිනිශ්චිත නිසා. 

මෙතන අපි කතාකරන අවිනිශ්චිතතාව ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් අවදානමක් විදිහටයි ගැනෙන්නේ. ඒ කියන්නේ මේකට යම්කිසි පිරිවැයක් තිබෙනවා. මේ පිරිවැය දරන්නට වෙන්නේ සමස්තයක් ලෙස මේ ආර්ථිකයේ ජීවත් වෙන හැමෝටමයි.

?අතුරු අයවැයක් කියනදේ අපේ රටට අලුත් දෙයක්ද

යම් යම් හදිසි අවස්ථාවලදී අතුරු අයවැයක් කියන දේ සිදුවෙන්නට පුළුවන්. ඒක අසාමාන්‍ය දෙයක් නොවෙයි. නමුත් වර්තමානයේ පවතින ආකාරයේ තත්ත්වයක් තුළ අතුරු අයවැයක් ඉදිරිපත් වුණ අවස්ථාවක් පිළිබඳ මම දැනුවත් නැහැ. උදාහරණයක් ලෙස වර්ෂයක් මැද මහ මැතිවරණයක් තිබිලා 2015 වර්ෂයේ රජය වෙනස් වුණ වෙලාවේත්, දින 100 වැඩසටහන ලෙස ගෙනාවෙත් අතුරු අයවැයක්. එය අතුරු අයවැයක් ලෙස හැඳින් වූයේ නැති වුණත් එය මාස කිහිපයකට ගෙනාව දෙයක්. ඊට පසුවයි නියමිතව රජයේ සමස්ත ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ලෙස අයවැයක් ඉදිරිපත් වුණේ. 2015 රජය වෙනස් වුණේ අවුරුද්දේ මුල් මාස හයත් ගතවුණාට පසුවයි. එතැන ඉඳන් ඉදිරි මාස කිහිපයට දින 100 වැඩපිළිවෙළ කියලා අතුරු අයවැයක් ක්‍රියාත්මක වුණා. ඉන්පසුව 2015 නොවැම්බර් මාසයේ පූර්ණ අයවැයක් ඉදිරිපත් කළා. 

?පැවතුණු දේශපාලන අස්ථාවර භාවයත් සමග ආර්ථිකයත් යම් අස්ථාවර තත්ත්වයකට පත්වුණා. මෙය ඉදිරි අයවැයකට කුමන අයුරෙන් බලපෑම් කරයිද

එක පැත්තකින් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල අගයකින් පහත වැටුණා. එලෙස රුපියල පහළ යන වේගය වැඩි වුණා. පසුගිය සති කිහිපය තුළ පැවැති දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන්. මේ අස්ථාවර භාවය ඉක්මනින් වෙනස් කරන්න උත්සාහ දරන තත්ත්වයක් පෙනෙන්නට තිබුණේත් නැහැ. 

ඒ නිසා තමයි අස්ථාවරභාවය දිගින් දිගටම තිබුණේ. මීළඟට අපේ ණය ගෙවීමේ ශක‍යතාව. අපි මේකට කියනවා රේටින්ග්ස් කියලා. මේක පහළ බැස්සා. එතකොට වෙන්නේ අපි දැන් ණය ගැනීමක් සිදුකරන්නට යනවා නම් රේටින්ග්ස් අඩු රටකට ණය දෙද්දී අය කරගන්නා පොලී අනුපාත වැඩියි. ඉතින් අපිට වැඩි පිරිවැයක් විදේශයන්ගෙන් ණය ගැනීමේදී දරන්නට සිදුවෙනවා. විශේෂයෙන් විවෘත වෙළෙඳ පොළෙන් ණය ගැනීමේදී මේ තත්ත්වයට මුහුණදෙන්නට සිදුවෙනවා. මෙය අපිට යම් අවාසියක් ලෙස දකින්නට සිදුවෙනවා. මීළඟට රුපියල අවප්‍රමාණය වීම ගැන බලද්දී අපි පිටරටින් ගෙන්වන භාණ්ඩවලට වැඩියෙන් රුපියල් ගෙවන්නට සිදුවෙනවා. මීට අමතරව කලින් ගත්ත ණයවලට ගෙවන්න වැඩියෙන් රුපියල් හොයන්නට සිදුවෙනවා. උදාහරණයක් විදිහට පසුගිය කාල පරිච්ජේදය ගත්තම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් දහයකින් විතර පහළ ගියා. එතකොට අපි ඩොලර් මිලියනයක ණයක් ගැන බැලුවම මෙහි හැම ඩොලර් එකකටම වැඩිපුර රුපියල් දහයක් හොයන්නට අවශ්‍ය වෙනවා. ඒ අනුව ඩොලර් මිලියන එකක ණයක් ගෙවන්න, කලින් අවශ්‍ය වුණු මුදලට මිලියන 10ක් වැඩිපුර රුපියල් අවශ්‍ය වෙනවා. මේවා ගෙවන්න රජයට වැඩියෙන් ණය ගන්න වෙනවා. එය තව අවාසියක්. රජයට විශාල වශයෙන් ණය ගන්න වෙනවා ණය ගෙවන්නට. එතකොට රජයේ ණය ගැනීම් වැඩි වුණාම සංවර්ධන කටයුතු අඩාළ වෙනවා. මීළඟට පොලී අනුපාතයේ යම් යම් වෙනස්කම් ඇතිවෙනවා. ඒ නිසා පෞද්ගලික වෙළෙඳාමට ආයෝජකයන්ට අහිතකර විදිහට බලපානවා. මොකද පොලී අනුපාත ඉහළ ගියාම ආයෝජන පිරිවැය, නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. මේකෙන් ආයෝජන අකර්මණ්‍ය වෙන්නට පුළුවන්. 

දැනට කරගෙන යන ආයෝජනවල පිරිවැය ඉහළ යෑම නිසා එයින් යම් යම් බාධා ඇතිවෙන්නට පුළුවන්. ඒ බජට් රිවයිස් කරන්නට සිදු වෙන්නට පුළුවන්. තව වැඩියෙන් ණය ගන්නට වෙනවා. එතකොට හැමදේකම පිරිවැය ඉහළ යනවා. එතකොට මේ හැම දේකම අවාසිය සැලකිය යුතු කාලයක් ඉදිරියට දකින්නට සිදු වෙයි. මීළඟට මේ කටයුතු හොඳ තත්ත්වයකට ආවොත් යම්කිසි ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය ගන්න පුළුවන් වෙයි. එසේ නැති වුණොත් පැවැති අස්ථාවරභාවය තවදුරටත් බලපානවා. තවත් උදාහරණයකින් මේගැන කිව්වොත් පිරිවැය වැඩි වීම නිසා රටේ ඉතිරි කිරීම් අඩුවෙනවා. එය අපිට ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි තත්ත්වයක්. ඉතින් ඉතිරි කිරීම් අඩුවුණාම එය රටේ ආයෝජනයට බලපානවා. ඒ වගේම තනි තනි පුද්ගලයන්ගේ ඉතිරි කිරීම් අඩු වීම නිසා ඒ අයගේ අනාගත පරිභෝජනය ජීවන තත්ත්වය වැනි දේවල්වලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා. 

?අයවැයක් ගැන කතා කරනවිට මහජනතාව බලාපොරොත්තුවෙන දෙයක් තමයි සහන. මේ ආර්ථික තත්ත්වය මත සහන ලැබේවි යැයි අපේක්ෂා කරන්නට පුළුවන්ද

ඇත්තටම බැලුවොත් මෙය රජයට තිබෙන විශාල අභියෝගයක්. ලංකාවේ ආර්ථිකය ලෝක ආර්ථිකය සමග බද්ධ වෙලායි තිබෙන්නේ. ලෝක ආර්ථිකයේ කටයුතු සිද්ධ වෙන යම්කිසි විදිහක් තියෙනවා. අපි කැමති හෝ අකමැති වුවද අපිට ඒ තත්ත්වයට අනුගත වෙන්න සිදුවෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් භාණ්ඩ මිල ඉහළ යනවා. අපි සමස්ත බලශක්ති අවශ්‍යතාවන් ගැන බැලුවම සියල්ලම පාහේ පිටරටින් තමයි ආනයනය කරන්නේ. ජලය ආශ්‍රිතව බලශක්ති උත්පාදනය තමයි අපේ රටේ සිදුවෙන්නේ. නමුත් නියං කාලයට එය සිදු වන්නේ නැහැ. ඒ නිසා අපිට ඛණිජ තෙල් ආනයනය කරන්නට සිදු වෙනවා. ඛණිජ තෙල් ලෝකයේ ඇතිවන වෙනස්කම් අනුව තමයි අපිට බලපාන්නේ. එවිට අපිට වෙන්න තියෙන ගැටලු වැඩියි. ඒ කියන්නේ ලෝක ආර්ථිකයේ සිදුවන උස් පහත්වීම්වලට අපි ඉක්මනින් හසුවෙනවා. මීළඟට කාටහරි කියන්න පුළුවන් රුපියල අවප්‍රමාණය වුණා, ඒ නිසා අපනයනකරුවන්ට වාසියි නේද? කියලා. මේ වෙලාවේ තේ අපනයනයෙන් අපිට ලැබෙන රුපියල් අගය වැඩියි. නමුත් අපි අපනයනය කරන තේ, රබර්, නුපුහුණු ශ්‍රමය, ඇඟලුම් ගැන බැලුවම මේවට ලෝකයේ තිබෙන ඉල්ලුම වැඩි වෙන්නේ නැහැ. තේ ලාභ වුණා කියලා මිනිස්සු තේ ගැලුම් ගණන් බොන්නේ නැහැනේ. මේ නිසා ලැබෙන රුපියල් ප්‍රමාණ වැඩි වුණාට ඉල්ලුම වැඩිවෙලා නැහැ. මේ නිසා ලොකුවට නිර්යාථ ඉහළ යෑමක් සිදුවෙන්නේ නැහැ. අපි අපනයනය කරන්නේ මෝටර් රථ හෝ ඉහළ තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන නම් ඒවායේ මිලේ වෙනස්කම් එක්ක ඉල්ලුම සීග්‍රයෙන් වෙනස් වෙනවා. 

අපිට පුළුවන් වුණා නම් පරිගණක හදලා යවන්න අනිත් රටවල්වලට වඩා අඩු මිලකට අපිට ඉල්ලුම වැඩිවෙලා නිර්යාථ ආදායම් ඉහළ යනවා. නමුත් අවාසනාවකට අපේ වෙළෙඳපොළ හැදිලා තිබෙන්නේ, නිර්යාථ ව්‍යුහය සැකසිලා තියෙන්නේ එවැනි භාණ්ඩ හා සේවාවන්ගෙන් නොවෙයි. අපි මේ යවන සේවා හා භාණ්ඩ ලෝක වෙළෙඳ පොළේ  ක්ෂණිකයෙන් ඉල්ලුම ඉහළ යන ඒවා නොවෙයි. 

?මේ පවතින අස්ථාවර ආර්ථිකය ස්ථාවර කරගන්නට නම් ඉදිරි අයවැය සකස් කළ යුත්තේ කුමණ අංශ පිළිබඳ සැලකිලිමත් වෙමින්ද

ඇත්තටම ඉතා කෙටිකාලීනව ඉදිරි වර්ෂය ගැන  බලනවා වගේම  ඊට එහා ගිහින් සකසන සංවර්ධන යෝජනා වගේ දේවල් තිබෙනවා. මම හිතන විදිහට මූලික වශයෙන් බලන්නට ඕන ගෙවුම් ශේෂ විෂමතාව ගැනයි. අපි භාණ්ඩ ආනයනය කරනවා වගේම අපනයනයත් කරනවා. නමුත් මේ දෙකේ විශාල පරතරයක් තිබෙනවා. අපි අපනයන කරන භාණ්ඩවල ඉල්ලුම සීග්‍රයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි අපනයනය කරන භාණ්ඩ සීමිත සංඛ්‍යාවකට සීමා වෙලයි තියෙන්නේ. නූතන ලෝකයේ ඉල්ලුම ඉහළ යන පුහුණු ශ්‍රමය අපිට විදේශයන්ට යවන්න පුළුවන් නම් ඔවුන්ට ඉහළ වැටුප් ගෙවනවා . එහෙනම් අපේ රටට ඉහළ ආදායමක් ලැබෙනවා. වගේම ඉල්ලුම වැඩියි. 

මීළඟට අපිට තේ වෙනුවට මෝටර් රථ අපනයනය කරන්නට පුළුවන් නම්, නැත්නම් තේ වුණත් අවසාන නිෂ්පාදනයක් ලෙස විවිධ ආකාරයේ බ්‍රෑන්ඩ්ස් ලෙස සෘජුව අපනයනය කරන්නට හැකි නම් ලැබෙන ආදායම වැඩියි. අයවැය ප්‍රතිපත්ති හදද්දී මේ ගැන අවධානය යොමු කරනවා නම් කෙටි කාලයකින් ලංකාවේ ආර්ථික තත්ත්වය හොඳ තත්ත්වයකට ගේන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් දැන් සිදු වෙලා තියෙන්නේ අපේ ආර්ථිකයේ මූලික ප්‍රශ්නයට යොදන අවධානය අඩු වෙලා තියෙන එක. එකක් තමයි ගෙවුම් ශේෂයේ පවතින බරපතළ හිඟය. අපිට පුළුවන් නම් විදේශ විනිමය ඉපැයීම් ඉහළ දාන්න මේ වෙලාවේ, ඒ කියන්නේ මේ වෙලාවේ විදේශීය ආයෝජන මෙහෙට ගේන එක විදේශ කර්මාන්ත ශාලා ලංකාවේ ආරම්භ කරන එක කරන්නට සිදු වෙයි.

ඒ සඳහා අපිට ඉඩම් නොමිලේ දෙන්නට සිදුවෙයි. තව තව දේවල් දෙන්නට වෙයි. නමුත් අපිට සිදුවෙනවා ඒ දේවල් ගැන සුබවාදීව බලන්නට. පිටරැටියන්ට ඉඩම් විකුණනවා කියන අර්ථයෙන් බලන්නේ නැතිව මේකෙන් ඉදිරි වසර පහකට පසුව විදේශ විනිමය ලැබෙනවා, මෙපමණ සංඛ්‍යාවක් රැකියා අලුතින් ලැබෙනවා කියලා හිතන්නට අවශ්‍යයි. ලෝකයේ දැන් අලුත් අලුත් ඉල්ලුම් පවතිනවා. ඒ ආකාරයේ නිෂ්පාදනවලට අපි යොමු වෙන්න අවශ්‍යයි. තාක්ෂණය භාවිතා කරන ශ්‍රමය අඩුවෙන් භාවිත කරන නිෂ්පාදනවලට අපි යන්න අවශ්‍යයි. මොකද අපි දැන් ශ්‍රමය අතිරික්ත රටක ඉඳලා ශ්‍රමය හිඟ රටකට සීග්‍රයෙන් ගමන් කරමින් සිටිනවා. ලංකාවේ තියෙන ගැටලුවක් තමයි රැකියා නැති පිරිසක් වගේම තියෙන රැකියාවලට ශ්‍රමය හිඟ තත්ත්වයකුත් තිබීම. අපි බැලුවොත් කොළඹ අවට විදේශ ශ්‍රමය වැඩියි. අපි බැලුවොත් ඉදිකිරීම් කටයුතුවල චීන ශ්‍රමිකයන් බහුලව වැඩ කරනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ලංකාවේ ශ්‍රමිකයන් නොමැති වීම. අපි හිතනවා එය නුපුහුණු ශ්‍රමය කියලා. නමුත් එය පුහුණු ශ්‍රමයයි. මේ පුහුණු ශ්‍රමය අපිට හිඟවෙලා තිබෙනවා. නුපුහුණු ශ්‍රමයට අපිට රැකියා නැහැ.

?ඉදිරියේ ජන්ද බලාපොරොත්තුවෙන් ජනතාව සතුටු කරන අයවැයක් මේ වෙලාවේ ඉදිරිපත් කළහොත් තවත් වසර කිහිපයකින් එහි අහිතකර බලපෑම්වලට මුහුණදෙන්න අපිට සිදුවෙයි කියලද ඔබ කියන්නේ

ඔව්. නමුත් ජනතාව සතුටු කරන්නට යම් යම් සහන දෙන එක හොඳයි. නමුත් ඒ සහන රජය ලබා දෙන්නේ කොහෙන්ද? ඒ සහන ලබා දෙන්න ගිහින් ඊට වඩා හොඳ දේවල් කරගන්න බැරි වෙන්නට පුළුවන්. සහන දෙනවාට වඩා හොඳ වෙන්නේ සහන දෙන ගමන් මිනිසුන්ට යම්තාක් දුරට ආදායම් උපයා ගැනීමේ මාර්ග ඇති කිරීමයි. තමන්ගේ දස්කම අනුව කැමැත්ත අනුව ආර්ථිකයේ ව්‍යාපාර ආරම්භ කරලා ,රැකියාවකට ගිහින් ආදායමක් උපයා ගන්න හැකි තත්ත්වයක් ඇති කරන එක තමයි ජනතාවට දෙන්න පුළුවන් හොඳම සහනය. එහෙම නැතිව මොනවා හරි ටිකක් නිකන් දීලා, පෙට්‍රල් පොඩ්ඩක් ගණන් අඩු කරලා සහන දෙන එක නොවෙයි කළ යුත්තේ. මොකද මිල අඩු කරන එක ලෙහෙසි දෙයක් නොවෙයි. මොකද අපි කෑම බීම ඇතුළු බොහෝ දේවල් පිටරටිනුයි ගෙනෙන්නේ. එවිට අපිට පිටරටින් ගේනවා නම් ලෝක වෙළෙඳ පොළේ මිලත් එක්කයි කටයුතු කරන්නට සිදු වෙන්නේ. අපි හිතමු පෙට්‍රල්වලට සහන දුන්නට ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් මිල ඉහළ යනවා නම් වෙනත් තැනකට යොදවන්න තිබෙන මුදල් අරගෙනයි අපිට සහන දෙන්නට සිදු වෙන්නේ. ඒ වගේම රජය හැකිතාක් ව්‍යාපාර කටයුතුවලින් අයින් වෙලා අත්‍යාවශ්‍ය දේවල් පමණක් කළ යුතුයි. උදාහරණ ලෙස පොදු ප්‍රවාහනය වගේ දේවල්, පෞද්ගලික අංශයට ආයෝජනයට ශක්‍යතාව අඩු බලශක්ති, දුම්රිය, මහා මාර්ග වගේ දේවල්වලට රජය යොමු වෙන්න අවශ්‍යයයි. අනෙක් සියලුම කුඩා ව්‍යාපාර ඇතුළුව හොඳින් කරන්න පුළුවන් අංශ තෝරාගෙන ඒවා දිරිමත් කරන්නට පුළුවන් වැඩපිළිවෙළකට යන්න අවශ්‍යයි. මොකද රජය ව්‍යාපාරවලට මැදිහත් වෙලා පසුගිය කාලයේ වෙලා තියෙන දේවල් අපි දකිනවා. විශේෂයෙන් පාඩු ලබන තත්ත්ව උදාවෙලා. රාජ්‍ය යන්ත්‍රණය ඒ ව්‍යාපාරවලට සුදුසු නැති වෙන්න පුළුවන්. ලෝකයේ වෙනත් රටවල් තිබෙනවා රාජ්‍ය යන්ත්‍රණය හොඳින් කාර්යක්ෂමව සිදුවන. එහෙම වුණාට අපේ තියෙන ස්වභාවය අනුව අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා රජය විසින් කළ යුත්තේ කුමක්ද කියලා හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍යයයි. 

?ඔබ කියන්නේ පෞද්ගලික අංශයට බහුතර දේවල් විවෘත කළ යුතුයි කියන දේද

ඔව්. වැඩේ හරියට කරන්න පුළුවන් අයට දීලා රජය කළ යුතුම දේට යොමු විය යුතුයි. ව්‍යාපාරික කටයුතු, රැකියාවන් ජනිතවන ආකාරයේ ප්‍රතිපත්තීන් මොනවද කියලා හොයලා බලලා ඒ දිසාවට ආර්ථිකය තල්ලු කිරීමට මාර්ග උපදේශ හැදීම තමයි රජයක් විසින් කළ යුත්තේ. එහෙම නැතිව රජය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සුදුසු නැති බවයි මට හැඟී යන්නේ. 

?ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයක් පවතින විට මහජනතාවට පටි තද කරගෙන ඉන්නට සිදුවේවිද

 මේ අවස්ථාවේ සදාචාර හෝ වෙනයම් ආකාරයකට හෝ පටි තද කරගන්න කියලා මහජනතාවට කියන්නට දේශපාලනඥයන්ට කිසිම අයිතියක් නැහැ. මොකද මෙවර ඇති වූ තත්ත්වය දේශපාලනඥයන් විසින් ඇතිකළ අර්බුදයක්. තම තමන්ගේ බල තුලන ඇති කරගන්නට මහජනතාව මත බලෙන් පැටවූ තත්ත්වයක් මේක. යුද්ධය පවතින වෙලාවේ වගේ සාධාරණ තත්ත්වවලදී මිනිස්සු පටි තද කරගෙන සිටියා. ඔවුන් නිහඬව බලන් හිටියා මොකද වෙන්නේ කියලා. නිවැරදිව නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ගන්නවා නම් තවදුරටත් පටිතද කරගන්න අවශ්‍ය නැහැ. මිනිස්සු ලෑස්තියි වැඩ කරන්න. වැඩකරන්න අවශ්‍ය පසුතලය, සාධාරණව තරග කරලා රැකි රක්ෂා ලබා ගැනීමට හැකියාව, සම්පත් සමානව බෙදී යෑම, නීතිය සමව ක්‍රියාත්මක කිරීම ආදියට රජය යොමු වෙනවා නම් මේ ආර්ථිකය ඉදිරියට ගොඩනගා ගන්න පුළුවන්. මිනිසුන්ට මේ වෙලාවේ තියෙන්නේ අසහනකාරී තත්ත්වයක්. ඒකනේ හැමෝම පක්ෂවලට, පාටවලට බෙදිලා අරගල කරන්නේ.

මහජනතාව තමයි මේ සියල්ලගෙන් අවසානයේ අසරණ වෙන්නේ. අනවශ්‍ය බරක් ඔවුන් වෙත යෙදිලා තිබෙනවා. මේ ආර්ථිකය යම් කිසි තැනක තිබුණා. දැන් එයට වෙන ප්‍රශ්න ඇවිත්. උත්සව සමයේ පිටකොටුවේ වෙළෙඳාම් අඩු බව වෙළෙඳුන් මාධ්‍යයට කියලා තිබුණා. වෙළෙඳ කටයුතු අඩු වුණාම මිනිසුන්ට මුදල් නැතිවෙනවා. මිනිස්සුන්ට වියදම් කරන්න මුදල් නැත්නම් වෙළෙඳුන්ගේ ආදායම් අඩු වෙනවා. එයින් ආර්ථිකය හැකිලෙනවා. ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙන්නේ ආදායම් අඩු තත්ත්වයක්. මිනිසුන්ට තවදුරටත් ප්‍රශ්න වැඩි වෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. මිනිසුන්ට තමන්ගේ ආදායමට අනුව මෙහෙම කරන්න කියන එක අසාධාරණයි. මොකද හැමෝම කැමතියි හොඳ ජීවිතයක් ගත කරන්නට. කවුරුත් කැමති නෑ ඉන්න තැනින් පහළට යන්න. ඒ නිසා රජයට තමයි මේ ප්‍රශ්න ඔක්කොම සැලකිල්ලට අරගෙන මිනිසුන්ට දැනෙන ප්‍රතිපත්ති ගෙන ඒමේ වගකීම තිබෙන්නේ. මේ අනුව දිගුකාලීන, මැදිකාලීන, කෙටිකාලීන ලෙස ප්‍රතිපත්ති සැකසීම සිදුකළ යුතුයි.



Recommended Articles