ලෝක අවධානය දිනූ බැලාස්ට් ජල තර්ජනය


‘‘බැලාස්ට්‘‘ යනු නෞකාවක සහ වෙනත් නාවික යාත්‍රාවල සමතුලිතතාව පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයයි. ඈත අතීතයේදී නාවික ගමනාගමනයේදී ‘බැලාස්ට්‘‘ ද්‍රව්‍යයක් ලෙස ගල් වැනි දේ භාවිත කර තිබේ. 


 

වර්තමානයේදී ‘බැලාස්ට්’ ද්‍රව්‍යක් ලෙස යොදා ගන්නේ ජලය වන අතර, ආර්ථික වාසි සහ කාර්යයේ පහසුව මෙසේ ජලය යොදා ගැනීමට මූලිකම හේතු ලෙස හඳුනාගත හැකිය. මෙම ‘බැලාස්ට්’ ජලය නිසා ආවේණික සමුද්‍ර ජීවීන්ට සහ පරිසර පද්ධති සඳහා නොපෙනෙන විශාල හානියක් සිදුවේ.

මුළු මහත් ලෝකයේම අවධානය මෙම අවදානම වෙත මේ වනවිට යොමුව තිබෙන අවස්ථාවක ‘බැලාස්ට්’ ජල අවදානම පිළිබඳ මෙසේ ඔබ දැනුවත් කිරීමට අපි සිතුවෙමු.

නැවකින් භාණ්ඩ බෑමේදී හා නැවකට භාණ්ඩ පැටවීමේදී ඊට සමානුපාතිකව යාත්‍රාවේ සමතුලිතතාවය පවත්වාගෙන යෑම සඳහා යාත්‍රාවට ජලය පුරවා ගැනීම හෝ යාත්‍රාවේ ජලය පිට කිරීම සිදුවේ. කුඩා ප්‍රමාණයේ යාත්‍රා ‘බැලාස්ට්’ ද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ එහි ගමන් කරන පිරිසේ බර ප්‍රමාණයයි.

අධිඝනත්වයෙන් යුතු ‘බැලාස්ට්’ භාවිතයේ අවාසි

අධිඝනත්ව ‘බැලාස්ට්’ භාවිතයේදී සාමාන්‍යයෙන් යාත්‍රාවක බර වැඩි වීම නිසා යාත්‍රාවේ වේගය සීමා වන අතර, යාත්‍රාව පසෙකට ලිස්සා යෑමේ අවදානම ඉන් වැඩි වේ. තවද යාත්‍රාවක් අලුත්වැඩියා කිරීමේදී යාත්‍රාවට සවිකර ඇති ‘බැලාස්ට්’ ද්‍රව්‍ය බාධාවක් නිසා අලුත්වැඩියා කටයුතු සිදුකිරීම අපහසුය. එමෙන්ම එවැනි ‘බැලාස්ට්’ ද්‍රව්‍ය සඳහා වැය වන වියදමද වැඩිය.

ජලය ‘බැලාස්ට්’ ද්‍රව්‍යක් ලෙස යොදා ගැනීමේදී ඇති අවාසි

ජලය ‘බැලාස්ට්’ ද්‍රව්‍ය ලෙස යොදා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අවාසි තත්ත්වයන් දෙකක් හඳුනා ගැනීමට හැකිය. ඉන් එක් තත්ත්වයක් වන්නේ එම ‘බැලාස්ට්’ ජලය ගබඩා කිරීම සඳහා වැඩි ඉඩකඩක් යාත්‍රාව තුළ හෝ නෞකාව තුළ අවශ්‍ය වීමයි. ප්‍රධානතම අවාසි සහගත සහ අවදානම් තත්ත්වය වන්නේ ‘බැලාස්ට්’ ජලය ඔස්සේ ආක්‍රමණික ජීවී විශේෂ ව්‍යාප්ත වීමේ තත්ත්වයයි.

නෞකාවක් එක් වරායකින් තවත් වරායකට ගොස් ‘බැලාස්ට්^‘‘ ජලය පුරවා ගැනීමේදී සහ රැගෙන ආ ‘බැලාස්ට්^‘‘ ජලය පිට කිරීමේදී ආගන්තුක පරිසර පද්ධතියක සිට පැමිණෙන නව ජීවී විශේෂ එම සමුද්‍ර පරිසරයට එකතු වීම සිදුවේ. අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය (IMO) සිදුකළ පර්යේෂණ ඔස්සේ  පෙන්වා දෙන පරිදි වාර්ෂිකව මේ ආකාරයෙන් සංසරණය වන ‘බැලාස්ට්’ ජල ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 10-15 අතර වේ.

එම දත්තයන්වල වැඩිදුරටත් මෙම ජලය සමග දිනකට එක් පරිසරයක සිට තවත් පරිසරයකට නව ජීවී විශේෂ 3,000ක ප්‍රමාණයක් සංසරණය වන බවට ඇස්තමේන්තු ගත කර තිබේ.  මේ ආකාරයෙන් පැමිණෙන ආගන්තුක ජීවී විශේෂ හේතුවෙන් චිරස්ථායී පරිසර පද්ධති හා ජෛව විවිධත්වය වෙත නොයෙකුත් ආකාරයේ දැඩි බලපෑම් එල්ලවෙමින් පවතියි.

‘බැලාස්ට්’ ජලය නිසා සිදුවන අහිතකර බලපෑම් මෙසේ වර්ගීකරණය කර ඇත.

පාරිසරික හානි

ආහාර දාම සඳහා බලපෑම් එල්ල වීම නිසා පරිසර පද්ධතීන්වල සමතුලිතතාවය බිඳ වැටීම.

ආවේණික ජීවීන්ගේ අභිජනනය සිදුවන ස්ථාන විනාශ වීම.

ආගන්තුක ජීවීන් පරපෝෂිත ජීවීන් ලෙස ක්‍රියා කිරීම.

සාමාජීය හා ආර්ථික හානි තත්ත්ව

ජීවීන්ට හානි වීම නිසා ධීවර කටයුතු සඳහා අහිතකර බලපෑම් ඇති වීම.

සංචාරක කර්මාන්තයට අවහිරතා ඇති වීම.

ජල සැපයුම් මාර්ග හා කාණු පද්ධති අවහිර වීම.

හානි පූර්ණයන් සඳහා අධික මුදලක් වැය වීම සහ තාක්ෂණය ප්‍රමාණවත් නොවීම.

සෞඛ්‍ය ගැටලු

විෂ සහිත ආහාර සහ ජලය නිසා රෝගාබාධ සහ මරණ ඇති වීම.

කොළරාව හා අහාර විෂ වීමේ තත්ත්ව වැඩි වීම.

අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් ‘බැලාස්ට්’ ජලයෙන් ව්‍යාප්ත වන තර්ජනකාරී විශේෂ 10ක්  මේ වනවිට ලැයිස්තුගත කර තිබේ. ඒ අතරින් වැඩිම හානියක් සිදුකරන විශේෂ කිහිපයක් පිළිබඳ මෙසේ දැක්විය හැකිය.

Zebra Mussel

(Dreissena polymorpha)

නැගෙනහිර යුරෝපයේ කළු මුහුද ජන්ම භූමිය කර ගත් මෙම %මට්ටි^ විශේෂය බටහිර හා උතුරු ඇමරිකාවේ ‘බැලාස්ට්^‘‘ ජලය මගින් ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ. මෙම %මට්ටි^ ජීවීන් විශේෂය සමූහයක් වශයෙන් එක් වී විවිධ උපස්ථරවල ඇලී ජීවත් වේ. මෙම ජීවීන් ගහණය අධික වර්ධන වේගයක් පෙන්නුම් කිරීම හේතුවෙන් නව පරිසර පද්ධතියකට සංසරණය වූ පසු එම පරිසර පද්ධතියේ ආහාර ජාල අක්‍රමවත් කිරීම හා පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳ දැමීම නිසා ආවේණික ජීවින්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරයි. මොවුන්ගෙන් ඇති වන ප්‍රධානතම තර්ජනය වන්නේ සමූහ වශයෙන් උපස්ථරවල ඇලී ජාල සැපයුම් මාර්ග, අපද්‍රව්‍ය බැහැර කරන කානු හා කර්මාන්ත ශාලාවන්හි සැපයුම් මාර්ග අවහිර කිරීමයි. මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් මෙම තත්ත්වය පාලනය කිරීමට ඇමරිකන් ඩොලර් බිලියනයකට අධික මුදලක් දරා තිබේ.

Asia Kelp

(Undaria pinnatifida)

Asia Kelp යනු උතුරු ආසියානු කලාපය සිය ජන්ම භූමිය කරගත් ඇල්ගී විශේෂයකි. මෙම ජීවීන් දකුණු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපය, ආර්ජන්ටිනාව හා ඇමෙරිකානු බටහිර වෙරළේ ‘බැලාස්ට්’ ජලය හරහා ව්‍යප්ත වී ඇති බව මෑත කාලීන පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. නව පරිසර පද්ධතියකට සංක්‍රමණය වූ පසු සාර්ථක හා වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන අතර එම පරිසරයට ආවේණික ජීවීන්ගේ පරිසර පද්ධති ආක්‍රමණය කිරීම මගින් ආහාර දාමවල හා ජෛව විවිධත්වයේ අසමතුලිතතාවයක් ඇති කරනු ලබයි. මේ නිසා කවච සහිත මත්ස්‍ය කර්මාන්තයට අහිතකර බලපෑමක් මතු කරයි.

North American Comb Jelly (Mnemiopsis leidyi)

මෙම ජීවී විශේෂය ප්ලවාංග ආහාරයට ගනිමින් උතුරු ඇමරිකාවේ අත්ලන්තික් වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජීවී විශේෂයකි. මෙම ජීවීන් 1980 දශකයට ආසන්න කාලයකදී කළු මුහුද හා කැස්පියන් මුහුද ආශ්‍රිතව ‘බැලාස්ට්^‘‘ ජලය ඔස්සේ ව්‍යාප්ත වී ඇතැයි සැලකේ. නව පරිසර පද්ධතිවල ශීඝ්‍ර ගහණ වර්ධන වේගයක් පෙන්නුම් කරන නිසා එම කලාපයේ ඇති ප්ලවාංග විශාල වශයෙන් ආහාරයට ගනියි. මෙම සත්ත්වයාගේ එම ආහාර රටාව හේතුවෙන් පරිසර පද්ධතින්වල සමතුලිතතාවය බිඳ වැටී මත්ස්‍ය කර්මාන්තයට එල්ල වූ අහිතකර බලපෑම් හේතුවෙන් ඇති වූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික බව ඇස්තමේන්තුගත කර ඇත.

North Pacific Sea Star (Asterias amurensis )

මෙම තාරකා මත්ස්‍ය විශේෂය ‘බැලාස්ට්^‘‘ ජලය ඔස්සේ දකුණු ඔස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇති බවට වාර්තා වේ. මෙම ජීවියා ප්‍රධාන විලෝපිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන අතර නව පරිසර පද්ධති තුළ ශීඝ්‍ර ගහණ වේගයක් පෙන්නුම් කරයි. ඒ ඔස්සේ ඇති වන අහිතකර බලපෑම් හේතුවෙන් වෙරළාසන්නව ජීවත් වන ආර්ථික වටිනාකමකින් යුක්ත %මට්ටි^ විශේෂ හා බෙල්ලන් විශේෂවල ගහණය අඩු වී තිබේ.

බැලාස්ට්’ ජල තර්ජනයට ගෝලීය ‘බැලාස්ට් ජල කළමනාකරණය

‘බැලාස්ට්’ ජල තර්ජනයේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳව මේ වනවිට ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානයක් යොමුවී තිබෙන අතර අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් මේ වනවිට ‘බැලාස්ට්^‘‘ ජල සම්මුතියක් පවා සකස් කර තිබේ. එම සම්මුතිය සඳහා මේ වනවිට රටවල් ගණනාවක්ම අත්සන් තබා ඇතත්, නාවික කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව තවමත් ඒ සඳහා අත්සන් තබා නැත. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් පැවතීම සතුටට කරුණකි. ඒ සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.

(තොරතුරු - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය / M.E.P.A)

නඳුන් ශ්‍යාමාල්

 



Recommended Articles