කෝවිඩ් 19 වෛරසයේ බලපෑම් අද, හෙට හෝ තවත් මාසයකින් අහවර නොවන පසුබිමක සමස්ත ලෝකවාසීන්ටම මේ වෛරසය සමග ජීවත් වන්නට සිදුවී ඇත. එසේනම් අවශ්‍ය වන්නේ මෙම වෛරසය සමග ජීවත් වන්නට අවශ්‍ය නව ජීවිතයක් ගොඩනගා ගැනීමය. සුපුරුදු ජීවිතයෙන් නව ජීවිතයකට අනුගත වීම එතරම් පහසු කටයුත්තක් නොවුණත්, ජීවිතය ජීවත් කිරීම වෙනුවෙන් එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. මේ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දැක්වූ අදහස්ය.
රෝගීන් වැරදිකරුවන් නොවෙයි
මෑතකදී ආසාදනය වූ රෝගීන් දිහා අපි බැලුවාම ඔවුන්ට මේ රෝගය පැතිරුණ ආකාරය තවම හොයාගෙන නැහැ. ඒ වගේම කියන්න ඕන මේ රෝගීන්ට වෛරසය ආසාදනය වුණේ අහම්බෙන් නිසා ඔවුන් වරදකරුවන් නොවෙයි. ඒ අනුව මේ රෝගීන්ව කිසිදු ආකාරයක වරදකරුවන් ලෙස හඳුන්වා දීමක් හෝ සටහන් කිරීමක් සිදු නොවිය යුතුයි. ඒ වගේම ඔවුන්ට මානසික පීඩාවක් හෝ සිදු නොකළ යුතුයි. මේ රෝගීන්ගේ හිත් නොරිදෙන ආකාරයට රෝගය කළමනාකරණයට අවශ්‍ය සහය ලබාදීම හැමෝගෙම යුතුකමක්. යම් දත්ත හඳුනා ගැනීමටත්, රෝගීන් විසිරී සිටින ප්‍රදේශ හඳුනා ගැනීමටත්, රෝගයේ හැසිරීම් රටා හඳුනා ගැනීමටත්, රෝගී ස්වභාවය හඳුනා ගැනීමටත් පමණක් අපි රෝගීන්ගේ තොරතුරු භාවිත කිරීම කළ යුතුයි. අපිට මූලික වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ මිනුවන්ගොඩ පොකුරෙන්. ඒ වගේම රටේ තැනින් තැනින් සැක සහිත රොගීන් වාර්තා වෙනවා. ඒ අනුව තවදුරටත් රෝගීන් සොයා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.
රෝගීන් පලා යෑම
රෝගීන් පලා ගොස් ඇති බවට විවිධ මාධ්‍ය සඳහන් කළත්, ඒවා යම් ආරංචි පමණයි. මීට පෙර අයි.ඩී.එච්. රෝහලෙන් රෝගියෙක් පලා ගියා. ඉන්පසු මෑතකාලීනව රාගම රෝහලෙන් එවන් තත්ත්වයක් වාර්තා වුණා. නමුත් එම රෝගීන් සොයාගෙන නැවත රෝහල්ගත කරනු ලැබුවා. මේ වගේ තත්ත්වයන් ඇති වුණාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආරක්ෂක අංශ ඉතාම යුහුසුළුව කටයුතු කරනවා.
ආරක්ෂක අංශවල මැදිහත් වීම
ඇතැම් අය කියනවා මේ කටයුතුවලට ආරක්ෂක අංශ මැදිහත් වීම නිසා රෝගීන් විවිධ සැරවැර කිරීම් ආදියට ලක් වෙනවා කියලා. අපි ඒ නිසයි මුලදීම සඳහන් කළේ මේ කටයුතු කළමනාකරණය කිරීමේදී රෝගීන්ගේ සිත් රිදවීම් සිදු නොවිය යුතුයි කියලා. නමුත් යම් ආකාරයකට රෝගියෙකුට අසාධාරණයක් සිදුවී තිබෙනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි. අපි කිසිවිටෙකත් ආරක්ෂක අංශ සාමාජිකයන් මේ රෝගීන්ගේ සිත් රිදවන ආකාරයෙන් කටයුතු කරනවා යැයි සිතන්නේ නැහැ. මොකද ඔවුන් ඉතා සාර්ථකව රෝගීන් කළමනාකරණය කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා. පොලීසිය හා ආරක්ෂක අංශ රෝගීන් කළමනාකරණය සඳහා යොදා ගැනීම මගින් රෝගීන්ට අපහසුතාවන්ට මුහුණදෙන්න සිදුවන බව ඇතැම් අය කියනවා. ලෝකයේ විවිධ රටවල් ඒ ඒ රටේ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කරන්න අනුගමනය කළ ක්‍රම කිහිපයක් තිබෙනවා. උපක්‍රමශීලී පියවර තිබෙනවා. ඒ අනුව එක් උපක්‍රමයක් තමයි රෝගීන් කලින් හඳුනා ගැනීම හා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීම. ඒ හරහා මේ රෝගය සමාජගත වීම නැත්නම් සමාජයේ රෝගීන් බහුල වීම වැළැක්වීමයි සිදුකරන්නේ. ඒ ක්‍රමවේදය ඔස්සේ රෝගීන් හඹා යෑම සඳහා බුද්ධි අංශවල සහය හා ශ්‍රම දායකත්වය ලබා ගැනීමේදී හමුදාවේ නිලධාරීන් හා පොලීසියේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ක එකතුව අතිවිශාල සේවයක් ඉටු කරනවා.
ඒ අනුව අපි බැලුවොත් ඇතැම් රටවල් රෝගීන් හඹා ගොස් ඔවුන්ව නිරෝධායනයට යොමු කරනු අපි දැක්කේ නැහැ. ඒ රටවල අපි දැක්කා මේ රෝගය වේගයෙන් පැතිරෙන ආකාරය. අපි වියට්නාමය දිහා බැලුවොත් ඔවුන් අපේ රටේ ක්‍රියාත්මක ක්‍රමවේදය තමයි අනුගමනය කළේ. ඔවුන් ඒ හරහා ඉතා හොඳින් රෝගය පාලනය කරගෙන තිබෙනවා. මේ ක්‍රමවේදය අනුගමනය කරන රටවල් මේ මාස නවයක දහයක කාලය තුළ රෝගය කළමනාකරණය කරගෙන තිබෙනවා. අපි දන්නවා මේ රෝගය තව වසර ගණනාවක් පැතිරෙන බව. අපි අනුගමනය කරන ක්‍රමවේද නිසා රෝගීන් අඩු ගණනකින් අපිට කළමනාකරණය කරගන්න අවස්ථාව ලැබී තිබෙනවා.
නීති ක්‍රියාත්මක වීම
මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර නිර්මාණය වූ ඇඟලුම් ආයතනයට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. දැනට එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකරමින් තිබෙනවා. එම පරීක්ෂණ කට වචනයෙන් ලබාගන්නා තොරතුරු මත නොවෙයි සිදුවෙන්නේ. බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිරිසක් විදේශ රටක සිට ලංකාවට ආවාද, ඔවුන් මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ නිරෝධායනයට ලක් වුණේ නැතිද ආදිය පිළිබඳ පරීක්ෂණ සිදුවෙනවා. එවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවන්නට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. අපිට දැනට මේ කෝවිඩ් පොකුර නිර්මාණය වුණේ කොහොමද කියන තොරතුරු නැති වුණත් වාර්තා වන රෝගීන් සියලුදෙනා මේ පොකුරට සම්බන්ධ වූ අය බව හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හැර පිටස්තරින් රෝගීන් වාර්තා වීමක් නැහැ.
කොළඹ රෝගීන්
කොළඹ ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වන බවට විවිධ තොරතුරු පළ වෙනවා. නමුත් අපිට බදාදා දිනය වන විට කොළඹින් වාර්තා වෙන්නේ රෝගීන් 161ක් පමණයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය ඉතාම අධිකයි. ඒ නිසා මේ රෝගය පැතිරුණහොත් බොහෝ දෙනෙක්ට ආසාදනය වෙන්න තිබෙන හැකියාව වැඩියි. එයයි මේ රෝගයේ ස්වභාවය. ජනගහනය බහුල ප්‍රදේශයන් හිදී රෝගීන් තවත් පුද්ගලයන් සමග ගැටෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා යම් අභියෝගයක් තිබෙනවා. ඉන්දියාව වගේ රටවල් වලට සිදුවෙලා තිබෙන්නේ එයයි. ඔවුන්ගේ ජන ඝනත්වය ඉහළ ප්‍රදේශවල රෝගීන් බහුලව වාර්තා වීම මත ඔවුන්ට රෝගය පාලනය කරගන්න අපහසුතා ඇති වී තිබෙනවා. ඒ අනුව කොළඹ ප්‍රදේශයට මේ රෝගය පැතිරෙන්න අවස්ථාව නොදී සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි ආරක්ෂා කිරීමයි සිදුවිය යුත්තේ. දැනට ඒ කටයුතු ඉතා හොඳින් සිදුවෙනවා.
අත්බෙහෙත්
විවිධ වෛද්‍යවරුන් සඳහන් කරන බව පවසමින් විවිධාකාර අත්බෙහෙත් වර්ග කෝවිඩ් සඳහා නිර්දේශ කර ඇති ආකාරය අපි දකිනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව මතයි තවමත් මේ රෝගය පිළිබඳ අධ්‍යයනයන් හා පරීක්ෂණ සිදුකර තිබෙන්නේ. ඒ අනුව අපි වෛද්‍ය විද්‍යාත්මකව යම් දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ සාක්ෂි හා විද්‍යාත්මක දත්ත පදනම් කරගෙනයි. එසේනම් මේ තිබෙන අත්බෙහෙත් වර්ග රෝගීන්ට ලබාදී ඒවා පරික්ෂාකර නොමැති පසුබිමක මහජනතාවට තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා භාවිතයට නිර්දේශ කිරීම සිදුකළ නොහැකියි. නමුත් අපි දේශීය ඖෂධ භාවිත කරන්න එපා කියලා කියන්නේ නැහැ. මේ අවස්ථාවේ අපි කියන්නේ කෝවිඩ්වලට මේ ඖෂධ සුදුසුයි කියලා කියන්න තරම් පරීක්ෂණ සිදුවෙලා නැති බවයි. ආයුර්වේද වෛද්‍යවරුන්ට පුළුවන් ඔවුන්ගේ නිර්දේශ කිරීම් සිදුකරන පදනම සමාජයට ඉදිරිපත් කර මහජනතාව වෙනුවෙන් යමක් සිදුකරන්න.
කෝවිඩ් සමග ඉදිරි ජීවිතය
අපිට මේ රෝගය සමග තවත් අවුරුදු තුනකටත් වැඩි කාලයක් ජීවත් වෙන්න සිදුවෙයි. ඒ වගේම අපි කෝව්ඩ් වෛරසය ගැන බැලුවොත් මේ වෛරසය වෙනස් වෙමින් පවතින බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් පෙනී යන්නේ. ඒ නිසයි මේ වෛරසයට තවම නිශ්චිත ඖෂධයක් සොයාගන්නට නොහැකි වී තිබෙන්නේ. මේ වෛරසය අපිට තව සතියකින් දෙකකින් නැති කරන්න බැහැ. ඒ නිසා මහජනතාව ලෙස ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ආරක්ෂා කිරීමයි සිදුවිය යුත්තේ. ඒ අනුව මේ උපදෙස් දීර්ඝකාලීනව අනුගමනය කළ යුතුයි. දියුණු රටවල්වලටවත් පාලනය කරගන්න බැරි වුණ මේ රෝගය අපේ රටේ කළමනාකරණය කරගන්න නම් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් තවදුරටත් ආරක්ෂා කරගත යුතුයි. ඒ අනුව මුහුණ, නාසය අතපත ගෑමෙන් වැළකීම, මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නිතර සබන් යොදා අත් සේදීම කියන කාරණා සාමාන්‍ය පුරුදු බවට පත් කරගත යුතුයි. මීට අමතරව මහජනතාව වටහාගත යුතු තවත් දෙයක් තමයි මේ වෛරසය පැතිරෙන්නේ සුළු ඉඩකඩක වැඩි පිරිසක් සිටීම නිසයි. ඒ අනුව විශාල පිරිසක් අඩු ඉඩක සිටියොත් එක් රෝගියෙක් එතැන සිටීමෙන් බහුතරයකට මේ වෛරසය ආසාදනය විය හැකියි. ඒ නිසා රැස්වීම් පැවැත්වීම්, කණ්ඩායම් මුණගැසීම් විවෘත පරිසරයේ පැවැත්වීමයි අනාගතයේ අපි සිදුකළ යුත්තේ. කෝවිඩ්වලට ඖෂධයක් සොයාගන්නා තෙක් මේ තත්ත්වය පවත්වාගත යුතුයි. ඒ වගේම ඖෂධයක් සොයාගත්තත් මිලියන 37ක් වෙනකන් රෝගීන් වාර්තා වෙයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරන්නේ. ඒ අනුව පුරෝකථනය කළ සංඛ්‍යාවකට නිෂ්පාදනය කරන ඖෂධ සංඛ්‍යාවත් ඒ හා සමාන වෙනවා. ඒ නිසා ලෝකයේ කුමන රටක් මේ වෛරසයට ඖෂධ සොයා ගත්තත් ලංකාවට ඖෂධ පැමිණෙන්න තව කාලයක් ගත වෙයි. මේ නිසා අපේ රටේ ජනතාව විචක්ෂණශීලීව, දැඩි කැපවීමෙන් කෝවිඩ් 19 රෝගය ආසාදනය කර ගන්නේ නැතිව ඉන්න උත්සාහ කළ යුතුයි.