ලොජික් නොවේ ඕනෙ මැජික්


ආචාර්ය ගුනාර් මිර්සාල් දිළිඳුකම එහෙමත් නැතිනම් දරිද්‍රතාවය පිළිබඳ පවසා ඇත්තේ රටක දුප්පත්කම නැති කිරීම සඳහා වඩාත් වැදගත් වන්නේ රට තුළ ඇති කරන සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් බවයි. ඒ වගේම මිනිසා මුල් කරගෙන සංවර්ධනය ක්‍රියාත්මක විය යුතු බවයි.

රටක සංවර්ධනය හෝ පුද්ගල සංවර්ධනය උදෙසා දේශපාලන දැක්ම ඇත්ත වශයෙන්ම අවශ්‍ය වේ. දිළිඳුකම පිටු දැකීම සඳහා වර්තමානයේ සිදුකළ සැලකිය යුතු හෝ ප්‍රශස්ත මට්ටමේ ව්‍යාපෘතීන් කිසිවක් නැත.

දිළිඳුකම පිටු දැකීම ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම 80 දශකයේ හා අනූව දශකයේ ආරම්භ කළ ව්‍යාපෘතීන් දෙකක් පිළිබඳව පැවසිය හැක. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ 'ජනසවිය' ඉන් එකකි. අනෙක් ව්‍යාපෘතිය නම් සමෘද්ධි ව්‍යාපාරයයි. මෙහිදී සිදු වූයේ සෘජුවම දරිද්‍රතාවයෙන් පෙළෙන්නා වූ පවුල් හඳුනාගෙන කුටුම්භ ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන් සම්බන්ධ කර ගැනීමයි.

සමෘද්ධිය යනු ප්‍රේමදාසගේ 'ජන සවියේ'ම කොටසකි. ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ දිළිඳුකම පිටු දැකීමටත් ගම සංවර්ධනය කිරීමටත් මූලිකත්වය ගෙන කටයුතු කළ නායකයෙකු විය. 'ප්‍රේමදාස පොඩි මිනිහා. දුප්පතුන්ගේ දුක තේරෙන්නෙ අපේම පන්තිය නියෝජනය කරන නිසා'. මේ එදා ජනතාව කියපු කතාවය. 'ජනසවිය' කියන්නේ පොළොවෙන් උපන් මහ පොළොවේ ජීවත් වන ජනතාව වෙනුවෙන් උත්පාදනය වූ සංකල්පයකි. ප්‍රේමදාස දරිද්‍රතාවය පිටු දැකීමට විශාල ලෙස කටයුතු කළේය.

ධාරාණිපාත වරුසාවන්ට නිසි ආවරණයක්වත් නැතිව. අව්වට පිච්චෙමින් ජීවත් වන දරු පවුල් ගැන සංවේදී වීම තුළ පූට්ටු ගෙවල්, අත්තම් නිවාස නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු විසින් හඳුන්වා දෙන ලදී.

ඔහු ජනාධිපති ජංගම සේවා රට පුරා ගෙන ගියේය, 'කැපකරු මාපිය' ක්‍රමය ඇති කළේය. 'ගම් උදාව' පටන් ගත්තේය. ඒකාබද්ධ සංවර්ධනය වෙනුවෙන් ග්‍රා‘මෝදය මණ්ඩල ඇති කළේය. දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ගම්උදාව මෙන්ම ප්‍රා‘දේශීය කොට්ඨාශය ආවරණය වන පරිදි 'ප්‍රාදේශීය ගම්උදාවත්' සති වැඩපිළිවෙළත් පටන් ගත්තේය. ජනාධිපති ප්‍රේමදාසගේ ප්‍රධානතම ගෝලයෙකු වූ ටී.එම්.සංඝදාස හොඳ කතාවක් කීවේය.

දිනක් කොළඹ ටැප් එකක් කැඩී ඇති බව ප්‍රේමදාසට ආරංචි විය. ඔහු සංඝදාසට කීවේ 'කවුරුහරි එක්කන් ගිහින් වැඩේ ඉවර කරන්න' කියාය. වැඩේ අවසන් කර සංඝදාස පැවසුවේ වැඩේ නිමා කර පැමිණි බවයි. එවිට ප්‍රේමදාස මෙසේ පිළිතුරු දුන්නේය. 'ඔව් මම ඒක දන්නවා සංඝදාස'. සංඝදාස වැඩේ හරියට කළාද, නැද්ද යන්න බැල්මට තවෙකෙකු ඔහු පසුපස ජනාධිපතිවරයා යවා තිබිණි. ප්‍රේමදාස මිනිසුන් අතරට ගියේ එහෙමය. ප්‍රේමදාස ලොජික් කතා කර කර හිටියේ නැත. ලොජික් බලා ජනතාවට මැජික් පෙන්නුවේය. හැබැයි ඒ හරියටම වැඩ කරලාය. ප්‍රේමදාස ගමේ මිනිහා වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ගමේ මනුස්සයාය. හැබැයි මෛත්‍රී ගමට වැඩක් කරන්නට උවමනාය.

මෛත්‍රී මේ ළඟදී හොඳ කතාවක් කළේය. ඔහු පැවසුවේ වසර 2030 වන විට ලංකාවේ දිළිඳුකම පිටු දැකීම සංඛ්‍යාලේඛනවලින් ඔබ්බට ගොසින් තිරසාර වැඩපිළිවෙළක් දියත් කිරීම පිළිබඳවයි. ඔහු 'ග්‍රාම ශක්ති' වැඩපිළිවෙළ සකස් කරන්නේ මෙය පදනම් කරගෙනය. මෛත්‍රීගේ අදහස නම් හොඳය. ඇත්තෙන්ම දිළිඳුකම ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ගැටලුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ලංකාවේ සමස්ත දිළිඳු ජනතාවගෙන් සියයට 90ක් පමණ සංකේන්ද්‍රණය වී ඇත්තේ ග්‍රාමීය හෝ වතු ප්‍ර‘දේශවලය. එම නිසා 'ග්‍රාම ශක්ති' වැඩපිළිවෙළ හරියටම ක්‍රියාත්මක කරනවා නම් එය ඉතාමත්ම වැඩදායී වනු ඇත.

ගම දියුණු කරන අතරම කුඩා ව්‍යවසායකයන් රැකබලා ගැනීමද සිදු කරන බවට ඔහු පවසා තිබේ. එයත් ඉතා හොඳ ලක්ෂණයකි. මෙහිදී මෛත්‍රීට මතක් කළ යුතු තවත් කාරණයක් ඇත. එනම් විවෘත ආර්ථිකය ඇත්තේ හැමදේම ආනයනය කිරීමට නොවේය යන්නයි. අපේ නිෂ්පාදන අපනයනය කිරීමට වෙළෙඳ පොළක්ද නිර්මාණය කරගත යුතුය. 'ග්‍රාම ශක්ති' ව්‍යාපාරයෙන් කුඩා ව්‍යවසායකයන්ට පෞද්ගලික අංශයේ සහයෝගය ලැබෙන බවද ප්‍රකාශිතය. නමුත් රජයේ සෘජු මැදිහත් වීමෙන් ඔවුන්ට වෙළෙඳ පොළක් දේශීයව මෙන්ම විදේශීයවද නිර්මාණය කර දීම සුදුසුය.

අනූව දශකය තුළ ශ්‍රී ලංකාවේ පැවැති කර්මාන්ත රැසක් කඩා වැටිණි. ඒ වගේම පෞද්ගලීකරණය හේතුවෙන් ලංකාවේ කර්මාන්ත රැසක්ම අහිමි වී ගියේය. මෙම කර්මාන්ත නැවත නගා සිටුවීමට හැකිනම් එය ඉතා වැදගත් වනු ඇත.

2000 වසර වන විට ශ්‍රී ලංකාවේ දිළිඳුකම 24%කි. මේ වන විට එය 05%කි. තවද දිළිඳු ජනතාව දුෂ්කර තත්ත්වයෙන් ගොඩගත හැක්කේ. එනම් නැති බැරි අය, ඇති හැකි අය කළ හැක්කේ ණය දීමෙන් නොව ඔවුන් හැකිතාක් දුරට ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමෙන්ය.

ග්‍රාම ශක්තිය හරියට කර ගත්තොත් මෛත්‍රීට ජනතාව අතරට යෑමට පුළුවන. මෛත්‍රී ජනාධිපතිතුමාට හොඳ ලොජික් ඇත. නමුත් ලොජික් මැජික් කරවන්නට කටයුතු කර ජනතාවට සේවය කිරීමට හැකි නම් මෛත්‍රී වගේම ජනතාවත් ගොඩ යනු ඇත. ප්‍රේමදාසත් පොඩි මිනිහාය. මෛත්‍රීත් ගමේ මනුස්සයාය. මහ පොළොවේ යථාර්ථය දකින්නේ හා දැක ඇත්තේ පොඩි මිනිස්සුන්ය. එබැවින් වචනවලට පමණක් සීමා නොවී අර්ථවත්ව වැඩ කළ යුතුය.

'සහස්සම්පි චේ වාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ත පදං සෙය්යෝ යං සුත්වා උපසම්පති' අනර්ථ සිදුකරන පදවලින් යුත් වචන දාහක් වුවත් උතුම් නැත. යමක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත්වේද, එබඳු එක අර්ථවත් පදය පවා උතුම්ය.

 



Recommended Articles