ලේ කඳුළු වියැකුණු කැබිතිගොල්ලෑවේ ජීවන කඳුළු


හිරු උදාවී හෝරාවක් දෙකක් පමණ ගිය තැන්හී අනුරාධපුරයෙන් නික්මී මම සුප්‍රකට ඒ නවය පාර ඔස්සේ මැදවච්චිය නගරයට පිවිසියෙමි. නගර සීමාවේ අග්ගිස්සට පැමිණෙත්ම රට පතළ වව්නියා හන්දිය මුණගැසේ. සත්‍ය ලෙසම එය හතරමං හන්දියකි. ආ මාර්ගය ඔස්සේම ගිය විට වව්නියාව නගරයටත්, එම මග ඔස්සේ ආපසු හැරුණු විට නැවත අනුරාධපුරය දෙසටත්, වමත දෙසින් ඇති මාර්ගයෙන් මන්නාරම නගරයටත් ගමන් කළ හැකිය. එහි සිට දකුණත දෙසට ඇති මාර්ගය ඉකුත් යුද සමයේ අඳුරු, ශෝචනීය මතකයන් අතොරක් සඳහා මගපෙන්වයි. මේ මග ඔස්සේ මැදවච්චියෙන් නික්මී කිලෝමීටර් විසිපහක් පමණ දුර ගෙවූ විට කැබිතිගොල්ලෑව නගරය මුණගැසේ. ඉනික්බිතිව පදවියටත්, පදවි පරාක්‍රමපුරටත්, වැලිඔයටත් ළඟාවිය හැකිය. අවසන මුලතිව් නගරය හා මේ මග යාවේ.

මේ සියලු බිම්තීර ලෙයින් තෙත්වී, කදුළින් බොඳවී ගිය අවදියක් තිබිණි. දැන් නිහැඬියාව රජයමින් ඇත. මරණ බිය අහවරව තිබේ. එහෙත් අද ජීවිතය ජීවත් කරවීමේ අරගලයට මෙහි දුෂ්කර ගම්මැදිවල ගැමියන් මැදිව දවස ගෙවති. කෝවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ එම අරගලය තවදුරටත් වේදනාබර වී තිබේ. එළවළු, පලතුරු ටිකක්, බඩඉරිඟු ආදිය මග දෙපසට ගෙනැවිත් අලෙවි කොට කීයක් හෝ සොයා ගැනීමට වෙහෙසෙන්නවුන් බොහෝ බෝ වී තිබේ. තේපැන්, ඔසුපැන් සමග ලැවරියා, වන්ඩු ආදිය විකිණීමට තවෙකෙකු මග බලති. එහෙත් මේ මග යන්නවුන් බොහෝදෙනෙකු ඔවුනගේ බලාපොරොත්තු කඳුළු මත බොඳකර ඉගිල යති. කාපට් ඇතිරූ මාර්ගයෙන් ඔබ්බට මේ කලාපයේ දුෂ්කර ගම්මැදි ජීවිත සුවපත් නොවීමේ අයුරුවට මේ දසුන් නොඅඩුව දෙස් දෙයි.

අනුරාධපුරයේ සිට කිලෝමීටර් 60ක් පමණ දුර ගෙවා මම කැබිතිගොල්ලෑව නගරයට පිවිසියෙමි. මේ නගරය බොහෝ කඳුළු මතක වල ජීවමාන සාධකයකි. නගරයෙන් වම්පසට විහිදෙන වව්නියාව මාර්ගයට පිවිස තවත් කිලෝමීටර් 03ක් පමණ එහි මග ගෙව්වෙමි. ඉනික්බිතිව අපූර්ව මංසන්ධියක් මුණගැසේ. එය ඉංග්‍රීසි වයි අකුරේ (Y) හැඩයට සම වේ. එහෙයින්ම මෙහි ගැමියන් 'වයි හන්දිය' ලෙස මෙම මංසන්ධියට නම් තබා තිබේ. ආ මග ඔස්සේම ඉදිරියට යන්නේ නම් වව්නියාව නගරයටත්, දකුණතට විහිදෙන 'සිංහයා උල්පත' මාර්ගය රට පතළ කඳුළු කතාවක උරුමය කියන සාම්ප්‍රදායික ගම් පොකුරකටත් ප්‍රවේශය සදයි.

මේ ගම් පොකුරේ තල්ගහවැව, යකාවැව, හල්මිල්ලවැටිය, තම්මැන්නෑව, හේරත් හල්මිල්ලෑව, විහාර හල්මිල්ලෑව, මැදවැව, නිකවැව, කණුගහවැව ආදිය විසල් වනාන්තරයට මැදිවූ එකිනෙකට යාවූ සාම්ප්‍රදායික ගම්මැදිය. කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් අංක 63-2548 දරණ ලංගම බස් රථය 2006 ජුනි 15වැනිදා  උදෑසන 06.30ට පමණ තල්ගස්වැව ගම්මානයෙන් ගමන් අරඹා ඇත්තේ කැබිතිගොල්ලෑව නගරයට යෑම සදහාය. කිසිවෙකු සිහිනෙන් හෝ නොපැතූ අයුරින් හිටිහැටියේ පුපුරා ගිය ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයෙන් එකම විලාපයකින් හාත්පස දෙවනත් වන්නට විය. මේ ඛේදවාචකයෙන් නිරායුධ අහිංසක ගැමියන් හැත්තෑවක් පමණ එක රොත්තට එකතැන මැරී වැටෙත්දී හැටකට වැඩි පිරිසක් තුවාල ලබා විවිධ කායික දුබලතාවයන්ට ලක්විය.

කණුගහවැව ගමේ පාරම්පරික වෛද්‍යවරයෙකු  ලෙස ප්‍රකට එම්. සේනාරත්න මහතා මේ සියලු විපත් සියැසින් දුටු දෙටු පුරවැසියෙකි. සිදුවුයේ කවරක්ද යන්න පිළිබඳව ඔහු සිහිපත් කළේය. “එදා ඔය සිද්ධියෙන් එකට යාවෙච්ච මේ හැම ගමකම වගේ මිනිස්සු මැරුණා. වැඩියෙන්ම මිනිස්සු මැරුණේ යකාවැව ගමේ. එදා තමයි කැබිතිගොල්ලෑව ඉස්පිරිතාලේ පොඩි දරුවන්ගේ ක්ලිනික් එක තිබිලා තියෙන්නේ. ඒ හින්දම පොඩි දරුවොත් සෑහෙන්න බස් එකේ ඉඳලා තියෙනවා.”

බස් බෝම්බය පිපිරී ගිය වන මූකලානට යාවූ %කෝන්ගොල්ලෑව^ නම් ස්ථානයේ අද බස් පියස්සක් ඉදිව තිබේ. එහි වැඩ නිමාවූ බවක් නොපෙනේ. මාර්ගයේ එක් පසෙක කොටු වැවක වතුරෙන් පීදෙන වෙල් යායකි. තවත් පසෙකින් වැස්සට පැහෙන හේන් යායකි. සහතික ලෙසම මිනිසුන් අතීත මතක මත යළි ජීවිතය අරඹා ඇති වගට මේ දසුන් දෙස් දෙයි. එහෙත් මේ වන මායිම් ගම් හැර නොයන ජීවන දුෂ්කරතා අතෝරක් හා සටන් වැදීමට ගැමියන්ට සිදුව තිබේ.

 ටී. සිරිවර්ධන තරුණයා ගම්පියසේ වගතුග මෙලෙස හෙළිදරව් කළේය.

“එක අතකින් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියල වෙලාවකට හිතෙනවා. අවුරුදු ගාණක් පාලුවට ගිහිල්ලා අතෑරලා දාල තිබ්බ හින්දා ගම්මැදිවල තියෙන කොටු වැව් ගොඩක් අබලන් වෙලා තියෙන්නේ. ලොකුම ප්‍රශ්නෙ වැව් ගොඩ වෙලා තියෙන්නේ. මහ වැහි වලට වැව් පිරුණත් බාගෙට බාගයක් වානෙන් අහකට යනවා. ඒකෙන් යන්තන් මහට විතරයි මිනිස්සුන්ට කුඹුරක් කරගන්න වෙන්නේ. ගම්වල තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනකොට ගම්වල අපිවත් සම්බන්ධ කරගන්න කියලයි අපි ඉල්ලන්නේ. ගොඩක් තැන්වලදී ගම්මු විදිහට අපිව නොසලකා ඇරලා තමයි වැඩ සිද්ධ වෙන්නේ. අලි ගම් වදින්නේ කොහෙන්ද කියලා දන්නේ අපි. වැව්, ඇළවේලි ගැන උනත් එහෙමයි.”

වැස්ස කෙරෙහි වූ විශ්වාසයෙන් කෙරෙන හේන්, කුඹුරු ගොවිතැන අද මේ ගම්මැදිවල ලොකුම ආදායම් මාර්ගයයි. වැව්පිටිවල, කැලෑ රොදවල දිගේලි කළ කිරි හරක්, මී හරක් ගැමියන්ගේ අතට අමතර ආදායමක් උපයා දෙයි. මේ ගම්මැදි එක්තරා අන්දමක හුදකලා බවකින් පිරී තිබේ. ගම්මැදි සඳහා තනි රකිනුයේ ගම වටකර ඇති රූස්ස කැලයයි. ගැමියන් කියන හැටියට මේ වන මායිමේ අලින්ගේ, ඌරන්ගේ, රිළව්, වඳුරන්ගේ අඩුවක් නැත. සමහර දවසක රාත්‍රියේ නිවෙස් අසලින් වල් අලි හැල්මේ යන අන්දම මෙහි ගැමියන්ට හොඳින් හුරුවූ දසුනකි.

අලි රංචු සමග ගෙන යන සටන දැන් ඔවුනගේ දෛනික දින චර්යාවේ අනිවාර්ය පංගුවක් වී ඇති සෙයකි. හේන්, කුඹුරු කාලෙට වගාබිම් අසානාසි කරන සද්දන්ත අලි නිවාස වෙත කඩාවැදී මරණ බිය බෝකර තිබේ. රාත්‍රියේ අලි මුරකරන ගැමියන්ට දිවා කල රිළව්, වඳුරන්, ඉත්තෑවන්, මොණරු ආදීන්ගේ කරදරද අඩුවක් නැත. ගිරා රෑනක් හේනකට වැදුණහොත් වෙන හරිය සිත් අවුලුවන සුළුය.

වෙලේ උඩ පැලේ රැය ගතකරන අනිල් රූපනන්ද හේනේ බිම් පැලේ දිවා කල ගෙවා දමයි. කළ වගාවෙන් අස්වැන්නක් ගෙට ගෙන එන තෙක් ඔහුට මේ ජීවිතෙන් ගැලවුමක් නැත. ඔහු මෙසේ හඬ අවදි කළේය.

“අලි කරදරේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. කරපු ගොවිතැන් බේරගන්න පැල් උඩට වෙලා රෑ එළිවෙනකන් නිදිමරනවා. ඒත් පොඩ්ඩ බැරිවෙනකොට ඔක්කොම ඉවරයි. ඒ මදිවට රිළව්, වඳුරෝ, මොණරු, වල්ඌරෝ, ඉත්තෑවෝ මහන්සි වෙලා කරන ගොවිතැන් විනාශ කරනවා. එක ප්‍රශ්නයක් නෙමෙයි ගම්වල ජීවත් වෙන අපිට තියෙන්නේ. අලි වැට ගහනකොට ගම්වල මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ආරක්ෂා කරනවා වගේම දුක් මහන්සි වෙලා කරන ගොවිතැන් බත් රැකෙන විදිහක් ගැනත් හිතන්න ඕන. අපේ ගෙවල් දොරවල් විතරක් වට කරලා වැටක් ගහලා වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ හේන් කුඹුරු වලට අලි කොටුවෙන එක විතරයි.”

කණුගහවැව ගමේ සිට තවත් මඳ දුරක් ගිය විට  සිංහයා උල්පත ස්වාභාවික දිය සම්පත මුණගැසේ. ගිනි ගහන අව්රැස් මේ පුරාණ ගම් මැදින් දිවෙන තාර පාරේ ගිනි අවුලුවයි. මේ මාවත ප්‍රතිසංස්කරණය වී තිබීම ගැමියන්ට සැනසුමකි. කාපට් අතුරා තිබුණේ නම් තවත් හොඳය. දීර්ඝකාලීනව ඵලදායකය. විටෙක හමා එන සුළඟට මුසුවෙන දුහුවිල්ලෙන් මුහුණ වැසී යයි. මග දෙපස දිස්වන වෙල්යාය හිතට අස්වැසිල්ලකි. ගැමියෝ අව්වට පිච්චෙමින් වෙල් ලියැදි වල, හේන් පිටිවල වෙහෙසෙති. හේනෙන් ගොඩ වූ සමහරෙකු ගිනිදන අව්වේ රත්වූ තාර පාරේ ඉක්මන් අඩි තබමින් යනු පෙනේ. ගැහැණු, පිරිමි ඔවුන් හැමගේ පාහේ තෙහෙට්ටුවෙන් පිරුණු මුහුණු කලුපැහැ වී තිබේ. එසේ ආ එම්. විමලාවතී මහත්මිය පැවසුවේ ගම්මැදි පිරිවරා ඇති දුෂ්කරතා වල තවත් පැතිකඩක් පිළිබඳවය.

“මෙහෙ ඉස්කෝල වලට ගුරුවරු හිඟයි. සමහර ගුරුවරු දුෂ්කරයි කියල ඉන්න කැමති නෑ. සමහර ඉස්කෝලවල සිවිල් ආරක්ෂක එකේ කට්ටිය උගන්නනවා. මං කියන්නේ අපේ ගම් වලත් දැන් ගොඩක් අමාරුවෙන් හොඳට ඉගෙන ගත්ත දරුවො ඉන්නවා. ඒ අයට ගුරු පත්වීමක් දීලා මේ ගම්වල ඉස්කෝල වලට දැම්මොත් කවදාවත් ගම්වල ඉස්කෝල දාල යන්නෙ නෑනේ. ඒක මේ ගුරු හිඟයට හොඳ විසඳුමක්. අපේ දරුවන්ටත් ඒක සහනයක්. දුක් විඳලා ඉගෙන ගත්ත කෙනෙකුට රස්සාවකුත් හම්බ වෙනවා.”

වෙලෙන් ලැබෙන වී අස්වැන්නත්, හේනෙන් නෙළන එළවළුවක්, කුරක්කන් ටිකක් මෙහි ගැමියන්ගේ එදිනෙදා අහාර සුරක්ෂිතතාවයට හේතු වී තිබේ. වෙල්දෙනි වලින්, වැව්තාවුල්ලෙන් කංකුන්, මුකුණවැන්න, තැල් කොල ආදී පලා අහුරක් නෙළාගැනීමට මෙහි ලියන් සකසුරුවම් වේ. ගම්මැදි නිවාස තවමත් කටුමැටි ගසා පොල් අතු හෝ මල කෑ තහඩු හෙවිලිකොට තිබේ. වැසිකිළි පහසුකම්ද යහපත් නැත. සමහරෙකුට ස්ථිර වැසිකිළි පිළිබඳ අදහසක් නැති තරම්ය.  හැම ගමකම පාහේ වැව් දෙක තුනක් ඇතත්, ඉන් බොහෝමයක් උපද්‍රව රැසකට මැදිව තිබේ. වාරි ඇළ පද්ධති සංවර්ධනය උදෙසා විධිමත් වැඩපිළිවෙළක් අවැසිව තිබේ. ඉඩම් නිරවුල් නොවීම මේ කලාපයේ දැවෙන ගැටලුවකි. බී. කරුණාරත්න ගම්මැදි වැව් ගැන සිය අත්දැකීම් ගැන කීවේ මෙවැනි කරුණුය.  

“මේ ගම්මැදි වල තියෙන ගොඩක් වැව් ගොඩවෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ පාළුවට ගිහිල්ලා තිබ්බ ගම්නේ මේවා. දැන් තමයි යන්තන් මිනිස්සු ගොවිතැනක් කරගෙන ඔළුව උස්සන්න හදන්නේ. හැම වැවකම වගේ තියෙන ප්‍රශ්නෙ තමයි මඩ පිරිලා ගොඩ වෙලා තියෙන එක. මේවා පුරාණ වැව්. අවුරුදු හැට හැත්තෑවකින් හදලා නෑ. දැන් නම් මොකුත් කරන්න බෑ වතුර පිරිලා හින්දා. මහේ අස්වැන්න ගත්ත හැටියේ වැඩට බැස්සොත් යලත් මග ඇරෙන් නැතුව වැව් ටික හදාගන්න පුළුවන්.”

නියඟයේදී මෙහි ජල අර්බුදය කොතෙක්ද යත් නෑමට, සනීපාරක්ෂක කටයුතු සහ අනෙකුත් ඉවුම්පිහුම් අවශ්‍යතා සඳහා ජලය සොයා ගැනීමට විවිධ විකල්ප සෙවීමට ගැමියන්ට සිදුවේ. වහින කාලයේ ගමේ වැව් හොඳින් පිරීයතත් පායන කාලේ අරුමය දන්නේ ඔවුන්ම පමණකි. කලකට මත්තෙන් ගමේ නිවෙස් කිහිපයක ඉදිකොට ඇති වැහි ජල ටැංකි පායන කාලෙට නඩත්තුව දුෂ්කර වේ. කණුගහවැවේ ටී.එම්. මල්කාන්ති සහ දිල්රුක්ෂි මධුවන්ති පැවසුවේ ඉකුත් 2019 වසරේ ජුනි මාසයේ මේ ගම්මැදි සිසාර හමා ගිය සුළි සුළඟින් නිවාස ආදිය හානි වූ ගැමියන්ට මෙතෙක් කවර හෝ සහනයක් සැලසී නැති බවය.

“අපේ ගෙවල් වල වහල හුළඟෙ ගහගෙන ගියා. බඩු මූට්ටුවලට හානි වුණා. ඒ කාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් ලියාගෙන ගියා. ඒත් මේ වෙනකන් කිසි සහනයක් නෑ.”

ඉකුත් දෙසැම්බර් 30 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරට මේ ගම් පොකුරේ කණුගහවැවට පැමිණියේය. එහි ප්‍රතිඵලයක් ලෙස කණුගහවැවේ ජීවන ගැටලු කිහිපයක් සඳහාම මේ වන විට විසඳුම් ලැබෙමින් තිබේ. නිවාස ගැටලු, වනඅලි එන මග අහුරා විදුලි වැට ඉදිකිරීම ආදිය ඒ අතරින් ප්‍රමුඛය. මේ සාවියේ ගැමියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ සමස්තය ආවරණය වන වැඩපිළිවෙළකින් සිය ජීවිත ආලෝකමත් වේවිය යන්නය. ඔවුනගේ ආයාචනයද එයයි.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles