සෑම දෙයකටම මිනුම් දණ්ඩක් තිබිය යුතුය යැයි ඉතා පැරණි කියමනක් අප අසා තිබුණද, ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවෙකුට හුරු කරවන ලිවීම සහ ඇඳීම පිළිබඳ පරිමාණ මිනුම් දණ්ඩක් පිළිබඳ උපකරණයක් හෝ අදහසක් නිර්මාණය කර ගැනීමට මෙතෙක් හැකියාවක් නොතිබිණි. බොහෝ දරුවන්ට පැහැදිලි ලෙස අකුරු ලීවීමට සහ ඇඳීමට නොහැකිය. එයට හේතුව වන්නේ, ලිවීමේ සහ ඇඳීමේ පරිමාව ඔවුන් නොදැන සිටීමය. ඉගෙනීමෙහි දක්ෂතාවන් බොහෝ විට මනිනු ලබන්නේ ලියා දක්වන පිළිතුරු පත්‍රයක් නිරීක්ෂණය කිරීම මගින් බැවින්, ඉගෙනීමට දක්ෂ බොහෝ දරුවන් පවා අත්අකුරු සහ ඇඳීමේ හැකියාව දුර්වල වීම මත බොහෝ විට අපහසුතාවට ලක්වෙති.
සිවිල් තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් වසර තිහක පමණ කාලයක් සේවයේ නියැළුණු ජී.ඩබ්. රත්නසිරි මහතා මෙම ගැටලුව පිළිබඳ පර්යේෂණ කිහිපයක් සිදුකර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙය ගැටලුවට සාර්ථක පිළිතුරක් ලෙස උපකරණයක් නිර්මාණය කිරීමට ඔහු සමත් විය. %ලිවීමේ සහ ඇඳීමේ ප්රශස්ත දුර සොයා ගැනීමේ උපකරණය^ (Instrument for the Observation of Excellent Distance for Writing and Drowing) ලෙස හඳුන්වන මෙම උපකරණය මගින්, ඕනෑම අයෙකුගේ පැහැදිලි ලෙස ලිවීමේ සහ ඇඳීමේ නිවැරදි පරිමාණය සොයාගත හැකි බව ඔහු පවසයි.
මෙම උපකරණය, පෑනෙහි රඳවා භාවිත කරන විට, ඒකාකාරී අක්ෂර රටාවක් රඳවා තබාගත හැකි වේ. දරුවන්ගේ අත ලිස්සා යෑම, අත්ලෙහි දහඩිය දැමීම වැනි කාරණා මගහරවා ගැනීම මෙම උපකරණය භාවිතයෙන් හැකිවෙයි. මෙය භාවිත කිරීම මගින් ළමයින් තුළ ලිවීමට රුචිකත්වයක් ඇති කළ හැකි බව රත්නසිරි මහතා පවසයි. මෙම උපකරණයෙන් සිදු කෙරෙන කාර්යයන් විසිඑකක් පමණ ඔහු විසින් හඳුන්වා දී තිබේ.
දරුවෙකුගේ අත්අකුරු නිපුණතාව පරීක්ෂා කිරීම සඳහා සෑම කුඩා දරුවෙකු සතුව තිබිය යුතු උපකරණයක් ලෙස %ලිවීමේ සහ ඇඳීමේ ප්රශස්ත දුර සොයා ගැනීමේ උපකරණය^ පෙන්වා දිය හැකිය. ශරීර ආබාධ සහිත දරුවන්ටද මෙම උපකරණය භාවිතයෙන් ලිවීම සහ ඇඳීම පහසුවෙන් කරගත හැකි ආකාරයට මෙය නිපදවා තිබීම විශේෂත්වයකි. අබාධිත දරුවන් සඳහා මෙය සීරුමාරු කිහිපයක් එක්කොට අවශ්‍ය ප්‍රමාණයට සකසාගත හැකිය.
මෙම නිපැයුම කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට සහ එදිනෙදා කාර්යාලයීය වැඩකටයුතුවල නිරත වන සෑම පුද්ගලයෙකුටම එකසේ වැදගත්ය. චෙක්පතකට හෝ නීතිමය ලියවිල්ලකට අත්සන යෙදීම වැනි සාමාජීය කාර්යයන් සඳහා පවා, රහසිගත සීරුමාරුවක් පවත්වා ගැනීමට මෙය උපකාරී වන බව රත්නසිරි මහතාගේ අදහසයි.
මෙය ක්‍රියාත්මක කරන ආකාරය මෙසේය. ප්‍රථමයෙන් ඉතා කුඩා අකුරු ලියන එනම් (-) අගයන්වල සිටින ළමයින්ගේ ලිවීම් සඳහා උපකරණයේ සීරුමාරු රෝදය (Adjusting Wheel) ඉවත් කර, අත තමන් පුරුදු ස්ථානයේ තබාගෙන ලිවිය යුතුය. එම අකුරු නිරීක්ෂණය කර ක්‍රමයෙන් (+) අගයන් දෙසට අත ගෙන යා යුතුය. (0) සලකුණෙන් පසු ඉහත සීරුමාරු රෝදය නැවත ස්ථානගත කර ක්‍රමයෙන් ප්රශස්ත දුර ඇති ස්ථානය දක්වා ලිවීමට සැලැස්විය යුතු අතර, මෙහිදී තමන්ට පහසු සහ ක්‍රමවත් මෙන්ම වේගයෙන් ලිවිය හැකි ස්ථානයක් ඕනෑම අයෙකුට ප්‍රායෝගිකව අධ්‍යයනය කළ හැකිය. ඉන් පසුව තමුන්ගේ ඇඳීමේ ප්රශස්ත දුර මි.මී. 40 සීමාව තුළ නොතිබුණොත් උපකරණයේ ඇති ඉස්කුරුප්පු ඇණය (Connecting Screw Nail) බුරුල් කර, පැන්සල දිගේ උපකරණය පිටුපසට ගමන් කිරීමට සලස්වා, තමන්ට ගැළපෙන දුර සොයාගෙන ඉහත ඇණය නැවත තද කළ යුතුය. මෙහිදී උපකරණයේ පරිමාණය සඳහන් දිගට පැන්සලේ මුල් කොටසේ දිග එකතු කරනු ලැබේ.
පුද්ගලයන්ගේ ශරීරය වර්ධනය වන ආකාරය අනුව පැන්සල සහ පෑන අල්ලන ස්ථානය වෙනස් වෙයි. එය අවුරුද්දකට වරක්, මාස හයකට වරක් හෝ වසර කිහිපයකට වරක් සිදුවිය හැකි බව, පර්යේෂණ මගින් හෙළිව තිබේ. මේ නිසා පැන්සල රඳවා ගන්නා ස්ථානය කාලයෙන් කාලයට වෙනස් වන අතර, මෙම උපකරණය භාවිතයෙන් තමන් ලිවීමේදී, පෑන හෝ පැන්සල රඳවාගත යුතු නිවැරදිම ස්ථානය සොයාගත හැකිය.
මේ වනවිට රත්නසිරි මහතා සතුව නව නිපැයුම් හතළිහකට අධික සංඛ්‍යාවක් තිබෙන අතර, එයින් නව නිපැයුම් 17කට පමණ පේටන්ට් බලපත්‍රය හිමිව තිබේ. එම නිසා ඔහුට ලොව ඕනෑම තැනකට වලංගු වන ආකාරයේ විශේෂිත හැඳුනුම්පතක් නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇත.
ලිවීමේ සහ ඇඳීමේ ප්රශස්ත දුර සොයා ගැනීමේ උපකරණය^ රත්නසිරි මහතා නිර්මාණය කරනු ලබන්නේ තම දරුවාගේ අක්ෂර ලිවීමේ දුර්වලතාවට පිළියමක් ලෙසිනි. එම නිර්මාණය සාර්ථක බව වැටහුණු රත්නසිරි මහතා මෙය ලෝකයට ගෙන ඒම සඳහා මෙම උපකරණයට පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබේ. රත්නසිරි මහතා මෙම උපකරණය නිර්මාණය කරනු ලබන්නේ 2010 වසරේදී වන අතර, මේ සඳහා පේටන්ට් බලපත්‍රය හිමි වන්නේ 2013 වසරේදීය. ඔහු පවසන ආකාරයට ලංකාව තුළදී නව නිපැයුමක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට වසර තුනක් පමණ කාලයක් ගත වේ. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ නව නිපැයුම් පරීක්ෂා කිරීම සඳහා ලංකාව තුළ එයට විශේෂිත වූ විශේෂඥ කණ්ඩායමක් නොමැති බවයි.
මෙම පේටන්ට් බලපත්‍රය වසර විස්සක් සඳහා වලංගු වන අතර, දැනට ඉන් වසර පහක පමණ කාලයක් ගොස් තිබේ. එම වසර පහ තුළ රත්නසිරි මහතාට මෙම උපකරණය ලෝකයට හඳුන්වා දීමට අවශ්‍ය වුවද, එහි වැඩිදියුණු කිරීම් සඳහා අධික බරපැනක් දැරීමට සිදුව තිබේ. දැනට මෙම උපකරණය පිත්තල යොදා නිර්මාණය කර තිබෙන අතර, ඒ සඳහා වැඩි පිරිවැයක් වියදම් වන බවත්, මේ හේතුව නිසා ප්ලාස්ටික් ආශ්රයෙන් මෙම උපකරණය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පවසයි.
ඒ සඳහා යම් සමාගමක් එකඟ වන්නේ නම්, මෙම ව්‍යාපෘතිය ඔවුන් සමග සිදු කිරීමට තමන් කැමැති බවද රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.
මෙවැනි උපකරණයක් නිර්මාණය වී ඇත්තේ ලොව පළමු වතාවට වන අතර, ලොව පුරා වලංගු වන පරිදි පේටන්ට් බලපත්‍රයක් මෙම උපකරණයට හිමිව තිබේ.
රත්නසිරි මහතාගේ මෙවැනි නව නිපැයුම් අතර, මේ වනවිට මතුව ඇති කාලීන ගැටලු වන, පොලිතින් සඳහා පරිසර හිතකාමී ආදේශකයක්, වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා වන විශේෂිත උපකරණයක්, සේලයින් බෝතල් මගින් වගාවන් සඳහා ජලය සැපයෙන විශේෂ ක්‍රමවේදයක්, වාහනවල ඉදිරිපස වීදුරුව පිරිසුදු කිරීම සඳහා Air Wiper System^ (වායු වයිපර් පද්ධතියක්) වැනි නිර්මාණ වෙයි. (071-7623970)
කැළුම් දේවින්ද