ලැබෙන ආදායමෙන් කීයක් හෝ ඉතුරු කරමු


ඕනෑම සමාජ ක්‍රමයක ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව තමන් උපයාගත් ආදායමින් යම්කිසි කොටසක් සිය අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ධනය නිසි ලෙස කළමනාකරණය කරමින් අනාගතය වෙනුවෙන් එය ආයෝජනය කිරීම පිළිබඳව බුදුන්වහන්සේ පවා තම දේශනා තුළ අන්තර්ගත කර ඇත්තේ එය සෑම කල්හිම උචිත වන කරුණක් නිසාවෙනි. මේ හෙයින් පුද්ගලයන් ලෙස ඉතිරි කිරීම මෙන්ම, රටක් ලෙස සිය ආයෝජනයන් කෙසේ සිදුකළ යුතුද යන්න අප මහාචාර්ය චන්දන අලුත්ගේ මහතා සමග ආර්ථික විද්‍යාත්මකව මෙලෙස පැහැදිලි කරගැනීමක් සිදුකළෙමු.


සැබෑ ඉතිරි කිරීමක් යනු?

ඉතිරි කිරීම් ගැන ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කළොත් රටේ ආර්ථිකයක සිටින සියල්ලන්ටම වගේ කුමන හෝ ආදායමක් තියෙනවා. අපි ළමුන් ලෙස සලකන අවුරුදු 16 සිට 17 දක්වා පිරිස හැරෙන්නට, අවුරුදු 18න් ඉහළ සියලුදෙනාටම එක්කෝ වෘත්තියෙන් ලැබෙන ආදායම, නැත්නම් වෙනත් දේපළවලින් ලැබෙන ආදායම, ඒසේත් නැතිනම් දෙමාපියන්ගෙන් ලැබෙන ආදායමක් වැනි කුමන හෝ ආකාරයක ආදායමක් තියෙනවා. ඒ නිසා මේ ආදායම තමන්ට අවශ්‍ය නම් සම්පූර්ණයෙන්ම පරි‌භෝජනය කරන්න පුළුවන්. නැතිනම් යම්කිසි සැලසුමකට අනුව වැඩ කරනවා නම් තමන්ට සිතෙන්නට පුළුවන් මම මේ ආදායමින් 80%ක් පමණයි පරිභෝජනය කරන්නේ, ඉතිරි 20% මම අනාගතයේ තව අවුරුද්දකින් දෙකකින් මගේ කුමන හෝ වැඩකට අයෝජනය කිරීමක් කරනවා කියලා. එහෙම නැතිනම් කුමක් හෝ මිලදී ගැනීමක් සිද්ධ කරන්න ඉතුරු කර ගන්නවා කියලා. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යානුකූලව ඉතිරි කිරීම් අර්ථ දැක්වීමක් සිද්ධ කරන්නේ ආදායමින් පරිභෝජනය කරලා ඉතිරි වෙන කොටස ඉතිරි කිරීමක් ලෙසයි. 

ඉතිරි කිරීම් කළ හැකි විවිධ ස්වරූප හා විධි

අපි ඉතුරු කරන ක්‍රම විවිධ ස්වරූපයන්ගෙන් තිබිය හැකියි. සියල්ලන්ම දන්න බහුල ලෙස භාවිත ඉතිරි කිරීම් ක්‍රමය වන්නේ මුදල් ස්වරූපයෙන් ඉතිරි කිරීමයි. උදාහරණයක් ලෙස අපිට මාසිකව රුපියල් 50,000ක අාදායමක් ලැබෙන්නේ යැයි සැලකුවහොත්, අපි ඉන් 40,000ක් වියදම් කර ඉතුරු 10,000 මාසිකව බැංකු ගිණුමේ ඉතුරු කිරීමක් කළහොත්, එය සැලකෙන්නේ මූල්‍යමය ස්වරූපයෙනි. මෙලෙස මුදල් ලෙස ඉතිරි කිරීම් සිදුකරන විට බැංකු ගිණුමේ මුදල් ඉතිරි කිරීම් සඳහා ලැබෙන ආදායම ඉතාම අඩුයි. රත්තරන්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ නැගීමක් සිද්ධ වෙන නිසා, ඒ ඉතුරු කිරීම් මූල්‍ය ස්වරූපයෙන් නොතියා, රන්පවුමක් මිලදී ගෙන ළඟ තබා ගන්නවා කියලා හිතන්න. එවිට සිද්ධ වෙන්නේ මූල්‍ය ස්වරූපයෙන් පැවති වත්කම භාණ්ඩ ස්වරූපයකට පත්වීමක්. වර්තමානයේ මිල ඉහළ යෑමේ ප්‍රවණතාව අනුව දැන් අපි මිලදී ගත් රන් භාණ්ඩය 2022 වසරේ අගභාගය වන විට විශාල ලෙස ඉහළ යෑමක් සිද්ධ වී තිබෙන්නට පුළුවන්. එම නිසා රන් භාණ්ඩය තමන් ළඟ තබාගෙන සිටීම කෙනෙකුට මුදල් ලෙස වත්කම් ළඟ තිබෙනවාට වඩා ලාභදායී වන්නට පුළුවන්. මෙයත් ඉතිරි කිරීම් සිදුකළ හැකි තවත් ස්වරූපයක්. තවත් කෙනෙකුට සිතෙන්න පුළුවන් බැංකු ගිණුම්වල පොලී අනුපාතය අඩුයි, ඒ නිසා මම මේ මුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරනවා කියලා. ඒ අනුව කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගන්නවා. කොටස්වල මිල ඉහළ යන විට අප සතු වත්කම්වලත් මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට අපි රුපියල් 80,000ක මුදලක් මුලින් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළහොත්, තව මාස 3,4ක් වගේ යන විට ඒ මුදල ලක්ෂයක් වගේ මුදලකට වටිනවා. එතකොට බැංකුවක මුදල් තැන්පත් කර ඉතිරි  කරනවාට වඩා මෙලෙස ආයෝජනය කිරීම වඩා ලාභදායී වෙනවා. ඉතිරි කිරීම් විශාල ලෙස ඉහළ ගිහින්. ඒ අනුව මිනිසුන්ගේ ඉතිරි කිරීමේ ප්‍රතිලාභවලට අනුව වඩා තමන්ට වාසිදායක වන්නේ කුමක්ද යන්න බලා, ඒ අනුව තම වත්කම් ඉතිරි කිරීම් සිදුකරනවා. ඒ අනුව මූල්‍යමය වශයෙන් නොවෙයි, වෙනත් ස්වරූපයන් හරහාද ඉතිරි කිරීම් සිදුකරනවා. වර්තමානයේ පවතින තත්ත්වය මත මුදල් ලෙස ඉතිරි කිරීම් පවත්වාගෙන යෑම තරමක් දුර්වල වී තිබෙනවා. එයට හේතු වී තිබෙන්නේ බැංකුවල පොලී ප්‍රතිශත අඩු වීම. ඒ නිසා බැංකු ඉතිරි කිරීම් සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් මහජනතාව තුළ නැහැ. මේ අනුව ඒ ඒ වත්කම්වල මිල ගණන් අනුව වඩා ලාභදායී වන්නේ කුමක්ද යන්න බලා තම ඉතිරි කිරීම් සිදුකිරීමට මිනිසුන් පෙලඹෙනවා.

පුද්ගල ඉතිරි කිරීම් තුළින් ළඟා කරගත හැකි ඉලක්ක හා අරමුණු

මිනිසුන් මේ ඉතිරි කිරීම් සඳහා විශාල ලෙස පෙලඹෙන එක් හේතුවක් ලෙස සඳහන් කළ හැක්කේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් කුමන හෝ දෙයක් අයෝජනය කිරීමයි. අනාගතයේ කවරාකාර‌යේ සිදුවීම්වලට මුහුණදෙන්න සිදුවේවිදැයි නොදන්නා නිසා වැඩි වශයෙන් ඉතිරි කිරීමට පෙලඹෙනවා. තවත් සමහර දෙනෙක් අනාගතයේ ආදායම් ඉහළ දමා ගැනීමේ අරමුණින් ඉතිරි කිරීම් සිදුකරනවා. උදාහරණයක් ලෙස වර්තමානයේ මට තිබෙන්නේ රැකියාව පමණක් බැවින්, තව අවුරුදු 5ක් 6ක් යන විට ඉතිරි කිරීම් ප්‍රවර්ධනය කරලා ඒ හරහාත් යම් අාදායමක් රැකියාවට අමතරව ලබාගැනීමට පෙලඹෙනවා. ඒ අනුව අනාගතයේදී තමන්ගේ පරිභෝජනය ඉහළ දමා ගැනීමට හැකිවෙනවා. මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට ගත් විට පොදු තත්ත්වයක්. මේ ඉතුරු කිරීම්වල තවත් පැත්තක් තමයි ව්‍යාපාර වගේ දේ තුළින් අයෝජනය කිරීම. මේ තුළින් අයෝජනය ඉහළ දමා ගැනීමට ඔවුන් පෙලඹෙනවා. ආයෝජනය එකම මට්ටමින් තබාගන්න බැහැ. ව්‍යාපාරයක් ගත් විට එහි ක්‍රියාකාරීත්වය වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට, ව්‍යාපාරය තව තවත් පුළුල් කිරීමට මුදල් අවශ්‍යයි. මේ සඳහා වඩා ලාභදායී ක්‍රමය වන්නේ තමන්ගේ අාදායමින් කොටසක් ඉතුරු කරලා ඒ අවශ්‍ය ප්‍රාග්ධනය සකස් කර ගැනීමයි. මේ තුළදී ඉතුරු කිරීමේ අරමුණ වෙනස්. අපි විශ්‍රාමිකයන් ගතහොත් ඒ පිරිස තමන්ට ලැබෙන විශ්‍රාම වැටුප අනාගතයේ ඉතිරි කිරීමක් ලෙස යොදා ගන්නවා. මොවුන් අපි සලකන්නේ අනාගතයේ ප්‍රයෝජනය උදෙසා ඉතුරු කිරීම් සිදුකරන පිරිසක් ලෙසයි. මේ අනුව විවිධ වූ ප්‍රතිලාභ, අරමුණු ඇතිව මිනිසුන් ඉතුරු කිරීම සඳහා පෙලඹෙනවා.

වඩා ඵලදායී මූල්‍යමය ඉතිරි කිරීම්ද, භෞතිකමය වශයෙන් සිදුකරන අයෝජනයන්ද?

අපි ඉතිරි කිරීම් බැංකු තැන්පතුමය ස්වරූපයට පවතින්නේ නම් සියල්ලම සිදුවන්නේ බැංකු ක්‍රමයට. මෙලෙස බැංකු ක්‍රමයට සියල්ලම සිදුවීමේ එක් වාසියක් තමා අපිට අවශ්‍ය වූ විට හැකි ඉක්මනින් ඒ ඉතිරි කිරීම් ලබාගැනීමට හැකි වීම. ඒ අනුව ද්‍රවශීලතාව ඉක්මනින්ම ලබාගත හැකියි. ඒ වගේම බැංකුවලට මේ මුදල් ලැබුණු විට ඔවුන්ට හැකියාව ලැබෙනවා වඩා ඵලදායී ලෙස මේවා ආයෝජනය කිරීමට. අනිත් අතට අපි බැංකුවල මුදල් නොදා ඉඩම්, රත්තරන් වගේ දේවල්වලට අයෝජනය සිදුකරනවා නම් අපිට ඉඩමක් හදිසියේ විකුණා ගැනීමට අවශ්‍ය වුවහොත්, ඒවා බැංකුවකින් මුදල් ලබාගන්නා පහසු වෙන්නේ නැමැ. ද්‍රවශීලතා ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. තමුත් මිනිසුන් මේ වත්කම් සඳහා වැඩි වශයෙන් පෙලඹෙන්නේ පොලී අනුපාතය, ආර්ථිකය අඩුවෙලා, උද්ධමනය වැඩි වීමක් සිදුවන විටයි. ඒ අනුව උද්ධමනය වැඩි වන විට මූල්‍යමය වත්කම් තබාගැනීම අවාසියි. හේතුව ඒ හරහා මුදල්වල අගය පහළ බැසීමක් සිදුවෙනවා. උදාහරණයක් ලෙස උද්ධමනය 10%ක් දක්වා වැඩි වී තිබෙනවා. නමුත් බැංකුවල පොලී අනුපාතය 5%ක් හෝ 6%ක්. ඉතින් මම අවුරුද්දක් මගේ ඉතිරි කිරීම් බැංකුවක තිබ්බොත් රුපියල් ලක්ෂයකට අවුරුද්දකට පස්සේ ලැබෙන්නේ රු.6000යි. එතකොට මගේ ඉතිරි කිරීම රුපියල් එක්ලක්ෂ හයදාහයි. හැබැයි අවුරුද්දකට පස්සේ භාණ්ඩ මිල ගණන් 10%ක වේගයෙන් වැඩි වෙලා තිබෙනවා. එතකොට මට එක්ලක්ෂ හයදාහෙන් අවුරුද්දේ මුල මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණය වර්ෂය අවසානයේ මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. හේතුව මුදල්වල අගය 10%කින් පිරිහිලා. මගේ තැන්පතුව වැඩි වෙලා තියෙන්නේ 6%කින් පමණයි. 4%ක අහිමි වීමක් තියෙනවා. එතකොට මම කැමති නෑ මුදල් හැටියට මගේ ඉතුරු කිරීම් තබාගන්න. ඊළඟට කෙනෙක් පෙලඹෙනවා ඉඩම් මිලදී ගන්න. ඉඩම්වල මිල වෙනස් වෙනවා 10% හෝ ඊට වඩා වැඩි වේගයකින්. එතකොට මට මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ද්‍රවශීලතාව පිළිබඳ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය විටකදී ඉඩම විකුණා ගැනීමට නොහැකි වුවහොත්, විකුණුම් සිද්ධ කිරීමට යාමේදී විවිධ ගැටලු මතුවෙනවා. මුදල් ඉඩම් බවට පත්කරලා, නැවත ඉඩම මුදල් බවට පරිවර්තනය සිද්ධ වීමේදී සිදුවන අපහසුතාවන්, වෙනත් ආකාරයේ වියදම් මේ ඔක්කොම සලකා බලන්න වෙනවා.

රටේ ආර්ථිකමය ගැටලු හා ආපදා අවස්ථාවක් පවතින විටකදී ඉතිරි කිරීම් කළ හැකිද?

අපි ඉතුරු කිරීම් අර්ථ දැක්වූවේ ආදායමින් පරිභෝජනය කරලා ඉතිරි වෙන කොටස ලෙස. නමුත් දැන් ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවන් සපුරාගැනීමට බොහෝ මිනිසුන්‌ෙග් ආදායම ප්‍රමාණවත් නොවීම. ඉතින් මෙවැනි අවස්ථාවකදී පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ට ඉතිරි කිරීම කෙසේ වෙතත්, පරිභෝජනයවත් අවශ්‍ය පරිදි පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඒ නිසා මේ ඉතුරු කිරීම් සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙන්නේ. ඉතිරි කිරීම් අඩපණ වෙලා තියෙන්නේ.

රටක ඉතිරි කිරීම් වැදගත් වන්නේ කෙසේද?

ඉතිරි කිරීම් ගත්තොත් පෞද්ගලිකව තම තමන්ගේ ජීවිතය නගාසිටුවගන්න, අනාගතයේ අාදායම් වැඩි කරගන්න, ව්‍යාපාරයක් නම් අයෝජන ඉහළ දමා ගැනීමට, තරගකාරී ලෙස ආයෝජන අවස්ථා ඉහළ දමා ගැනීමට ඉතිරි කිරීම් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අනුව ඉතිරි කරනවා කියන්නේ අනාගතය සරු වෙනවා කියන එක. ඉතින් රටකටත් මේ ඉතිරි කිරීම් අත්‍යවශ්‍යයි. ඉතිරි කිරීම් නැතුව එකපාරට අයෝජන කටයුතු සිදුකරන්න ,විවිධ දේවල් සඳහා මුදල් සොයා ගැනීමට අපහසුයි. මොකද එකපාරටම මුදල් අච්චුගසලා ආර්ථිකයට දමන්න බෑනේ. එහෙම දැම්මාම වෙන්නේ මුදල් ප්‍රමාණය වැඩිවෙලා උද්ධමනය ඉහළ යෑමක්. උද්ධමනය ඉහළ යන විට බැංකුවලට මුදල් ඉතිරි කිරීම් එන ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා බැංකු කටයුතු නිසි පරිදි සිදුකරගෙන යෑමට නොහැකි වෙනවා. මුදල් බැංකුවලට එන ප්‍රමාණය අඩු වුණාම බැංකුවලට ණය දීම්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රශස්ථ ලෙස සිද්ධ කරගෙන යෑමට අමාරු තත්ත්වයක් ඇතිවෙනවා. ඒ අනුව රටේ ඉතිරි කිරීම් අඩු වීම එක් පැත්තකින් සිදුවන විට අනෙක් අතට බැංකුවල ද්‍රවශීලතාව පහළ යෑමක් සිද්ධ වෙනවා. මූල්‍යමය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට බැංකුවලට හැකියාවන් නොලැබී යනවා.

කෂිනි හපුආරච්චි



Recommended Articles