ලැප්ටොප් නිසා සරසවි සිසුන් ණය වීම


යහපාලන ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට අසත්‍ය පවසමින් ඉදිරියට පැමිණි ගමන දැන් අවසන් වීමට පටන්ගෙන තිබේ. එකින් එකට බොරු පොරොන්දු දුන් ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ලබාදුන් බොරු පොරොන්දුවක් හේතුවෙන් එම සිසුන්ට අත්ව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ අතර, එය නොමිලේ ලබාදෙන බව පැවසුවද, සිදු වූයේ ලැප්ටොප්වල වටිනාකම වාරික වශයෙන් සරසවි සිසුන්ට හිමිවන මහපොළ වාරිකයෙන් මාස් පතා කපා ගැනීමට කටයුතු කිරීමය.

මේ වන විට සරසවි සිසුන්ට මාස තුනක පමණ කාලයක් මහපොළ වාරික ලැබී නොමැත. ඒ  හේතුවෙන් සරසවි සිසුන් ලබාගත් ලැප්ටොප් සඳහා ගෙවිය යුතු වාරිකයද මාස තුනක් හිඟවී තිබේ. එක් මසක ලැප්ටොප් වාරිකය රුපියල් 3,200ක් වන අතර, මාස තුනක් සඳහා හිඟ වී ඇති මුදල රුපියල් 9,600කි.

එම හිඟ මුදල් නොගෙවීමට කටයුතු නොකළහොත් අදාළ මුදල් අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයට යන බවට ලැප්ටොප් පරිගණක ලබාදුන් සමාගම් මේ වන විට සරසවි සිසුන්ට ලිපි මගින් දන්වා තිබේ. ඒ අනුව ආණ්ඩුව දැන් සරසවි සිසුන් ණයකාරයන් බවට පත්කර තිබේ. ආණ්ඩුව වහාම මැදිහත්ව මෙම ගැටලුවට පිළිතුරක් ලබාදිය යුතුව තිබේ. 

ආණ්ඩුවේ පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කරන පාර්ශ්ව අතර වෘත්තීයවේදීහු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉදිරියෙන් පසුවෙති. ආණ්ඩුවට සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, මුලින්ම කළ යුතු වන්නේ මෙම දෙපාර්ශ්වය මර්දනය කිරීමය. එහි පළමු පියවර මේ වන විට ආරම්භ වී තිබෙන අතර, ඔවුන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ සරසවි සිසුන් මර්දනය කිරීමය.
බැඳුම්කර වංචාවට මහපොළ අරමුදල යෙදවීම මගින් මේ වන විට සරසවි සිසුන්ට මහපොළ ගෙවා ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ සඳහා විරෝධය දක්වන සිසුන්ව කඳුළුගෑස්, ජල ප්‍රහාර මෙන්ම බැටන් පොලු ප්‍රහාර හරහා මර්දනය කරමින් සිටියි. 

අනෙක් අතින් විශ්වවිද්‍යාල සිසුන් සාකච්ඡා සඳහා අමාත්‍යාංශයට පැමිණි විට අමාත්‍යාංශ ගේට්ටු වැසීමට කටයුතු කරයි. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන බවට පවසමින් පැමිණි ආණ්ඩුව මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතියම පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

වර්තමානය වන විට රටේ විරැකියාව ඉහළ ගොස් තිබේ. කුමන හෝ උපාධියක් සම්පූර්ණ කිරීමෙන් පසුව රැකියා අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ. මෙම පිරිසට රජයේ රැකියා ලබා දීමට නොහැකි නම්, විකල්පය වන්නේ ඔවුන්ට පෞද්ගලික අංශයේ හෝ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කිරීමය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හේතුවෙන් මේ වන විට පෞද්ගලික අංශයේ හෝ රැකියා උත්පාදනය වීමක් සිදු නොවේ.  බදු පිට බදු පැටවීමත්, ආයෝජකයන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගෙන ගොස් ඔවුන්ව අධෛර්යමත් කිරීමත් හේතුවෙන් රට තුළ ආයෝජන සිදු නොවේ. එවැනි තත්ත්වයක් හමුවේ රැකියා උත්පාදනය සිදු නොවේ.

මේ සියල්ල වසා ගැනීමට ආණ්ඩුවට ඇති එකම තුරුම්පුව නම් රටේ සම්පත් විකිණීමය. එය හම්බන්තොට වරායෙන් ආරම්භ වූ අතර, මත්තල ගුවන්තොටුපොළ, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණය දක්වා දැන් මෙය විහිදී ගොස් ඇත. ආණ්ඩුව මත්තලට ඉන්දියාවෙන් ආයෝජකයන් ගෙනෙන බවට පැවසුවද, ඉන්දියාව එය ප්‍රතික්‍ෂේප කරයි. මේ අතර, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මුවාවෙන් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයද ඉන්දියාවට අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. 

මේ සියල්ලම ඉදි කළේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඒ රටේ ජනතාවගේ මුදලිනි. ආණ්ඩුවට මේ ඉදිකිරීම්හි නම් පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම්, එම නම් වෙනස් කරමින් හෝ මෙම ව්‍යාපෘති රටට ඵලදායී ව්‍යාපෘති බවට පත්කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි.

ගාල්ල ක්‍රීඩාංගණය ගැනද මෙහිදී යමක් නොලියා බැරිය. ගාල්ල ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ලබාදුන් ක්‍රිකට් පිටියකි. එම පිටිය ආරක්‍ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීමක යම්කිසි ගැටලුවක් පවතින්නේ නම්, එම ඉදිකිරීම ඉවත් කර එයට පිළියම් යෙදීම කළ යුතු දෙයකි. ඒ හරහා ගැටලුව පහසුවෙන්ම විසඳා ගැනීමට අවස්ථාව තිබේ. අනෙක් අතින් මෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.

අනෙක් අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ අන් කවරදාටත් වඩා වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරයේ හොඳ හිත ලැබී ඇති බවයි. ඒ හරහාද මෙම ගැටලුව විසඳාගත හැකිය. එය කෙසේ වෙතත් wමේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මත්කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට ජාත්‍යන්තර බලපෑම් එල්ල වී තිබේ. 

ආණ්ඩුව සඳහන් කරනුයේ යුරෝපයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබුණද, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගත් තීරණය වෙනස් නොකරන බවයි. එසේ නම්, එම සහනය ලබා ගැනීම වෙනුවෙන් වැය කළ සියලු මුදල් මෙන්ම සඳහන් කළ පුරාජේරු වැදගත් නොවනු ඇත. 
මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිගින් දිගටම කරන චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමටද අපේක්‍ෂා කරමි. සම කැබිනට් ප්‍රකාශක ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශ පිළිබඳ ජනතාව මේ වන විට එතරම් තැකීමක් නොකරයි. නමුත් ඔහු දිගින් දිගටම පවසනුයේ රාජපක්‍ෂවරුන්ට ඩුබායි රටේ ගිණුම් පවතින බවය.

එම ගිණුම් පිළිබඳ සියලු තොරතුරු හෙළිව ඇති බවත්, එම ගිණුම් ලංකාවට ගෙනෙන බවත් ඔහු සඳහන් කරයි. නමුත් අප වගකීමෙන් පවසනුයේ අප හට ඩුබායිහි ගිණුම් නොමැති බවයි. නමුත් මහ බැංකුව කොල්ලකෑ පුද්ගලයන්ට ඩුබායිහි ගිණුම් පවතින්නේ දැයි සොයා බැලීමට කටයුතු කළ යුතු වෙයි. එමෙන්ම වත්මන් ආණ්ඩුවේ අවසන් කාලසීමාවේදී හෝ ජනතාවට වැදගත් වන ප්‍රකාශයක් සිදු කිරීමට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කටයුතු කළ යුතුව ඇත.

ලබන සතියේදී යළිත් හමුවෙමු! සුබ අනාගතයක්!



Recommended Articles