ලාංකීය බෞද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් පිරි කාන්තා විමුක්තියට අනුබල දුන් උදුවප් පොහොය


උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි.    එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළ පසු දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මය ඇසූ අනුලා දේවිය තමන් ඇතුළ අන්තංපුර ස්ත්‍රීන් 500ටද පැවිදි බව ඉල්ලා සිටියාය. තමන්ට එය කළ නොහැකි බව දැන්වූ මිහිඳු හිමියන් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ධර්මාශෝක රජු දැනුම්වත් කළ බව පැවසේ. එයින් පසු තම බෑනණුවන් වූ අරිට්ඨ කුමරු ඒ සඳහා පිටත් කරවීම උචිත යැයි සිතූ රජතුමා ඔහු කැඳවීය.

  “දරුව. ඔබ ධර්මාශෝක මහරජතුමාණන් වෙත ගොස් මහා බෝධියද සංඝමිත්තා තෙරණියද මෙහි වැඩමවාගෙන එනු හැකිදැයි විමසීය.

  “මටද පැවිදිවීමට අවසර දෙන්නේ නම් එය කළ හැකි යැයි* කුමරා අවධාරණය කළේය. සියල්ල එසේ සම්පාදනය විය.

    අනතුරුව  “මහබෝ රක්නා පිණිස අටලොස් කුලයක දෙවියන්ද, අටලොස් කුලයක ඇමතියන්ද, අට කුලයක බමුණන්ද, අට කුලයක කෙළඹියන්ද, ගොපළු කුලයන් සහ තරස් කුලයන්ද, කුඹල් කුලයන්ද, සියලු සේනා සම්බන්ධ කුලයන්ද, නාග යක්ෂ සම්බන්ධ කුලයන්ද, එකොළොස් නමක් මෙහණින්ද,  අරිට්ඨ කුමරුන්ද සමග නැවක නංවා මෙරට එවී යැයි..,  වංශ කතා දක්වයි.  එම පිරිස දඹකොළපටුන මුහුදු තීරයට පැමිණියේය.

   දේවානම්පියතිස්ස රජතුමා කරවටක් ගොස් එම බෝධි ශාඛාව පිළිගත්තේය. එයින්  අනතුරුව එම ධර්මදූත කණ්ඩායම පෙරහරින් අනුරාධපුරය දක්වා වැඩම කළ බවද පැවසේ.

   සමන්තපාසාදිසාව සහ මහාවංශය ඒ අසිරිමත් අවස්ථාව මෙසේ දක්වයි.

  “මහමෙවුනා උයනේදි කකුසද, කෝණාගම, කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලා පිටදුන් බෝධීන්වල දක්ෂිණ ශාඛා පිහිටවූ හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් පූජනීය වූ මහමෙව්නා උයනේ තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් පිහිටි තැන්හිම රාජාභරණයන්ගෙන් සැරසුන සොළොස් කුලයක ජනයන් පිරිවැරූ මහරජාණන් අතින් මිදී, අසූරියන් පමණ අහසට පැන නැගී බෝධීන් වහන්සේ මහත්වූ සවණක් රැස් විහිදුවා යළි මහරජ අත වැඩසිට කල්හී, බුදු වසින් දෙසිය තිස් හයවැන්නේ උදුවප් තුදුස්වකදා සූර්යයා අස්තගත වූ විට බෙරණ නැකතින් රෝපණය කළේය. 

  එකනෙහිම අංකුර අටක් පැන නැගී බෝරුක් අටක් බිහි විය. ඒවා දඹකොළපටුනේ නැව් ගොඩ බැස තැන්හිද, තිවක්ක බ්‍රාහ්මණ ගමෙහිද, ථූපාරාමය, ඉසුරුමුණිය, මහසෑමළුව, සෑගිරිවෙහෙර, කතරගම සහ සඳුන්ගමද රෝපණය කළ බව සඳහන් වෙයි.

   එතැන් පටන් ඒ ඒ කාලයන්හී රාජ්‍යත්වයට පත් රාජ්‍ය මහාමාත්‍යවරුන් විසින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පුදසත්කාර විධි පවත්වමින් අශෝක අධිරාජයාණන්ගේ දූත පිරිස විසින් ආරම්භ කර පවත්වාගෙන ආ වත්පිළිවෙත් නොකඩවා සිදුකළෝය.

  ඒ වන විට මිහිඳු හිමියන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්ව සිටි අනුලා දේවිය සංඝමිත්තා තෙරණියන් විසින් පැවිදි බිමට ඇතුළත් කළාය.

   උදුවප් පුරපසළොස්වක පොහෝ දිනයක සංඝමිත්තා මහ තෙරණිය මෙරටට වැඩම කරවීමත් සමග ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂූණී, උපාසක උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසගෙන් සමන්විත වීමද මෙම පොහෝ දිනයේ සිදුවූ තවත් අසිරිමත් අවස්ථාවකි.

  කල්යත්ම පැවති විවිධ ආක්‍රමණ හේතූන් මත මෙම හික්ෂුණී ශාසනය අකර්මණ්‍ය වීමේ ප්‍රතිඵලයක් ලෙස අද භික්ෂුණී ශාසනය මෙරට තුළ ස්ථාපනය වී නැත.

 පසුකාලීන දස සිල් මෑණිවරු

  කල්යත්ම උද්ගත වූ යම් කරුණු හේතුවෙන් භික්ෂුණී ශාසනය මෙරටින් අහෝසි වන තැනට කරුණු පත්විය .

   ඒ වෙනුවට අද වන විට ලක්දිව පුරා දස සිල් මෑණිවරුන්ගෙන් ඉටුවන මෙහෙය සැදැහැතියන් අතර ඇගයීමට පත්ව තිබේ. එනිසා ලංකාවේ දස සිල් මෑණිවරුන්ගේ සේවයේ ආරම්භය විමසීමටද මෙවැනි උදුවප් පුරපසළොස් පොහෝ දිනය වැදගත් බව සැදැහැතියෝ අවධාරණය කරති.

    දැනට ලංකාවේ ඇති පැරණිම සිල්මෑණි ආරාමය වන ලේඩි බ්ලේක්‍ ආරාමය මහනුවර, පේරාදෙණිය පාරේ පිහිටා ඇත. එහි ප්‍රධාන සිල්මෑණි ලෙස කොත්මලේ සුධර්මා සිල් මෑණියන් කටයුතු කරයි. උන්වහන්සේ 1952 එම වරය ලැබීමට වාසනාවන්ත වූවාය. උන්වහන්සේට දැනට වයස අවුරුදු 84කි.

     1905 වසරේදී  මහනුවර කේන්ද්‍ර කරගනිමින් උඩරට ප්‍රධානීහු දළදා මන්දිරයේදී කටුකැලේ ශ්‍රී සුධර්මාරාම උපාසිකාරාමය ආරම්භ කිරීමට පියවර ගත්හ. එවකට ලංකාණ්ඩුකාර බ්ලේක් ආර්යාව එහිලා මූලික කටයුතු කිරීමද වැදගත් කරුණකි. දැනට මෙම ස්ථානයේ වැදුම්පිදුම් ලබන බෝධිරාජයා රෝපණය කිරීමද එදින ඇය අතින් සිදුව ඇතැයි එහි ලේඛන දක්වයි.

   මෙම ආරාමයේ ආරම්භක කතා නායිකාව කැතරින් ද අල්විස් නම් වූවාය. ඇය දකුණේ බෙන්තර ග්‍රාමයෙහි මුදලි තනතුර දැරූ ඩේවිඩ් ද අල්විස්  සහ ලුවිනා ද අල්විස් දෙපළගේ එකම දියණිය වූවාය. ඇයගේ මව කතෝලික භක්තිකයෙකි. කුඩා කාලයේදීම තම මව මිය ගිය පසු පියාගේ රැකවරණය ලබමින් ඇය විවිධ භාෂා දැනුම සහ ශාස්ත්‍රයන් නිපුණ කළාය.

   තම පියා සමග නිවසට පැමිණ සල්ලාපයේ යෙදෙන කොස්වත්තේ වෙදමහත්මයා පවසන බුදුවදන් දහම්පාඨ ඇය උනන්දුවෙන් අසා සිටියාය.

    ඇයට වසර විසිපහක් සම්පූර්ණවෙත්ම පියා මිය ගියේය. ඇය මහනුවර නගරයේ නිවසක් මිලට ගෙන එහි පදිංචි වූවාය. එවකට මල්වතු මහ නාහිමියන් බැහැදැක පැවිද්දට අවසර පැතුවාය. ලංකාවේ භික්ෂුණී ශාසනය නොමැති නිසා එසේ කළ නොහැකි බව නායක හිමියෝ ඇයට පහදා දුන්හ.

   තම අරමුණ කෙසේ හෝ ඉටු කරගත යුතු යැයි සිතූ කැතරින් අල්විස් තරුණ උපාසිකාව එම කාන්තාවන් අටදෙනාද සමග බුරුමය බලා පිටත් වූවාය. එහිදී ත්‍රිපිටකාධාරී දොවේසන්ද්‍රා මෑණියන් යටතේ බුද්ධ ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලැබ හිසකේ කපා දමා කසට වර්ණ රෙද්දෙන් සැරසී බ්‍රහ්මචාරී ආශ්‍රමයට පත්ව සියලුදෙනා ලක්දිවට පැමිණියෝය.

   මහනුවරට පැමිණි ඇය  ලද දැනුම අධ්‍යාපනය අන් අයට ලබාදෙමින් දස සිල් මෑණි මෙහෙවර ආරම්භ කිරීමෙහි පුරෝගාමීව කටයුතු කළාය. තවදුරටත් 1907 චී ධර්මාරාම උපාසිකා දායක සභාව ආරම්භ කළාය. එම ආරමයට යාබද ගොඩනැගිල්ලක් බ්ලේක් ආර්යව මිලට ගත්තාය. එය ලේඩි බිලේක් ඉන්ස්ටිටියුට් නමින් බෞද්ධ අධ්‍යාපනයට වෙන් විය.

  එදා මිහිඳු හිමියන් සමයේ ආරම්භ වූ භික්ෂුණී ශාසනය යම් බාධක අභියෝග බලපෑම් ඉදිරියේ පවත්වාගෙන එමින්  අදටත් කාන්තාව වෙනුවෙන් දස සිල් මෑණිවරුන් දක්වා ඉටුවක මෙහෙවර පවතින්නේ වසර දෙදහස් පන්සියයකට ආසන්න අපේ උරුමයත්,  අපේකම සහ අපේ අනන්‍යතාව රැක දෙන යුග ගණනාවක් එක් කළ යදමක් වශයෙනි.

   උදුවප් පුර පසළොස්වක පොහෝ දිනය ගැන කතාබහට තවත් කාලීන වටිනාකමක් ලැබෙන්නේද එහෙයිනි.

සිරිපා වන්දනා සමය

උදුවප් පුරපසළොස්වක පොහෝ දිනය සමග බැදෙන තවත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ බුද්ධ ස්පර්ෂයෙන් පූජිත සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.

 රත්නපුර පැල්මඩුල්ලේ සමන් දේවාලයේ සිට සමන් දෙවියන්ගේ රුව සහ ආභාරණ අලංකාර රිය පෙරහරකින් ශ්‍රීපාදස්ථානය දක්වා වැඩම කරන්නේද උදුවප් පොහොය දිනයේය. එය වෙසක් පොහෝ දින දක්වා සිරිපා කඳු මුදුනේ තැම්පත් කර ජනතාවට වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව සැලසේ.

විමසුම සහ ඡායාරූප-ලාල් ජයසුන්දර



Recommended Articles