ලබන වසරේ මුල පුළුල් ජාතික පෙරමුණක් අපි බ්හි කරනවා


පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත බැවින් දේශපාලන පිටිය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ඒ පිළිබඳ සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සමග කළ සංවාදයකි මේ. 


වත්මන් දේශපාලන වාතාරණය සම්බන්ධව ඔබේ අදහස

අද වෙනකොට රටේ ජනතාවට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමහර දේශපාලන පක්ෂවලට තියෙන්නේ බලය ඩැහැගැනීමේ ප්‍රශ්නයක්. අද ගොවි ජනතාව ඉන්නවා දහසකුත් ප්‍රශ්න එක්ක, ව්‍යාපාරිකයන් ඉන්නවා බදු ගෙවාගන්න බැරිව, රාජ්‍ය සේවකයෝ විරෝධතා දක්වනවා පඩි-නඩි ගෙවලා නැතුව, විශ්වවිද්‍යාල දෙකක් වසා දමලා එතැනත් ප්‍රශ්න, මෙහෙම දහසකුත් ප්‍රශ්න තියෙද්දී පාලකයෝ විසඳගන්නේ ඒ අයගේ ප්‍රශ්න විතරයි. 

?අද වෙනකොට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකකමට අරගලයක් පවතිනවා නේද

 ඔව්, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට අවශ්‍ය විපක්ෂනායකකම ලබාගන්න. මෛත්‍රීපාල - රනිල් පාර්ශ්වයට ඕන ඒ අය කැමති කෙනෙකුට විපක්ෂනායකකම තියෙනවට. ඒ නිසා මහජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට පාලකයෝ තම තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට කටයුතු කරන බවක් තමයි පේන්න තියෙන්නෙ.

?එවැනි තත්ත්වයක මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා

අද මේ රට තියෙන්නේ විශාල අර්බුදයක. ඒ අර්බුද ටික පැත්තකට දාලා මැති ඇමතිවරුන්ගේ පඩිනඩි තර කරගෙන පාලකයන් ඉහළින් වැජඹෙන ක්‍රමයකට යන්න දෙන්න බැහැ. අද රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර නොදී, ඉන්න ටිකේ හම්බ කරගැනීමේ ක්‍රමවේදයකට යනවා නම් පසුගිය මැතිවරණයේ ලැබුණට වඩා බරපතළ විදියේ ප්‍රතිඵලයක් මේ රජයට ජනතාව ඉදිරියේදී ලබාදෙයි. 

?පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බවට රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ කරනවා

පළාත් සභා ඡන්දය බාලගිරි දෝෂය වගේ. පළාත් සභා 03 ක් විසිරෙව්වනේ, ඊළඟට අලුතින් පනතක් ගෙනාවනේ, පළාත් සභා මැතිවරණයටත් කොට්ඨාස ක්‍රමය යටතේ ඡන්දය තියන පනත දැන් සම්මතයි. දැන් ආණ්ඩුව කියනවා ජනවාරි ඡන්දය තියනවා කියලා. පසුගිය පළාත් සභා පනත සම්මත කළේ මාර්තු ඡන්දය තියනවා කියලා. මාර්තුවල දැන් කෑලිත් නෑ. දැන් ජනවාරි තියනවා කියනවා නම් ආණ්ඩුව මැතිවරණයට දින නියම කරන්න කලින් ප්‍රකාශ කරන්න ඕන මොන ක්‍රමයටද මැතිවරණය පවත්වන්නේ කියලා. එහෙම නැති නිසා අපට තාම විශ්වාස නෑ ජනවාරි තියයිද නැද්ද කියලත්. 

?ඔබ පසුගියදා ප්‍රකාශයක් කර තිබුණා 1948න් පසු නිසි නායකත්වයක් රටේ නොතිබුණු බවට. එය වගකීමෙන්ද ප්‍රකාශ කළේ

ඔව්. 1948 ඉඳන් රටේ නිසි නායකයෙක් හිටිය නම් මේ වගේ රටක් තියෙන්න බෑනේ. රට මෙච්චර ණය වුණ එකට මේ හිටිය සියලු පාලකයන් වගකියන්න ඕන. සදාචාරේ, සංස්කෘතිය වැටිච්ච එකට, මෙතෙක් පාරිසරික විනාශයට මේ ඔක්කොම නායකයෝ වගකියන්න ඕන. ඒ නිසා නිදහසින් පස්සේ අපේ රටේ හරිහමන් නායකයෙක් හිටියෙ නෑ. හිටියානම් ජාතිවාදය තියෙන්න බැහැ, ආගම්වාදය තියෙන්න බැහැ, රැකීරක්ෂා නැතිවෙන්න බැහැ. රට මේ වගේ දූෂිත වෙන්න බැහැ. එහෙනම් වර්තමාන නායකයන් ඇතුළු හිටිය සියලු පාලකයන් මේකට වගකියන්න ඕන. 

?ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ පසුගියදා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබුවා නේද

රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ ලක්ෂයකට ආසන්න පිරිසක් 88/89 කාලයේදී ඝාතනය වුණා. 71 අරගලයේදී දසදහසකට අධික ප්‍රමාණයක් ඝාතනය වුණා. මේ සියල්ලටම සාධාරණය ඉෂ්ට කළ යුතුව තිබෙනවා. මේ පවතින ධනවාදී ආණ්ඩුවලට පැමිණිලි කරලා නඩු දාලා අපි හිතන්නෙ නැහැ සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. නමුත්  විජේවීර සහෝදරයාගේ බිරිඳ, දරුවන් වෙනුවෙන් තම සැමියා සොයාදෙන ලෙස අධිකරණය හමුවට ගිය එක අයිතියක්, එයට අපගේ විරෝධයක් නැහැ. 

?නමුත් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ප්‍රකාශ කර තිබුණා මෙම පෙත්සමට ජ.වි.පෙ. සම්බන්ධයක් නැහැ කියලා 

මෙහෙමයි, අපි දන්නෙ නැහැ සහෝදරියගේ බලාපොරොත්තුව මොකක්ද කියලා. නමුත් අද බලයේ ඉන්න එජාපයම තමයි එදා අපේ සහෝදරයන් මරා දැමුවේ. එහෙම බැලුවම මිනීමරුවන්ගෙන් මිනීමැරුම් සම්බන්ධව සාධාරණයක් ඉල්ලා සිටීම ප්‍රතිඵලයක් නැති දෙයක්. අපේ රජයකදි මේ පිළිබඳ සොයා බලා අනිවාර්යයෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙනවා. 

?මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර මතගැටුම් නිර්මාණය වී තිබෙනවා නේද

පසුගියදා වෙල්ගම මහත්තයා ඒකාබද්ධයේ කීපදෙනෙකුට මල්ටිබැරල් ප්‍රහාරයක් එල්ල කළා. මහින්ද මහත්තයත් හීන් නූලෙන් තමන්ගේ සහෝදරයන්ට පවා ප්‍රහාර එල්ල කරනවා අපට පේනවා. පවිත්‍රා ජෝන්ට කැමති නැහැ, වෙල්ගම ඩිලාන්ට කැමති නැහැ. මොකද එයාලට තියෙන තැන නැතිවෙන නිසා. මේ අය බලන්නේ රටේ ජනතාවට සුගතියක් ඇති කරන්න නෙමෙයි තමන්ගේ තැන බේරගන්න විතරයි. 

?එහෙත් හිටපු ආරක්ෂ ලේකමිවරයා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා බවට මත පළවෙනවා නේද

බලයට එන්න එතුමාගේ අදහසක් ඇති. එහෙම අදහස තිබුණු අය ඉතිහාසයෙත් හිටියා. අනාගතයෙත් ඉඳියි. නමුත් අවසානය තීන්දු කරන්නෙ ජනතාව. කොහොම වුණත් ගෝඨාභය මහත්තයට ජනතාව තීන්දුව දෙන්න පෙර අයියලගෙන් සහ පවුලෙන් බේරෙන්න වෙයි. එතන අපට පේනවා ප්‍රශ්නයක් තියෙන බව.

?මහ බැංකු වංචාව සම්බන්ධව තවමත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැහැ නේද

රනිල් මහත්තයලා බලයට ආවේ හොරු අල්ලනවා කියලනේ. දැන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ අල්ලපු හොරෙකුත් නැහැ. ඒ අය කරපු හොරකම් සොයන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේවට රනිල් මහත්තයා වගකියන්න ඕන. මේවගෙන් කාපු බීපු අය තාම එළිවුණේ නෑ. විශේෂ අධිකරණය දාලා අහනවා කිවේවට අහන පාටක් පේන්න නැහැ. ඒ නිසා අල්ලපු හොරෙකුත් නෑ, හොරකම් නවත්තලත් නෑ. ඒ අතරේ පක්ෂය ඇතුළේ ජනාධිපතිවරණයට මත නිර්මාණය වෙමින් පවතිනවා. රනිල් කපලා සජිත් නායකත්වය ගන්න බලාගෙන ඉන්නේ. නවීන්ලා ජනාධිපතිවරණයට එන්න පුළුවන්කම ලැබෙයි කියලා බලන් ඉන්නවා. මේ අය රටේ ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා තම තමන්ගේ දේශපාලන ඕනෑ එපාකම් ඉෂ්ඨ සිද්ධ කරගන්නයි ක්‍රියා කරන්නේ.

?ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට කොයි ආකාරයෙන්ද මුහුණදෙන්නේ

අපි රටට, ජාතියට ආදරය කරන, රට රකින්න රට ගොඩගන්න පුළුවන් වැඩපිළිවෙළක් සහිතව, මේ රට ගොඩනැංවිය හැකි වැඩපිළිවෙළක් සහිතව යා යුතුයි කියන සියලු බලවේග ඒකරාශී කරගෙන පුළුල් ජනතා පෙරමුණක් නිර්මාණය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි පෙරමුණක් දැන් ගොඩනැංවෙමින් පවතිනවා. අපි ඒ වෙනුවෙන් ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ ජනහමු දසදහස ආරම්භ කොට තිබෙනවා. ලබන වර්ෂයේ මුල පුළුල් ජාතික පෙරමුණ අපි බිහි කරනවා. මේ රටේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් රට ගොඩගන්න බෑ කියන එක 70 වසරක් තුළ ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අලුත් භාවිතාව තුළින් රට ගොඩගන්න අපි සූදානම්. ජනතාවට ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන්න කියලා.



Recommended Articles