ලංකාවේ පළමු වරට වාචිකව පිළිතුරු සපයා උපාධිය ලබාගත් කෑගල්ලේ තිළිණි නිමේෂා


උපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට සහ විශ්වවිද්‍යාලයේ සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුගියදා ‍උපාධිය හිමිකර ගත්තාය.යූ.ජී. තිළිණි නිමේෂා ජයතිලක (අවු.26) නමැති මෙම උපාධිධාරිනියගේ පියා යූ.ජී. පුෂ්පකුමාර ජයතිලකය. මව ඩී.ජී. ධම්මිකා කුමාරි සෙනෙවිරත්නය. ඔවුන් දෙදෙනාම දැනට ගුරුවරුන් වන අතර, තිළිණිගේ එකම බාල සහෝදරයා වන යූ.ජී. චතුරංග ජයතිලක කටුනායක තාක්‍ෂණ විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබයි.

1992 ජුනි 25 වැනිදා කෑගල්ල මහ රෝහලේදී උපන් තිළිණි නිමේෂා ජයතිලක උපතින්ම දැක්වූ ආබාධිත තත්ත්වයට රෝහල් ගණනාවක ප්‍රතිකාර ලබා ගත්තද සුව නොවූවාය. කොළඹ ජයසිංහ විද්‍යාලයෙන් හා කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිමේෂා, පසුව ලංකාවේ එකම විශේෂිත කනිෂ්ඨ විද්‍යාලය වූ කෑගල්ල අඹන්පිටිය විශේෂ කනිෂ්ඨ විද්‍යාලයට 2004 වර්ෂයේදී ඇතුළත් වූවාය.

ඇය අධ්‍යාපනය ලැබීමට රෝද පුටුවක් ආධාරයෙන් පාසලට ගොස් තිබූ අතර, අකුරු ලිවීමට අපහසු බැවින් ගුරුවරුන් උගන්වන අවස්ථාවේදී ඇහුම්කන් දී පසුව විභාගවලදී පිළිතුරු ලබාදී ඇත්තේ වාචිකවය. ලංකාවේ පළමු වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සැපයූ එකම ශිෂ්‍යාව වන්නේද නිමේෂාය. 2012 වර්ෂයේදී බෞද්ධ සංස්කෘතිය, සිංහල හා දේශපාලන විද්‍යාව යන විෂයයන් යටතේ කලා අංශයෙන් උසස් පෙළ සඳහා පෙනීසිටි ඇය ඉන් ඉතා විශිෂ්ට ලෙස සමත්ව ඇත. 

නිමේෂා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරමින් පසුගිය 05 වැනිදා පැවැති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වැනි උපාධි උත්සවයේදී මෙරට සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉහළින් සමත් වෙමින් උපාධියක් හිමිකර ගත් එකම උපාධිධාරිනිය ලෙස ඉතිහාසගතද වූවාය.‍මේ පිළිබඳ අදහස් දැක්වූ තිළිණි නිමේෂා ජයතිලක,

"මගේ දෙමවුපියන් මේ ජයග්‍රහණය වෙනුවෙන් දිවාරෑ නොබලා වෙහෙස මහන්සි වුණා. 2004 වර්ෂයේ කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇවිත් 2009 වසරේ සාමාන්‍ය‘ පෙළ විභාගයට පෙනී සිට ඉහළින් සමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මට උසස් පෙළ කරන්න කෑගල්ල රංවල මහා විද්‍යාලයට යන්න සිදු වුණා. එම විද්‍යාලයේ පන්ති තිබුණේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයක. මට ඒකට යන්න බැරි නිසා එවකට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යව සිටි මහීපාල හේරත් මහතා අඹන්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ආපු දවසක මට උසස් පෙළ විභාගය ලියන්න රංවල විද්‍යාලයට යන්න බැහැ, ඔබතුමාට පුළුවන් නම් මට උසස් පෙළ ඉගෙන ගන්න මෙම විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න කියා මම ඉල්ලීමක් කළා.

පසුව මහඇමතිතුමා මා වෙනුවෙන්ම උසස් පෙළ ගුරුවරුන් මෙම විද්‍යාලයට එවලා කනිෂ්ඨ විද්‍යාලයක්ව තිබූ අඹන්පිටිය විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්කළා. මා මේ වෙලාවේ මහ ඇමතිතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මගේ අම්මයි තාත්තායි දෙන්නා මාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න හැමදාම ත්‍රි‘රෝද රථයෙන් අරන් ගියා. ඒ දෙන්නත් ළඟ පාසලකට ස්ථාන මාරු හදා ගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෙනම විශේෂ ඒකකයක් මටම කියලා ආරම්භ කළා.

දැන් මට පස්සේ ඒ ඒකකයෙන් තවත් විශාල පිරිසක් ඉගෙනුම ලබනවා. මා මේ තැනට එන්න විශ්වවිද්‍යාලයේ කථිකාචර්යවරු, මහාචාර්යවරු, ශිෂ්‍යාවන් මට ගොඩාක් උදවු කළා. උසස් පෙළ සමත් වෙලා මගේ බලාපොරොත්තුව තිබුණේ මහාචාර්යවරියක් වෙලා විශ්වවිද්‍යාලයේ උගන්වන්න. නමුත් ගොඩාක් ඉගෙන ගත්ත අය තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. එතැනදී අපට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඊට වඩා මට හිතුණා මගේ සීයා, කිරිඅම්මා සහ මවුපියන් ගුරුවරුන් නිසා මමත් ගුරුවරියක් වෙලා පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවලට උගන්වන්න. මොකද බෞද්ධ සංස්කෘතිය මට හොඳට පුළුවන්. මට දැන් ඒ අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතාත්, මාගේ බාල සහෝදරයාත් මා වෙනුවෙන් කළ කැපවීම අගය කර සිටිනවා" යැයි ප්‍රකාශ කළාය.


 


විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න අපි සූදානම් 

- පේරාදෙණිය විශ්වවිද්‍යාලය විශේෂ අවශ්‍යතා සම්පත් ඒකකයේ අධ්‍යයන සම්බන්ධීකාරක ආචාර්ය ලීනා සෙනවිරත්න මහත්මිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සම්පත් ඒකකයේ මේ වන විට ළමයින් 30ක් පමණ අධ්‍යාපනය ලබනවා. මෙහි ඉන්න ළමයින් ශාරීරීක ආබාධ සහිත වූවන්. මානසික ආබාධ සහිත කිසිවෙකු මේ ඒකකයේ නැහැ. මේ දරුවෝ විභාගවලට ඉදිරිපත් වුණාම විභාග සමත් වෙන්න පිළිතුරු දෙන මාධ්‍යයන් කිහිපයක් තිබෙනවා. 

බ්‍රේල් මාධ්‍යයෙන් පිළිතුරු ලිවීම සහ වාචික පරීක්‍ෂණවලට සම්බන්ධ වී පිළිතුරු සැපයීම ඒ අතරින් ප්‍රධානයි. මේ ආකාරයට විභාග පවත්වන්න අපට බොහෝ අය අවශ්‍ය වෙනවා. ඒ මොකද වාවික පරීක්‍ෂණවලට පිළිතුරු සැපයීමේදී ගුරුවරුන් විසින් තමයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන්නේ. පැය දෙකේ විභාග අපි පවත්වන්නේ. එහිදී ළමයා විසින් ප්‍රශ්නයට උත්තරය කියවද්දී ගුරුවරයෙක් විසින් පිළිතුරු පත්‍රය ලියනවා. 
ළමයා කියන පිළිතුරු අපි පටිගත කරලා සීඩී තැටිවලට ගන්නවා. උත්තර පත්‍රය සමග ඒ සීඩී තැටිය අමුණනවා. ලියපු උත්තර පත්තර සහ මේ සීඩී තැටි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි ලකුණු ලබා දෙන්නෙ. බොහොම හොඳ විශ්වාසනීයත්වයකින් යුතුවයි අපි මේ විභාග පවත්වන්නේ. විභාග කොන්දේසි කඩකරන්නේ නැහැ. 

බ්‍රේල් මාධ්‍යයෙන් පිළිතුරු සපයන ළමයින්ගේ පිළිතුරු පත්‍ර බ්‍රේල් පරිවර්තකයෙකුට යොමුකර පසුව ගුරුවරයාට උත්තර පත්‍රය යොමු කරනවා. මේ ආකරයට තමයි අපි මේ ඒකකයේ විභාග කටයුතු කරන්නෙ. ඉතා හොඳට පිළිවෙළට අපේ විශ්වවිද්‍යාලය තුළ එය සිදු කරනවා. 2013 වසරේ පටන් මම මේ ඒකකයේ අධ්‍යාපන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනවා.

මේ ළමයින් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම්. මම වගේම මේ ඒකකයේ වැඩ කරන සියලු දෙනා බොහෝම කැපවීමෙන් වැඩ කරනවා. තිළිණි නිමේෂා ජයතිලක දරුවා ගැන කතා කරනවා නම් එයා හරිම දක්‍ෂ දරුවෙක්. සියලු ළමයින්ගේ හිත දිනාගෙන හිටපු දරුවෙක්. හැමෝම එයාට උදවු කළා. එයාට දවල්ට බත් කවන්නෙත් එයාගේ යාළුවෝ. ඒ තරම් හොඳට එයාව බලා ගත්තා. අපේ ඒකකයේ ඉන්න මිස් කෙනෙක් එයා ගැන ගොඩක් හොඳට හොයා බැලුවා. ගුරුවරු එයා වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. විශේෂ අවශ්‍යතා සම්පත් ඒකකයේ කටයුතු තවත් සාර්ථකව ඉදිරියටත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

චමින්ද ජයලත් / චාමර සම්පත් 



Recommended Articles