මේ මහ මැතිවරණ පැවැත්වෙන සමය බැවින් මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පිළිබඳවද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු විය. එබැවින් මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ කොමිසමේ කාර්යභාරය පිළිබඳ %අද^ අපි ඔහු සමග සාකච්ඡා කළෙමු. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සමග දෙමළ භාෂාවෙන් සිදුකළ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙසේ පළවේ.
මහ මැතිවරණය සඳහා මේ වනවිට තිබෙන සූදානම කෙබඳුද?
අපි සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡා කරලා තමයි මේ ඡන්දය පවත්වන්න තීරණය කළේ. ඉතාමත් පරිස්සමෙන් ගොඩක් අවධානයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්දය පවත්වන ලෙස සෞඛ්‍ය අංශවල අය යෝජනා කළා. දැනට අපි පෙරහුරු මැතිවරණ කිහිපයක් අත්හදා බලමින් යනවා. මේ වනවිට පෙරහුරු මැතිවරණ 13ක් පමණ පවත්වා තිබෙනවා.
ජනතාව ඡන්දය දාන්න එද්දී අත් දෙක සේදීම, මීටරයක පරතරය තබාගැනීම, මුහුණු ආවරණ සහ අත් ආවරණ දැමීම යනාදී දේවල් ප්‍රමුඛ සෞඛ්‍ය මාර්ගෝපදේශ බවට පත්වෙලා තිබෙනවා.
අපි දැනට පැවැත් වූ ආදර්ශ මැතිවරණ බලද්දී මිනිත්තුවක් ඇතුළත පුද්ගලයන් දෙදෙනෙකුට ඡන්දය දාන්න පුළුවන්. මේක සාමාන්‍ය වෙනදා තියෙන වේගය එක්ක සංසන්දනය කරද්දී ලොකු වෙනසක් නෑ. නියමිත වෙලාවට පවත්වලා ඉවර කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා.
මනාප ගණන් කිරීම සම්බන්ධයෙන් කතා කළොත්?
මනාප ගණන් කිරීමේ කටයුතු ඊළඟ දවසේ කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඡන්ද ගණන් කරන කටයුතුවලදී තමයි ගොඩක්ම ගැටලු මතුවෙන්නේ. ඒ කියන්නේ පොඩි කාමරයක ගොඩක් අය එකතු වෙලා එක්කෙනෙක් තව කෙනෙක්ගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව ඡන්ද ගණන් කරන කටයුතු කරන්න ඕනේ. ඒ හින්ද මනාප ගණන් කරන්න සිද්ධ වෙන්නේ ඊළඟ දවසේ. එතකොට ගණන් කිරීමේ කටයුතු දවස් දෙකක් සිද්ධ වෙනවා. සමහර විට වසංගත තත්ත්වය අඩු වෙනවනම් අපිට මීට වඩා පහසුවෙන් ඡන්දය තියන්න පුළුවන් කියන අදහසින් අපි වැඩ කරගෙන ඉදිරියට යනවා.
මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර කටයුතු ගැන ඔබගේ උපදෙස් මොනවාද?
මේ පාර මැතිවරණ ව්‍යාපාරය වෙනස් ආකාරයට තමයි සිද්ධ කරන්න වෙන්නේ. වසංගත රෝග පැතිරීමේ අවදානම ගැන අවධානය යොමු කරන්න වෙනවා. ජනතාව එක්රැස් වෙන එක වළක්වන්න වෙනවා. එය තමයි ප්‍රධානම කාරණය. ජනතාවගේ ගෙවල්වලට ගිහින් ප්‍රචාරණ කටයුතු කරද්දී තුන් දෙනක් පමණයි යන්න ඕනේ. මැතිවරණ රැස්වීම් තියද්දී 100කට වඩා වැඩි පිරිසක් එක්රැස් වෙන්න හොඳ නෑ. ඉස්සර වගේ ලොකු රැස්වීම් තියන්න බෑ. පොඩි පොඩි රැස්වීම් ගොඩක් තමයි තියන්න වෙන්නේ. මේවා නීති විදිහට ක්‍රියාත්මක කිරීමේ අපහසුතා තියෙනවා. ඒ හින්දම මැතිවරණ මාර්ගෝපදේශ නිරෝධායන පනත යටතේ නිකුත් කරන්න කියලා අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ සහ ඩිලාන් පෙරේරා මහතාගේ පියාගේ අවමංගල්‍ය උත්සව සිදු කරපු ආකාරය අපි දැක්කා. එහිදී ගොඩක් ජනතාව එක්රැස් වුණා. සමහර වෙලාවට දේශපාලනඥයන් නීතියට අනුව වැඩ කරන්න ඕන කියන අදහස එයාලගේ හිත්වල නෑ. දේශපාලනඥයන් මෙහෙම කරද්දී පොලීසියත් දැක්කේ නෑ වගේ නිශ්ශබ්දව ඉන්නවා.
ඒ වගේම තමයි ඡන්ද කටයුතුවලදී ආගම සම්බන්ධ කරගන්න එපා කියලා මැතිවරණ නීතිරීතිවල තියෙනවා. ඒත් අපි දකිනවා මේ නීතියත් ගොඩක් අය කඩ කරනවා. අපි සමහර වෙලාවට විස්තර එක්කම පොලීසියට පැමිණිලි කරත් පොලීසිය මොකුත් කරන්නේ නෑ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මාර්තු 12 වැනිදා අපි ඡන්දය ගැන එකඟතාවට ආව කරුණු සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කරන්න ඕනේ. ජනතාව කල්පනා කරලා විශ්වසනීය මාධ්‍යවල තියෙන දේවල් බලලා ඡන්දය දාන්න ඕනේ. නරක සහ වංචනික,දේශපාලනඥයන්ට ඡන්දය දෙන්න එපා. තාමත් දේශපාලන පක්ෂ එයාලගේ පරණ අයම තමයි ඡන්දවලට ඉදිරිපත් කරන්නේ. හැම පක්ෂයේම මේ ගැටලුව තියෙනවා. ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. අලුත් අය දේශපාලනයට එන්න ඕන. ඒකයි මගේ යෝජනාව.
මේ වනවිට ඇතැම් දේශපාලනඥයන් මැතිවරණ කොමිසම විචේනය කරනවා. කෝවිඩ් වසංගතය නිසා මැතිවරණය කල්දැමීමට සිදුවුණා. මේ සිදුවීම් නිසා මැතිවරණ කොමිසම පිළිබඳව ජනතාවට තියෙන විශ්වාසය බිඳවැටිලා කියල ඔබ හිතනවද ?
මැතිවරණ කොමිසම හැම කටයුත්තම නිවැරදි ආකාරයට සිදුකළා. මැතිවරණය අනිවාර්යයෙන් පවත්වනවා සහ පරිස්සමෙන් පවත්වනවා කියන තීරණයේ අපි මුල සිටම හිටියා. ඒ ගැන ජනතාව හොඳින්ම දන්නවා. අපිව විවේචනය කරන එකේ දේශපාලන පැත්තකුත් තියනවා කියලා ජනතාව දන්නවා. අපිව විවේචනය කරන එක වගේම සමහර අය අපිට යුඑන්පීකාරයෝ කියන එක වගේ දේවල්වල කිසිම සත්‍යතාවක් නෑ. ඒක මහජනතාව දන්නවා. අපි විවේචන එච්චර ගණන් ගන්නේ නෑ. අපි අපේ වගකීම් හරි ආකාරයෙන් කරනවා.
තව පිරිසක් ඡන්ද නීතියට එරෙහිව දිගින් දිගටම කටයුතු කරනවා. ඡන්ද නීතියට එරෙහිව කිසියම් පාර්ශ්වයක් කටයුතු කරද්දී ඒගොල්ලන්ට එරෙහිව කටයුතු කිරීම අපේ වගකීමක්. අපි අපේ වගකීම ඉෂ්ට කරන්න යද්දී අපිව බය කරන්න අපි එක් පැත්තකට විතරක් පක්ෂපාතියි කියලා විවේචන එල්ල වෙනවා. ඒකට අපි බයවෙලා ඒගොල්ලෝ නීතියට පටහැණිව කරන දේවල් අනුමත කරන්න ඕනේ කියලා එයාලා බලාපොරොත්තු වෙනවා.
එක පක්ෂයක නායකයෙක් කියලා තිබ්බා මාව මැතිවරණ කොමිසමෙන් ඉවත් කරනවා කියලා. මේ ඔක්කොම කරන්නේ අපි අපේ වගකීම ඉෂ්ට කරන්නැතිව ඉන්න ඕන කියන අදහසින් අපිව පාලනය කරන්න. මහජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ.
එක් පක්ෂයකට ඡන්දය දෙන්න එපා කියලා ඔබ පැවසූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. මේ ගැන ලොකු විවේචන එල්ල වුණා. ඒ කතාවේ සත්‍යතාව මොකක්ද?
මම කවදාවත් එවැනි ප්‍රකාශයක් කළේ නෑ. පක්ෂපාතීත්වයකින් තොරව මැතිවරණයක් පැවැත්වීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. අපි මැතිවරණ කටයුතු කරද්දී ඒ අය කරන නීතිවිරෝධී වැඩ කරන්න ඉඩ දෙන්න ඕන කියලා සමහර අය බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම කතා කළා. ඉන් පසු වෙන වෙන දේවල් ගැනත් කතා කළා.
ජනතාව රවට්ටන අයට, ඒ වගේම මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යන අයට ඡන්දය දෙන්න එපා කියලයි මම කිව්වේ. ඒක මම නැවතත් කියනවා. ඒ ගැන මට බයක් නෑ. එවැනි අයට මහජනතාව ඡන්දය දාන්න එපා. කොයි පාර්ශ්වය මේ දේවල් කළත් මහජනතාව ඒ ගැන බලල තීරණය කරන්න ඕන. ජනතාව රවට්ටන කිසිම කෙනෙක්ට ඡන්දය දෙන්න එපා කියලා මම නැවතත් කියනවා.
ඔබ පැවසූ එම විවේචනයට ලක්වුණ ඒ සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මගෙන් ඇසුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තුන් දෙනෙක් ඉද්දී ඇයි මාව විතරක් විචේචනය කරන්න් කියලා. එයාලා එහෙම ඇහුවේ මගේ මොනව හරි වැරදි තියෙනවද කියලා අහන අදහසින්.
මම සුළු ජාතිකයෙක්. මාව විචේනය කරද්දී ඒ අයට සනීපයි. මම සිංහල දන්නෑ. සිංහල පත්තරවල ලියන කරුණු මොනවද කියලා මට කියවන්නත් බෑ. ඒකට උත්තර දෙන්නත් මම දන්නෑ. ඒ හින්දා එය අතකොලුවක් කරගෙන තමයි ගොඩක් පත්තර බොරු කරන්නේ කියන අදහස මම කිව්වේ. හරියටම මේ වචනවලින් නැතත් ඒ අදහස තමයි මම කිව්වේ.
මම අවුරුදු 35ක් පුරා ඉගැන්නුවා. එක භාෂාවක් හෝ ජාතියක් සුළු කොට මම කතා කරලා නෑ. සිංහල භාෂාව කුණු භාෂාවක් කියලා මම කවදාවත් කිව්වේ නෑ. සිංහල භාෂාවෙන් ලියන කුණු ලිපි මට කියවන්න බෑ කියලා තමයි මම කිව්වේ.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ඇතැම් මාධ්‍ය බොහොම පරිස්සමෙන් තම වගකීම ඉටු කරනවා. ජනතාවට නිසි ආකාරයෙන් තොරතුරු සැපයීම, ජනතාවට සත්‍ය වාර්තා කිරීම සහ පක්ෂපාතීත්වයකින් තොරව කටයුතු කිරීම වැනි දේවල් මාධ්‍යවල වගකීමක්.
අපේ රටේ අන්තර්ජාල වෙබ් අඩවි පටන්ගත්තට පස්සේ මාධ්‍යවේදියෝ එක කතාවක් සම්පූර්ණයෙන් අහන් නැතුව බාගෙට අහගෙන ඒක තමන් ජනතාවට පළමුවෙන් කියන්න ඕන කියන හදිසියෙන් වාර්තා කරනවා. එවැනි රැල්ලක් තමයි දැන් හැදීගෙන යන්නේ. ඉස්සර පුවත්පතක් කියන්නේ විශ්වසනීය මාධ්‍යයක්. ඒත් දැන් ගොඩක් පුවත්පත්වලත්, අසත්‍ය පුවත් යනවා. විශ්වාස කරන්න බැරි පුවත් පළවෙනවා.
ඉස්සර රාජ්‍ය මාධ්‍ය පක්ෂපාතී වුවත් ඒවා දරන මතය තමයි පක්ෂපාතී වුණේ. ඒවායේ බොරු කරුණු තිබ්බේ නෑ. ඒ වගේම මාධ්‍ය විසින් ඇත්ත බොරු කරන්න හෝ බොරුව ඇත්ත කරන්න හොඳ නෑ. මම බොරුකාරයෙක් කියලා එක ඉංග්‍රීසි පත්තරයක කියලා තිබ්බා. මම බොරු කිව්වනම් මම කිව්ව බොරුව මොකද්ද කියලා එයාලා නිශ්චිතව කියන්න ඕන. ඒක තමයි නියම මාධ්‍ය සංස්කෘතිය. නමුත් එයාලා ඒක කියලා තිබුණේ නැහැ.
මම කවදාවත් ආයුධ සන්නද්ධ ව්‍යාපාරයට සහය දුන් කෙනෙක් නෙමෙයි. අරගලය කරපු අයගේ ප්‍රශ්න දිහා හැඟීම්බරව බලලා ඒවාට විසඳුම් දෙන්න ඕන කියන එකයි මගේ අදහස. ආයුධ අරගලය මම ප්‍රතික්ෂේප කරපු නිසා තමා මාව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති කරපු අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මට මගේ වැඩ කරගන්න දුන්නේ නැත්තේ. ඒ හින්දා මට රටින් යන්න සිද්ධ වුණා. මගේ ජීවිතේ අවුරුදු 10ක් වෙන රටවල ගත කරන්න සිද්ධ වුණා. ඒ වගේ තත්ත්වයක් නිසා රට දාලා යන්න වුණ මම 1977-1979 වකවානුවේදී එල්.ටී.ටී.ඊ. අයට මුදල් එකතු කරන්න විදේශ ගතවුණා කියලා එක ඉංග්‍රීසි පත්තරයක ලියලා තිබ්බා. ඒ කාල වකවානුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පටන්ගත්ත මුල් කාලය. මේ පුවත විශ්වාස කරන්න පුළුවන් එකක්ද? මේක අමූලික බොරුවක්. මෙහෙම ලියන්නේ ජනතාව රවට්ටන්න. මේවාගේ මාධ්‍යවලින් ජනතාවගේ හිත් කුණු වෙනවා. ඒවගේ මාධ්‍යයකට මම කැමති නැහැ.
ස්වාධීන කොමිෂන් සභා විවේචනයට ලක්වීම දිගින් දිගටම වෙනවා නේද?
ස්වාධීන කොමිෂන් සභා පිහිටවූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. නමුත් දැන් 19 වැනි සංශෝධනය නැත්තටම නැති කරන්න ඕනේ කියලා සමහර අය කියනවා. ඉස්සර ඒ ආයතනවල එක කොමසාරිස්වරයෙක් විතරයි හිටියේ. නමුත් දැන් කොමිෂන් සභාවකට සාමාජිකයන් තමයි පත් කරනවා. කොමිෂන් සභාවකට සභාපති කියලා කෙනෙක් නෑ. නමුත් රැස්වීම් පවත්වන්න කවුරු හරි නායකත්වය දෙන්න ඕන කියන පදනමෙන් තමයි සභාපති කියලා තනතුරක් තියෙන්නේ. රැස්වීමක් තියෙද්දී ඒක පවත්වාගෙන යන බලය විතරයි එයාට තියෙන්නේ. කොමිෂන් සභාවක තුන් දෙනෙක් ඉද්දි නීතියට පටහැණිව වැඩ කරන්න බෑ.
සමහර අය මේ වගේ කොමිෂන් සභා අභියෝගයට ලක් කරන්නේ මේ හේතුව හින්දා. 19 වැනි සංශෝධනය නැත්තටම නැති කරන්නයි කොමිෂන් සභා නැති කරන්නයි එයාලා ප්‍රචාරය කරනවා. නමුත් 19 වැනි සංශෝධනය යටතේ අපිව කොමිෂන් සභාවලින් ඉවත් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරලා තමයි අපිව ඉවත් කරන්න පුළුවන්. කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස එක්කෙනෙක් ඉද්දී එයා හිතුවක්කාර ලෙස කටයුතු කරන්න ඉඩ තියෙනවා. තුන් දෙනෙක් ඉද්දී කොමිෂන් සභාව වැරදි කරන්නේ නෑ. ඒක ස්වාධීනව කටයුතු කරනවා. ඒකයි වැදගත්ම කාරණය.
සමහරවිට මගේ අදහස් වැරදි වෙන්න පුළුවන්. නමුත් තුන් දෙනෙක් ඉද්දී පක්ෂපාතීත්වයකින් තොර තීන්දුවකට එන්න පුළුවන්. දැන් මානව හිමිකම් කොමිසමත් හොඳ ආකාරයෙන් කටයුතු කරනවා. කවුරුත් කොමිෂන් සභා අභියෝගයට ලක් කරන්න හොඳ නෑ. නීතියට විරෝධීව කටයුතු කරන අය තමයි මේ වගේ කොමිෂන් සභාවලට එරෙහි වෙන්නේ.
ඔබගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳවත් ඇතැමුන් ප්‍රශ්න කරනවා?
ඒකේ තියෙන ප්‍රශ්නය මොකද්ද? මම නීතියට අනුව පත් කරන ලද නිලධාරියෙක්. විශ්වවිද්‍යාල කථිකාචාර්ය සංසදයෙන් තමයි මාව මැතිවරණ කොමිසමට නිර්දේශ කළේ. ඒක ව්‍යවස්ථා දායක සභාව හිටපු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ පසුව එතුමා තමයි මාව මේකට සුදුස්සෙක් කියලා පත්කරලා තියෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන්ට තමයි ද්විත්ව පුරවැසිභාවය තියෙද්දී කටයුතු කරන්න බෑ කියලා නීතියේ තියෙන්නේ. මේ වගේ කොමිෂන් සභාවල ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ඉන්න බෑ කියලා නීතියක් නෑ.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වගේ කරුණු විවිධ රටවල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙක් නිසා මට ඒවායේ අත්දැකීම් තියෙනවා. ඒ වගේ අත්දැකීම් මෙවැනි කටයුතු කරද්දී ගොඩක් අවශ්‍ය වෙනවා. මං මේ තනතුරේ වැඩ කරන්න සුදුසු කෙනෙක් කියලා මම හිතනවා.