රේඩියෝ සිලෝන් එක කොළඹින් කතා කරයි.
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍ය කෙරෙහි ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක නාළිකා සහ සංකෙත් ගණන අපමණය. එදා 'කොළඹින් කතා කරමි' යනුවෙන් රේඩියෝ සිලෝන් නමින් ජනතාව අතරට පැමිණි ගුවන් විදුලිය ජනතාව සමග සම්බන්ධ කළේ වෑරලස් හෙවත් වයරලස් යන අරුතෙන් වහරට එක් කළ වදන ඇසුරෙනි. මෙරට ගුවන් විදුලි මහගෙදරට වසර 95ක් එළඹෙන මොහොතක මහා වංශ කතාවේ අත්දැකීම් බහුල නමක් ගත් ඩී.ඇම්. කොළඹගේ විද්වතුන් විසින් සම්පාදිත ගුවන් විදුලි වංශය නැමති ග්‍රන්ථය ඇසුරෙන් සැකසෙන අතීත ස්මරණයකි මේ.
ආරම්භය
ලංකාවේ ගුවන් විදුලි සේවයේ ආරම්භය 1924 දක්වා ඈත කාලයට දිව යයි. එය ක්‍රමිකව විකාශය වීමට තවත් කාලයක් ගත විය. කොළඹගේ මහතා දක්වන පරිදි මෙරට ගුවන් විදුලි ප්‍රචාරය ආරම්භ වූයේ කවදාදැයි නිශ්චය වශයෙන් කියන්නට නොහැකි නමුත්, එය 1924 ජූනි මාසයේ ආරම්භ වී ඇතැයි අනුමාන කරයි.
නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි කටයුතු නිල වශයෙන් ආරම්භ වූ දිනය ලෙස 1925 දෙසැම්බර් 16 දින සැලකේ. (ගුවන් විදුලි වංශය-9 පිටුව) ඒ අනුව ලංකාවේ ගුවන් විදුලියට දෙසැම්බර් 16 දිනට වයස අවුරුදු 95කි.
ගුවන්විදුලිය ආරම්භයේදී ගිහියන් පිරිසක් පැමිණ පිරිත් කීමේ ක්‍රමය වෙනුවට 1938 සිට පැවිදි ස්වාමීන් වහන්සේලා මැදිරියට පැමිණ පිරිත් කීමේ ක්‍රමය ආරම්භ විය.
කතා පැවැත්වීමේ සම්ප්‍රදාය ගුවන් විදුලිය තුළ ආරම්භ කළ කාලයේ අවස්ථාව ලබාදී තිබුණේ රජයේ දෙපාර්තමේන්තුවලට පමණි. එසේම අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ද එහි ප්‍රචාරය විය.
මෙරට ගුවන් විදුලිය ආරම්භයේ අපරදිග සංගීතය පමණක් ප්‍රචාරය කෙරිණි. සිංහල දෙමළ ආදී පෙරදිග සංගීතය ඊට එකතුවන්නේ කාලයකට පසුය. වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත තැටි විදේශයන්ගෙන් මිලදී ගත හැකි විය. එහෙත් සිංහල ගිත තැටි ලබාගත හැකි වූයේ මෙරට තැටි නිෂ්පාදන ආයතනයන්ගෙන් පමණි.
මෙරට සිංහල සංගීතයේ යම් පෙරළියක් ඇති කිරීමට ආනන්ද සමරකෝන් සූරීහු සමත් වූහ. ඉන්දියානු දේශාභිමානි ගීතයක් ඇසුරෙන් ප්‍රබන්ධිත ඔහුගේ %ජන ගන මන^ යන ගීතය ගුවන් විදුලිය ආරම්භයේ සහ අවසානයේ ප්‍රචාරය විය. අනතුරුව කලක් ජාතික ගීය ලෙසද භාවිත විය.
එදා ගුවන් විදුලි කළමනාකාරීත්වය තම නිෂ්පාදනයන්හී ප්‍රමිතිය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළහ. ශිල්පීන් තම ගායනා වලදී සර්පිනාව යොදා ගත් අතර, එය ඝෝෂාකාරී විය. කොතෙක් අවවාද කළද එය පාලනය කළ නොහැකි වූ තැන එනිසාම සර්පිනාව පාවිච්චිය තහනම් කෙරිණි.
එයට එක විකල්පයක් ලෙස සර්පිනාව හැර වෙනත් භාණ්ඩ පාවිච්චි කළ ශිල්පීන්ට වැඩි මුදලක් ගෙවීමට පියවර ගත් නමුත්, එයද සාර්ථක නොවූ නිසා සැලකිය යුතු පුද්ගලයන්ගේ අදහස් විමසා 1940 ජූලි 1 දින සිට මෙම තහනම ක්‍රියාත්මක විය.
සංගීතය සහ ප්‍රමිතිය
ඇතැම් ගුවන් විදුලි නාළිකා ඔස්සේ ඇසෙන ගුණාත්මක සහ ප්‍රමිතියෙන් පහත් ගීත රටාව කෙරෙහි චෝදනා අපමණය. එහෙත් එදා යටත් විජිත සමයේ සුදු පාලකයන්ගේ පාලනය තුළ ගුවන් විදුලිය සිංහල ගීතය ගැන දැක්වූ උනන්දුවට පහත සාධකය අනුබලයක් වනු ඇත. ඒ අනුව ගුවන් විදුලි අධිකාරී විසින් තැපැල්පති ලවා ශිල්පීන් වෙත මතු ලිපිය යවා ඇත.
“ඇතැම් ශිල්පීන් තම විවිධ ප්‍රසංගවලට පරීක්ෂණයකින් සමත් නොවූ මිතුරන්, ශිෂ්‍යයන්, ආධුනිකයන් කැඳවාගෙන එන බැව් පෙනී ගොස් ඇත. මෙනිසා සිංහල විවිධ ප්‍රසංගවල තත්ත්වය පිරිහෙන බව දන්වමින් අසන්නන් බොහෝ දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇත. ශ්‍රවණය කරන්නන්ට වඩා හොඳ වැඩසටහන් ලබාදීම මගේ අරමුණ බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් ඔබගේ සහයෝගය මම බලාපොරාත්තු වෙමි*යි එහි සඳහන් වෙයි.
මේ අනුව 1949දී භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයේ මහාචාර්ය රත්නජන්කර් මහතා මෙරට ගුවන් විදුලි ශිල්පීන් වර්ග කිරීමට ගෙන්වා ඇත. එම පරීක්ෂණයට සහභාගී වීමට සුනිල් ශාන්තයන් කැමති නොවූ අතර, එතැන් සිට ඔහු ගුවන් විදුලියෙන් ගී ගැයීමද නතර කළේය.
ප්‍රචලිත වීම
ගුවන් විදුලිය ජනතාව අතර කෙතරම් ප්‍රචලිත වීද යත් ආරම්භක 1925 වර්ෂයේ 176ක් වූ බලපත්‍ර ගණන 1948 නිදහස ලබන අවස්ථාව වන විට 23,415ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කළේය.
ලෝක යුද්ධය සහ වාර්තාකරණය
1939 ඇතිවූ ලෝක යුද්ධය සමයේදී ආරක්ෂක ස්ථාන සහ ආරක්ෂක අඟල්වලින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය ජනතාව අතරට ගෙන යාමේ වගකීම ගුවන් විදුලියට පැවරුණි.
1942 අප්‍රේල් 5 දින පාස්කු ඉරිදා දිනයක් විය. එදින උදේ 7.00ට පමණ හිස් අහසේ කළුවට දිස්වූ දසුන සතුරු අහස් යානා බව වගකිව යුත්තෝ තීරණය කළහ. සියලුම ගුවන් විදුලි සේවා නතර කෙරිණි. කොළඹ නගරයට බෝම්බ පතිත විය. වහාම ගුවන් විදුලි මධ්‍යස්ථානය වෙනස් කළ යුතුයි තීරණය කළ පාලකයෝ එය බොරැල්ලේ කොටාරෝඩ් බවර් ගොඩනැගිල්ලට මාරු කළෝය.
යුද තොරතුරු භාෂා තුනෙන්ම ජනතාව අතරට පත් විය. එකල මෙරට ආරක්ෂාවට පැමිණි ඉංග්‍රීසි, ඇමරිකන්, ප්‍රංශ, ඉන්දියානු, අප්‍රිකානු වැනි විදේශ සොල්දාදුවන් වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහන් සකස් කිරීමටද ගුවන් විදුලියට සිදුවිය. ඒ සඳහා සියැක් නමින් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් කුරුඳුවත්ත තැපැල් කාර්යාලය ඉදිරිපිට කැලිවර්ල් හවුස්හී ස්ථාපනය විය.
ප්‍රගමනය විමසීමට කමිටුවක්
මෙරට ගුවන් විදුලිය දියුණු කළ හැක්කේ කෙසේදැයි සොයා බැලීමට සුදු පාලකයක් ගත් තවත් පියවරක් වශයෙන් කේ. වෛද්‍යනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් 1940 ඔක්තෝබර් 18 පත්කෙරිණි.
ශිල්පීන්ගේ සංවිධානයක්
ගුවන් විදුලි ශිල්පීන්ගේ සංගමයක් ලෙස 1943 ජූලි 3දා දැනට ධර්මපාල මාවත නම් වූ එදා ටරට් රොඩ්හිද ස්ටූඩියෝ නිවසේ ආරම්භ කර ඇත. ගුවන් විදුලි ශිල්පීන් 50ක් පමණ දායක වූ මෙම සංගමය මගින් රුපියල් 375.00ක වියදමෙන් ශිල්පීන්ගේ ප්‍රයෝජනය සඳහා සිතාරයක්, දිල්රුබාවක්, තබ්ලා ජෝඩුවක් පරිත්‍යාග කර තිබේ. සිංහල සංගීතයේ තත්ත්වය නඟාසිටුවීම මෙම සමිතියේ ප්‍රධාන අරමුණ විය.
ජනගී හා ජනකතා තැටිගත කිරීම සඳහා කොමිටියක්
1940 ජූනි මාසයේ ජනගී හා ජනකතා තැටිගත කිරීම සඳහා කොමිටියක් මංමාවත් සහ කර්මාන්ත අමාත්‍යා ජෝන් කොතලාවල මහතා විසින් පත්කරන ලදී. මෙම කමිටුව 1946 අගෝස්තුවේ මහනුවරට ගොස් ත්‍රිත්ව විද්‍යාලයේදී සහ මරදාන ලෝරන්ස් කොලේජ්හිදී තැටිගත කිරීම් කිහිපයක් කළේය. 1947දී මාතර රාහුල විද්‍යාලයේ පැවති තැටිගත කිරීමට වැඩි පිරිසක් පැමිණ සිටියහ. පිරිස හැසිරවීමට පොලීසියද කැඳවා ඇත.
එතැනට ගීත ගායනයක් ඉදිරිපත් කිරීමට පැමිණියද අවස්ථාවක් නොලද 18 වියැති තරුණියකි. ඇය කෙරෙහි කොමිටිය පැහැදීමක් නොවූවද අවසානයේ ඇයගේ පෙරැත්තය මත අවස්ථාවක් ලබාදීමට තීරණය විය. ඇය මතු දැක්වෙන කවිය ගායනය කළාය.
පළමු තෙලිදිය බිබී සිට ගොස් ලිඳක් තැඩලූ අයත් ගොන්නුය
දෙවනු රත්තතම්පලා ගස් උගුලන්ට උපමා කීවෙන් ගොන්නුය
නමත් ගොන්නුය ගමත් ගොන්නුය දෙවනු තුන්වෙනුවත්ම ගොන්නුය
මෙවැනි තකතිරු මෝඩ ගොන් සිටි තැනට ආ මේ අපිත් ගොන්නුය
මේ ඇසූ කොමිටියට සිනහව නවතාගන්නට නොහැකි වුවද, ඇය තවදුරටත් එතැන නොරැඳී නික්ම ගියාය.
ශ්‍රවණ පර්යේෂණ අංශයක්
ශ්‍රවණ පර්යේෂණ සඳහා මුල් අවදියේ වෙනම අංශයක් නොතිබුණි. එහෙත් එම අවශ්‍යතාව හඳුනාගෙන තිබූ කළමනාකාරීත්වය 1948දී සකස් කළ ආකෘතියක් ඇසුරෙන් ගුවන් විදුලිය පිළිබඳ ප්‍රශ්න මාලවක් සකස්කර විමසුමට ලක් කළේය.
ළමා වැඩසටහන්
පාසල් වැඩසටහන් 1931 මැයි මාසයේදී ආරම්භ විය. ගුවන් විදුලිය වෙනුවෙන් පෙරදිග වාදක මණ්ඩලයක අවශ්‍යතාව තිබුණද, එය ආර්ථික අර්බුද හේතුවෙන් කල් ගියේය. එහෙත් 1939දී සිංහල වාදක මණ්ඩලයක් ආරම්භ කර තිබේ.
ළමා වැඩසටහන් 1935දී ආරම්භ කර ඇති මුල් අවස්ථාවේදී ඒවා ඉංග්‍රීසියෙන් පමණක් කර්ක් නැන්දා හෙවත් ආන්ටි කර්ක් විසින් ඉදිරිපත් කර ඇත. සිංහල ළමා වැඩසටහන් සිරිලතා නැන්දා මෙහෙය වූවාය. ග්‍රාමීය වැඩසටහන් 1930 සිට ආරම්භ විය.
විවිධ වැඩසටහන්
එදා ගුවන් විදුලිය සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ව්‍යාප්තව පැවති ආකාරය අරෝග්‍යශාලා සේවය නමින් රෝගීන් සඳහාද ආරම්භ වීමෙන් සනාථ වෙයි. ඒ 1938දීය. 1935දී ගුවන් විදුලිය මගින් පෞද්ගලික පණිවුඩයන් යැවීම සිදුව තිබේ. එහිදී අවමංගල දැන්වීම්, අතුරුදන්වූවන් පිළිබඳ පුවත් සහ අසාධ්‍ය රෝගීන්ගේ ඥාතීන් කැඳවා ගැනීමට වෙද්‍ය නිර්දේශ මත කළ දැන්වීම් ඇතුළත්ය.
ගුවන් විදුලිය තුළ පළමු වැඩවර්ජනය 1962 ජනවාරියේදී කාර්මික නිලධාරීන් විසින් සංවිධානය කළ අතර, එය මාසයක කාලයක් පැවැත්විණි. විලියම් ගොපල්ලව මහතා විසින් 1965දී අංශ 12ක් යටතේ කරුණු රැස්කර වාර්තා කිරීමට එච්.ඒ.ජේ හුළුගල්ල මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කළේය.
ඒ කමිටුවේ කරුණු සැලකිල්ලට ගනිමින් 1967 ජනවාරි 5 දින එතෙක් පැවති ගුවන් විදුලි දෙපාර්තමේන්තුව ගුවන් විදුලි සංස්ථාව බවට පත්විය. එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමයේ ප්‍රථම සංස්ථා සභාපති ලෙස සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස නෙවිල් ජයවීර මහා පත්විය. ( 2021 ජනවාරි 5 දිනට සංස්ථාවක් බවට පත්ව අවුරුදු 54කි.)
ගුවන් විදුලි මහගෙදරින් ජනමාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යයට අත්පොත තැබූවන් දසදහස් ගණනකි. අදටත් තරගකාරී වාණිජ මාධ්‍යයන් සමග තියුණු අභියෝග මැද හැකි තරමින් තම අනන්‍යතාව සහ ජාතික වගකීම දැරීමට ගුවන් විදුලිය ගන්නා උත්සාහය අගය කළ යුතුය.
(සේයාරූ - සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඇසුරෙනි)
සැකසුම - ලාල් ජයසුන්දර