මෙතෙක් මෙරටදී වාර්තා නොවූ ගවයන්ට හානිකර වසංගත වෛරස් රෝගයක් පළමුවරට ලංකාවේදී සොයාගත් බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව වසංගත රෝග පිළිබඳ පශූ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා 'අද' ට අනාවරණය කළේය.
මෙම ආගන්තුක වෛරසය සම්බන්ධයෙන් අප පශූ වෛද්‍ය කුමාරවඩු මහතාට සවන් දෙමු.
මෙම රෝගය හඳුන්වන නම කුමක්ද?
මෙය ගවයන්ට සමේ මතුවන ගැටිති රෝගය හෙවත් Lumpy skin නමින් හැඳින්වෙනවා. එම වෛරසය Capripox නමින් හැඳින්වෙනවා.
මෙය ලංකාවේදී නිරීක්ෂණය කළ පළමු අවස්ථාවද මේ?
ඔව්. මීට පෙර මෙය ලංකාව තුළ වාර්තා නොවුණු වසංගත රෝගයක්. ගතවූ 2020 නොවැම්බර් මාසයේදී මෙම රෝගය සම්බන්ධයෙන් ලංකාව තුළ වාර්තා වුණා. අපි එයින් පසු අපේ පශු විමර්ශන මධ්‍යස්ථාන 25ක අදාළ නිලධාරීන් සමග මේ ගැන නිසි පරීක්ෂණයන්, විමර්ශයන් සිදුකළා.
එයින් පස්සේ ලබාගත් සාම්පල ලෝක සත්ත්ව සංවිධානය නිර්දේශිත එංගලන්තයේ Pribright ආයතනයට යවා වැඩිදුර පර්යේෂණ කළා.
මෙම රෝගය නිසා කුමන ආකාරයේ ලක්ෂණ පෙන්නුම් කරන්නේදැයි පැහැදිලි කළොත්?
මෙය වෛරස් රෝග තත්ත්වයක්. මෙය බෝවන්නේ ගවයන්ගෙන් ලේ උරාබොන මැස්සන්ගෙන් බව සොයාගෙන තිබෙනවා. ඕනෑම වයස් කාණ්ඩයක සතෙකුට බෝ වීමේ හැකියාව තිබෙනවා.
බෝ වෙන්නේ ගවයන්ට පමණද?
නැහැ. මී ගවයන්, එළුවන්, බැටළුවන් වගේ සතුන්ටත් බෝ විය හැකියි.
මෙම රෝගය වාර්තා වන ලෝකයේ රාජ්‍යයන් සහ ලංකාවේ ප්‍රදේශ ගැන විස්තර කළොත්?
මෙහෙමයි. මෙම රෝගය මෙයට පෙර අප්‍රිකාව, මැදපෙරදිග වැනි රටවල වාර්තා වුණා. දකුණු ආසියාව ගත්තොත් නේපාලය, භූතානය, ඉන්දියාව, මියන්මාර් යන රටවල 2019දී පළමුවරට වාර්තා වුණා.
නමුත් ලංකාවෙන් වාර්තා වුණේ මම කියපු විදිහට ගතවූ නොවැම්බර් මාසයේ. ඒ නිසා මේ ගැන අපි විමසිලිමත් වීම සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි.
අනෙක දැනට උතුරු පළාතේ ඩෙල්ප්ට්, කයිට්ස් සහ කෝපායි ප්‍රදේශවලින් වෛරසය ආසාදිත වූ සතුන් හමුවී තිබෙනවා.
දැනට මෙම අවදානම් තත්ත්වය ලංකාවේ ඉහත ප්‍රදේශ හැරුණුකොට වෙනත් ප්‍රදේශයන්ටත් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවාද?
ඔව්. කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුරය, පුත්තලම කුරුණෑගල ප්‍රදේශයන්ට අවදානම පැතිරගොස් තිබෙනවා.
මෙම වසංගතය නිසා සතුන් මිය යනවාද?
ලංකාවට මෙය තවමත් ආගන්තුකයි. අද දක්වා මරණයක් වාර්තා වුණේ නැහැ.නමුත් වෙනත් රටවල සතුන්ගෙන් 5෴ක පමණ මරණ වාර්තා වී තිබෙනවා.
එහෙමනම් තමන්ගේ ගොවිපළ තුළ මෙවැනි සතෙකු හඳුනාගන්නේ කෙසේද?
සතාගේ ශරීරය පුරාවට සමෙහි මතුපිට ගැටිති මතුවී තිබෙනු දැකිය හැකියි. එය ප්‍රධානම රෝග ලක්ෂණයයි.
සතුන්ගේ ශරීර උෂ්ණත්වය වැඩි බව නිරීක්ෂණය කළ හැකියි.
සතුන් තුළ උදාසීන ගතියක් දක්නට පුළුවන්. කෑමට රුචියක් නොදක්වයි.
නාසයෙන් සහ ඇස්වලින් ශ්‍රාවයක් පිට කරයි.
කිරිදෙන සතුන්ගේ නම් කිරි නිෂ්පාදනය අඩු වෙයි.
ශරීරයේ බර අඩුවෙයි. සතා දුර්වල වෙයි.
මතුවූ ගැටිති දින 10කට පසු පුපුරා ආසාදනයට ලක්වෙයි.
ශරීර උෂ්ණත්වය වැඩි වීම නිසා ගැබ්ගත් සතුන් ගබ්සාවට ලක්විය හැකියි.
පැටවුන් ලබාගැනීමේ සඵලතාව අඩුවෙයි.
එවැනි රෝග ලක්ෂණ දුටු විගස ගොවි මහතා කළ යුත්තේ කුමක්ද?
ආසාදිත සතුන් අනෙක් සතුන්ගෙන් වෙන් කර හැකි ඉක්මනින් ළඟම ඇති පශූ වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
මෙහිදී ගොවි මහතාට ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් සහ අනතුරු පැහැදිලි කළොත්?
කිරි ලබාගන්නා සතෙක් නිසා කිරි ප්‍රමාණය අඩු වීම ආර්ථික වශයෙන් අලාභයක් විය හැකියි.
ගැබ්ගත් සතෙකු ගබ්සා වීමේ ඉඩකඩ නිසා එයින්ද යම් අලාභයකට ඇති ඉඩකඩ වැඩියි.
සතා උදාසීන නිසා දුර්වල බවට පත්වෙනවා.
සතාගේ ප්‍රජනන හැකියාවන් අඩු වෙනවා.
සමේ ගැටිති නිසා සම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති අගය නැති වී යනවා.
මෙවැනි තත්ත්වයන් මර්දනය සහ අනෙක් සතුන්ට බෝ වීම වැළැක්වීමට ගතහැකි පියවර මොනවාද?
ලේ උරාබොන මැස්සන්ගෙන් බෝ වන නිසා මැස්සන්ගෙන් බෝ වීම අවම කළ යුතුයි.
එම මැස්සන් බෝනොවන ලෙස ගවපට්ටි නිතරම පිරිසුදුව තබාගත යුතුයි.
රෝගය වැලඳුණු සතුන්ට කළ හැකි ප්‍රතිකාර මොනවාද? එවැනි ප්‍රතිකාරයක් සොයාගෙන තිබෙනවාද?
දැනට ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. නමුත් සංකූලතා ඇතිවුවහොත් පමණක් යම් ක්‍රියාමර්ගවලට යාමට හැකියාව තිබෙනවා. අපේ දෙපාර්තමේන්තුව මේ වනවිට ලෝකයේ මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි එන්නත් සහ ප්‍රතිකාර පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටිනවා.
එහෙමනම් එවැනි පසුබිමක් තුළ මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ දෙපාර්තමේන්තුව මේ වන විට ගෙන ඇති පියවර පැහැදිලි කළොත්?
රට පුරා අපේ පශූ නිලධාරී කාර්යාල 328ක් තිබෙනවා. ඔවුන් මේ ගැන දැනුම්වත් කර තිබෙනවා. කිසිම අවස්ථාවක මෙවැනි ආසාදිත සතුන් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් නොකරන ලෙස උපදෙස් දී තිබනවා. එවැනි සතුන් වෙනත් පළාත්වලට යැවීම නොකළ යුතු දෙයක්. එසේම ඉදිරි කාලය තුළ පශු නිලධාරීන් ගව ගාල් නිරීක්ෂණයට පැමිණෙයි.
මෙතෙනදි ගොවි මහත්වරුන්ගේ වගකීම විශාලයි. සතෙකු ගැන සැකයක් ඇතිවූ විගස අනෙක් සතුන්ගෙන් වෙන් කරන්න. පශු නිලධාරීන් සමග හොඳ සම්බන්ධතාවක් තියා ගන්න. මැස්සන් බෝවීමට ඉඩ තබන්න එපා.
(විශේෂ ස්තූතිය- සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී හෙට්ටිආරච්චි මහත්මිය සහ අධ්‍යක්ෂ සරත් හෙටිටි ආරච්චි මහත්වරුන්ට ස්තූතිය පුද කරමු.)
විමසුම සහ ඡායාරූප-ලාල් ජයසුන්දර