ලංකාවේ කටුපොල් වගාව පරිසරයට හා ජන ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතුයි


ශ්‍රී ලංකාවේදී ‘කටුපොල්’ ලෙසින් හැඳින්වෙන ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ‘Palm Oil’ සඳහා දැවැන්ත විරෝධයක් මේ වන විට උද්ගත වෙමින් පවතින්නේ ඒ හරහා ජෛව විවිධත්වයට හා ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳ අවධානය යොමු වීමත් සමගිනි. එය එසේ වන බවට ලොව ඇතැම් පර්යේෂණ වාර්තාද මේ වන විට පෙන්වා දී තිබේ. කෙසේවුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී වැඩිදුර අධ්‍යයනයන් හා පර්යේෂණ සිදුව නොමැති බවද සඳහන්ය. ඒ අනුව ‘කටුපොල්’ වගාව සම්බන්ධයෙන් වැඩිදුර විමසීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ, පාරිසරික භූ ගෝල විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා ‘අද’ට සම්බන්ධ කර ගතිමු.


කටුපොල්වලට ලොව පුරා විශාල ඉල්ලුමක් තිබෙන්නේ ඇයි?

කටුපොල් නොහොත් ‘Palm Oil’ මූලික වශයෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. විශේෂයෙන් ආහාර පිසීම සඳහා වන තෙල් වශයෙනුත් අයිස් ක්‍රීම්, ක්ෂණික නූඩ්ල්ස්, මාගරින්, චොක්ලට් වර්ග, බිස්කට් වර්ග වැනි තවත් ආහාර නිෂ්පාදන රාශියක් සඳහාත් මේවා අමුද්‍රව්‍යයක්. අනෙත් අතට සබන්, රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන ක්‍රීම් වර්ග, අලේපන වර්ග, ෂැම්පු වර්ග සහ විරංජනකාරක වැනි නිෂ්පාදන සඳහා ලාභදායක අමුද්‍රව්‍යයක් ලෙසත් ඒ වගේම ජෛව ඉන්ධනයක් ලෙස වැදගත්කමකුත් ‘Palm Oil’  වලට ආරෝපණය වී තිබෙනවා. මේ නිසා ලොව පුරා ‘Palm Oil’ නිෂ්පාදන භාවිතයේ වැඩි ප්‍රවණතාවක් සහ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ලෝකය පුරාම ‘Palm Oil’ නොහොත් කටුපොල් වගාව ජනප්‍රිය වෙන්නේ.

කටුපොල් වගාව සම්බන්ධයෙන් ලෝක සංරක්ෂණ සංගමය ඉදිරිපත් කර තිබෙන නවතම දත්ත අනුව ලෝකයේ එළවළු තෙල් නිෂ්පාදනයෙන් 35෴ක් නියෝජනය කරන්නේ ‘Palm Oil’. වැදගත්ම කාරණාව තමයි ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා අනෙක්  ශාක තෙල් මූලාශ්‍රවලට සාපේක්ෂව ‘Palm Oil’ වගාවකට වැය වෙන්නේ හෙක්ටයාර 0.26 ක භූමියක් පමණයි. සෝයා තෙල් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා හෙක්ටයාර 2ක භූමියක් අවශ්‍ය වන බවයි එම වාර්තාවල සඳහන් වෙන්නේ. භූමිය සම්බන්ධයෙන් තිබෙන මෙම කාරණයත් කටුපොල් වගාව ජනප්‍රිය වෙන්න හේතු වෙනවා.

එවිට ශ්‍රී ලංකාවට කටුපොල් හඳුන්වා දෙන්නේ?

විශේෂයෙන්ම අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපයේ කටුපොල් වගාව ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් විදිහට තමයි ශ්‍රී ලංකාවේදි කටුපොල් වගාව ආරම්භ වී තිබෙන්නේ සහ දැන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් මේ සඳහා බලපාන ලද වෙනත් කරුණුත් තිබෙනවා. විශේෂයෙන්ම රබර් වගාවෙන් අපේක්ෂිත ලාභ නොලැබීම, කම්කරු ශ්‍රමය ලබා ගැනීමේ හිඟය සහ ඊට සාපේක්ෂව කටුපොල් වගාව සඳහා එවැනි ඉහළ  ශ්‍රම ඉල්ලුමක් අවශ්‍ය නොවීම ආදී කාරණා ඒ අතර වෙනවා.

කොහොම වුණත් කටුපොල් වගාවට විරුද්ධව මේ වන විට හඬක් නැගෙමින් පවතිනවා?

කටුපොල්  වගාවට විරුද්ධ වීමේ පැති ගණනාවක් තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන්ම වැදගත් වන කාරණය තමයි පරිසරයට එල්ල වන බලපෑම. මෙම තත්ත්වය ලෝකයේ එක් එක් ප්‍රදේශයන්ට බලපා ඇත්තේ විවිධාකාරයෙන්. කටුපොල් වගාව වැඩි වශයෙන්ම ප්‍රචලිතව තිබෙන ආසියානු කලාපය දෙස අවධානය යොමු කළොත් විශේෂයෙන්ම ඉන්දුනීසියාව හා මැලේසියානු කලාපයේදී නිවර්තන වැසි වනාන්තර කපා දමා තමයි මෙම වගාවන් සිදුකරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජෛව විශේෂ රාශියක් තමන්ගේ නේවාසික අහිමි වීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ ඔරන්උටං (Orangutans) වැනි විශේෂ දැක්විය හැකියි.  මීට අමතරව ශාක හා සත්ත්ව විශේෂ රාශියක් මෙම වගාවන් නිසා දැඩිව වඳ වීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. නේවාසික අහිමි වීම, වනාන්තර හරණය, වනාන්තර හායනය, නේවාසික ඛණ්ඩනය වීම වැනි පාරිසරික අර්බුද රාශියක් මේ සමගින් ඇතිව තිබෙනවා.

මෙම කටුපොල් වගාව නිසා බ්‍රසීලයේ ඇමසොන් ද්‍රෝණියේ ජීවත්වන වඳුරු විශේෂ කිහිපයක් නෂ්ට වීමේ අවදානමකට මුහුණ දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක බැංකුව තීරණය කර තිබෙනවා තවදුරටත් එම ප්‍රදේශවල කටුපොල් වගාව සඳහා ආධාර ලබා නොදීමට. අප්‍රිකාවේ කොංගෝ ද්‍රෝණියේ, විශේෂයෙන්ම ලයිබීරියාව, ඝානා, ටෝගෝ වැනි රටවල කටුපොල් වගාව නිසා ජෛව විවිධත්වයට සහ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි හානිකර බලපෑම් එල්ල වී තිබෙන බවට පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය මූලික වශයෙන්ම කටුපොල් වගාවට විරුද්ධ මතවාදයක් ලෝකයේ නිර්මාණය වීමට බලපා තිබෙනවා. ඇතැම් යුරෝපීය රටවල ‘Palm Oil’ නිෂ්පාදන වර්ජනය කිරීම, සංරක්ෂණ උපාය මාර්ගයක් ලෙස හා පරිසර නීති නොසලකන බහුජාතික සමාගම්වල ක්‍රියාකාරකම්වලට එරෙහි වීමේ උපාය මාර්ග ලෙසත් යොදාගනු ලබනවා.

ඒ කියන්නේ කටුපොල් වගාව දැඩි පාරිසරික අර්බුදයක ආරම්භයක්?

මම මුලින් කිව්වා වගේ මේක ලෝකේ කටුපොල් වගා කරන ප්‍රදේශවලට විවිධාකාරයෙන් තමයි බලපෑම් එල්ල කරන්නේ. නවතම දත්ත අනුව ප්‍රකාශ වෙන්නේ කටුපොල් වගාව ලෝකයේ වනාන්තර හරණයට (Deforestation) දක්වන දායකත්වය 0.4෴ක් පමණ වන බවයි. නමුත් ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල ඇතැම් ප්‍රදේශවලට මෙය 50෴කට වැඩි ප්‍රතිශතයකින් බලපෑම් එල්ලකොට තිබෙනවා. එය ඉතාම අහිතකර සහ විනාශකාරී තත්ත්වයක්.

පාංශු ඛාදනය, ජලාශ, ගංගා ආදිය අවසාදනය වීම, රසායනික පොහොර වර්ග සහ වෙනත් කෘෂි රසායනික නිසා ජල දූෂණය,  ඒ වගේම වනාන්තර කපා හෙළා ගිනි තැබීම නිසා සිදුවන වායු දූෂණය සහ ස්මොග් (Smog) වැනි තත්ත්වයන් ඇතිවීමත් ලෝකයේ කටුපොල් වගාකරන ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ජල පෝෂක ප්‍රදේශයන්හි සිදුවීම බරපතළ සහ සංවේදී පරිසර ගැටලු රාශියක් නිර්මාණය කළ හැකියි.

මේ සියල්ල සලකා බැලීමේදී සමාජ සහ ආර්ථික වශයෙනුත් ඒ ඒ රටවලට බලපෑම් එල්ල විය හැකියි නේද?

ඔව්. එය තමයි අනෙත් කාරණය. සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙනුත් කටු පොල් වගාව නිසා බලපෑම් එල්ලවී තිබෙනවා. බොහෝ විට කටුපොල් වගාව වෙත යොමුව තිබෙන්නේ බහුජාතික සමාගම් සහ පර්යන්ත කලාපීය රටවල තිබෙන ඔවුන්ගේ නියෝජිතායතන. මේවා බොහෝවිට ක්‍රියාත්මක වන්නේ පරිසර නීති හෝ කම්කරු නීති පිළිබඳව කිසිදු තැකීමක් නොකරන ආයතන ලෙසයි.

ලතින් ඇමරිකානු කලාපය දෙස අවධානය යොමු කළොත් එහි වනාන්තර පර්යන්තයේ සහ වනාන්තර තුළ ජීවත්වෙන ප්‍රජාවන්ගේ අනන්‍යතාවන් වගේම ඔවුන්ගේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය මේ වගා ව්‍යාපෘතිය නිසා ඔවුන්ට අහිමිව තිබෙනවා.

දේශපාලනික වශයෙනුත් මෙම ආයතන, දූෂිත ප්‍රාදේශීය දේශපාලන ආයතන සහ පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වීම නිසා ඒ තුළ සමාජ ආර්ථික සහ සංස්කෘතික ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී කටුපොල් වගාවේ තත්ත්වය කොහොමද?

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවට තිබෙන විරෝධය ඉන්දුනීසියාවේ, මැලේසියාවේ හෝ ලතින් ඇමරිකානු කලාපයේ තිබෙන තත්ත්වයන්ට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. ශ්‍රී ලංකාවේ වනාන්තර හෙළිකර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමේ  ප්‍රවණතාවක් හඳුනාගන්න නැහැ. සිදුවන්නේ රබර්, තේ වගාකරන ලද බිම් හෝ මුඩු ඉඩම් කටුපොල් බිම් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියක්.

නමුත් එම භෝග වගාව (Monoculture) තවදුරටත් මධ්‍ය කඳුකරයේ සහ වෙනත් කඳුකර ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට මා පෞද්ගලිකව විරුද්ධයි. මධ්‍ය කඳුකරයේ සහ කඳුකර ප්‍රදේශයන්හි සිදුකරන ලද තේ වගාව සහ රබර් වගාව නිසා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට සහ විශේෂයෙන්ම ජලපෝෂක ප්‍රදේශවලට සහ එහි තිබෙන හරිත ආවරණයට දැඩි හානිකර බලපෑමක් එල්ලකර තිබෙනවා. පසුගිය කාලවකවානුව තුළ එහි තීව්‍රතාව ශීඝ්‍රයෙන් වැඩිවෙලා තිබෙනවා. මධ්‍ය කඳුකරය ශ්‍රී ලංකාවේ හදබිම වශයෙන් සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. හදබිම යන්නෙන් අර්ථවත් කෙරෙන්නේ එම භූමියේ ඇති පාරිසරික, ආර්ථික, සමාජීය,දේශපාලනික සහ සංස්කෘතික වැදගත්කමයි.

කටුපොල් වගාව හේතුවෙන් ජල උල්පත් සිඳී යන බවක් අසන්නට ලැබෙනවා. එය සත්‍යයක්ද?

කටුපොල් වගාව නිසා පාංශු ඛාදනය වීම, ජල උල්පත් සිඳී යාම, ජල දූෂණය වීම ආදී ගැටලු ඇතිවන බවට ඉන්දුනීසියාව, මැලේසියාව, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපීය රටවල් ඇසුරින් කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන තිබෙනවා. නමුත් ලංකාවේ මා දන්නා තරමින් තවම එවැනි පර්යේෂණ සිද්ධවෙලා නෑ හෝ කරන ලද පර්යේෂණ තවම එළිදක්වා නැහැ. කොහොම වුණත්  ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල කරන ලද ඇතැම් සමාජ විද්‍යාත්මක පර්යේෂණවලදී අනාවරණය වී තිබෙනවා කටුපොල් වගාව සිදු කිරීමෙන් පසු එම ප්‍රදේශවල ජල උල්පත් සහ ඇතැම් ජල පහරවල් සිඳී ගොස් ඇති බවට. මෙම තත්ත්වයන් කටු පොල් වගාව නිසාම සිදුවුණාදැයි විද්‍යාත්මකව තහවුරු කළයුතු වුණත් මෙම ප්‍රදේශවල ජනතාවගේ අත්දැකීම්ද බැහැර කළ නොහැකියි.

මෙවැනි වාර්තා ඔස්සේ තවදුරටත් පර්යේෂණ සිදුකිරීම තුළින් සැබැවින්ම සිදුවන්නේ කුමක්ද යන්න අනාවරණය කරගත හැකියි. ඒ අනුව ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධයෙන් සහ එය පරිසරයට හා ජන ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතුයි.

තවත් වැදගත් කාරණයක් තමයි දැනට කටුපොල් වගාව මහා පරිමාණයෙන් සිදුකරමින් පවතින කළු ගඟේ සහ කැලණි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ වගාවට දැඩි විරෝධයක් එල්ලකර තිබෙනවා. ඔවුන්ගේ විරෝධයට හේතු මොනවාද යන්න පිළිබඳව විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි. ඔවුන්ගේ විරෝධය හුදු දේශපාලන හෝ වෙනත් ඝෝෂාවක් ලෙසට නොසැලකිය යුතුයි යන්න මගේ අදහසයි.

ඒ අනුව ඉහළ ජලපෝෂක ප්‍රදේශයන්ටත් බලපෑමක් ඇතිවිය හැකියි නේද?

මධ්‍ය කඳුකරයේ සහ ජලපෝෂක ප්‍රදේශයන්හි භූමි පරිහරණ රටාව පිළිබඳව අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ගංගාවන්හි ජල පෝෂක ප්‍රදේශ බවට පත්වන්නේ මධ්‍ය කඳුකරයයි. ඒ නිසා මේ සංවේදී පරිසර පද්ධතියේ සිදුකරන භූමි පරිභෝග පරිවර්තන වඩාත් සවිඥානිකව සිදුකළ යුතුයි. සැබැවින්ම කටුපොල් වගාව නිසා ජලපෝෂක සිඳී යාමේ අවදානමක් තිබේ නම්, නියත වශයෙන්ම කටුපොල් වගාව මධ්‍ය කඳුකරයෙන් සහ ජලපෝෂක ප්‍රදේශවලින් ඉවත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

උදාහරණයක් ලෙස කඳුකර ප්‍රදේශයන්හි කටුපොල් වගා කරන විට ඒවායේ බීජ, ජල පහරවල් ඔස්සේ හෝ සතුන් මගින් ස්වාභාවික පරිසරය සමග එක්ව රෝපණය වෙන්නත් ව්‍යාප්ත වෙන්නත් හැකියාව තිබෙනවා. පසුකාලීනව  එම විශේෂ ආක්‍රමණශීලී ශාක විදියට ව්‍යාප්ත වීමේ අවදානමකුත් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි විභව අවදානම් ගැනත් අවධානය යොමු කළ  යුතුයි.‍

‘Palm Oil’ නිෂ්පාදන සඳහා වෙනත් විකල්ප තිබෙනවාද?

මෙතැනදී අපි තේරුම්ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පළවෙනි කාරණය තමයි මෙම වගාව ව්‍යාප්ත වෙන්නේ ‘Palm Oil’ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින නිසා බව. ලෝකයේ එළවළු තෙල් නිෂ්පාදනයෙන් 35෴ක් ලබාදෙන්නේ ‘Palm Oil’. නමුත් ඒ සඳහා වැය වෙන්නේ භූමියෙන් 10෴ක් පමණයි. ඒ නිසා කටුපොල් වෙනුවට වෙනත් භෝගයක් ව්‍යාප්ත කළොත් සිද්ධවෙන්නේ දැනට තිබෙන ගැටලුවේ කාල අවකාශීය වෙනසක් පමණයි. සරලව කිවහොත් ප්‍රශ්නය තිබෙන තැනින් වෙනත් තැනකටට තල්ලු කිරීමක් පමණයි එතැනදි සිදුවෙන්නේ. අනික් කාරණය තමයි කටුපොල් වගාව විශාල මුදල් ප්‍රමාණයක් ගැවසෙන කර්මාන්තයක්. වාර්ෂිකව එය ඇමරිකානු ඩොලර් බිලියන 40 ඉක්මවන බව පැවසෙනවා.

මේ නිසා අපි දකිනවට වඩා ප්‍රශ්නය සංකීර්ණයි. ඒ නිසා ප්‍රශස්ත විකල්ප සොයා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා. මිනිසුන්ගේ අති සුඛෝපභෝගී ජීවන රටාවන් සමග ස්වාභාවික සම්පත්වලට තිබෙන ඉල්ලුම හා එහි තීව්‍රතාව දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අපි විකල්ප සොයනවා වගේම මේ ඉල්ලුමට හේතු වන මිනිසුන්ගේ අධික තෘෂ්ණා සහගත සහ කාමභෝගී ජීවන රටාවේ වෙනසක් ඇති කිරීමට ආකල්පමය වශයෙනුත් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඇමරිකාවේ සහ ඇතැම් බටහිර රටවල ඒ  සම්බන්ධයෙන් වූ වෙනමම කණ්ඩායම් දකින්න පුළුවන්.

මොනයම් හේතුවක් හෝ නිසා කටුපොල් වගාකිරීම නතර කළහොත් එළවළු තෙල් සඳහා තිබෙන ඉල්ලුම් සපුරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. කටුපොල් වගාව තිරසාරව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව ගෝලීය මට්ටමෙන් සාකච්ඡා කෙරෙමින් පවතිනවා. නමුත් ක්‍රියාත්මක කිරීම් තිබෙන්නේ ප්‍රශස්තම මට්ටමක නොවෙයි.

කොහොම වුණත් පොල් තෙල් වැනි නිෂ්පාදන සඳහා ගෝලීය වශයෙන් අවධානය යොමුකරන අතරම ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව උදාහරණයට ගතහොත් දේශීය වශයෙන් භාවිත කරන ශාක තෙල් වර්ග රාශියක් තිබෙනවා. ඉන්දියාවේ ආචාර්ය වන්දනා ශිවා වැනි පරිසරවේදීන් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කොට තිබෙනවා.

ශ්‍රී ලංකාව උදාහරණයට ගතහොත් පොල් තෙල්වලට අමතරව මී තෙල්  වැනි වැනි තෙල් වර්ග ප්‍රචලිත කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් වෙළෙඳපොළ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව මෙවැනි දෑ කිරීම අතිශය අසීරු කාරණයක්. 

අත්දැකීම් රහිත මෙවැනි නව වගාවන් හඳුන්වාදීම හා ඊට සමගාමීව සිදුකළ යුතු පාරිසරික සංරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ අදාළ රාජ්‍ය ආයතනයන්හි වගවීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මෙවැනි නව භෝගයක් හඳුන්වා දෙන විට සහ විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නැති අවස්ථාවලදී භෝගය සමග ගොඩනැගෙන අනෙක් සබඳතා පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ස්වාභාවික පරිසරය එම භෝගයට දක්වන ප්‍රතික්‍රියාව,  සතුන් කෙරෙහි හෝ පස, ජලය වැනි සංරචක කෙරෙහිත් බලපෑම් කරන අාකාරය ආදිය. තවත් අතකින් ඒ හා සම්බන්ධිත නීති ප්‍රතිපත්ති රාමුව සහ වගා ප්‍රදේශයන්හි පවතින සමාජ, ආර්ථික සම්බන්ධතා කෙරෙහි ඇතිකරන බලපෑම් ආදිය කෙරෙහිත් සංවේදී වීම අවශ්‍යයි. මෙසේ භෝග හඳුන්වාදීම සහ ව්‍යාප්ත කිරීම හුදෙක් එක් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ හෝ ලාභ අරමුණු අපේක්ෂාවෙන් පමණක් සිදුනොකළ යුතුයි.

ඒ නිසා මේ සමගින්ම ඊට අදාළ සහ තදානුබද්ධ වූ පසුබිම නිර්මාණය වීමේ අවශ්‍යතාවකුත් හඳුනාගන්න පුළුවන්. ලංකාවේ බොහෝ පරිසර අර්බුදවලට හේතු වෙලා තිබෙන්නේ මෙන්න මේ අවශ්‍ය පසුබිම් තත්ත්වයන් ගොඩනැගීමට අපොහොසත් වීමයි. ඒ සඳහා ජනතා සවිඥානිකත්වය ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නිර්මාණය වීමේ දිශානතියක් තාමත් පෙනෙන්න නැහැ. ඒ නිසා පරිසර සංරක්ෂණය සහ ඒ සඳහා සක්‍රීයව සහභාගී වීම පොදු ජනතාවගේ වගකීමක් විදිහට වඩා අර්ථකතනය වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක හෝ රජයේ නියෝජිතායතන කීපයකට පවරන ලද වගකීමක් ලෙසයි. අවාසනාවකට ඔවුන්ද එම වගකීම පැහැර හරින බවක් දක්නට ලැබෙනවා. මේ මොන දේ තිබුණත් ජනතාවගේ සක්‍රීය දායකත්වයක් නැතිව කිසිදු යහපත් අරමුණක් යථාර්ථයක් බවට පත් කළ නොහැකියි. නමුත් ඒ සඳහා ජනතාව අවදිකරන සහ ඥානන කරන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි.

නිදර්ශනී වික්‍රමසිංහ



Recommended Articles