රෝහල් පොකුරක් ඇතිවීමට පෙර සෞඛ්‍ය සේවකයෝ බේරාගන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ඉල්ලයි


කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බව සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහන් කරයි.  රෝහල් පොකුරු ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් කෝවිඩ් ආසාදිතයන් වීම පිළිබඳ අපි සොයා බැලුවෙමු.

මේ වන විට කෝවිඩ්  ආසාදිතයන් හමුවූ සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් වාර්තා වී ඇති අතර, ඒවා වන්නේ‍ ජාතික රෝහලේ මුළුතැන්ගෙය තුළ එක් දිනක් තුළදී 20කට ආසන්න ප්‍රමාණයක් ආසාදනය වීම සහ ජාතික රෝහලෙන් වෙනස් ස්ථානවලින් ආසාදිතයන් හමුවීමයි. මහනුවර රෝහලේ උගුර කණ නාසය පිළිබඳ සායනයේ 13දෙනෙකු සහ එම වාව්ටුවෙන් එකවර ආසාදිතයන් වාර්තා වීම. රිජ්වේ ආර්යා රෝහල, කේතුමතී රෝහල, අෂ්රොෆ් අනුස්මරණ රෝහල, සියඹලාණ්ඩුව රෝහල, වතුපිටිවල රෝහ‍ල, ජයවර්ධනපුර රෝහල, රාගම රෝහල,  ලග්ගල පල්ලේගම කෝවිඩ් මර්ධන මධ්‍යමස්ථානය‍, අංගොඩ රෝහල මෙලෙස ආසාදිතයන් වාර්තා වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන අතරින් කිහිපයකි. මේ තුළ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, කාර්යමණ්ඩලය, සුළු සේවකයන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩල ආසාදිත වීම් දිගින් දිගටම වාර්තා වෙමින් පවතී.

රෝහල් කාර්යමණ්ඩල වෙනුවෙන් ආරක්ෂිත උපකරණ ලබානොදීම, නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියට යොමු නොකිරීම සහ සේවක පිරිස අඩුනොකර සියලුදෙනා සේවයේ යෙදවීම තුළ මෙම තත්ත්වය හටගෙන ඇති බව රෝහල් කාර්යමණ්ඩල සඳහන් කරන අතර, මේ සඳහා විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වෙමින් ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් රෝහල් කාර්යමණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමිය මෙසේ අදහස් දැක්වූහ.

කාර්යමණ්ඩල ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන නැහැ - රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රෝහල් කාර්ය මණ්ඩල තුළ මේ රෝගය බහුලව පැතිර යාමේ අවදානමක් තිබෙනවා. එහෙම උනත් මේ කාර්යමණ්ඩල ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර නිසි පරිදි අරගෙන නැහැ. බොහෝ රෝහල්වලට අවශ්‍ය පහසුකම් නැහැ.

විශේෂයෙන්ම හෙදියන් ගැන කතා කරනවා නම් ඔවුන්ට ගමනාගමන පහසුකම් නිසි පරිදි ලබාදීලා නැහැ. රෝගය වැලඳුණොත් නිරෝධායනය වෙන්න පහසුකම් සලස්වලා නැහැ. ඒ වගේම නිවාඩු නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ලැබිය යුතු දීමනාවන් නැහැ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් පාලනයක් නැති තත්ත්වයකට ඇවිත් තිබෙන්නේ. මේ නිසි සෞඛ්‍ය ප්‍රශ්න විසඳගන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සියල්ල එකතුව බලපෑමක් කරන්න අපිට සිදුවෙනවා.

සෞඛ්‍ය සේවකයෝ සීමිතයි - ඔවුන් බේරාගැනීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සේවකයෝ ගොඩක් නැහැ. සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ලංකාව පුරා වෛද්‍යවරුන් ඉන්නේ 18,000ක් වගේ ප්‍රමාණයක්.  ඒ ප්‍රමාණය ලංකාව පුරා විසිරිලා ඉන්නේ. ඇත්තටම වෛද්‍ය හිඟයක් තිබෙන්නේ. අනිකුත් සෞඛ්‍ය සේවකයන් ගත්තත් රෝහල්වල අතිරික්තයක් නැහැ, හිඟයක් තමයි තිබෙන්නේ.

කෝවිඩ් කියන්නේ ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක්. මෙහිදී සෞඛ්‍ය අංශවලට රෝගය පැතිරීමේ අවදානම ඉතාම ඉහළයි. රෝගියෙක්ව පළමුව ගැටෙන කණ්ඩායම තමයි සෞඛ්‍ය අංශ. මේ නිසා අවදානම ඉතාම ඉහළයි. ‍මේ රෝගයෙන් සෞඛ්‍ය අංශ බේරාගැනීම සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් විදිහට එංගලන්තය ඇතුළු රටවල් වල මේ රෝගය පැතිර යාමේදී සෞඛ්‍ය අංශ බේරාගැනීම කෙරෙහි වැඩි අවධානයක් නොදක්වපු නිසා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ විශාල පිරිසක් එයට ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල්වල රෝගී සත්කාරක සේවාවන්ට පිරිස් මදි වුණා.

මේ සඳහා අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි,

සෞඛ්‍ය සේවකයන්ට මෙම රෝගය වැලඳෙන්න නොදීම වෙනුවෙන්  ආරක්ෂක උපකරණ ලබාදීම සිදුකළ යුතුයි. ඒ වගේම රෝගය වැලඳුණොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම සිදුකළ යුතුයි.

සෞඛ්‍ය සේවකයන් නැවත හැකි ඉක්මනින් සේවයට වර්තා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වගේම ඒ වෙනුවෙන් නිරෝධායනය සඳහාත් වෙනම ක්‍රමවේදයක් ඇතිකිරීම සිදුකළ යුතුයි.

සෞඛ්‍ය සේවකයන් ආසාදිතයන් වීමේ අවදානම අවම කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ මානසික නිදහස වෙනුවෙන් වැඩපිළිවෙළක් ඇතිකිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

මේ නිසා සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන උපකරණ සම්බන්ධයෙන් වෙනමම අංශයක්  පිහිටුවා දිනපතා ලංකාවේ රෝහල් වෙත ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා නිසි පරිදි ලබාදීමත්, ඔවුන්ගේ සේවය අගය කරමින් දීමනාවක් ලබාදීමට පුළුවන් නම් එය වැදගත් වෙනවා. එහෙම නැති උනොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙත් ගැටලුවක් වේවි.

රෝගී ජනතාවට ප්‍රතිකාර කරන්න ලැබෙන්නේ සෞඛ්‍ය ප්‍රජාන බේරාගත්තොත් පමණයි - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය

කෝවිඩ් හමුවේ රෝහල් කාර්යමණ්ඩලය අනාරක්ෂිත වෙලා තිබෙනවා. ඔවුන් ආරක්ෂිත කරන්න රජයෙන් කිසිම වැඩපිළිවෙළක් නැහැ. සෞඛ්‍ය කාර්යමණ්ඩලය බේරාගත්තොත් පමණයි රෝගී ජනතාවට ප්‍රතිකාර කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඔවුන්ව බේරාගන්න බැරි උනොත් රටේ ජනතාව බරපතළ අවදානමකට ලක්වෙනවා.

සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කර ගන්න නම් අඩු ප්‍රමාණයක් රාජකාරියට වාර්තා කරන්න කියලා කියනවා. නමුත් එය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සියල්ලන්ම කැඳවනවා. ඒ වගේම කාර්යමණ්ඩලවලට අවශ්‍ය මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් මේවා නිසි පරිදි ලැබෙන්නේ නැහැ.  ඇමතිවරු කියනවා රටේ ජනතාවට N95 මුහුණු ආවරණ පලඳින්න කියලා. නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සරිලන පරිදිවත් එම මුහුණු ආවරණ නැහැ.

ඒ වගේම රටේ විවිධ පැතිවල නිරෝධායන ඇඳිරිනීතිය වරින්වර ක්‍රියාත්මක  කරනවා. එසේ කළ විට සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සේවයට වාර්තා කරන්න නිසි පරිදි ප්‍රවාහන පහසුකම් ලැබන්නේ නැහැ. පොදු ප්‍රවාහන නවතින නිසා ඔවුන් අපහසුතාවයට ලක්වෙනවා. කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දැනට රෝහල් 64ක් පමණ නම්කර තිබෙනවා.  නමුත් මේ මධ්‍යස්ථාවල පහුසකම් පවා හරි විදිහට ලැබෙන්නේ නැහැ. අපි බලපෑම් කරන්න ඕන ඒවා ගන්න‍. මේ වන විටත් අධි අවදානම් ප්‍රදේශ රැසක් තිබෙනවා. නමුත් ඒ ප්‍රදේශවල කාර්යමණ්ඩලයටවත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ඒ වගේම ඇතැම් ප්‍රභූවරු හෝටල් වෙන් කරගෙන ප්‍රතිකාර ගන්න රෝහල් කාර්ය මණ්ඩල වෙන් කරගෙන තිබෙනවා. නමුත් රෝහල් කාර්යමණ්ඩලය රෝගී වුණ විට ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙන්න පහසුකම් සලසන්නේ නැහැ.

ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු දීමනා සීමා කරල තිබෙනවා. මේ නිසා සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. 

අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයක්නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්

රෝහල් කාර්ය මණ්ඩල ගැන අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා. අයි.ඩී.එව් රෝහල ගත්තොත් එයට පැමිණෙන රෝගීන් ආසාදනය වූවන් බව අපි දන්නවා. එවිට කිසිම ප්‍රශ්නයක් ඇති නොවී ඔවුන් සමග කටයුතු කරන්න රෝහල් කාර්යමණ්ඩලයට හැකියාව තිබෙනවා. නමුත් අනිකුත් රෝහල් වල වෙනත් සායන සඳහා පැමිණෙන රෝගීන් අතර හෝ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නට පුළුවන්. ඔවුන් රෝහලට පැමිණි පසුවයි අපි ඒ බව දැනගන්නේ.  කොහොම උනත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නවත්වන්න අමාරුයි. කුමන තත්ත්වයක් යටතේ වුවද රෝහල් කාර්යමණ්ඩලය ආරක්ෂා කර ගැනීමට තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත් කළයුතු වෙනවා.

සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලය සැලකීමේදී ආසාදිතයන් ලෙස හමු වී තිබෙන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රෝගීන් සමග කටයුතු කරන නිසා රෝහල් කාර්යමණ්ඩල වලිනුත් ආසාදිතයන් හමුවෙනවා. නමුත් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. අපි එය ක්‍රියාත්මක කරනවා. ඔවුන් අතරින් පීසීආර් පරීක්ෂණ සිදුකර ආසාදිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන් වෙන්කර තබමින් ප්‍රතිකාර කිරීමටත්, නිරෝධායනයට යොමු කිරීමටත් වැඩපිළිවෙළක් තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂකවරුන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලය සැලකීමේදී ඉතාම කුඩා ප්‍රතිශතයක් තමයි මෙලෙස ආසාදිතයන් ලෙස හමුවී තිබෙන්නේ. රෝගීන් සමග ගැටෙන නිසා ඔවුන් ආසාදිතයන් වීම සිදුවෙනවා. නමුත් රෝගීන් සමග කටයුතු කිරීමට ආරක්ෂිත උපකරණ සියල්ල ලබා දී තිබෙනවා. කොහොමත් ඒ සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නැහැ.



Recommended Articles