රෝහල් අපද්‍රව්‍ය උපද්‍රවයක් කර නොගන්න නම්


කසළ කළමනාකරණය ආර්ථික විද්‍යානුකූලව විශ්ලේෂණය කළහොත් එය අප සලකනුයේ චක්‍රීය ආර්ථික ක්‍රමයක් ලෙසය (Circular Economy). කසළ කළමනාකරණයට අද ව්‍යාපාරික ලෝකයේ ඇත්තේ වැඩි නැඹුරුවක් වන අතර, ගෝලීය වශයෙන්  සිදුවන්නා වූ මෙම කසළ වෙළෙඳාම තුළ ප්‍රධාන වශයෙන්ම ඇමෙරිකාව හා යුරෝපීය රටවල්, ආසියානු හා අප්‍රිකානු දියුණු වෙමින් පවතින්නා වූ රටවලට සිය කසළ බැහැර කිරීම සිදුකෙරේ.

රට තුළ එකතුවන්නා වූ කසළද, මෙලෙස ගෙන එන්නා වූ කසළද බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අපට ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙලෙස ආනයනය කරනා කසළ තුළ මෙන්ම දේශීය වශයෙන් එකතු වන්නා වූ කසළ තුළද රෝහල් අපද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේ සාමාන්‍ය කසළ අතර ඇති රෝහල් අපද්‍රව්‍ය සුවිශේෂී වන්නේ ඒවා පාරිසරික වශයෙන් කරන්නා වූ බලපෑම අනෙකුත් අපද්‍රව්‍යවලට වඩා ප්‍රබල වීම නිසාය.

රෝහල්වල භාවිත කරනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණය (Medical waste management) සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, රතුකුරුස සංවිධානය වැනි ආයතනයන් මගින් පිළිගත් නියාමනයන් කිහිපයක්ම ගෙන තිබේ. ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වූ පොදු නිර්ණායකයන් හා යෝජනාද මේ සම්බන්ධයෙන්  පවතී. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා රතුකුරුස සංවිධානයේ පර්යේෂණවල තොරතුරු කෙරෙහි අවධානය යොමු කළහොත්, ඔවුන් සඳහන් කරනා පරිදි රෝහල්වලින් බැහැර කෙරෙනා අපද්‍රව්‍ය වලින් සියයට අසූපහක් සාමාන්‍ය  අපද්‍රව්‍ය වේ. අනෙකුත් සියයට පහළොව දැඩි  උපද්‍රව සහිත අපද්‍රව්‍ය ලෙසින් හැඳින්වේ.

මෙම අපද්‍රව්‍ය අතරට එකතු වන ශල්‍යකර්මයකදී භාවිත කෙරෙන දේවල්, එන්නත් කටු, බ්ලේඩ්, බිඳීගිය වෛද්‍ය උපකරණ, රුධිර හා රුධිරමය ආශ්‍රිත දේවල්, මලඅපද්‍රව්‍ය වැනි ශරීරයේ විවිධ අවයව කොටස් (anatomical west) ආසාදිත දේවල් සහිත අපද්‍රව්‍ය මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය, භාවිත කළ බෙහෙත් ද්‍රව්‍ය වැනි දෑ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අපද්‍රව්‍යමය අවදානමක් සහිත දේවල් ලෙසින් වෛද්‍යමය උපකරණවලට භාවිත කරන රසායන ද්‍රව්‍යයන් බොහෝ ප්‍රමාණයක්ද මේ තුළ  පැවතිය හැකිය. බැටරි, රසදිය සහිත අපද්‍රව්‍ය, කැඩුණු උෂ්ණත්වමාපක වැනි දේවල්වල පවතින ද්‍රව්‍ය, බල්බ්වල පවතින දේවල්, බැරලෝහ සහිත අපද්‍රව්‍ය රෝහල්වල පවතී. ගෑස් සිලින්ඩර්, විකිරණශීලී අපද්‍රව්‍ය, රෝහල් පරීක්ෂණාගාරයකින් නිකුත් කරන අපද්‍රව්‍ය ආදිය දැඩි අවදානම් සහිත අපද්‍රව්‍යයන් ලෙස හඳුන්වයි.

මෙය ජාත්‍යන්තර පිළිගත් වර්ගීකරණයකි. මේවා වෙන් කිරීම හා ඒවා විනාශ කළයුතු ආකාරය පිළිබඳ අද ලෝකයේ කතාබහට ලක්වන්නා වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. රටක් ලෙස සංවර්ධනය වුවද එවැනි සංවර්ධිත රටවල් මේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකරනවා යැයි අපට සඳහන් කළ නොහැකිය. විටෙක ඔවුන් මෙම අපද්‍රව්‍ය දියුණු වෙමින් පවත්නා රටවල්වලට ආනයනය කරයි. 

පසුගිය කාලයේ ලංකාවට සංවර්ධිත රටවලින් රෝහල් අපද්‍රව්‍ය ගෙනැවිත් තිබුණි. මෙම ක්‍රියාවලිය සිදුකරනුයේ පෞද්ගලික ආයතන මගින් Medical waste management යැයි සඳහන් කරමිනි. ඒවා ලංකාව, කාම්බෝජියාව, පිලිපීනය සහ අප්‍රිකානු මහද්වීපයේ බොහෝ රටවල්වලට ආනයනය කරයි. මෙලෙස ආනයනය කරන කසළ මගින් පාරිසරික වශයෙන්ද බොහෝ රටවල මානව ජීවිතවලට බලපෑම් එල්ල විය. මෙය කාලයක් පුරා සිදු වූ ක්‍රියාවලියකි. මෙම අපද්‍රව්‍ය බැහැර කරන්නේ කුමන ස්ථානයකටදැයි යන ගැටලුව මෙහිදී ඉස්මතු වේ. එසේම අපද්‍රව්‍ය කළමනාකරණය තුළදී මේවා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිදැයි විමසීමේදී ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. 

බොහෝ විට සිදුවන්නේ වෙනත් රටකට හෝ වෙනත් ප්‍රදේශයකට ගෙන  ගොස් කසළ පොළොව යට මිහිදන් කිරීමය. මෙය අවදානම් සහිත කරුණකි. විෂබීජ, රසදිය, බැරලෝහ ආදී දෑ කලක් යෑමේදී භූගත ජල පද්ධතියට එකතුවේ. පාංශුමය කොටස්වලටද මේවා මිශ්‍ර වන අතර, වායුමය සංගතක ලෙසින්ද මේවා නිකුත් විය හැකිය. මෙය සියලු සත්ත්ව කොට්ඨාසයන්ටද, පරිසරයටද හානිදායකය. මෙය සෘජු හා චක්‍ර ලෙසින් මිනිස් ශරීරයට බලපෑම් කිරීම සිදුවේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂණ ආයතන මට්ටමෙන් විවිධ ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට නිර්දේශ නිකුත් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙයට සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකරයි. මූලික වශයෙන් මේ පිළිබඳ අවධානය යොමු කළහොත් මෙම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ සෑම රෝහලකම අදාළ කණ්ඩායමක් සිටිය යුතුය. මෙම කසළ බැහැර කිරීම නිසි ලෙස සිදුකිරීම සඳහා රෝහලක සිටින සියලුම කාර්යමණ්ඩලය කණ්ඩායමක් ලෙසින් බැඳී සිටිය යුතුය.

මෙම අපද්‍රව්‍ය ගබඩා කළ හැකි ක්‍රමයක් පවතීද, බැහැර කිරීම සඳහා ක්‍රමවේදයක් පවතිනවාද? මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී සිදුකළ යුතු ප්‍රවාහන ක්‍රමවේදය කුමක්ද? එය බැහැර කරනා ප්‍රදේශය කුමක්ද? මෙම අපද්‍රව්‍ය සාමාන්‍ය අපද්‍රව්‍ය හා මිශ්‍ර වන්නේද ආදී බොහෝ කරුණු පිළිබඳ අවබෝධයක් මෙහිදී පැවතිය යුතුය.

මේ සඳහා ජාතික තලයේ සැලැස්මක් පැවතිය යුතුය. ලංකාවේ මෙම කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය කෙලෙසක පවතිනවාද යන්න පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකිය. මෙය නිසි ලෙසින් පරිසරයට බැහැර නොකළහොත් පරිසරයට සිදුවන්නේ හානියකි. මෙහිදී පරිසරයට වන හානිය මානව ජීවිතවලටද හානියකි.

මේ වන විට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිත කරන ක්‍රමවේද කිහිපයකි. ඒවා නම් දවා අළු කිරීම (Incineration), පීඩනතාපකය(Autoclaves), විෂබීජනාෂක යාන්ත්‍රික හා රසායනික (Chemical or mechanical Disinfection), විකිරණ පාත්‍රණය (Irradiation), කාච්කරණය (Vitrification)6., Microwaveය. පසුකාලීනව මෙම අපද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නේ කෙලෙසද යන්න අවධානය යොමු කළ යුතුම කාරණයකි. රෝහල් අපද්‍රව්‍යවලින් සියයට පහළොවක පමණ කොටස් ඉතාම විධිමත් දැඩි අවදානම් සහිත අපද්‍රව්‍යයන් ලෙස හඳුනාගෙන බැහැර කිරීමට සිදුවේ. අපද්‍රව්‍යයන්හී තිබෙන්නා වූ ඇතැම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පසුව නැවත භාවිත කිරීමේ හැකියාවක් පවතී. ඇතැම් අපද්‍රව්‍ය දහනය කිරීමට සිදුවේ. එම අපද්‍රව්‍ය පොළොවට බැහැර කිරීම හෝ ජලයට බැහැර කිරීම සුදුසු නොවේ.

ජර්මනිය වැනි රටවල මේ සඳහා පිළිගත් නෛතික ක්‍රියාවලියක් පවතී. ඒ අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකෙරේ. අදාළ රෝහල් කාර්යමණ්ඩලයත්, නගර සභා, ප්‍රාදේශීය සභා මට්ටමෙන්, ප්‍රාන්ත මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් මේ දැනුවත් කිරීම් සිදුකර තිබේ. එහිදී රෝහල් නාගරික පරිපාලන ආයතන සමග සෘජුව බැඳී සිටියි. මේ සඳහා යහපත් ප්‍රතිපත්ති මාලාවක් පවතී. ඇතැම් රටවල දැඩි හානිදායක අපද්‍රව්‍ය සඳහා අවදානම් සහිත යැයි වෙන් කළ භාජන ඇත. කෙමිකල් වැනි ද්‍රව්‍ය සඳහාද වෙනම වූ නීතිරීති ක්‍රමවේදයක් පවතී. මෙම කසළ වෙනම දාහක උදුන් භාවිත කර අධික තාපයක දැවීම සිදුකරයි. දහනය වීමෙන් අනතුරුව අපද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරයි. මෙය වාණිජමය ක්‍රියාවලියකි.
ජර්මනිය වැනි රටක වාර්ෂිකව මිලියන  ටොන් 401 රෝහල්වලින්   අපද්‍රව්‍ය නිකුත් වේ. මේ සඳහා වූ පෞද්ගලික හා රාජ්‍ය ආයතන පවතී. රෝහල්, රජය පෞද්ගලික ආයතන ඒකාබද්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයන්හී නිර්දේශයන්ට අනුව මේ කටයුතු සිදුකරනා ක්‍රියාවලියක් තුළ බැඳී සිටී. හානිදායක වන සියයට පහළොව අධික තාපයකින් පුලුස්සා දැමීම සිදුකෙරේ.

ඇතැම් රටවල මෙවැනි ක්‍රම පටිපාටියක් නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය අපද්‍රව්‍ය බැහැර කරනා අාකාරයට පොළොවේ වළදැමීම හෝ සාමාන්‍ය අපද්‍රව්‍ය සමග මිශ්‍ර වීම සිදුවේ. ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පෞද්ගලික ආයතන කිහිපයක් පැවතියද, පොදුවේ බැලූ කල ග්‍රාමීය ප්‍රදේශවලට යෑමේදී යම්කිසි අවදානම් සහිත තත්ත්වයක් පවතී.

සෞඛ්‍යයට හානිදායක අපද්‍රව්‍ය සහ එසේ නොමැති අපද්‍රව්‍ය තෝරා බේරා ගැනීමටත්, ඒවා විනාශ කිරීමේ ක්‍රමවේදය පිළිබඳවත් මෙහිදී අඩු දැනුවත්භාවයක් පවතී. මේවා වර්ගීකරණය කිරීමේ ක්‍රම පටිපාටිය අනුගමනය කිරීම පිළිබඳවද ප්‍රශ්නයක් පවතී. රෝහල් පමණක් නොව ඇතැම් නගර සභාවල මෙම ක්‍රියාවලිය සිදුකිරීමේදීද මේ පිළිබඳ අවබෝධය නොමැති බව පෙනී යන කාරණයකි. බොහෝ විට රෝහල්වල සාමාජිකයන් අතර පවතින්නා වූ අන්තර් සම්බන්ධතා දුර්වලය. රෝහල්වල කටයුතු කරන බොහෝදෙනෙකු වෘත්තීය මට්ටම්වල බලය රඳවාගෙන කටයුතු කරයි. මේ පරතරය හේතුවෙන්ම ආයතනික සාමූහික බැඳීම නැතිවී යයි. මේ නිසාවෙන් රෝහල්වල කසළ කළමනාකරණ ක්‍රියාවලියට එමගින් බලපෑමක් ඇතිවේ. 

මෙහිදී මෙම අපද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ සොයා බැලීමක් සිදුවන්නේද නැත. මේ පිළිබඳ අධ්‍යයනයක් හෝ සැලැස්මක් දකින්නට නොමැත. රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඒ අපද්‍රව්‍යයන්ට සිදුවන්නේ කුමක්ද, ප්‍රවාහනය සිදුවන්නේ කෙසේද? එය විනාශ කරන්නේ කෙලෙසද? අපද්‍රව්‍ය බැහැර කරනා ස්ථානය කුමක්ද ආදී දෑ පිළිබඳ වාර්තා සටහන් තිබිය යුතුය. දියුණු තාක්ෂණය භාවිත කර ඒවා පරිගණකගත කරන්නේ නම් එයද වඩා වැදගත් වනු ඇත. 

මේ සඳහා දියුණු පුද්ගල සම්පත් හා මූල්‍ය පහසුකම් අඩුය. ඇතැම් පෞද්ගලික ආයතන ජාත්‍යන්තර අපද්‍රව්‍ය ගෙනැවිත් ලංකාවේ තැම්පත් කිරීම සිදුකරයි. එය අතිශය හානිදායකය. මේ පිළිබඳ විධිමත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු අතර, මේ සඳහා වගකීමෙන් බැඳී සිටිය යුතුය. පාරිසරික ලෙස මානව සංහතියේ ඉදිරි ගමන් මග සුවදායී කරගැනීමට නම් මේ පිළිබඳ සිතාබලා කටයුතු කළ යුතුව තිබේ.

තොරතුරු-
පරිසර කළමනාකරණය හා ආණ්ඩුකරණය පිළිබඳ ජාත්‍යන්තර විශ්ලේෂක සහ ජර්මනියේ කසල් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක - ආචාර්ය සිසිර සද්ධාමංගල විතානාච්චි මහතා

- නිදුක් මදුෂික



Recommended Articles