රෝද තුනක් උඩ කාර් එකක් මවන කොල්ලුපිටියේ ත්‍රීවීල් රියැදුරා


අපි ඕනෑතරම් ටුක් ටුක්වල එහෙම නැත්නම් ත්‍රීවිල්වල ගිහිල්ලා තියෙනවනේ. දුප්පතාගේ හිතවතා කියලා හඳුන්වන්නෙත් ත්‍රීවිල් එකටනේ. පාරෙදී ගොඩක් අය ටුක් ටුක් එකට බැන්නත්, කාටහරි කරදරයක් වුණු ගමන් ඕනෑම කෙනෙක්ගේ මුවට නැගෙන්නේ ත්‍රීවිල් එකකවත් යමු, ත්‍රීවිල් එකක් නවත්තගමු, ටුක් ටුක් එකක්වත් නැද්ද වගේ වචනයි. කොල්ලුපිටිය දුම්රියපොළ අසල ත්‍රිරෝද රථ ගාලේ ඉන්න හජ්රින් මහතාව අපට මුණගැහෙන්නෙත් ඒ වගේ හදිසියේ හයර් එකක් යන අතරතුරයි. හජ්රින් මහතාගේ ත්‍රිරෝද රථය අනෙක් ත්‍රිරෝද රථවලට වඩා බෙහෙවින්ම වෙනස්. ඒ හජ්රින් මහතාගේ ත්‍රිරෝද රථයේ මගීන් වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන විවිධ පහසුකම් නිසයි.

 එතකොට මේකෙ තියෙන පහසුකම් මොනවාද? හයර් එක යන අතරතුරම මම ඇහුවා.

මම හැමදාම පාරට එන්නේ පත්තරය අරගෙන. දිනපතාම ත්‍රීවීල් එකේ පත්තරේ තියෙනවා. යන එන අයට දවසේ ප්‍රවෘත්ති ටික බලාගන්න පුළුවන්නේ ඒකෙන්. තව පිටිපස්සේ වතුර බෝතලයක් තිබෙනවා. උණුවතුර අවශ්‍ය නම් උණුවතුරත් ලබාදෙනවා. දුර ගමනක්, චාරිකාවක් වගේ යනවා නම් තේකක් බොන්න එහෙම උණුවතුර හීටරයක් තිබෙනවා. හදිසි අසනීපයකට, තුවාලයකට බෙහෙත් ඇතුළත් ප්‍රථමාධාර පෙට්ටියක් තිබෙනවා. සැනිටයිසර් බෝතලයක් තිබෙනවා. මේ දවස්වල රටේ තිබෙන සෞඛ්‍ය තත්ත්වය නිසා හැම මගියෙක්ටම වාහනයට නගින්න කලින් සැනිටයිසර් දීලා දෑත් පිරිසිදු කරවනවා. එතකොට ඔය අත පිහිදාගන්න, මුහුණේ දාඩිය පිහිදාගන්න ටිෂූ පෙට්ටියක් තියලා තියෙනවා. තව පොඩි ෆෑන් එකක් තිබෙනවා. කුඩා රූපවාහිනියක් තිබෙනවා. මගියා ඉල්ලන සින්දුවක් දෙන්න පුළුවන් කැසට් එකක් තිබෙනවා. මම වැඩියෙන්ම දාගෙන යන්නේ සුභාවිත ගීත. මොකද හැම මගියෙකුගේම යන පොඩි වෙලාවේ වුණත් හිත නිවන්න පුළුවන් සුභාවිත ගීතයට. ඊට අමතරව මගියා කැමති සින්දු තියෙනවා නම් ඒවා වුණත් ඉල්ලන්න පුළුවන්. තව පුළුන් කොට්ටයක් තිබෙනවා. ඔළුව කැක්කුමකට, බඩේ අමාරුවකට ඔළුව තියාගෙන යන්න පුළුවන්. ත්‍රීවිල් එකක් කියන්නේ හැමතිස්සේම ගැස්සි ගැස්සි යන වාහනයක්නේ. ඉතින් අසනීප අයට ඒක අපහසුවක් වෙන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක තියෙන්නේ එක ආරක්ෂිත දොරක්නේ. මගේ ත්‍රිරෝද රථයේ දෙපැත්තම දොරවල්වලින් ආවරණය කරලා තියෙන්නේ. මේ ආරක්ෂිත දොරවල් දෙක නිසා මගීන්ගේ බඩු හුළඟට එළියට යන්නෙ නැහැ. වාහනේ ඇතුළෙම තමයි වැටුණොත් වැටෙන්නේ. ඒ වගේම හැමතිස්සෙම ත්‍රිරෝද රථය පිරිසුදුව තියාගන්නවා. සීට් බෙල්ට් තියෙනවා. වැස්සට කුඩයක් තියෙනවා. මගියාට යන්න ඕන තැනට ගියාට පස්සේ වැස්ස නම් මම කුඩයෙන් එයාව එතන ආරක්ෂිත තැනකට ගිහිල්ලා දානවා. ඔය ටික තමයි තියෙන්නේ.*

ඇයි මේ විදිහට වාහනය ඇතුළ හදලා තියෙන්නේ?  මම ඇහුවා.

අපි මගියාගෙන් මුදලක් අය කර ගන්නවානේ. ඉතින් ඒ අයකරන මුදලට සාධාරණයක් කරන්න මගියට පහසුකම් ලබාදෙන්න ඕනේ. රුපියල් පනහක දුරක් ගියත් යන මගියා සන්තෝසෙන් ගිහිල්ලා බහින්න ඕනේ. මගෙත් එක්ක යන හැම මගියෙක්ම සන්තෝසයෙන් තමයි යන්නේ. පොඩි දුරක් ගියත් ඒ යන ටිකට මේ පහසුකම් භුක්ති විඳින්න එයාට පුළුවන්.

හයර් එක ගිහිල්ලා මම මුදල ගෙවද්දී හජ්රීන් රියැදුරු මහතා මට ටිකට් එකකුත් දුන්නා. ඕනෑතරම් ත්‍රීවීල්වල ගිහිල්ලා තිබුණු මට මේ විදිහට ටිකට් එකක් ලැබුණු පළවෙනි අවස්ථාව. මේ ගැනත් මම හජ්රීන් මහතාගෙන් විමසුවා.

මම පළවෙනි කිලෝමීටරේ පටන් ගන්නේ රුපියල් පනහෙන්. දෙවැනි කිලෝමීටරේ ඉඳලා රුපියල් හතළිහයි. ඉතිරි රුපියල වුණත් මගියාට මම දෙනවා. ඒ වගේම හැම හයර් එකකටම ටිකට්පතක් නිකුත් කරනවා. හයර් එක පටන් ගන්නකොටම මම මීටරේ ඔන් කරනවා. හයර් එක ඉවර වුණාම මීටරේ ඕෆ් කරනවා. එතකොට ඉබේම ටිකට්පත නිකුත් වෙනවා. ටිකට් නිකුත් කරන යන්ත්‍රයක් මම මීටරේට වෙනම සවි කරලා තියෙන්නේ. වාහනයේ අංකය, මගේ දුරකථන අංකය, ගියපු කිලෝමීටර් ගාණ, වේටින් ටයිම් එක, හයර් එක පටන්ගත්තු තැන, හයර් එක අවසන් කරපු තැන, දිනය, වෙලාව හැමදේම ටිකට් එකේ සඳහන් වෙනවා. මේ පහසුකම් පාවිච්චි කළා කියලා අමතරව කිසිම ගාණක් අය කරන්නේ නැහැ. මගීන්ගේ බඩු අමතක වෙලා ගිහිල්ලා නම් එයාලා මට කෝල් කරලා කියනවා. එතකොට මම ගිහින් ඒක බාර දෙනවා. දුරකථන අංකය තියෙන එකෙන් ඒ වගේ දේවල් කරන්න පුළුවන්නේ.

මගීන්ට මෙච්චර පහසුකම් ලබාදෙන ත්‍රීවිල් රියැදුරෝ ඉතා අල්පයි. හජ්රීන් මහතා සමග ටිකක් කතා කරන්නත් හිතුවේ ඒ නිසාමයි.

මගේ පදිංචිය කොළඹ 10. මගේ පවුලේ නෝනයි, පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ. මගේ ත්‍රීවිල් එක තමයි %ලිබා මීටර් ටැක්සි^ කියන්නේ. කොල්ලුපිටියේ ස්ටේෂන් එකට එන ගොඩක් අය නම් මාව අඳුරනවා.

මම ත්‍රිරෝද රස්සාව කරන්න පටන් අරගෙන අවුරුදු තිහකට විතර කිට්ටුයි. මම හැමදාම ඉන්නේ කොල්ලුපිටියේ දුම්රියපොළ පාරේ. එතන තමයි ඉතින් මගේ නැවතුම්පොළ. මගේ මීට කලින් තිබුණු වාහනයත් මේ වගේම පහසුකම් නිර්මාණය කරලා තිබුණා. ඒක විකිණුවා. ඊට පස්සේ තමයි මේ තියෙන වාහනය ගත්තේ.

ත්‍රීවිල් රස්සාව හරි නිදහස් රස්සාවක්. ඒකයි අවුරුදු තිහක ඉඳලාම මේ රස්සාව කරන්නේ. පාන්දර පහට මම පාර්ක් එකට එනවා. එතන ඉඳලා රෑ දහය එකොළහ වෙනකල් මම ඉන්නේ මෙයත් එක්කම තමයි. මම බාල වයසෙන් ත්‍රීවිල් එක අතට ගත්තේ. ත්‍රීවිල් එක පැදලම මම දැන් නාකිත් වෙලා. මගේ පළවෙනි රස්සාව තමයි මේක. කවදාවත් මේ රස්සාව අත්හැරලා යන්න හිතිලා නැහැ. අනික දැන් අපි වයසයිනේ. වෙන රස්සා කරන්නත් බැහැ. මේ රස්සාවෙන් මම තෘප්තිමත් වෙනවා.

මෙහෙම ලස්සන දේවල් තියෙන හජ්රීන් මහතාගෙන් රෝද තුනේ මිතුරා එක්ක මහ පාරේදි සිදුවුණ අමතක නොවන දේවල් ගැනත් මට අහන්න හිතුණා.

මහ පාරේ ත්‍රීවිල් එකත් එක්ක අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ගොඩක් අනතුරුවලට පත්වෙලා තියෙනවා. එල්.ටී.ටී.ඊ කලබල කාලේ ගොඩක් සිදුවීම්වලට මුහුණ දීලා තියෙනවා. කලබල කාලේ ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු එහෙම ගෙනිහින් තිබෙනවා. ඒ වගේ මතකයන් ගොඩක් තිබෙනවා. දැනට අවුරුදු දහයකට දොළහකට විතර කලින් අසනීප වුණු ගෑණු කෙනෙක්ව මොරටුවේ ඉඳලා මම ඉස්පිරිතාලෙට ගේනවා. එතකොට මගේ අලුත්ම වාහනයක් තිබුණේ. රාවතාවත්තෙදි ත්‍රීවිල් එක මග නැවතුණා. පෙට්‍රෝලුත් තියෙනවා. අලුත්ම වාහනේ, කිසිම ලෙඩක් තිබ්බෙ නැහැ. අනික මේ මහ දවල්. කොච්චර ස්ටාර්ට් කළත් ස්ටාර්ට් වුණේ නැහැ. තල්ලු කරලා තල්ලු කරලා බැලුවත් වාහනේ ස්ටාර්ට් වුණේ නැහැ. ඊට පස්සේ ඒ ලෙඩාව වෙන ත්‍රීවිල් එකක් නවත්වලා යැව්වා. පස්සේ ස්ටාර්ට් කරද්දි යස අගේට ස්ටාර්ට් වුණා. දැන් මගේ හිතට අවුල්. එහෙම්මම මම ගෙදර ඇවිත් කෑම කන්න හැදුවත් කන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මම නිදාගත්තා. ඇහැරුණේ පහුවදා උදේ. ඊට පස්සේ ඇඳුම් මාරු කරද්දි මගේ පිටේ ඇඟිලි පාරවල් තියෙනවා.  ගෙදරින් ඇහුවා කවුරුහරි එක්ක රණ්ඩු වුණාවත්ද කියලා. මම කවදාවත් රණ්ඩු වෙන කෙනෙක් නෙවෙයි. මම වෙච්ච සිද්ධිය කිව්වා. ඒ ලෙඩ ගෑණු කෙනාගේ පණ යන වෙලාවේ එයාගේ අත්පාරවල් මගේ පිටේ වැදිලා. මම හිතන්නේ දඟලපු පාර නිසා වෙන්න ඇති.

මාත් එක්ක පොඩි දුරක වුණත් යන හැම කෙනෙක්ම කියන්නේ මේ පහසුකම් වල තියෙන හොඳ ගැන තමයි. මගීන් හරි සැහැල්ලුවෙන්, සතුටෙන් යනවා. මගීන් සතුටු වෙනකොට ඒක මටත් ලොකු සතුටක්. එහෙම කියාගෙනම හජ්රීන් යන්න ගියේ මට එයාගේ කතාව ලියන්නත් අවසර දීලයි.



Recommended Articles