තමන්ගේ නැගෙනහිර කරස අහිමි වීම නිසා මුහුණ දුන් කටුක යථාර්ථය විසින් පාකිස්තානයට පාඩම් රාශියක් උගන්වනු ලැබීය. ඉන් පළමු සහ වැදගත්ම පාඩම වූයේ කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ගැලවුම්කරුවා සහ ආරක්ෂකයා ලෙස පෙනී සිටි එක්සත් ජනපදයේ දෙබිඩි පිළිවෙතයි. චීනය සමග රහස් ගිවිසුමකට ගොස් සෝවියට් සංගමය දුර්වල කිරීමේ තීරණාත්මක මෙහෙයුම සඳහා තමන්ට රිසි සේ පාකිස්තානය භාවිත කිරීමට නික්ෂන් පරිපාලනයට හැකි විය. නමුත් පාකිස්තානයේ කරසක් අහිමි කළ එම දෛවෝපගත සිදුවී වැළක්වීම සඳහා එම සුපිරි බලවතුන්ට කළ හැකි දෑ ඉතා සීමා සහිත විය.
විශේෂයෙන් එක්සත් ජනපදය නැගෙනහිර පාකිස්තානය තුළ පාකිස්තාන හමුදාව විසින් සිදු කළ ඝාතන ගැන යම් අවබෝධයක සහ නිශ්චිත තීරණයක පසුවූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සී.අයි.ඒ. සංවිධානය විසින් ප්‍රසිද්ධ කර ඇති ලේඛන පරීක්ෂා කිරීමෙන් අවබෝධ කරගත හැකිය. නැගෙනහිර පාකිස්තානය පුරා සිදු වූ සමූලඝාතන නැවැත්වීම සඳහා සාමූහික වෑයමක් නොගැනීමට එක්සත් ජනපදය තීරණය කළද පාකිස්තානයට තම නැගෙනහිර කරස රැක ගැනීමට සහයෝගය ලබාදීමක් සිදු කළ බවක්ද පෙනෙන්නට නැත. මේ නිසා ඉන්දීය ආරක්‍ෂක හමුදාවට සහ ඔත්තු සේවාවලට තම මෙහෙයුම් කටයුතු සිදුකිරීම ඉතා පහසු විය.
1971දී බංග්ලාදේශය බිහි කිරීම බෙංගාලි ජාතිකයන්ගේ මෙන්ම ඉන්දිරා ගාන්ධි ලැබූ අතිවිශාල ජයග්‍රහණයකි. නමුත් එම ජයග්‍රහණය එම ප්‍රදේශයට පමණක් සීමා කිරීමට ඉන්දිරා ගාන්ධි කටයුතු කළාය. මෙහිදී බොහෝදෙනෙකු අසන මූලික කාරණයක් තිබේ. එනම් පාකිස්තානය 1947දී ආක්‍රමණය කිරීමෙන් අල්ලාගත් ජම්මු සහ කාශ්මීරයේ කරස මෙන්ම එහි උතුරු දෙසට වන්නට පිහිටි ගිලිගිට් සහ බල්චිස්තාන් ප්‍රදේශ යළි තම ග්‍රහණයට ගැනීමට ඉන්දියාවට හැකියාව තිබුණත් නොකළේ මන්ද යන්නය.
1947දී පාකිස්තානය සහ ඉන්දියාව වෙන් කිරීමෙන් පසු ජම්මු සහ කාශ්මීරයට එක්කෝ පාකිස්තානය සමග නැත්නම් ඉන්දියාව සමග එකතුවීම සඳහා තනිව තීරණය කරන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් ඉල්ලා සිටියහ. නමුත් එහි පාලකයා වූ මහරාජා හරි සිංග් ස්වාධීනව සිටීමට තීරණය කළේය. එහෙත් 1947දී පාකිස්තානයේ පස්තුන් ගෝත්‍රිකයන් ජම්මු සහ කාශ්මීරය ආක්‍රමණය කළ අතර, ඊට එරෙහිව සටන් කිරීම සඳහා හරි සිංග් එවකට ඉන්දියාවේ ඉන්දීය ආණ්ඩුකාර ජනරාල් ලෙස කටයුතු කළ මවුන්ට්බැටන්ගෙන් සහයෝගය ඉල්ලා සිටියේය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මවුන්ට්බැටන් එම ප්‍රදේශය ඉන්දියාවේ කරසක් බවට පත් කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමට යෝජනා කළේය. පාකිස්තාන රජය සහ කාශ්මීර වැසියන්ගෙන් කරසක් ඉන්දියාව කාශ්මීරයට පවරා ගැනීමේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කළ බැවින් ජනමත විචාරණය පැවැත්විය නොහැකි විය. කෙසේ වෙතත් අවසානයේදී 1947 ඉන්දියානු නිදහස් පනතේ විධිවිධාන ප්‍රකාරව මහාරාජා හරි සිං තම ප්‍රාන්තය ඩොමීනියන් ඉන්දියාවේ කරසක් ලෙස පිළිගැනීමට එකඟ විය. 1971දී පාකිස්තානය ලැබූ දරණු පරාජයෙන් පසු පාකිස්තානයේ අල්ලාගෙන සිටින කාශ්මීරයේ කරස යළිත් අල්ලා ගැනීමට 1971දී ඉන්දිරා ගාන්ධිට හැකියාව තිබුණු නමුත් ඇය එවැනි පියවරක් නොගත්තාය.
ඇගේ එම පියවරට ඍජු පිළිතුරක් නැතත් ඇතැම් ඉන්දීය විශේෂඥයන්ට අනුව නම් ඇයට අවශ්‍ය වූයේ පාකිස්තාන හමුදාවේ අකටයුතුකම් නිසා පාකිස්තානය බලවත්ම අවමන්සහගත මොහොතට මුහුණ දී සිටි අවස්ථාවේ කාරුණික වීමට සහ පාකිස්තානයේ දේශපාලන නායකත්වය ශක්තිමත් කිරීමට සහාය වීමය. කෙසේ නමුත් යුද්ධයෙන් පසුද පාකිස්තානයේ අභ්‍යන්තර දේශපාලන ගැටුම් සිදුවූ අතර හමුදාව රටේ පරිපාලනයට ඇඟිලි ගැසීම දිගින් දිගම සිදු විය. මේ නිසා නැගෙනහිර පාකිස්තානය තමන්ට අහිමි වීමෙන් ඉගෙනගත යුතුව තිබුණු පාඩම් ඉගෙන ගැනීමට පාකිස්තානය අදටත් සමත්වී නැත.
1971 යුද්ධය අවසන් වූයේ ඉන්දීය රෝ ආයතනය සහ එහි ප්‍රධානියා වූ කාඕ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අරටුව බවට පත්කරවමිනි. එනම් ඒ වනවිට කාඕ ඉන්දිරා ගාන්ධිගේ විශ්වාසවන්තම උපදේශකයෙකු ලෙස ඉස්මතු වී සිටියේය. 1984 ඔක්‌තෝබර් 31වැනිදා ඇය ඝාතනය වන තෙක් ඔහු එම විශ්වාසය අඛණ්ඩව භුක්ති වින්දේය.
විශේෂයෙන් 1971 කාලය තුළ නැගෙනහිර පාකිස්‌තානයේ අර්බුදය සහ යුද්ධය මෙහෙයවීම සම්බන්ධයෙන් ඇය ඔහුගේ විමසීමකින් තොරව කිසිදු වැදගත් තීරණයක් නොගත් බව වාර්තා පෙන්වා දී ඇත. එම කාලය රෝ ආයතනයේ දීප්තිමත්ම යුගය බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම විය. කාඕ සහ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළ කේ. සංකරන් නායර්ගේ නායකත්වය යටතේ දකුණු ආසියානු කලාපයේ සිදුවූ ප්‍රධාන දේශපාලන සිදුවීමක ඉරණම තීන්දු කිරීමට හැකිවීම ආයතනයට ලැබූ ගෞරවයක්ද විය. කාඕට 1971දී වයස අවුරුදු 53ක් වූ අතර නායර් පනස්වැනි වියේ පසු විය. නායර් 1977දී කාඕගෙන් පසු ආයතනයේ ප්‍රධානියා ලෙස පත් වී මාස කිහිපයක් කටයුතු කළ නමුත් එවකට ඉන්දීය අගමැති මොරාජි දේසායි සමඟ ඇතිවූ මතභේද හේතුවෙන් සිය ධුරයෙන් ඉවත් විය.
කෙසේ වෙතත් බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසුවද රෝ ආයතනය බංග්ලාදේශයේ දේශපාලන සහ සමාජ කටයුතු ගැන ඉතා දැඩි උනන්දුවකින් පසු වූ අතර, බොහෝ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා දායක වූ බව නිරීක්ෂණය කළ හැකිය. එසේම බංග්ලාදේශයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ රෝ ආයතනය තමන් සහයෝගය දැක්වූ දේශපාලනඥයන් ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වී ඇත.
නිදහස් බංග්ලාදේශයේ ප්‍රථම නායකයා වූ ෂෙයික් මුජිබුර් රහ්මාන්ගේ (මුජීබ්) ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරනු ලැබූ කාඕ, නව නායකයාට ඇතිවිය හැකි අනතුරු ගැන නිවැරදි තක්සේරුවක පසු විය. එබැවින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවූ සෑම අවස්ථාවකදීම ඒ ගැන දැනුම්වත් කිරීම සඳහා කාඕ පෞද්ගලිකවම ඩකා නුවරට ගියේය.
මුජිබ්ට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියත්මක වන බව ඉන්දීය ඔත්තු සේවාවන් 1974 සිට දැන සිටියේය. කාඕ ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදීම ඉන්දිරා ගාන්ධි දැනුම්වත් කළ අතර, ඒ අනුව ඇය මුජීබ් දැනුම්වත් කළාය. ඒ සෑම අවස්ථාවකදීම පාහේ මුජීබ් සඳහන් කර ඇත්තේ. &මේ මගේම දරුවෝ, ඔවුන් මට හානියක් කරන්නේ නැහැ* කියාය. තමන්ට එරෙහිව තමන්ගේම දේශපාලන කඳවුර තුළ විරෝධයක් මතුවෙමින් තිබුණු බව මුජීබ්ට යම් අවබෝධයක් තිබුණත් එය ඔහු ඝාතනය කිරීමට තරම් බරපතළ විරෝධයක් ලෙස සැලකුවේ නැත. ඒ නිසා 1975 මාර්තු මාසයේදී ඔහු හමුවීම සඳහා තම නියෝජිතයෙකු යැවීමට කාඕ තීරණය කළේය. නමුත් එම නියෝජිතයා හමුවේද මුජීබ් පවසා ඇත්තේ තමන්ගේම දරුවන් මෙන් සිටින පුද්ගලයන් කිසිම දිනක තමන්ට හානියක් නොකරනු ඇතැයි කියාය.
මෙවැනි පසුබිමක කාඕ 1975 අගෝස්තු මාසයේදී ඩකාහි පිහිටි මුජීබ්ගේ ධන්මොන්දී නිවසට ගොස් ජාතියේ පියා වූ ඔහුව ඔහුගේම ආණ්ඩුවේ සහ රාජ්‍යයේ පිරිසක් විසින් ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇති බරපතළ කුමන්ත්‍රණය පිළිබඳ දැනුම්වත් කළේය. ඒ මොහොතේ මුජීබ් නිවසේ නොසිටි බැවින් කාඕ සිදුවිය හැකි ප්‍රහාරය පිළිබඳ ඔහුගේ බිරිඳ වූ බංගමතා බෙගම් ෆාජිලතුන්නේසා මුජීබ්ට දැනුම් දුන්නේය. එනම්, 1975 අගෝස්තු 06වැනිදා කාඕ අංක 32 ධන්මොන්දී නිවසට ගොස් ඔහු ෆාජිලතුන්නේසා මුජීබ්ට උපදෙස් දෙනු ලැබුවේ එම නිවසේ රැඳී සිටි සියලු සාමාජිකයන් ඉන් වහාම ඉවත් කරගන්නා ලෙසත් ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාගේ නිල නිවස වූ බන්ගභාබන් වෙත මාරු වන ලෙසත්ය. අවාසනාවන්ත ලෙස ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසු බව සඳහන් වේ “ඔහුට [බංගබන්ධු/මුජීබ්] බංගබාබන්හි ජීවත් විය හැකියි. නමුත් මම කොහෙත්ම මේ ගෙදර දාලා යන්නේ නෑ. එයා හිරේ ඉන්න කාලෙ මට මගේ පවුල එක එක තැන්වලට මාරු කරන්න සිද්ධ වුණා. අපට කියලා ස්ථිර පදිංචියට තැනක් තිබුණේ නැහැ. අපි මේ ගේ හැදුවේ සෑහෙන දුක් විඳලා. මම මේ තැන දාලා යන්නේ නැහැ.”
එසේම කාඕගේ අනතුරු ඇඟවීමෙන් දිනකට පසු බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ සමර් සෙන් මුජිබ් හමුවී මුජීබ්ට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණය ගැන දැනුම්වත් කළේය. සියලු අනතුරු ඇඟවීම් නොසලකා බංගබන්ධු සහ ඔහුගේ පවුලේ අය 1975 අගෝස්තු මාසයේ මුල් දිනවල සුපුරුදු පරිදි ඔවුන්ගේ ජීවිත සමග කාර්යබහුල වූ අතර කුමන්ත්‍රණකරුවන් ඔවුන්ව කුරිරු ලෙස ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළහ. ඒ දිනවල බංගබන්ධුගේ දියණියන් දෙදෙනා වූ ෂෙයික් හසීනා (වත්මන් අගමැතිනිය) සහ ෂීක් රෙහානා ජර්මනියේ සංචාරයක නිරත විය. 1975 අගෝස්තු 05වැනිදා ෂෙයික් රෙහානා ඇගේ වැඩිමහල් සහෝදරයා වූ ෂෙයික් කමල්ගේ උපන්දිනය වෙනුවෙන් ජර්මනියේ සිට සුබපැතුම් එකතුකරමින් සහ තම විදේශ අත්දැකීමේ රසමුසු තැන් විස්තර කරමින් ලිපියක් යැවීමටද අමතක නොකළාය.
බංග්ලාදේශයේ නායකයා ලෙස සේවය කර නව මැතිවරණයක් පවත්වා එහි ජයග්‍රහණය භුක්ති විඳිමින් සිටි මුජීබ්ට එය ඉතාම කාර්ය බහුල කාලයක් විය. ඔත්තු සේවා සහ අනෙකුත් මිතුරන් ලබා දුන් උපදෙස් නොසලකා හරිමින් රට වෙනුවෙන් සේවය කළ මුජීබ් ඇතුළු පවුලේ සාමාජිකයන් සොයා පැමිණි ඝාතකයන් 1975 අගෝස්තු මාසයේ 15වැනිදා සිය ඉලක්කය සපුරා ගත්හ. මුජිබ් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන්ම සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ සියලුම දෙනා අමු අමුවේ මරා දැමීය. බංග්ලාදේශයේ පියා ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දුන්නේය.
බුද්ධි අංශවල තොරතුරු නොසලකා හැරීම නිසා රෝමයේ සීසර් ඝාතනය හා සමාන සිදුවීමක් වසර පහයි මාස අටක් වයසැති නව ජාතික රාජ්‍යයක් වූ බංග්ලාදේශය ලෝකයට ඉගැන්නුවේය. එනම්, කෙතරම් ශක්තිමත් බුද්ධි තොරතුරක් වුවත් ඒ ගැන නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් මුහුණ දීමට සිදුවන විපාකයේ ස්වභාවය මෙම කුරිරු ඝාතනය විසින් ලෝකයට ඉගැන්නුවේය.
ඒ වන විට බටහිර ජර්මනියේ සංචාරයක යෙදී සිටි මුජීබ්ගේ දියණියන් වන ෂෙයික් හසීනා සහ ෂීක් රෙහානා පමණක් දිවි බෙරා ගත්හ. ඔවුන්ට නැවත බංග්ලාදේශයට පැමිණීම කාලයක් යනතෙක් තහනම් විය. කුමන්ත්‍රණය සැලසුම් කරන ලද්දේ මුජීබ්ගේ පරිපාලනය ගැන අතෘප්තිමත් වූ අවාමි ලීගයේ සගයන් සහ හමුදා නිලධාරීන් විසින් වූ අතර, ඊට මුජීබ්ගේ විශ්වාසවන්තම සඟයා වූ මොස්ටාක් අහමඩ්ද ( සීසර්ගේ බෘටස් හා සමාන චරිතය) ඇතුළත් විය. මේ අතර, එක්සත් ජනපදයේ සී.අයි.ඒ. මෙම ඝාතන කුමන්ත්‍රණයට උල්පන්දම් දුන් බවට විවිධ චෝදනා එල්ල විය. මුජීබ්ගේ ඝාතනය රට නවාකාරයක දේශපාලන අඝාධයකට ඇද දැමීය.
සේයාරුව - ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සහ ෂීක් මුජිබර් රහ්මාන්
සටහන - නිලන්ත ඉලංගමුව
නමවන කොටස කියවීම සඳහා පිවිසෙන්න - https://bit.ly/32FwZ70