වතු ආශ්‍රිතව පැවැති වතුකම්කරු වැටුප් අරගලය මේ වන විට අගනගරය දක්වාද ව්‍යාප්ත වී තිබේ. ජීවත් වීමට හැකි වැටුපක් ඉල්ලා ආරම්භ වූ වැටුප් අරගලය මේ වන විට දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත්කර ගැනීම දක්වා ගමන්කර ඇත. එහෙත් වතු සමාගම් සඳහන් කරන්නේ වතු, පාඩු ලබමින් තිබෙන බැවින් රුපියල් දහසක වැටුපක් ලබා දීමට නොහැකි බවයි. වතු සමාගම් එසේ පැවසුවද වතු අධික ලෙස ලාභ ලබමින් තිබෙන බවට වතුකම්කරුවෝ හා වතුකම්කරු වෘත්තීය සමිති සඳහන් කරති. මේ නිසා මේ පිළිබඳ %අද^ සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ලේකම් ජේ.ඒ. ප්‍රේමරත්න මහතා සමග කතාබහක නිරත විය.
වතු කම්කරු ප්‍රමාණය
රජය යටතේ පැවැති වතු 90 දශකයේදී සමාගම් විසින් බදු ලබා ගත්තා. එම වතුවල මේ වන විට එක්ලක්‍ෂ පනස්දහසකට අධික ජනතාවක් සේවය කරනවා. මීට වසර 10කට පෙර එම ප්‍රමාණය ලක්‍ෂ පහකට අධිකයි. වතුකම්කරුවාට ලබාදෙන වැටුප ප්‍රමාණවත් නොවීම නිසා දිනෙන් දිනම ජනතාව වෙනත් රැකියාවල් සඳහා යනවා. ඒක නිසා ලක්‍ෂ පහකට අධික කම්කරු ජනතාව සිදු කළ සේවා අද දවස වන විට ලක්‍ෂ එකහමාරකට අධික පිරිසකට සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ.
වර්තමාන වැටුප
මේ වන විට වතුකම්කරුවාගේ දෛනික වැටුප තීරණය කරන්නේ වතු සාමූහික ගිවිසුමක් මගින්. වර්තමානය වන විට එය වසර දෙකෙන් දෙකට සිදු වෙනවා. අවසන් වරට වතු සාමූහික ගිවිසුමක් අත්සන් කළේ, 2016 වසරේ ඔක්තෝබර් 15 වැනිදා. එම ගිවිසුමේදී වතුකම්කරුවාගේ දෛනික වැටුප රුපියල් පන්සියයක් ලෙස ප්‍රකාශ වුණා. සියලු දීමනා සහිතව එම මුදල රුපියල් 730ක්. හැබැයි ප්‍රශ්නය වෙලා තිබුණේ මෙම වැටුප වතුකම්කරුවන්ගෙන් 70%කටම නොලැබීම. මොකද දීමනා ලබා ගැනීමට වතු සමාගම් ලබාදෙන වැඩ ඉලක්ක සම්පූර්ණ කළ යුතුයි. ඒ වගේම ලබා දෙන දින ගණන සම්පූර්ණ කළ යුතුයි. ඒක නිසා වතු සමාගම් සෑම විටම ඉලක්ක ලබාදෙන්නේ වතු ජනතාවට ඉටුකළ නොහැකි ආකාරයට.
වතු සාමූහික ගිවිසුම අලුත් කිරීම
2016 වසරේ ඔක්තෝබර් 15 වැනිදා අත්සන් කළ වතු සාමූහික ගිවිසුමේ නිල කාලය 2018 ඔක්තෝබර් 15 වැනිදා වන විට අවසන් වුණා. ඒක නිසා නව වැටුප් ගිවිසුමක් 2018 වසරේ ඔක්තෝබර් 15 වැනිදා අත්සන් කළ යුතුව තිබුණා. ඒත් අද වනතෙක් එම ගිවිසුම අත්සන් කළේ නැහැ. ඒක නිසා අද දවසේදීත් වතුකම්කරුවාට ලැබෙන්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී ලබා දුන් වැටුපමයි. ගෙවීගිය මාස 27කට අධික කාලය තුළදී බඩු මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇඳුම්-පැලඳුම් පවා විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි වැටුප ශතපහකින් ඉහළ ගිහිල්ලා නැහැ. මේ නිසා වතුකම්කරුවා මේ වන විට අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒත් වතු හාම්පුතුන්ට, බලධාරීන්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ.
රුපියල් දහසේ වැටුප් අරගලය
වතුකම්කරුවාගේ ජීවන තත්ත්වය දශමයකින් හෝ ඉදිරියට ගන්න අපි 2015 වසරේදී වතුකම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්න කියලා වතුහාම්පුතුන්ට හා රජයට යෝජනා කළා. ඒ වෙනුවෙන් යම්යම් අරගලත් සිදු වුණා. ඒත් රුපියල් දහසක වැටුපක් ලබාගන්න බැරි වුණා. ඒක නිසා වර්තමානයට ගැළපෙන ලෙස දෛනික වැටුප රුපියල් 1,281ක් කරන්න කියලා අපි අරගලයක් ආරම්භ කළා. මේ අරගලය අපි ආරම්භ කළේ ටික දිනකින් වතුකම්කරුවාට මාසික වැටුපක් දිනා දීමේ බලාපොරොත්තුවෙන්. ඒත් කුමන හෝ පාර්ශ්වයක් දෛනික වැටුප රුපියල් දහසක් කරන්න කියන යෝජනාව කරළියට ගෙන ආවා. වතුකම්කරුවාත් සටන් පාඨය ලේසි නිසා රුපියල් දහසක් ඕන කියලා අරගල කරන්න ගත්තා. ඒක නිසා අද වන විට දියත් වෙන්නේ රුපියල් දහසක් දිනා ගැනීමේ සටනක්. ඒකටත් අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම වතුකම්කරුවාට මාසික වැටුපක් ලබාදීමේ අරගලයක් ඉදිරියට ගෙන යනවා.
වතුකම්කරුවාගේ වැටුප් ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වීම
මේක ඉතා හොඳ දෙයක්. මොකද මෙච්චර කල් වතුකම්කරුවන් තනිවම තමන්ගේ ප්‍රශ්නවලට සටන් කළා. ඒත් බලධාරීන්, පාලකයන් ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමුකළේ නැහැ. ඒක නිසා වතුකම්කරුවාට වැටුපක් දිනාදීම සඳහා වෙනත් බලවේග එකතු වෙලා තියෙනවා. ඒක නිසා වතුකම්කරුවාගේ ප්‍රශ්නයට කොළඹත් උද්ඝෝෂණ විරෝධතා පවත්වන තත්ත්වයට පත්වුණා. මේ නිසා තනි තනිවම සිදු වුණු සටන් ක්‍රියාමාර්ග පොදු සටනක් බවට පත්වෙලා තියෙනවා.
අරගලවල අවසානය
ඒක සිදුවෙන්නේ වතුකම්කරුවාට සාධාරණ වැටුපක් දිනා දීලා. වතු හාම්පුතුන්, බලධාරීන් අදාළ වැටුප ලබාදෙන්න අද තීරණය කළොත් මේ සටන අදින් අවසන්. ඒක නිසා වැටුප් සටන අවසන් වෙන්නේ කවදාද, කොතැනින්ද කියලා අපට කියන්න බැහැ. අපි සටනක් ආරම්භ කළා. ඒක පසුගිය දිනවලදී යම්යම් පිරිස් මොට කර දැමීමට උත්සාහ කළා. ඒත් සටන දිගටම යනවා.
වතු හාම්පුතුන්ගේ ප්‍රකාශ
වතු හාම්පුතුන් රුපියල් 700ක් දෙන්නම් කිව්වා. ඒ වගේම රුපියල් 930ක කතාවකුත් කිව්වා. ඔවුන් දෛනික වැටුප් යෝජනා කරන්නේ දීමනා කිහිපයකුත් එකතු කරලා. ඔය වැඩේ අඛණ්ඩවම සිදු කරනවා. ඒක නිසා තමයි දෛනික වැටුප රුපියල් දහසක් කරන්න කියලා සටනක් කරළියට එන්නේ. ඒ මුදල ලබා දෙන්න වතු හාම්පුතුන්ට සිදු වෙනවා. මොකද වැටුප දිනා ගැනීමේ සටන මේ වන විට අඛණ්ඩව සිදු වෙනවා.
වතු පාඩු ලබන බවට සිදු කරන ප්‍රකාශ
අනූව දශකයේදී වතු සමාගම් රජයෙන් බදු ලබාගත්තේ ලාභ ලබමින් තිබෙන වතු. පාඩු ලබමින් තිබුණු එකම වත්තක්වත් ඔවුන් බදු ගත්තේ නැහැ. ඒක නිසා පාඩු ලැබූ වතු සමාගම් තුනක් යටතේ රජය පාලනය කරනවා. ලාභ ලැබූ වතු සමාගම් 22ක් මගින් පාලනය කරනවා. අනූව 90 දශකයේ ලාභ ලැබූ වතු, පාඩු ලබනවා නම් එහි වගකීම වතු සමාගම් භාරගත යුතුයි. මොකද වතු නඩත්තු කිරීම සමාගම් සතු කටයුත්තක්. අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව වතු විශාල ලාභයක් උපයා ගන්නවා. වතු පාඩු ලබනවා නම්, සමාගම්වලට කරන්න තියෙන්නේ ඒ වතු නැවත රජයට භාරදෙන එක. හැබැයි එහෙම දෙයක් සිදුවෙලා නැහැ.
වතු නිවාස
වතු ආශ්‍රිතව පවුල් ලක්‍ෂ පහකට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම පිරිසෙන් 10෴කටවත් නිවසක් නැහැ. පොදුවේ වතු ආශ්‍රිතව තියෙන්නේ ලැයිම් කාමර. සමහර ලැයිම් කාමර 1800 ගණන්වල ඉදිකරපුවා. ලැයිම් කාමරවල එක කාමරයක් තියෙන්නේ. කුඩා ආලින්දයක් වගේම වර්ග අඩි 20ක විතර මුළුතැන්ගෙයක් තියෙනවා. කාමරයක් තියෙන්නේ වර්ග අඩි 150ක විතර. අද වන විට එම කාමරයක පවුල් දෙක තුන ජීවත් වෙන ස්ථානත් තියෙනවා.
වැසිකිළි පහසුකම්
සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිකිරීම ගැන රට තුළ විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. හැබැයි වතු ආශ්‍රිතව වැසිකිළි පහසුකම් සැලසීමේදී ප්‍රධාන මාර්ග ආසන්නයේ තියෙන ලැයිම් කාමර දහයක, දොළහකට විතර එක වැසිකිළියක් දෙකක් වැනි ප්‍රමාණයක් තියෙන්නෙ. ප්‍රධාන පාරවල්වලින් ටිකක් ඈතට වෙන්න තියෙන ලැයිම් කාමරවලට එවැනි පහසුකම් නැහැ. ඒක නිසා එම ප්‍ර‘දේශවල ජනතාව තම අවශ්‍යතාවන් සිදු කරන්නේ කැලෑවලට ගොස්. මේක ඉතාමත් අවසානාවන්ත තත්ත්වයක්. වැසිකිළි පහසුකම් නොමැති වීමට අමතරව පානීය ජල පහසුකම් නැහැ. යන්න එන්න හරියට පාරක් නැහැ.
අධ්‍යාපන පහසුකම
සෑම දරුවෙකුම අධ්‍යාපනය ලබාදිය යුතුය කියන එක තමයි ලෝක සම්මතය. ඒත් වතු ආශ්‍රිත දරුවන්ට ඉගෙන ගන්න නිසියාකාරව පහසුකම් නැහැ. දිස්ත්‍රික්ක ලෙස සැලකීමේදී අඩුම අධ්‍යාපන තත්ත්වය තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. පොදුවේ ගත්තාම වතු ආශ්‍රිත පාසලක පළමු ශ්‍රේණියට ළමයින් සියයක් ඇතුළු වුණොත් සාමාන්‍ය ‘පෙළට පෙනී සිටින්නේ 53 දෙනයි. එම ප්‍රමාණයෙන් 12 දෙනෙක් පමණයි උසස් පෙළට පෙනී සිටින්නේ. උසස් පෙළට පෙනී සිටින සිය දෙනෙකුගෙන් විශ්වවිද්‍යාලයට යන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒ තත්ත්වයට වතු අධ්‍යාපනය පහළ මට්ටමක තියෙන්නේ.
සෞඛ්‍ය පහසුකම්
ජීවත් වීමට සරිලන වැටුපක් නොලැබීම නිසා වතුකම්කරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න හැකියාවක් නැහැ. ඒක නිසා වතුකම්කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් කුමන හෝ රෝගයකට ලක්වෙලා තියෙනවා. හැබැයි පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට වතු ආශ්‍රිතව රෝහල් නැහැ. යම්යම් ප්‍ර‘දේශවල ග්‍රාමීය රෝහල් තිබුණත් ඒවාට අවශ්‍ය තරම් කාර්යමණ්ඩල නැහැ. ඖෂධ හා උපකරණ නැහැ. සමහර ස්ථානවල ඖෂධවේදී තත්ත්වයේ පිරිස් ජනතාවට බෙහෙත් දෙනවා.
ප්‍රසූත නිවාඩු ලබා දීමේදී නිසි ලෙස ලබාදෙන්නේ නැහැ. ඒ වගේම සමහර සමාගම් කාන්තාවන් බඳවා ගැනීමේදී ඇය ගැබිනියක්ද යන්න සොයා ගැනීමට මූත්‍රා සාම්පල් පරීක්‍ෂාවක් කරනවා. ඒ තැනටම වතු ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය පහළටම වැටිලා තියෙන්නේ.
භාණ්ඩ මිල
වතු ආශ්‍රිතව පවතින බරපතළ කාරණා අතර භාණ්ඩ මිලේ තියෙන විකෘතිතාවත් තියෙනවා. මොකද නගරයේ රුපියල් 100කට අලෙවි කරන සීනි කිලෝව වතු ආශ්‍රිත වෙළෙඳ සැල්වල අලෙවි වෙන්නේ රුපියල් 125ත්, 130ත් අතර මුදලකට. තිරිඟු පිටි, සහල්, පොල්තෙල් ඇතුළු සෑම භාණ්ඩයකටම මිල ගත්තොත් වතු ආශ්‍රිත වෙළෙඳ සැල්වල ඉහළ අගයක් ගන්නවා. ලැබෙන්නේ සොච්චම් වැටුපක් වුණාට භාණ්ඩ මිල ඉතා ඉහළ අගයක්. පවතින ආර්ථික තත්ත්වය හා සොච්චම් වැටුපක් ලැබීම නිසා වතු ජනතාව බොහෝ භාණ්ඩ මිලදී ගන්නේ ග්‍රෑම් 50 හෝ 100 වශයෙන්. ඒ තරමටම වතු ජීවිත පහළට වැටිලා තියෙන්නේ.
අර්ථසාධක අරමුදල
වතු රැකියාවලට බඳවා ගැනීමේදී වතුකම්කරුවන්ට පත්වීම් ලිපියක් ලබාදෙන්නේ නැහැ. ඒක නිසා වත්තක අවුරුදු 25ක්, 30ක් වැඩ කළාට පස්සේ වත්තේ වැඩට බැඳුණු දවස කම්කරුවාට අමතකයි. මේක නිසා සමහර සමාගම් නිසි ලෙස අර්ථසාධක අරමුදලට මුදල් බැර කරන්නේ නැහැ. ඒක නිසා වතු සමාගම් බැර කරලා තියෙන මුදල භාර ගැනීමට කම්කරුවාට සිදු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ලිපිලේඛනවල තියෙන ගැටලු නිසා වතුකම්කරුවාට මියයන තෙක් අර්ථසාධක මුදල ලබාගන්න හැකියාවක් නැහැ.
රජය විසින් පාලන කරනු ලබන වතු ගත්තාම සමහර වතුවල සේවය කරන කම්කරුවන්ගෙන් අයකරන මුදල තැන්පත් කරන්නේ නැහැ. ඒක නිසා එම වතුවල ජනතාවටත් විශ්‍රාම යනකොට ලැබෙන්නේ සොච්චම් මුදලක්. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.