ලෝකයටම අලුත් වසංගතයක් වූ කෝවිඩ් 19 වෛරසය පාලනයට ඒ ඒ රටවල් තම තමන්ට ආවේණික වූ ක්‍රමවේද අනුගමනය කිරීම මුල් කාලයේදී සිදුවිය. නමුත් ක්‍රමයෙන් ලද අත්දැකීම් හා දැනුම මත වඩාත් ඵලදායී ක්‍රමවේද මොනවාදැයි දැනගන්නට ලැබිණ. ඒවාට අනුගතව සාර්ථකව ප්‍රශ්නය කළමනාකරණය කරගත් රටවල් මෙන්ම ප්‍රශ්නය අනාගෙන ඉල්ලන් කෑ රටවල්ද දැකගත හැකිය. මේ දෙවර්ගයේ රටවල් අතරින් කුමන කුලකයට ශ්‍රී ලංකාව අයිති වන්නේද යන්න සිතා බැලිය යුතුය. පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ කාල සීමාවේ මෙන්ම වසර අවසාන උත්සව සමයේද නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා මෙරට ජනතාව වසංගත තත්ත්වය ගැන සුළුවෙන් තැකූ බවට චෝදනාවකි. නැවතත් අලුත් අවුරුදු සමයෙන් පසු එවැනිම තත්ත්වයක් රටේ ඇතිවෙමින් පවතින බව පෙනේ. එසේ නම් රෑ වැටුණුවළට අපි වැටුණා නොව හිතාමතා පැන්නාද? නැත්නම් හිතාමතා රටම ඒ වළට තල්ලු කළාද? යන්න නුවණින් විමසන්නට අපි මෙලෙස පාඨක ඔබට ආරාධනා කරමු.
රට වැසීම ගැන හෝ ඉදිරි ක්‍රියාමාර්ග ගැන තවම තීරණයක් නැහැ
- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම මහතා
&විශේෂයෙන් මේ අවස්ථාවේදීත් අපි සාමාන්‍යයෙන් වෙනදට ගන්න ක්‍රියාමාර්ගවලට තවත් වැඩිපුර අවධානයක් යොමු කරලා ශක්තිමත් කරගත යුතුයි. අපි පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙනුත් මේ ගැන දැනුම්වත් කළා. අපිත් හැම වෙලාවේම කියන්නේ තම තමන්ගේ ක්‍රියාකාරකම්, උත්සව පවත්වන ඒවා පාලනය කරගන්න කියලා. අපි ඒ ගැන අවුරුද්දට කලිනුත් ජනතාව දැනුම්වත් කළා. මේ අවස්ථාවේදී ඒ සෞඛ්‍ය උපදෙස් වැඩිපුර උවමනාවෙන් කළ යුතුයි. නව ප්‍රභේදය පිළිබඳව තවම නිශ්චිතවම කියන්න බැහැ. ඒක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඊට අමතරව රට වැසීම හෝ ඉදිරියට ගන්නා අනෙකුත් ක්‍රියාමාර්ග ගැන තවම ස්ථිර තීරණයක් නැහැ. ඒ දේවල් ගැන ඉස්සරහට බලලා තීරණයක් ගනීවි.*
අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඇඳන් පිරී අවසන් - අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු අයි.ඩී.එච් රෝහලට කෝවිඩ් රෝගීන් ඇතුළත් වීමේ වැඩි වීමක් තිබෙනවා. ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වුණා. ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩි වුණා. අපේ රෝහලේ දැඩි සත්කාර ඇඳන් 08ක් තමයි කොරෝනා රෝගීන්ට තිබෙන්නේ. මේ වන විට එම ඇඳන් පිරී ගොස් තිබෙනවා. ඒ වගේම අනෙක් වාට්ටුවලටත් රෝගීන් ඇතුළත් කිරීම් වැඩි වී තිබෙනවා.
ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි කටයුතු කරන්න සෞඛ්‍ය අංශවලට වගකීමක් තිබෙනවා
- ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස
කෝවිඩ් වැනි වෛරස් රෝගයකට මුහුණ දෙන්න නම් ජනතාව දැනුම්වත් කරලා, ඒ ජනතාවගේ විශ්වාසය තුළ තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ මොකද මේ සම්බන්ධයෙන් සියයට සියයක් සාර්ථක වුණ එන්නත් හෝ වෙනත් ඖෂධයක් තවම හොයාගෙන නැහැ. ඒ නිසා ජනතාවට රෝගය ගැන කරුණු කියලා ආරක්ෂා වෙන ක්‍රමවේදයන් පිළිබඳ විශ්වාසය ඇති කිරීමෙන් තමයි මේ රෝගයට මුහුණ දිය යුතු වන්නේ. නමුත් ගතවුණ මාස තුන හතරේදී මේ සම්බන්ධයෙන් ජනතාවට දිය යුතු විශ්වාසය බිඳවැටෙමින් තිබුණු බව අපි දැක්කා.
බොහෝ සංචරණ සීමා ඉවත් වුණා. මීටරයේ පරතය තබා ගැනීම, මුව ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීම රටේ ඉහළම පුද්ගලයාගේ සිට බොහෝ දෙනා අමතක කරමින් සිටින බව දැක්කා. රාජ්‍ය මැදිහත් වුණ විශාල උත්සව, රැස්වීම් පැවැත්වුණා. රටක කෝවිඩ් මර්දනයේ උපදෙස් සහ ආදර්ශ ලැබිය යුතු ඉහළම තැනින් ඒවා කඩ වෙනකොට, පහුගිය අවුරුදු සමයේදී මහරගම පමුණුවේ ජනතාව විශාල පිරිසක් රැස් වුණ එක ගැන, සිරිපාදේ, කතරගම වන්දනාවේ ගියපු එක ගැන, හෝර්ටන්තැන්නේ ගියපු දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කාලයේදී පීසීආර් පරීක්ෂණ කරන ප්‍රමාණය අඩුවෙලා තිබුණා. රෝගීන් ගණන අඩුවෙලා තිබුණා. මරණ ප්‍රමාණය අඩු වුණා. එහෙම තත්ත්වයක් තිබියදී නැවත වතාවක් එකපාරට මෙහෙම වැඩි වෙන්නේ කොහොමද? ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි කටයුතු කරන්න සෞඛ්‍ය අංශවලට වගකීමක් තිබෙනවා.
පසුගිය 19දා පොලීසිය විසින් සියලුම දේශපාලන පක්ෂ කැඳවලා කිව්වා මැයි දිනය පවත්වන්න පුළුවන් ක්‍රීඩාංගණ වෙන් කරගන්න කියලා. නමුත් නැවත කෝවිඩ් හිස ඔසවලා තිබෙනවා, ඒ නිසා මැයි දින රැලි පවත්වන්න බැහැ කියලා 20දා හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කෝවිඩ් මර්දන මධ්‍යස්ථානයේදී කියනවා. 19 හවස සහ 20 දවල් වෙනකොට රටේ සිදුවුණ වෙනස මොකද්ද? කෝවිඩ් තත්ත්වය පිළිබඳව ඇත්ත සංඛ්‍යාලේඛන දීලා, ඇත්ත තත්ත්වය කිව්වා නම් ජනතාව අවුරුදු සමයේදී ගමන්බිමන් සීමා කරාවි. දේශපාලන පක්ෂ මැයි දින පවත්වන්නේ නැතිව තමුන්ගේ කටයුතු සීමා කරගන්න ඉඩකඩ තිබුණා.
මේ තොරතුරු මේ විදිහට වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පැනනැගිලා තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ මේ සම්බන්ධයෙන් මැදිහත් වන සියලුදෙනා ජනතාවට අඛණ්ඩව තොරතුරු ගලායන ක්‍රමවේදයක් ඇති කළයුතුව තිබෙනවා.
ඒ වගේම ගඟට මුට්ටි විසිකරන තරම්, ධම්මිකගේ පැණිය ප්‍රචාරය කරන තරම් ලෝකයම පිළිගත්ත එන්නත පිළිබඳව ආණ්ඩුව ජනතාව උනන්දු කළේ නැහැ. අපේ රටේ ජනතාවට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එන්නත් සුළු ප්‍රමාණයක් පමණයි ගෙන්වාගන්න පුළුවන් වුණේ. ඒ ගෙනැත් දෙවැනි මාත්‍රාව ලබාදීම ගැන සැලකිලිමත්කමක් තිබුණේ නැහැ. කෝවිඩ් සමග වැඩි වශයෙක් ගැටෙන සෞඛ්‍ය සේවකයන් සඳහාවත් මෙම එනත්නත් මාත්‍රා දෙක වෙන්කර තබන්නට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එන්නත් ලබාදීම පිළිබඳ ක්‍රමවත් සැලැස්මක් ආණ්ඩුවට තිබිය යුතුයි.
වෛරසය ගැන කියන කතා ඇත්ත නම් බරපතළ රෝගීන් ප්‍රමාණයක් රට ඇතුළෙ ඉන්නවා
- වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
කෝවිඩ් අලුත් රැල්ලක් ඇතිවෙලාද, එහෙම නැතිනම් අලුත් ප්‍රවණතාවක් එනවද වගේ සාකච්ඡා ඇතිවෙමින් තිබෙනවා. ලංකාවේ කෝවිඩ් පාලනය කළා කියලා සෞඛ්‍ය ඇමතිනිය දවසක් කිව්වා. පසුව එවැනි ප්‍රකාශ කිහිපයක්ම නිකුත් වුණා. නමුත් කෝවිඩ් පාලනය කරල නෙවෙයි තියෙන්නේ. කෝවිඩ් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවෙන්නෙ නැහැ. ඒ නිසා ආසාදිතයෝ හමුවෙන්නේ නැහැ. කිසියම් වෙලාවක එහි පුපුරා යාමක් ඇතිවෙයි කියලා අපි ඒ දිනවලත් දිගින් දිගටම කිව්වා. අවාසනාවකට අපි ඒ කියපු දේවල් ඇහුවෙ නැහැ.
මේ දේවල් නිසා දවසින් දවස කෝවිඩ් අඩු වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. කෝවිඩ් කියන්නේ බරපතළ දෙයක් නෙවෙයි කියන දේ මහජනතාවටත් අනියම් පණිඩුයක් ලෙස නිකුත් වුණා. එහි ප්‍රතිඵලය නරක විදිහට බලපෑවා. අපි මේ ගැන ලංකාවේ සංචාරය කරලම බැලුවා. අවුරුදු සමය තුළ මිනිස්සු කටයුතු කළ ආකාරය අනුව මෙවැනි වසංගතයක් තිබෙනවා කියන හැඟීම ලංකාවේ කිසිම තැනක තිබුණෙ නැහැ. මේ රෝගය මෙතරම් වර්ධනය වෙන්න එය හේතුවක්.
වසංගත රෝග අංශය දැඩි අත්තනෝමතික ස්වභාවයකින් මේ සමාජ ව්‍යාප්තිය සිදුවෙලා නැහැ කියන දේ දිගින් දිගටම කියන්න ගත්තා. මේ නිසා විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට යන්න පුළුවන්කමක් අපිට තිබුණේ නැහැ. ඒ මොකද සමාජ ව්‍යාප්තියක් නොවුණ රෝගයක පීසීආර් පරීක්ෂණ සිදුකරන ආකාරය සහ සමාජ ව්‍යාප්තියක් සිදුවුණ රෝගයක පීසීආර් පරීක්ෂණ සිදුකරන ආකාරයයි අතර වෙනසක් තිබෙනවා. නමුත් එය අනුගමනය කළේ නැහැ. මේ නිසා දැන් අපි අහඹු පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම විද්‍යාත්මක අවේක්ෂණ ක්‍රියාවලියක් නැතිව රට ඇතුළේ රෝගය තිබෙන ආකාරය කියන්න බැහැ.
එහෙම පරීක්ෂණ නොකරපු නිසා රෝගය විශාල ප්‍රමාණයකින් රට ඇතුළේ ව්‍යාප්ත වුණාට පසුව තමයි වාර්තා වීම් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෛරසය ගැන අපි මෙච්චර කාලයක් විශ්වාස කරපු කතා ඇත්ත නම්, මේ වෙලාවේ බරපතළ රෝගීන් ප්‍රමාණයක් රට ඇතුළෙ ඉන්නවා. වෛරසය මේ වෙලාවේ අලුත් ප්‍රභේද හදනවා, විකෘති හදනවා, භයානකකම වැඩිවෙලා තිබෙනවා. බෝ වීමේ ප්‍රවණතාව වැඩි කරලා තිබෙනවා. මෙහෙම තියෙද්දි රෝගය පාලනය වෙනවා වගේ දෙයක් හිතන්න තරම් අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විශාල රෝගීන් ප්‍රමාණයක් සිටිය යුතුයි. ඒ රෝගීන්ගෙන් කිහිපදෙනෙක් පමණයි සංකූලතා ඇතිකරන්නේ. ඒ නිසා රට ඇතුළේ පොකුරු විදිහට රෝගීන් ඇතිවිය හැකියි.
අපි අවිනිශ්චිත බියක් ඇති කරගත යුතු නැහැ - සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
"රෝගීන්ගේ යම්කිසි ඉහළ යාමක් අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ කෝවිඩ් මර්දන බළකාය ඇතුළු සියලුදෙනා අනතුරු ඇඟවීමක් කරල තිබුණා සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස්වලට අනුකූලව අලුත් අවුරුදු සමය ගත කරන්න කියලා. අවාසනාවකට සමහර ස්ථානවලදී අපි එවැනි උපදෙස් කඩවීම් දැක්කා. ඒක කනගාටුදායක තත්ත්වයක්. හැබැයි ඒ හා සම්බන්ධයෙන් දැඩි අනියත බියක් ඇති කරගත යුතු නැති බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. කෝවිඩ් පළමු රැල්ල අවස්ථාවේදීත්, දෙවැනි රැල්ල අවස්ථාවේදීත් යම්කිසි අපහසුතාවන් ඇති වුවත්, මෙරට සෞඛ්‍ය අංශ ඉතාමත් හොඳින් ඒ කටයුතු පාලනය කළ බවත්, රෝගීන් සහ මරණ සංඛ්‍යාව අවම ප්‍රමාණයක රඳවා තබා ගැනීමට හැකි වූ බවත් අප සෑම කෙනෙකුම දන්නා කාරණයක්. ඒ නිසා අපි අවිනිශ්චිත බියක් ඇති කරගත යුතු නැහැ. සෞඛ්‍ය අංශ සහ රජය මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවනවා. අපි විශ්වාස කරනවා බොහෝම පැහැදිලිවම මෙම තත්ත්වය වර්ධනය නොවී වළක්වා ගැනීමට රජයට හැකියාව තිබෙනවා කියලා. විශේෂයෙන් ලංකාවේ මේ රෝගය දැඩි ලෙස පැතිර ගියපු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මිලියනකට ආසන්න පිරිසක් අපි එන්නත්කරණයටත් ලක්කර තිබෙනවා. මෙය පැතිරී යාම සෑහෙන මට්ටමකට අපි අඩු කරලා තිබෙනවා. හැබැයි අපි රජය හැටියටත්, සෞඛ්‍ය අංශ හැටියටත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිමින් මෙය පාලනය කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.*
(පසුගිය 20දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී)
විශාල කෝවිඩ් අවදානමක් ඇති බව පෙනෙන්නට තිබෙනවා... නමුත්් ජනතාව මුදාගන්න වැඩපිළිවෙළක්
ආණ්ඩුවට නැහැ - එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය
කෝවිඩ් එන්නතේ පටන්ම ආණ්ඩුව මේ වැඩේ වරද්ද ගත්තා. රටට ගෙනාපු එන්නත්වලින් මාත්‍රා දෙකක් දෙන්න තියෙද්දි ඒක වෙනස් කරලා පළමු මාත්‍රාව දීගෙන ගියා. කොහොම හරි දැන් දෙවැනි මාත්‍රාව දෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදිහට දෙවැනි මාත්‍රාව මැයි පළමුවැනිදා ඉඳන් දෙන්න හදනවා. එතැනත් අනතුරක් තිබෙනවා.
ඒ වගේම චීන එන්නත ලංකාවට ගෙන්වන්න හැදුවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත වුණ එකක් නෙවෙයි. රුසියාවේ ස්පුට්නික් එන්නත ගෙන්වන්න හැදුවා. එයටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවෙලා නැහැ.
ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ දැන් කියනවා විශාල කෝවිඩ් අවදානමක් තියෙනවා කියලා. එහෙම අවදානමක් තිබෙනවා නම් ආණ්ඩුව එය කල්පනා කළ යුතුව තිබුණේ සිංහල අලුත් අවුරුද්දට කලින්. එහෙම නම් අවුරුදු උත්සව පාලනය කරන්න තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. දැන් කෝවිඩ් වැඩි වෙනවා කියලා මැයි දිනය තහනම් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
කොහොමඋනත් කෝවිඩ් වැඩි වෙනවා නම්, එය හොයාගන්න පුළුවන්කමක් තිබිය යුතුයි. එය හොයාගන්න පුළුවන් වෙන්නේ පීසීආර් පරීක්ෂණ කළොත් පමණයි. නමුත් එවැනි දෙයක් සිදුවෙනවා පෙනෙන්නේ නැහැ. කෝවිඩ් රෝගීන් වැඩි වීමට සාපේක්ෂව පීසීආර් පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ. විශාල කෝවිඩ් අවදානමක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් ඒ අනතුරේ ජනතාව මුදවාගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ.
පසුගිය ඔක්තෝබර් මාසයෙත් මොවුන් මේ ආකාරයෙන්ම වරද්දා ගත්තා - ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති / වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ
අලුත් අවුරුදු උත්සවය සමරන්න පෙර සතියේ සිට මේ තත්ත්වය අපි දැනගෙන හිටියා. අප්‍රේල් මුල් සතියේ අපේ රටේ කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීම 25%කින් වාර්තා වී තිබුණා. එය අවුරුදු උත්සවයට පෙර සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබුණා. එහි තිබුණා ලංකාවේ පමණක් නොවෙයි තායිලන්තයේ, නේපාලයේ, ඉන්දියාවේත් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව. ඒ වගේම අවුරුද්දට දවස් දෙක තුනකට කලින් තමයි ඉන්දියාවේ දෛනික රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා වීමත්, මරණ දෙදහස ඉක්මවා වාර්තා වීමත් දැකගන්නට ලැබුණේ. ඒ කියන්නේ අපි මේ තත්ත්වය කලින්ම දැනගෙනයි හිටියේ. නොදැන හිටියෙ නෑ. අපි දැනගත්තත් රටට අවශ්‍යතාවක් තිබුණෙ නැහැ වගේම රටේ කෝවිඩ් පාලන වැඩපිළිවෙළට අවශ්‍යතාවක් තිබුණෙ නැහැ කෝවිඩ් පාලනයට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නට. මේ සිද්ධ වුණේ පසුගිය වර්ෂයේ සැප්තැම්බර් හා අගෝස්තු මාසවල සිදුවූ දෙයමයි. ඊට පෙර රටේ තිබුණු කෝවිඩ් තත්ත්වය මැතිවරණය වෙද්දි අඩු වෙන්න ගත්තා. මැතිවරණයෙන් පසුව ඔක්තෝබර් මාසය වෙනකන් හැමෝවම සැහැල්ලුවෙන් හිතන තැනට පත් කළා. රටේ නායකයන් කිව්වේ අනික් රටවල්වල වගේ නොවෙයි අපි හොඳට තත්ත්වය පාලනය කළා කියලනේ. මේ පාර සිදුවුණෙත් ඒ දේමයි. රෝග පාලනය කරන අයත් කියමින් සිටියේ ඒ වගේ කාරණාමයි. ගෝලීය වසංගතයක් පැතිරෙන වෙලාවේ මාධ්‍ය හරහා මෙන්ම වෙනත් ක්‍රමවේද හරහා එවැනි මත ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ ජනතාවගේ උනන්දුව හා මේ පිළිබඳ තිබෙන බිය සැක අඩුවීමයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා අවුරුදු කාල සීමාවේ හැමෝම තමන්ට රිසි පරිදි හැසිරුණා. අපි දැක්කා සමහර අය දුර ගමන් ගියා, විනෝද චාරිකා ගියා. දැන් ඔවුන් එලෙස ගමන් කරපු ප්‍රදේශවල විශේෂයෙන් කුරුණෑගල, අනුරාධපුර, කොළඹ, ගාල්ල වගේ ප්‍රදේශවල පසුගිය දින දෙකේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්න පටන්ගෙන තිබුණා. ඒ කියන්නේ ජනතාව චාරිකා ගියපු ප්‍රදේශවල රෝගීන් වැඩිවෙලා කියන එකයි. දැන් මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න සිදුවෙන්නෙත් මේ තත්ත්වය ගැන තීන්දු තීරණ ගත්ත අයටමයි. අනිත් අයට දැන් කරන්න දෙයක් නෑ. තම තමා පෞද්ගලිකව ප්‍රවේසම් වෙන එක තමයි සාමාන්‍ය ජනතාවට මේ වෙලාවේ කරන්න වෙන්නේ. ලංකාවේ මේ වෙද්දී දැඩි සත්කාර ඇඳන් කොච්චර තිබෙනවාද? ඒවායින් කොතරම් ප්‍රමාණයක් කෝවිඩ් රෝගීන්ට වෙන් කරනවාද? රෝහල් කීයක් මේ රෝගීන් සඳහා වෙන් කරනවාද? කියන තීන්දු තීරණ ගන්න ඕනෙත් පසුගිය කාලේ තීන්දු තීරණ ගත්ත අයම තමයි. එහෙම නැතිව දැන් රෝගීන් වැඩි වෙලා කියලා තීන්දු තීරණ ගන්න අලුත් කණ්ඩායමක් එන්නෙ නැහැ. දැන් රෝගීන් වැඩි වෙලා කියලා ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න නම් ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියන එක බලන්න ඕන. මේ වෙද්දී දැඩි සත්කාරවලට රෝගීන් වැඩි වෙලා කියලා කියනවා නම් මගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි ඇත්තටම එහෙම වෙලා තියෙනවා නම් කොහෙද ඒ තොරතුරු තියෙන්නේ? කවුද ඒ තොරතුරු අපිට කියන්නේ? විද්‍යඥයන් හැටියට, මේ විෂය ගැන දැනුම ඇති අය හැටියට අපිට යමක් ප්‍රකාශ කරන්න තොරතුරු තියෙන්න ඕන. කොහෙද එහෙනම් මේ තොරතුරු තියෙන්නේ. ඇත්තටම මේ තොරතුරු බලාගන්න තැනක් නැහැ. නීත්‍යානූකූල වෙබ්අඩවියක් රටේ නැහැ. ඒ නිසා අපි කොහොමද මේ ගැන යමක් ප්‍රකාශ කරන්නේ. දෙවැනි එක තමයි රටේ කෝවිඩ් රෝගීන් වැඩි වෙලා කියල ප්‍රශ්නයක් දැන් ඇතිවෙලා තියෙනවා නම් අපි එයට විසඳුම් දෙන්න කලින් බලන්න ඕන ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියන එක. ප්‍රශ්නය ඇතිවුණ ආකාරය හොයලා තමයි අපිට විසඳුම දෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නය ඇතිවුණේ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා නම් හෝ අපිට කන් ඇහෙන්නෙ නෑ, ඇස් පේන්නෙ නෑ වගේ ප්‍රශ්නයක් තිබිලා නම් ඒකට විසඳුම් හොයන්න ඕන. එහෙම නැතිව අද අපිට ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේකට මොකද කරන්නේ කියල හිතල වැඩක් නෑ. මේ ප්‍රශ්ය ඇතිවුණේ නොදැනුවත්කම නිසාද? නොසැලකිල්ල නිසාද? තීන්දු තීරණ ගැනීමේ වැරදි ක්‍රියාමාර්ග නිසාද? කියල බලලා ඒවා වෙනස් කරන්න ඕන. එහෙම නම් කියන්න තියෙන්නේ මේ තීන්දු තීරණ ගත් අය ඒවාට සුදුසු නැති බවයි. ඔවුන් හරිනම් මේ වෙලාවේ ඉල්ලා අස්වෙන්න ඕන. වෙන මොනවද කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්නයට හරිහැටි විසඳුම් හොයන්න පුළුවන් අයට බාරදෙන එකයි ඔවුන් කළ යුත්තේ. රට ආරක්ෂා කරන්න, ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කරන්න බැරිනම්, මෙය දෙවෙනි වරටත් සිදුකරන වරදක් නම් ඔවුන් ඉවත් වී යා යුතුයි. මොකද ඔක්තෝබර් මාසයෙත් මොවුන් මේ ආකාරයෙන්ම වරද්දා ගත්තා. එහෙනම් මොවුන් මේ දෙවෙනි වරටත් වරද්දගෙනයි තියෙන්නේ. එහෙනම් කවුද මේවට වගකිව යුත්තේ. තීන්දු තීරණ ගන්න අයයි වගකියන්න ඕන. එහෙම නැතිව මිනිස්සු පරිස්සම් වුණේ නැහැ, මිනිස්සු ගමන්බිමන් ගියා, අපි කිව්වට ඇහුවෙ නෑ වගේ කියමන් අදාළ වෙන්නෙ නැහැ. ඇයි මිනිස්සු ඇහුවෙ නැත්තේ? ඇයි 2020 මාර්තු, අප්‍රේල්වල ගෙවල්වලට වෙලා හිටපු අය මේ අවුරුද්දේ එහෙම නොකළේ? ජනතාව 2020 ගෙදරට වෙලා හිටියේ බලධාරීන් ලබාදුන් උපදෙස් නිසයි. එයට ජනතාව අනුගත වුණා. අද එහෙම කළේ නෑ කියලා මිනිස්සුන්ට දොස් කියන්න එපා. මිනිස්සු මේ විදිහට ක්‍රියා කළේ ක්‍රමවේදයේ ගැටලුවක් නිසයි. අනිත් රටවල්වල මෙහෙම නෑ.
අපි බැලුවොත් මේ වසංගතයට දෙආකාර විදිහටයි ලෝකයේ රටවල් ක්‍රියාත්මක වුණේ. යුරෝපය, ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවල් මේ වෛරසයට උත්තර දුන්න විදිහට තමයි අපිත් උත්තර දුන්නේ. ඒ නිසා ඔවුන් අත්විඳින විපාකම අපිත් දැන් අත්විඳිනවා. වියට්නාමය, දකුණු කොරියාව, කාම්බෝජය, ලාඕසය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වෙනත් ක්‍රමයකට මේ වෛරසය පාලනය කරගත්තා. ඒවායේ ප්‍රතිඵල දැන් ඔවුන් භුක්ති විඳිනවා. අපි අනුගමනය කරපු ක්‍රමවේදවල ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. එය සාධාරණයි. එහෙම බැලුවම වෛරසය අසාධාරණ නැහැ. අපි ගත් තීරණ නිසයි අද මෙහෙම වෙලා තියෙන්නේ.
මෙරට මින් පෙර හමු නොවූ කෝවිඩ් 19 වෛරස ප්‍රභේදයක්ද පසුගිය දින කිහිපයේ හමුවූ බව සඳහන් වූ නිසාම ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
එහිදී ඒ මහතා පැවසුවේ නව කෝවිඩ් ප්‍රභේද පිළිබඳ මෙරටදී පර්යේෂණ සිදුකරන්නේ තම ආයතනය තුළින් නමුත් මෙවැනි තත්ත්වයක් තමන්ට වාර්තා නොවූ බවයි.