විශ්වවිද්‍යාල සිසුවා උපාධිධාරියෙකු ලෙස සමාජයට ප්‍රවේශ වීමේදී ඔහු හෝ ඇය මුහුණ දෙන ප්‍රබල ගැටලුව වන්නේ තරගකාරී රැකියා ඉලක්කයයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් අපේක්ෂා කරන ඔවුන්ට රැකියා වෙෙළඳ පොළට ප්‍රවේශ වීමේදී නොයෙක් ගැටලුකාරී තත්ත්ව මතු වේ. එහිදී වඩාත්ම බරපතළ ගැටලුව වනුයේ ලබා ඇති උපාධිය හා රැකියා ස්වභාවය අතර ඇතැම් විට පරස්පරතා ඇති වීමය. ඒ තුළ අතරමං වනුයේ උපාධිධාරියාය. ඇතැම් විට දේශපාලනීකරණය වී ඇති සමාජය තුළ රැකියා අවස්ථා හිමිවීමද සිදුවන්නේ ඒ රාමුවේ සිටය. මෙකී තත්ත්ව නිසා උපාධිධාරියාට රැකියා විරහිත උපාධිධාරී යන ලේබලයෙන් මිදීමට නොහැකිය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා අද ට සම්බන්ධ කර ගත්තෙමු.
උපාධිධාරී රැකියා ප්‍රශ්නය පිළිබඳ සෑම වර්ෂයකම දේශපාලන විසඳුමක් තමයි මෙතෙක් කල් ආවේ. රැකියා වෙළෙඳපොළ සහ එහි තිබෙන අභියෝග පිළිබඳ උපාධිධාරීන්ට ඇති අවබෝධයද අඩු මට්ටමකයි තිබෙන්නේ. 1980 ගණන්වලදී උපාධියේ පිළිගැනීමක් හා ගුණාත්මක භාවයක් තිබුණා. උපාධිධාරීන් විශ්වවිද්‍යාලය තුළ සිටින විට ඔවුන්ට රැකියාවක් කිරීමේ මානසිකත්වයක් නැහැ. කළමනාකරණ පීඨයේ සිසුන් රැකියා ඉලක්ක කර ගනිමින් මූලික පාඨමාලාවෙන් ඉවත් වෙලා විවිධ පාඨමාලාවලට යොමු වීමේ ප්‍රවණතාවක් දැන් දක්නට තිබුණත් සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා යොමු වෙනවා අඩුයි. මේ කුමන පාඨමාලා සිදු කළත් අපේ රටේ ආර්ථිකයත් සමගනේ එය සිද්ධ වෙන්නේ. ඒ නිසා රැකියා ගැටලුව සෑම අවස්ථාවකම ඉස්මතුවන ප්‍රශ්නයක්.
ඊළඟට රැකියා සඳහා ප්‍රවේශ විය හැකි පුද්ගලික අංශය ගත් විට මගේ මතය නම් අපේ රටේ ඔය කියන තරම් විධිමත් පුද්ගලික සේවයක් නැහැ කියලයි. පුද්ගලික අංශවල උපාධිය සලකන්නේ අඩු මට්ටමෙන්. අනෙක් කාරණය වන්නේ අපේ උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියාවක් හිමිවන තුරු රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන්න වෙනවා. අද වන විට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් දේශපාලනීකරණය වී ඇති ආකාරයක් දැකගන්න පුළුවන්. ඇතැම් විට එක ජනවර්ගයකට පමණක් වැඩි අවධානයක් දැක්වීම ඔවුන් විසින් සිදු කරනවා. 1987 හා 1988 වර්ෂයේදී මේ රටේ කැරැල්ලක් තිබුණා. එයිනුත් විශාල ව්‍යසනයක් මේ රටට ඇති වුණා. දැන් ඉන්න උපාධිධාරීන් තුළ වුවත් රාජ්‍ය නොවන සංවිධාන කෙරේ ඇති විශ්වාසය නැති වී ගොසින්. ඔවුන් උපාධිධාරීන් කාර්යාල සේවය සඳහා බඳවා ගත්තත් ඔවුන්ට ඉතා අඩු සේවා තත්ත්වයකටයි පත් කරන්නේ. රැකියා සඳහා ප්‍රවේශ වීමේදී ඔවුන්ට ඉංග්‍රීසි, පරිගණක වැනි හැකියා තිබෙන්නට අවශ්‍යයි.
මෙවැනි ප්‍රශ්න නිසා තමයි බොහෝ උපාධිධාරීන් කෙටිකාලීන හෝ දිගුකාලීන වශයෙන් ආණ්ඩුවේ රැකියා සඳහා පෙළඹෙන්නේ. ඇතැම් උපාධිධාරීන් ස්වයං රැකියා කටයුතුද ආරම්භ කර ඔවුන්ගේම කියා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
නමුත් මෙසේ ව්‍යාපාරයක් හෝ රැකියාවක් ආරම්භ කළත් ඒ හරහා ඔවුන්ට ඉදිරියට ඒමේ හැකියාව ඉතාම අඩුයි. නමුත් ආණ්ඩුව ඒ ඔස්සේ හෝ ඉදිරියට පැමිණීමට අතහිත දෙන්නෙත් ඉතා අල්ප වශයෙන්. මෙය අපේ රටේ මූලික ගැටලුවක්. 1994 වර්ෂයේ සිට ආණ්ඩු කළ පිරිස් සඳහා විවිධ අවස්ථාවන්හිදී අප මෙම ගැටලුකාරී තත්ත්වය පෙන්වා දී තිබෙනවා. දැන් වුණත් අප කියන්නේ අධ්‍යාපනයේ නොයෙක් ගැටලුකාරී තත්ත්ව මතුවෙලා තිබෙන්නේ එහි පවතින අඩුපාඩුකම් නිසා බවයි. ඒ කියන්නේ රැකියා වෙළෙඳ පොළ හා අධ්‍යාපනය අතර සම්බන්ධය දුරස්ථ මට්ටමකිනුයි තිබෙන්නේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හෝ බොහෝ විශ්වවිද්‍යාලවලට මේ පිළිබඳ අදහසක් නැහැ. මම හිතන ලෙසින් කෙටිකාලීන හා දිගුකාලීන හෝ වසර පදනම යටතේ ඒ ඒ රැකියා සඳහා බඳවා ගැනීම සිද්ධ කළ යුතුයි. එයින් රැකියා විරහිත භාවය අඩු කරන්න පුළුවන්. ඒ වගේම දිගුකාලීන වශයෙන්ද මේ ගැන පිළියම් යෙදීමක් සිදුවන්නට අවශ්‍යයි. නමුත් මම දන්න තරමට වෛද්‍යවරු හා ඉංජිනේරුවන් ඇරුණහම සෑම විෂය ධාරාවකම සිටින අය වැඩි වශයෙන් රජයේ රැකියාවකට තමයි යොමු වෙන්නේ. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදු කළ අය පෞද්ගලික සේවය සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බොහෝ අධ්‍යයන කටයුතුවලදී න්‍යායාත්මක අංශයට වැඩි වශයෙන් නැඹුරු වුවත් ප්‍රායෝගික අංශය තිබෙන්නේ ඉතාම අඩු නැඹුරුවක්. මේවා අවම කිරීමට එක් අතකින් අපේ රටේ ආර්ථිකය දියුණු වෙන්න අවශ්‍යයි. නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය අංශයේ පුළුල් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වෙළෙඳපොළ ක්‍රමවේදය මගින් රැකියා ලබා ගැනීම තරගකාරියි වගේම හරිම අවිනිශ්චිතයි. ඒ නිසා අපි ගොඩනගපු මානව ප්‍රාග්ධනය තමයි අප නිකරුනේ මේ අපතේ හරින්නේ.
අපට කිසිසේත්ම උපාධිධාරියෙකුට කියන්න බැහැ ඔවුන්ට රැකියාවක් කිරීමට සුදුසුකම් නැහැ කියලා. ඇය හෝ ඔහු විද්‍යානුකූලව විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබෙන අයෙක්. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව, උපකුලපතිවරු, පීඨාධිපතිවරු හා ආචාර්යවරු සියල්ල මේ පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතුයි. විද්‍යාර්ථයා අධ්‍යාපනය ලබන සමයේ සිටම වගකීම පමණක් නොව වගවීමද ඔවුන්ට හුරු කළ යුතුයි. ඒ අනුව එකී කුසලතා වර්ධනය කර ඉදිරියට යෑමේ තත්ත්වයක් ගොඩනගන්න අවශ්‍යයි. උදාහරණයක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පසුගියදා ඇඹරැල්ලා කැඩීමට ගොස් හදිසියේම මියගියා. විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් පද්ධතියට සමගාමීව පවත්වන මෘදු කුසලතා වර්ධන වැඩසටහන් එනම් ලකුණු 10ක වැනි සුළු ලකුණු සංඛ්‍යාවකට නොයෙක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමට ලබා දීම නිශ්ඵල දෙයක්. ඒ අවශ්‍ය වැඩසටහන සඳහා මුදල් එකතු කිරීමේ පරමාර්ථයෙනුයි ඒ ළමයා එය සිදුකර තිබෙන්නේ. නමුත් ඇඹරැල්ලා කැඩූ පමණින් ශිෂ්‍යයෙකුගේ මෘදු කුසලතා වර්ධනය වන්නේ නැහැ. ඒ අවස්ථාවේ එම වැඩසටහන සංවිධානය කරමින් හොඳින් නිමා කළත් පසුකාලීනව එම අවස්ථාව අපට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මෙම පරිවර්තනය විශ්වවිද්‍යාලීය පද්ධතියේ සිට නොව පාසල් මට්ටමේ සිටම පැමිණිය යුතු දෙයක්.
අද තිබෙන ගැටලුව රැකියා නැති කමත් නෙමෙයි. ඒ ඒ රැකියාවලට සුදුසු අයුරින් උපාධි පාඨමාලා සකස් වී නොමැති කමයි සිදුව තිබෙන්නේ. මම විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සිටින කාලයේ විශ්වවිද්‍යාල ප්‍රමිති පිළිබඳ පත්කර ඇති කමිටුවට සහාභාගි වුණා. එහිදී මම බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන සාමාන්‍ය උපාධියක් ලබා ගන්නා සිසුන්ට තම විෂයන්ට අමතරව පරිගණක කුසලතා හැදෑරීමට එය උපාධියට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ගෙන ආවා. නමුත් හරි අමාරුයි විශ්වවිද්‍යාලවල පාඨමාලා වෙනස් කිරීමට. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ලෙස අප එසේ පැවසුවත් අදාළ බලධාරීන් ගේට්ටුවෙන් එළියට යන්නත් කලින් ඒවා අමතක කරන පුරුද්දක් තමයි තිබෙන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නීති පීඨයක් ගෙන එන්න මම හුඟක් මහන්සි වුණා. එහි වටිනාකම වැඩි කරමින් නීතිය හදාරන්න අවශ්‍ය නම් විෂයයක් ලෙසත් එය හදාරන්න හැකියාව විවර කර දීම එය ගෙන ඒමේ මගේ මූලික අභිප්‍රායක් වුණා. ඇත්තෙන්ම අද ගත්විට නීති පීඨවල සිටින දරුවන්ට පවා රැකියා නැති තත්ත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ. ඇත්තෙන්ම පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ අය එම ක්ෂේත්‍රයේ විධිමත් භාවය හා වෘත්තීමය ගුණාත්මක භාවය පවත්වා ගැනීමට පමණයි උත්සාහ කරන්නේ. අපි නවීකරණය වෙමින් පවතින රටක් නිසා බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් උපාධිය ලැබූ කෙනෙකුම රජයේ රැකියාවක් අපේක්ෂා කරනවා. බාහිර උපාධි කළ අයට රැකියා වෙළෙඳ පොළ ගැන යම් කිසි අවබෝධයක් තිබෙනවා. අභ්‍යන්තර සිසුන්ට ඒ අවශ්‍යතාව මතුවන්නේ උපාධිය අවසන් කළ පසුයි. අද මෙය බැරෑරුම් තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් මේ සඳහා දේශපාලනමය පත්වීම ලබාදීම නම් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකියි.
මම වුණත් උපාධිධාරියෙකු ලෙස සමාජයට මුලින්ම අඩිය තබන විට ඒ ප්‍රශ්නයටම නොයෙක් අවස්ථාවල මුහුණ දී තිබෙනවා. දේශපාලන වාසි සහිත පුද්ගලයන් අතරේ මම බොහෝ අවස්ථාවල නුසුදුස්සෙකු බවට පත් වූ අවස්ථා තිබෙනවා. ඇත්තෙන්ම අප මීට වඩා මේ දෙස ප්‍රායෝගිකව බැලිය යුතුයි. සාමාන්‍යයෙන් උපාධිධාරියෙකුට රැකියා වෙළෙඳ පොළට පැමිණීමට පෙර මේ රැකියා ඉලක්කය හෝ තරගය පිළිබඳ අවබෝධයක් නැහැ. ආණ්ඩුවේ රැකියාවකට ආවත් ඇතැම් උපාධිධාරීන් රැකියාවේ වැඩිකල් ඉන්නේ නැහැ. ඔවුන් වෙනත් වෙනත් රැකියා සොයා යනවා. ඒ කාලේ අපි බාහිර උපාධියටත් ගුණාත්මක භාවයක් ඇති කරන්න බොහෝ සේ කටයුතු කළා. අපි එහිදී අන්තර්ගත විෂයයන්වල වෙනස්කම් කළා. සමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල මතය වෙලා තිබෙන්නේ අපි දැනුම දෙනව රජයෙන් රැකියා දෙනවා කියන එකයි. නමුත් මම නම් ඒ අදහස පිළිගන්නේ නැහැ. මෙය 1965 සිට ප්‍රශ්නයක් ලෙසින් මතු වුණ දෙයක්.
ඇත්තෙන්ම කිසියම් දරුවෙකු තරගකාරී විභාග ක්‍රමයකින් තේරී පත්වී විශ්වවිද්‍යාලයට පැමිණියත් එයින් ඉවත්ව යාමේදී රැකියාවක් නොමැතිකම නිසා අවසානයේ ඒ සතුට ඔවුන්ගෙන් ගිලිහී යන්න පුළුවන්. ඒ නිසා ඒ උපාධිධාරියා මානසික හා අනෙකුත් ප්‍රශ්න රැසකට එතැන් පටන් මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ මානව සම්පත අපි විසින්ම විනාශ කිරීමක් සිදු වෙන්නේ. ඇතැම් විට ඔවුන් ආයතනයක සේවය කිරීමට ගියත් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ටත් මෙය දිගටම සිදුකරගෙන යෑමේ අභිප්‍රේරණයක් ඇති වෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් වාර්ෂිකව ගුරු වෘත්තියෙන් 5000ක වැනි පිරිසක් විශ්‍රාම යනවා. ඒ නිසා උපාධිධාරීන් 2000කට පමණ රැකියා අවස්ථා විවර වෙනවා. විද්‍යා පීඨවල සිසුන්ට ඉතිරි 3000ක රැකියා අවස්ථා හිමි වෙනවා. නමුත් උපාධිධාරීන් ගුරු වෘත්තියට පමණක් නෙමෙයි වෙනත් අංශ ගැනද අවධානයක් හා උනන්දුවක් දැක්විය යුතුයි. ඕනෑම රැකියාවක් සඳහා නියුතු වීමේ හැකියාවක් උපාධිධාරියෙකුට තිබෙන්නට ඕන. ඒ කාලේ අපේ මානසිකත්වය සකස් වී තිබුණේ කිසිදු දේශපාලනඥයෙකුට අතනොපා රැකියාවක් ලබා ගැනීම. ඒ නිසා මම උපාධිය අවසන් කළ පසුවද මගේ අමතර කාලය නිකරුණේ වැය නොකර ඒ කාලය තුළදීත් සුළු රැකියාවක් කළා.
රැකියා වෙළෙඳ පොළට සරිලන ආකාරයට පාඨමාලා සකස් කිරීමත් විශ්වවිද්‍යාලයේ යුතුකමක්. තනතුරෙහි වගවීම හා වගකීම හඳුනාගෙන කටයුතු කරන්න ඕන. අද මහජන මුදලින් නඩත්තු වෙන විශ්වවිද්‍යාල ඇතැම් විට පෞද්ගලික අංශය සමග සම්බන්ධතා පවත්වාගෙන කටයුතු කරගෙන යනවා. එය ඉතාම හොඳ දෙයක්. ඒ සමග රැකියා රැසක් විශ්වවිද්‍යාල සිසුවාට විවෘත වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි වී තිබෙනවා. පැය 8-4 මානසිකත්වයෙන් මිදී වැඩ කරන තත්ත්වයක් නිර්මාණය වෙනවා.
ඇත්තෙන්ම අද සාමාන්‍ය පෙළ, උසස් පෙළ අමතර පන්ති කරන උපාධිධාරීන්ද රැසක් සිටිනවා. අද ඔවුන් හොඳ ආදායමක් ලබන අය. නමුත් මම කියන්නේ නැහැ මේ හැකියාව හැමෝටම තිබෙනවා කියලා. නමුත් එයද ඉතා හොඳ දෙයක්.
උතුරේ වසර 30ක යුද්ධයක් තිබුණා. ඒ නිසා තරුණයන් අතර තිබුණේ කැරලිකාරී මානසිකත්වයක්. ඒවගේම යුද්ධය ඉවර වුණත් ජීවිත හානියක් මෙන්ම විශාල වශයෙන් ආර්ථික පසුබැස්මක් අපේ රටේ ඇති වුණා. නමුත් යම් ආර්ථික සංවර්ධනයක් අපේ රටේ තිබුණා. කෙසේ හෝ අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ලෙසින් කරන වැඩේ හරියට කරනවා නම් මම හිතන්නේ එය ගොඩක් හොඳයි කියලයි. දැන් රැකියා සඳහා යන අය කලින් අය තරම්වත් වැඩ කරන්නේ නැති කමක් තමයි දකින්නට තිබෙන්නේ. රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් වැනි පිරිසක් සිටිනවා යැයි කියූවත් රාජ්‍ය සේවය බිඳවැටී ඇති බවයි කියවෙන්නේ. ඒ අයගෙන්ම ඒ සමාජය වෙනස් කරන චර්යාවක් තිබෙනවා නම් එය ඉතා හොඳයි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ට උපකාර කිරීමට පෞද්ගලික අංශය යම් කැමැත්තක් දැක්වුවත් ඔවුන් තුළ ඇති යම් යම් ක්‍රියාදාම නිසා එය පසුබට වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. නමුත් දැන් දැන් විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන්ගේ පුහුණු කාලසීමාවේදී පෞද්ගලික අංශයේ අවස්ථා විවර වී තිබෙනවා. ඒ තුළින් පෞද්ගලික අංශයේද රැකියා අවස්ථා ඔවුන්ට විවර වෙනවා. ඇත්තෙන්ම එය අගය කළ යුතු දෙයක්.