මෙරට පවතින වත්මන් ආර්ථිකඅර්බුදයත්සමග රැකියා වෙළෙඳ පොළෙහි ඇති වී තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයකි. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වැසීයාම හේතුවෙන් රැකියා අහිමිව ඇති පිරිස හා අහිමි වන පිරිස දිනෙන් දින වැඩිවේ. මෙලෙස සෑම ක්ෂේත්රයක්ම අර්බුදයට පත්ව ඇති ආකාරයක් පෙනී යයි.
කෝවිඩ් වසංගතය දැඩිව ව්‍යාප්තවීම හේතුවෙන් රට අගුළුලා පැවති සමය තුළ මෙරට ආර්ථිකයේ වැඩි බරක් ඉසුලුවේ, ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති අපනයන සැකසුම් කලාපයන්හි අඛණ්ව සිදුකෙරුණු සේවා හා එහි සේවයේ නියුතුවූවෝය. පසුගියදා බියගම පිහිටි අපනයන සැකසුම් කලාපය වෙත අප ගියේ රැකියා අපේක්ෂිත ඔබට සුබ පණිවිඩයක් රැගෙන ඒම වෙනුවෙනි.
මේ වනවිට බියගම අපනයනසැකසුම් කලාපය තුළ පමණක් කර්මාන්ත ශාලා 56ක ඍජු රැකියාලාභීන් 35,000ක් සේවයේ නිරත වේ. කාන්තා පිරිමි දෙපාර්ශ්වයම මෙහි රැකියාවේ නිරත වන අතර, ප්‍රතිශතයක් ලෙස ගත් කළ සේවිකාවන්ට වඩා සේවකයන්ගේ ප්‍රමාණය ඉහළය. එහි කාර්මික සබඳතා අංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන, රැකියා සේවා ඒකකය වෙත පිවිසි අපට දැකගත හැකි වූයේ, ඒ මොහොතේදීත් රැකියා අපේක්ෂාවෙන් පැමිණ සිට 100කට අධික පිරිසකි.
මෙම රැකියා සේවා ඒකකය වෙත පැමිණෙන විවිධ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් සඳහා තමන් කැමති ආයතනයක් වෙත පිවිසි රැකියා ලබාගැනීමේ අවස්ථාව හිමිව තිබේ. එසේම මෙම රැකියා සේවා ඒකකය ක්‍රියාත්මක වන්නේ, බියගම අපනයන සැකසුම් කලාපය තුළ පමණක් නොවේ. දිවයින පුරා පිහිටා ඇති ආයෝජන මණ්ඩලය යටතේපවතින අපනයන සැකසුම් කලාප 15ක් තුළ මෙම රැකියා සේවා ඒකක ක්‍රියාත්මක වේ. කටුනායක, සීතාවක, කොග්ගල, මීරිගම, වතුපිටිවල, පල්ලෙකැලේ, මාවතගම ඉන් උදාහරණ කිහිපයකි.
රැකියා සේවා ඒකකය
රැකියා සේවා ඒකකය වෙතසඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30ට පැමිණෙන ඔබට අපනයන සැකසුම් කලාපය හා රැකියා සේවා ඒකකය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ. ඉන්පසුව අදාළ දිනයේදී සේවක පුරප්පාඩු පවතින ආයතනවල මානව සම්පත් කළමනාකරණ අංශය මගින් එවන ලද නිලධාරියෙකු විසින් එම ආයතන තුළ පවතින පුරප්පාඩු, රැකියාවේ ස්වභාවය, හිමිවන වැටුප් හා දීමනා පිළිබඳ ඔබට පැහැදිලි කරනු ලබයි.
ඉන් අනතුරුව තමන්ගේ සුදුසුකම් අනුව තමන් සම්බන්ධ වීමට කැමති හා තමන්ට ගැළපෙන රැකියා අවස්ථාව ඇති ආයතනය තෝරාගැනීමේ නිදහස ලැබෙන අතර, එහිදී එම ආයතනයේ නිලධාරියා හරහා අයදුම්පත්‍රයක් ලබාගෙන එය සම්පූර්ණ කර භාරදිය යුතුය. අනතුරුව ඔවුන්ව එම ආයතන වෙත යොමු කරන අතර, ආයතනික පරිසරය දැකබලා ගැනීමටද අවස්ථාව හිමිවේ. එහිදී පවත්වන සම්මුඛ පරීක්ෂණයකින්පසුක්ෂණික බඳවා ගැනීම් යටතේ ඒ මොහොතේම රැකියාවසඳහා බඳවා ගැනීම සිදුවේ. ඍජුව ආයතනයටබඳවාගන්නාඅතර, ස්ථීර රැකියාවක් හිමිවේ.
මෙම වර්ෂයේදී බියගමඅපනයන සැකසුම් කලාපයේ පමණක් රැකියා9,000කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති අතර, පසුගිය 2021 වසරතුළදී රැකියා 10,000ක පමණ ප්‍රමාණයක් ලබාදී තිබේ. කෝවිඩ් වසංගතය දැඩි ලෙස පැවති 2020 වසරේදීද රැකියා 8,000ක් පමණ ලබාදී ඇත.
සාමාන්‍යයෙන් මාසයකට බියගම රැකියා සේවා ඒකකයහරහා රැකියා 800ත් 1,000ත් අතර ප්‍රමාණයක් ලබාදෙන බව එහි වාර්තාවල සඳහන් වේ. අප එහි ගිය දිනයේ පැමිණ සිටි පිරිසෙන් 56 දෙනෙකු සඳහා රැකියා හිමිවිය. බියගම අපනයන කලාපයේ ඇති කර්මාන්තශාලාවල රැකියා හිමි නොවන අය ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කලාපයෙන් එළියේ පිහිටි කර්මාන්තශාලාවල ඇති පුරප්පාඩු සඳහා යොමු කරන බවද එහිදී අපට දැනගන්නට ලැබිණි.
රැකියා සුරක්ෂිතභාවය, වැටුප් හා වරප්‍රසාද
අපනයන කලාපයන්හි රැකියා සඳහා බඳවා ගැනීමේදී ඔබට පත්වීම් ලිපියක් ලබාදෙන අතර, සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආදියට සේවයට බැඳෙන මුල් දිනයේ සිටම සාමාජිකත්වය හිමිවේ. ඒ වෙනුවෙන් කම්කරු කාර්යාලයේ ශාඛාවක් අපනයන සැකසුම් කලාපය තුළ පිහිටුවා තිබේ. කම්කරු නීතිය නිසිපරිදි ක්‍රියාත්මක වේ දැයි කාර්මික සබඳතා අංශය අධීක්ෂණය කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ (කාර්මික සම්බන්ධතා) රේණුකා දසනායක මහත්මිය අප සමග පැවසුවාය.
ආයතන තුළ ඇති වන ගැටලු සම්බන්ධයෙන් ආයතන කළමනාකාරීත්වය යටතේ යම් සාධාරණයක් ඉටු නොවන අවස්ථාවකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිපාලන පරිශ්‍රයේ ඇති කාර්මික සබඳතා අංශය වෙත දැනුම්දීමට හැකි අතර, එහිදී ඔවුන් ඒ සඳහා මැදිහත් වීම සිදුකරනු ඇත.
මෙම එක්එක් ආයතනවල වැටුප් පරිමාණයන්හි සුළු වෙනස්කම් දක්නට ලැබුණද, මූලික වැටුප ලෙස රුපියල් 30,000කටවැඩිවැටුපක් හිමිවන අතර, දීමනා හා අතිකාල සමග ගත් කළ රුපියල් 50,000 ඉක්ම වූ වැටුපක් ලබාගැනීමේ අවස්ථාව ඇති බවද එම ආයතන කළ පැහැදිලි කිරීම්වලදී දැනගන්නට ලැබිණි. බොහෝ ආයතවල දිනක සේවා කාලය උදෑසන සිට සවස දක්වා වන අතර, ඇතැම් ආයතනවල සුළු වෙනස්කම් දක්නට ලැබේ. ඒ අනුව සේවා මුර ක්‍රමය පවතින ආයතනද ඒ අතර වේ.
සියලුම ආයතනවල පාහේ උදෑසන හා දිවා ආහාර, සවස තේ ලබාදෙන බවත්, ආයතන මගින් ප්‍රවාහන පහසුකම් සහ බොහෝ ආයතනවල නිල ඇඳුමක්ද ලබාදෙන බවත් සඳහන් වුණි.
එමෙන්ම අපනයන කලාපයන්හි සේවයේ නියුතුවූවන්ට වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශාඛාවක් හා දන්ත සායනයක් ස්ථාපිත කර තිබේ. පොතපතට ලැදි පුද්ගලයන්ට පුස්තකාලයක්ද එම පරිශ්‍රය තුළපිහිටා තිබේ. දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදීම වෙනුවෙන් කාන්තා %සෙවණ^ නේවාසිකාගාරය පිහිටා ඇති අතර, ඒ සඳහා මාසයකටම අය කිරීම රුපියල් 3,000කි.
කුඩා දරුවන් සිටින සේවිකාවන් වෙනුවෙන් තමන් දරුවන් රැකබලාගැනීම සඳහා අපනයන සැකසුම් කලාපය තුළ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර,එහි පෙරපාසලක්ද වේ. එම දිවාසුරැකුම් මධ්‍යස්ථානය සඳහා වයස අවුරුදු 2ට වැඩි දරුවන් භාරගන්නා අතර, එහි ප්‍රධාන ආචාර්යවරියක හා ගුරුවරියන් 4දෙනෙකු සේවයේ නිරත වේ. මේ වනවිටත් එහි දරුවෝ 22දෙනෙක් සිටිති. දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළ පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා දරුවන්ට ආරක්ෂාව සැපයෙන අතර, පෙරපාසල උදෑසන සිට දහවල් 12.00 දක්වා පැවැත්වේ. එසේම මෙම දිවාසුරැකුම් මධ්‍යස්ථානය තුළ දරුවන් 60කට ඉඩ පහසුකම් පවතියි.
අපනයන සැකසුම් කලාපයේ ඇත්තේ, ඇඟලුම් කර්මාන්තශාලා විතර ද?
අපනයන සැකසුම් කලාපය තුළ ඇති රැකියා පිළිබඳ සමාජයේ ඇත්තේ, මුල් බැසගත් මිත්‍යා මතයක් යැයි කීමේ වරදක් නොමැත. නමුත් සත්‍ය නම් අපනයන සැකසුම් කලාපය තුළ ඇත්තේ, ඇඟලුම් අංශයේ රැකියා පමණක් නොවේ. ඊට කදිම උදාහරණය වන්නේබියගම අපනයන සැකසුම් කලාපය තුළ, විදෙස්මුදල් හා විදෙස් ගමන් බලපත්‍ර වැනි දෑ මුද්‍රණය කරන ඩිලාරු ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයයි. එපමණක් නොව රබර් ආශ්රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදන, සෙරමික් නිෂ්පාදන, ඇඟලුම් උපාංග, පාපැදි හා අපනයනය සඳහා ආහාර නිෂ්පාදනය කරන ආයතනයක්ද පැවතීමයි. මෙම ආයතන තුළ විවිධ වූ රැකියා අවස්ථා ඇති අතර, ඔබේ සුදුසුකම් හා පළපුරුද්ද මත එම රැකියා සඳහා ප්රවේශවීමේ අවස්ථාව රැකියා සේවා ඒකකය හරහා ලබාදී තිබේ. එසේම දක්ෂතා මත උසස්වීම් ලබාගැනීමේ හැකියාවද මෙහිදී ඔහුට හිමි වේ.