ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට අවුරුදු 50ක් සනිටුහන් වූයේ 2020 වර්ෂයටය. කෝවිඩ් -19 වසංගතය මැද්දේ වුවත් ඒ වෙනුවෙන් විශේෂිත සැමරුමක් සිංගප්පූරුවේදී සිදුවිය. එහිදී ලෝකයක් හඳුනන ශ්‍රී ලංකාවේ තේවලට තවත් වටිනාකමක් සිංගප්පූරුව විසින් අත්කර දෙමින් සිම්හා යන නාමයෙන් herble infusion නැතහොත් ඖෂධීය තේ නිෂ්පාදනයක් එළිදක්වනු ලැබීය.මේ අපූරු තේ වර්ගයේ නිෂ්පාදනය පිටුපස සිටින්නේ ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය නිලූෂිකා ජයවීර නම් වේ. මීට වසර කිහිපයකට පෙර නිලූ තේ අන්තර්ජාතික වෙළඳ පොළට හඳුන්වා දුන් ඇය මෙලෙස අදහස් දැක්වූවාය.
අඩිතාලම වැටීම
සිංගප්පූරුවේ ක්‍රිස්තියානි පල්ලියක පූජකවරියක් වන සැලීචූ 2019 වර්ෂයේ ලංකාවට පැමිණෙනවා. ඇය ලංකාවට පැමිණි අවස්ථාවේ මාව හමුවුණා. ඒ ඇය සමාජ සේවා සිදු කරන කෙනෙක් විදිහට මගේ සමාජ සද්කාර සේවා වෙනුවෙන් උදවු කරන්න කැමැත්තක් ඇතිවයි. ඇය ආසියානු රටවල සමාජ සද්කාර සේවා පවත්වාගෙන යනවා. ඉතින් අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් මම කරගෙන යන වැඩසටහන්වලට ඇයගේ සහයත් ලැබෙන එක ගැන මම සතුටු වුණා. පසුව මම පසුගිය අවුරුද්දේ සිංගප්පූරුවේ ගිය විට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක පැවැති හමුවකට සහභාගී වූ අවස්ථාවක ඇයව හමු වුණා. එහිදී ඇය මට එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානී සෑම් මහතාව හඳුන්වා දෙනවා. පසුව මම නැවත වරක් ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරයේ වැඩකට නැවතත් සිංගප්පූරුවට යනවා. එහිදී මට අස්මාරා සන්නාමයේ නිර්මාතෘවරුන් වන රමේශ් කුමාර් හා තෝ පින් ඩා කියන විද්‍යාඥයන් දෙපළ හමුවෙනවා. ඔවුන් අස්මාරා සන්නාමය යටතේ විවිධ පාන වර්ග වෙළෙඳ පොළට හඳුන්වා දී තිබෙනවා. අපේ හමුවේදී අපි කතා කළා අලුත් පානයක් හඳුන්වා දෙන්න. මගේ ව්‍යාපාරය තේ නිසා මම යෝජනාවක් කළා අලුත් තේ එකක් හඳුන්වා දෙන්නට. මොවුන් දෙන්නා මට කැමැත්ත දුන්නා සියලුම පරීක්ෂණ ඔවුන් විසින් සිදුකර දෙන්නට. ඒ අනුව දේශීය ඖෂධ අඩංගු තේ නැත්නම් Herble Infusion එකක් හඳුන්වා දෙන්න අවශ්‍ය පරීක්ෂණ ඔවුන් විසින් ආරම්භ කළා. මම ලංකාවේ සංස්කෘතියට අනුව ප්‍රසිද්ධ බෙලිමල්, රණවරා ආදිය ඇතුළුව ඖෂධ 10ක එකතුවක් තේ සමග මිශ්‍ර කරන්නට යෝජනා කළා. ඒවායේ සාම්පල අරගෙන සිදුවන අහිතකර සංයෝග තිබෙනවාද? සෞඛ්‍යමය වාසි තියෙනවාද? වගේ දේවල් ගැන සිංගප්පූරුවේදී මාස 10ක පමණ පරීක්ෂණ සිදුවුණා. පරීක්ෂණවලදී අපි මීපැණි හා රම්පේ ඉවත් කළා. එහෙම ඉවත් කරලා අපි මේ තේ ජනතාවට ලබාදීලා ඔවුන්ගේ ප්‍රතිචාරත් බැලුවා. මෙහෙම අපි අලුත් තේ වර්ගයක් ගැන පරීක්ෂණ කරද්දී සැලී චූ මහත්මියට ඒ ගැන දැනගන්න ලැබුණා. ඇය සිංගප්පූරු රජයත් සමග සම්බන්ධකම් පවත්වන කෙනෙක්. ඉතින් ඇය යෝජනා කළා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එකතුවෙලා මේ තේ වර්ගය එළිදක්වමු කියලා. ඒ අනුව 2020 වර්ෂයේ සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් වන සැමරුම සඳහා මේ අලුත් තේ වර්ගය එළිදක්වමු කියන තීරණයට හැමෝම කැමති වුණා. මේ අවුරුද්දේ මැයි මාසය තමයි ඒ වෙනුවෙන් වෙන්කර තිබුණේ. නමුත් කෝවිඩ් 19 වසංගතය නිසා හැමදෙයක්ම නතර වුණා. ඒ නිසා අපි මේ තේ නිෂ්පාදනය එළිදැක්වීම ගැන තිබ්බ බලාපොරොත්තු අතහැරලයි තිබ්බේ. නමුත් කෝවිඩ් 19 වෛරසය යම්තාක්දුරට පාලනය කරලා සිංගප්පූරුවේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන එද්දී, නොවැම්බර් මාසයේ මට දැනුම් දුන්නා දෙසැම්බර් 8 වෙනිදාට මේ නව තේ නිෂ්පාදනය එළිදක්වමින් සැමරුම සිදුකරන්නට අදාළ වැඩකටයුතු සූදානම් කර ඇති බව. මම වගේ පුංචි කෙනෙක්ට රටවල් දෙකක රාජ්‍යතාන්ත්‍රික සැමරුමකදී නව නිෂ්පාදනයක් එළිදක්වන්න ලැබීම පිළිබඳව මට පුදුම සතුටක් දැනුණා. එය මට ලොකු ගෞරවයක්. ඇත්තටම මේ නිෂ්පාදනය වෙනුවෙන් මාත් එක්ක සම්බන්ධ වුණ අස්මාරා සන්නාමයේ නිර්මාතෘ දෙපළටත්, මෙවැනි අවස්ථාවක මේ නිෂ්පාදනය එළිදක්වන්න කැමැත්ත ලබාදීම පිළිබඳව ස්තූති කළ යුතුයි. රාජ්‍යයන් අතර සැමරීමක් සිදුවන අවස්ථාවක මේ නිෂ්පාදනය එළිදක්වන නිසාම අපි අපේ ඇසුරුමේ එය සටහන් කරන්නත් තීරණය කළා.
සිම්හා නාමය
මෙය ඖෂධීය තේ නිෂ්පාදනයක්. සිංගප්පූරුවේ සිදු කළ පරීක්ෂණවලින් හෙළිවුණා මෙහි අඩංගු සංඝටකවලින් ශරීරයේ ප්රතිශක්තීකරණය ඉහළ නංවන බව. ඒ වගේම ආහාර දිරවීම පහසු කිරීමට හා මේද දහනයට උපකාර කරන බවත් සොයාගනු ලැබුවා. ඒ අනුව ඖෂධ දහයක සංයෝගයක් ලෙස නිෂ්පාදිත මේ තේ වර්ගය විශේෂ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ නිෂ්පාදනය සුවිශේෂී නිසාම අපි දැනට සිංගප්පූරුව හා යුරෝපා රටවලට තමයි නිකුත් කර තිබෙන්නේ. ලංකාවේ ප්‍රධාන හෝටල්වලට මෙම තේ නිෂ්පාදනය නිකුත් කරන්න හැකියාවක් තිබෙනවාද කියන එක සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සොයා බලන්න නියමිතයි. අපි මේ තේ එක නිෂ්පාදනය කරද්දී බැලුවා ලංකාවට විශේෂිත තේ හැර අනෙකුත් පාන මොනවද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගන්න හැකියාවක් තිබිය යුතුයි. ඒ පිළිබඳ අන්තර්ජාලය තුළිනුත් හොයලා බැලුවා. ලංකාවට ආවේණික බෙලි හා රණවරා කියන දේවල් මූලික කරගෙන තමයි මේ තේ වර්ගය නිර්මාණය වන්නේ. එයට තවත් ඖෂධීය ශාක වර්ග 8ක් මිශ්‍ර කරනු ලැබුවා.
එළිදැක්වීම
කෝවිඩ් 19ත් එක්ක සියලුම ව්‍යාපාර බිඳවැටිලා තියෙද්දී අපේ අලුත් නිෂ්පාදනය එළිදක්වන්න ලැබීම තුළින් ඇත්තටම මට දැනුණේ අලුත් පණක් ලැබුණා වගේ හැඟීමක්. ඒ අනුව අභියෝග රාශියක් මැද්දේ අපි ජයග්‍රහණය කළා. අපිට තේ ඇසුරුම් කරන්න අවශ්‍ය ටින් චීනෙන් ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. අවසානයේ ලංකාවේදී ඇසුරුම් නොකර, සිංගප්පූරුවේදී ඇසුරුම් කරන තීරණය අපිට ගන්න වුණා. ඒ අනුව අපි එළිදැක්වීම සඳහා ඇසුරුම් 300ක් සකස් කරනු ලැබුවා. මේක Premium Tea එකක් විදිහටයි හඳුන්වා දුන්නේ. සිංගප්පූරුවේදී තමයි මේ තේ නිෂ්පාදනය එළිදැක්වූයේ. ලංකාවෙන් පිටත් වෙන්න ගුවන් පහසුකම් තිබුණත්, නැවත පැමිණීමට ගුවන් පහසුකම් නැති නිසා මට මේ උත්සවයට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. නමුත් මගේ කතාවක් පටිගත කරලා උත්සව අවස්ථාවට එකතු කළා. මොකද මාර්තු මාසයේ සිංගප්පූරුවට ගිය මට ලංකාවට එන්න බැරිව මාස හතරක් හිරවෙලා හිටියා. ඒ නිසා උත්සවයට ඔන්ලයින් තාක්ෂණය යටතේ මම සහභාගී වුණා. මගේ වගකීම් ටික ඉටුකරලා මම ආසාවෙන් බලන් හිටියා අලුත් නිෂ්පාදනය එළිදැක්වෙනකල්. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්, සිංගප්පූරු රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ගිල්බට් ඕ හින් ක්වැන්ග්, වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්,
ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති ඇතුළු නිලධාරීන් රැසක් මෙයට සහභාගී වී තිබුණා. ඒ වගේම එරට නවෝත්පාදන සම්බන්ධ ආයතන හා ආසියාතික ව්‍යාපාර කණ්ඩායම් සාමාජිකයන් ඇතුළු 50දෙනෙකු සහභාගී වුණා.
සිංගප්පූරුවේ සේවිකාව පැමිණි දුර
නිලූ කියන්නේ 2001 වර්ෂයේ සිට 2016 දක්වා සිංගප්පූරුවේ සේවිකාවක් ලෙස සේවය කළ කෙනෙක්. මම සේවිකාවක් ලෙස සේවය කළත්, මගේ ඉගෙනීම ගැන අවධානය යොමු කළා. 2011 තමයි මම මගේ අයිඩා පාසලේ ව්‍යවසායකත්වය ගැන ඉගෙනීම ආරම්භ කරන්නේ. ලංකාවේ අපිට තේ කියන්නේ අපේ ජීවිතය හා බැඳුණු දෙයක්. අපේ ගෙදරක දවසට තුන් හතර පාරක් තේ හදනවා. ඉතින් මගේ ඉගෙනීම් අවසන් වෙද්දී මම ආරම්භ කරන ව්‍යාපාරය මොකක්ද කියන එක සැලසුම් කළා. ඒ අනුව මගේ අවධානය තේවලට යොමු වුණා. තේ කියන්නේ මිනිසුන් අතර සම්බන්ධතාවන් අලුත් කරන දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම සිංගප්පූරුවේ ඉගෙන ගනිද්දිම ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කළා. මගේ ඉගෙනීම් කටයුතු අවසන් කරලා ලංකාවට ඇවිත් මගේ නමින් තේ නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. මගේ නිෂ්පාදන සිංගප්පූරු වෙළෙඳ පොළට තමයි නිකුත් කර තිබෙන්නේ. ලංකාවේ තේවලට ලොකු තරගකාරීත්වයක් තිබෙනවා. මේ තරගකාරීත්වයට මුහුණ දෙනවාට වඩා සිංගප්පූරුවේ වෙළෙඳ පොළට ප්‍රවේශ වීම පහසු වුණා. මට විශාල පරිමාණ වෙළෙඳාමක් කරන්න අදහසක් නැහැ. මට අවශ්‍ය මම ලබන ලාභයෙන් මගේ ව්‍යාපාර කටයුතු නඩත්තු කරගෙන සමාජ සද්කාර කටයුතු කරගෙන යන්නයි. මගේ තේ නිෂ්පාදනත් එක්ක මේ ගමන් කරන මාවතේ උදවු උපකාර කළ අය බොහෝමයි. බොහෝම පුංචි තැනක ඉඳලා මේ වගේ ඉහළට එන්න මට සහය ලබාදුන්නු සියලුදෙනාව මම මේ වෙලාවේ ස්තූතිවන්තව මතක් කරනවා.