රාජ්‍ය සේවයේ පශු ක්ෂේත්‍රයේ නිලධාරීන් ලෙස ඉදිරිපත්වන පිරිසේ අඩුවක් තියෙනවා


සත්ත්ව පාලනයට අදාළව රට තුළ පවතින ප්‍රධාන අර්බුද කීපයක් සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිහාල් වෙදසිංහ මහතා විමසුවෙමු. එහිලා ඔහු දැක් වූ අදහස් මෙසේ  දක්වමු. 


 

අයාලේ යන සුනඛයන්ගේ ඉහළ යෑමක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන මුනිවත රකින  බවටත් චෝදනාවක් ඇසෙනවා? ඒ ගැන  පැහැදිලි කළොත්?

අයාලේ යන සුනඛයන් සම්බන්ධයෙන් අප අවධානය යොමු කර තිබෙනවා. එය මෙයට පෙර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පැවරී තිබූ දෙයක්. දැන් අප වෙත පැවරී තිබෙනවා. එහිදී අයාලේ යන සුනඛයන් සම්බන්ධයන් අපි ක්‍රමවේද දෙකක් සම්බන්ධයෙන් කටයුතු කරනවා. එකක් වන්ධ්‍යකරණයයි. අනෙක ජලභීතිකා එන්නත ලබාදීමයි. එය දැනට පළාත් සෞඛ්‍ය දෙපර්තමේන්තුව හරහා සිදු කරනවා.

මෙහිලා දැනට ඉදිරි සැලසුම් ලෙස ගෙන ඇති පියවර කුමක්ද?

මේ අවුරුද්ද අවසානයට පෙර එන්නත් ලක්ෂ 10ක් ගෙන්වීමට අප බලාපොරොත්තු වෙනවා. ඒවා පළාත් සභාවලට භාර දෙනවා. දැනට  එන්නත් ලක්ෂ පහක් පමණ ගෙන්වා තිබෙනවා.
අනික විශේෂයෙන්ම සුනඛයන්ගේ සැපීමට ලක්වන්නේ පාසල් දරුවන් බව පෙනෙනවා. එනිසා දරුවන් වෙනුවෙන් මේ සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබාදීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

පශු වෛද්‍යවරුන් සහ සත්ත්ව සංවර්ධන උපදේශකයන්ගේ පුරප්පාඩු පිළිබඳ කලෙක සිට ඇහෙනවා. ඒවා සම්පූර්ණ නොවන්නේ ඇයි?

පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව පිළිගන්නවා. සාමාන්‍යයෙන් එම ප්‍රමාණය 30෴ ක් දක්වා ප්‍රතිශතයක් වශයෙන් කියන්න පුළුවන්. සත්ත්ව නිලධාරීන්ගේ සහ පළාත් පශු නිලධාරීවරුන්ගේ මේ හිඟය ක්ෂේත්‍රයට යම් අඩුවක් ලෙස බලපෑමක් කළ හැකියි.

සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් පමණක් 50% ක අඩුවක් පවතිනවා. විශ්වවිද්‍යාලවලින් පිටවන අදාළ වෘත්තීය සුදුසුකම් ඇති අය එම තනතුරු සඳහා ඉදිරිපත් වනවා. එහෙත් ආයතන වශයෙන් ගත්තාම එහෙම එකතුවන අයගේ අඩුවක් මෙතැන තියෙන්නේ. අනික් අතට උපාධි රැගෙන පිටවුණත් ඒ අය රජයේ සේවයට එකතු නොවී වැඩිවැටුප් ලැබෙන ඉහළ තනතුරු හෝ විදේශගතවීම හෝ පෞද්ගලික අංශයේ  තනතුරුවලට යනවා නම් මෙම පුරප්පාඩු සඳහා සුදුස්සන් පත්කර ගැනීමේ යම් නොහැකියාවක් තිබෙනවා.

මේ සඳහා රජය වශයෙන් ඔබ දෙපාර්තමේන්තුව හරහා යම් කාර්ය භාරයක් ඉටු කරනවාද?

අපි කුණ්ඩසාලෙ කරඳගොල්ල සහ සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානයන්හි මේ සඳහා පුහුණුව ලබාදෙනවා. එය පිළිගත් පුහුණුවක්. ඒත් ඒ පුහුණුව ලබන අයත් පුහුණුව ලැබීමෙන් පසු රාජ්‍ය සේවයට එකතුවන්නේ නැති තරම්. පුද්ගලික අංශයට යනවා.

අපි දෙන්නේ ඩිප්ලෝමා පුහුණුවක්. එහෙම වෙනකොට ඒ පුහුණුව ලබාගැනීමට ඉදිරිපත්වන අයගේ සුදුසුකම් පරීක්ෂා කර අවම අවශ්‍යතා සම්පූර්ණකර සුදුසුකම් අනුව බඳවා ගන්නවා. නමුත් රජයේ සේවයේ රැඳිය යුතුයි කියලා පුහුණුව අවසන් කළ ඒ අයට බලපෑමක් කරන්න අපට බැහැ.

පුහුණුවට තෝරා ගන්නා අවස්ථාවේදී යම් කාලසීමාවකට හෝ යටත් කරමින් එවැනි ගිවිසුමක් ඇතිකරගත නොහැකිද?

ගිවිසුම් ඇතිකරගෙන එය කරන්න බැහැ. මොකද ඒ අයට තමන්ගේ පුහුණුවෙන් පසු තමන් කැමති රැකියාවක් කිරීමට ඇති අවස්ථාව වෙනුවෙන් එයට වාරණයක් වන පරිදි ගිවිසුම් ඇති කරගන්න අපට හැකියාවක් නැහැනෙ.

අධ්‍යාපනය කියන්නේ ආයෝජනයක්. රාජ්‍යය විසින් එහිදී අදාළ වගකීමට බැඳී සිටිනවා. එහිදී රජය තම වගකීමක් හැටියට එවැනි ඩිප්ලෝමා හෝ සුදුසු පුහුණු ඇතිකර වඩාත් ඵලදායී ආකාර‍ෙයන් පුහුණුව ලබාදෙන්නේ  ඒ ආයෝජනය වෙනුවෙන්. එතෙන්දි ඒ අය තමන් ලද දැනුම අනුව වඩාත් සුදුසුයි ඒ අය හිතන තැනක රැකියාවකට යාමට ඇති උනන්දුව වළක්වන්න අපට බැහැ. රජයේ රැකියාවක් අවශ්‍ය යැයි හිතන අය මෙතැන නතර වෙනවා.

 කිරිගොවියාට නියම මිල නොලැබෙන බව පවසමින් නිතර විරෝධතා අරගල සංවිධානය වෙනවා. සත්ත්ව නිෂ්පාදන පිළිබඳ ඔබ ආයතනයට එහිලා යම් කාර්යභාරයක් නැතිද?

කිරිවල මිල ගණන් තීරණය කිරීම  සම්බන්ධයෙන් මැදිහත්වීමට අපට හැකියාවක් නැහැ. කිරි මිලදී ගැනීම සිදුකරන්නේ ඒ සමාගම් විසින් මිස රජයේ අනුබලයෙන් නෙවෙයි.
එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති අනුව මේද සහ මේද නොවන ඝන ද්‍රව්‍ය තීරණය කිරීමට අදාළ නියාමයනයක් යටතේ වන චක්‍රයක් මගින් සිදු කෙරෙනවා.
මෙය 1986 වසරේදී ලංකාවේ කිරි නිෂ්පාදනයන්ගේ වාර්තා අනුව එම කිරිවලට අදාළ තත්ත්ව පරාසයක් තුළ සකස්කළ ටේබල් එකක්. එය මිල සූත්‍රයක් වගේ දෙයක්. එයට මිල්කෝ ආයතනය නෙස්ලේ ආයතනය වගේ ආයතන මැදිහත්ව තිබෙනවා.

එනිසා එම ක්‍රමය අනුව එක්එක් ආයතනවලටත් වැඩිපුර ගෙවීමේ නොහැකියාවක් තිබෙනවා. එහිදී ඒ අය අතරද ඇතිවිය හැකි තරගය හේතුවෙන් යම් බලපෑමක් විය හැකියි.  අපට ඒ සම්බන්ධයෙන් බලපෑමක් හෝ ඇඟිලි ගැසීමක් කළ නොහැකියි.

ඔස්ෙට්‍ර්ලියාව සහ නවසීලන්තයෙන් ගත වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ගෙන් වූ කිරිගවයන්ට භයානක රෝගී තත්ත්වයක් ව්‍යාප්තව ඇතැයි බරපතළ චෝදනාවක් ඇසෙනවා? ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළොත්?

   ඔය කියන කරුණ අප කළ හැදෑරීම්වලින් පස්සේ හඳුනාගත් දෙයක්.   සාමාන්‍යයෙන් අප දෙපාර්තමේන්තුව කරන්නේ සතුන් නිරෝධායන කටයුතු සඳහා  සහ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ පූර්ව වාර්තා ලබා දෙන එකයි. එයට අපි හෙල්ත් ප්‍රොටකෝල් කියල කියනවා. අප මේ රෝගකාරකය සම්බන්ධයෙන් දැඩි  අධ්‍යයනයකින් සොයා බැලුවා. පරීක්ෂණ කළා. එහිදී අප ඔස්ට්‍රේලියාවේ විද්වතුන්ගේ සහයෝගයද ලබා ගත්තා. යම් විෂබීජයක් ඇතුළු වී ඇති බව අනාවරණය කරගත්තේ අපේ ඒ  හැදෑරීම්වලින් පස්සෙයි.

   ගතවූ අත්දැකීම් තුළ මේ තත්ත්ව නිවැරදි කිරීමට අප මේ වනවිට අවශ්‍ය පියවර සම්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව තවදුරටත් ඉදිරියට යමින්  ගත වූ සති අන්තයේදී  අදාළ කිරි ගොවියන් හමුවී ඔවුන් සමග තවදුරටත් සාකච්ජා කළා.

 හඳුනාගත් රෝගී සතුන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද? 

  අපි දැන් කළ යුත්තේ සිදුවී ඇති වරද ගැන පුනපුනා කියන එක නෙවෙයි. සිදු වූ වැරදි නැවත සිදු නොවන තැනට සහ ලබා ඇති ගත වූ අත්දැකීම් අනුව ගෙන්වූ සතුන්ගෙන් ප්‍රයෝජන ගත හැකි ක්‍රමයක් පිළිබඳ අප කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. නිරෝගී සතුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ජාන ප්‍රයෝජනයට ගැනීම වැනි දේ ගැන හිතනවා.
  කොහොම වුණත් මේ සිදුවීම ගතවූ කාලයක සිදු වූ සිදුවීමක් නිසා එතෙන්දි හඳුනාගත් සතුන් ගවපට්ටිවලින් ඉවත් කරනවා. අවශ්‍ය වුණොත් වැඩිමනත් කටයුතු පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා. 



Recommended Articles